මුදල් වංචාවකට නිසා රිමාන්ඞ් කළ සංවර්ධන නිලධාරිනිය වසබී රෝහලේ

392

මුදල් වංචාවක් කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ ගාල්ල නගරයේ පිහිටි ජනප‍්‍රිය පාසලක අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ කළමනාකරණ සංවර්ධන නිලධාරිනියක් 23 දා පස්වරුවේ ගාල්ල  බන්ධනාගාරය තුළදී වස වර්ගයක් පානයකොට ඇති අතර ඇය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇති බැව් ගාල්ල බන්ධනාගාරය පවසයි.

රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබු කාන්තාව මදුරුවන් සඳහා යොදනු ලබන දියර කුප්පියක් සිය සාරිය තුළ සඟවාගෙන පැමිණ පානය කොට ඇති බැව් බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. බන්ධනාගාර නිලධාරින් විසින් දැඩි පරිශ‍්‍රමයක් දරා මෙය වළක්වා ඇති අතර බන්ධනාගාර බස් රථයකින් ඇය ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ 58 වැනි වාට්ටුවට ඇතුළත්කොට ඇත. බන්ධනාගාර නිලධාරිනියන්ගේ ආරක්ෂාව යටතේ මෙකී කාන්තාව ප‍්‍රතිකාර ලබන අතර වස පානය කිරීමට හේතුව ඇය බන්ධනාගාර නිලධාරිනියන්ට පවසා ඇති බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. නිවසේ සිට මෙකී වස බෝතලය රැුගෙන ආ බවට ඇය සඳහන් කොට ඇති බවද පැවසේ. ඇයගේ සෞඛ්‍ය තත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙකී පාසලේ පාසල් සංවර්ධන සමිතියේ ගිණුමෙන් කූට ලේඛන සකස්කොට චෙක්පත්වල අගයවැඩිකොට රුපියල් විසිඑක් ලක්ෂපනස්හය දහස් දෙසියක් (2156,200) ක මුදලක් වංචාකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ මෙකී කාන්තාව ගාල්ල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් මස 02 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment