මුදලිගේ යළි රිමාන්ඩ්

196

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන 31 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (17දා) පස්වරුවේ නියෝග කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබෙන තුරු රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින එම සැකකරු සම්බන්ධයෙන් දෙපාර්ශවයේ ලිඛිත දේශන ලබන 24 වැනිදා තම අධිකරණය හමුවේ ගොනුකරනා ලෙසටද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එහිදී වැඩිදුරටත් නියෝග කළේය.

එම නඩුව ඊයේ (17 දා) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය ඉදිරියේදී කැඳවූ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් එම සැකකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුව පසුගිය දෙසැම්බර් 17 වැනිදා සහ දෙසැම්බර් 22 වැනිදා අතර කාලය තුළ කැඳවූ අවස්ථාවේදී සිදුවී ඇති සිද්ධියක් මුල්කරගෙන විමර්ශනයක් සිදුකරන ලෙසට අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරන ලෙස පොලිස්පතිවරයා නීතිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති බැවින් නඩුව වෙනත් අධිකරණයක් හමුවට යොමුකරන ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු විමර්ශන නිලධාරීන් සිවුදෙනකුගෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් වී ඇති බැවින් තමන් එම ඉල්ලීම කරන බවත්, එම දිවුරුම් ප්‍රකාශවල අඩංගු කරුණු විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීම උචිත නොවනා බවත් පෙන්වා දෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම ඉල්ලීම කළේය.

එම නඩුව කැඳවූ දිනයකදී එම නඩුවේ දෙවන සැකකාර ගල්වැව සිරිධම්ම හිමියන් අසනීප තත්ත්වයෙන් පසුවනු දැක උන්වහන්සේට අවශ්‍ය කසාය පැකට් සහ සස්ටජන් මිලදී ගැනීමට තමන් විසින් මුදල් ලබාදුන් බවත් මානුෂීය හේතූන් මත සිදුකළ එම සිද්ධිය පෙරකී දිවුරුම් ප්‍රකාශවලට හේතුපාදක වී ඇති දැයි විමසූ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය එය රහසිගතව සිදුකළ දෙයක් නොව මානුෂීය හේතුන් මත භික්‍ෂූන් වහන්සේ නමකට කළ සත්කාරයක් පමණක් බවත් ප්‍රකාශ කළාය.

යම්කිසි අධිකරණයක් හමුවේ පවතින නඩුවක් වෙනත් අධිකරණයකට මාරු කිරීමට අවශ්‍ය නම් අධිකරණ සංවිධාන ප්‍රතිපාදන අනුගමනය කර ඒ සඳහා පියවර නොගෙන සිද්ධියට පාදක වූ අධිකරණයෙන්ම එවැනි ඉල්ලීමක් කිරීම සුදුසු නොවනා බවත් එය අධිකරණය බියගන්වා නඩුව වෙනත් අධිකරණයකට මාරුකර ගැනීමට දරන වෑයමක් ලෙස තමන් දකින බවත් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පැවසීය.

මෙම අවස්ථාවේදී අධිකරණය විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා භාරයේ තිබූ අදාළ දිවුරුම් ප්‍රකාශවල පිටපත් තම අධිකරණයට ලබාදෙන ලෙස දන්වා සිටි අතර ඉන් අනතුරුව අධිකරණයේ දැනුම්දීම අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් එම දිවුරුම් ප්‍රකාශවල අඩංගු කරුණු විවෘත අධිකරණය හමුවේදී කියවන ලදී.

තම අධිකරණයට විමර්ශන නිලධාරීන් එවැනි චෝදනාවක් එල්ල කර ඇති බැවින් තවදුරටත් එම නඩුව තම අධිකරණය හමුවේ කැඳවීම නුසුදුසු බවට තීරණය කළ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය එම නඩුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කළාය.

සැකකාර ගල්වැව සිරිධම්ම හිමියන්ට නිරෝගී සුවයට අවශ්‍ය සස්ටජන් (කිරිපිටි) හා පස්පංගුව ලබාදීම සඳහා අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය විසින් රුපියල් 10,000 ක් අධිකරණයේ රාජකාරියේ නිරත නිලධාරියකු මගින් ලබාදී එකී ද්‍රව්‍ය සැකකාර හිමියන්ට ලබාදී ඇති බවද එම දිවුරුම් ප්‍රකාශ මගින් පෙන්වා දී තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment