මුලතිව් සිද්ධිය (ඔබ මේ පහර දෙන්නේ මීහරකුන්ට නොව ළමුන්ටය)

643

මුලතිව් ප්‍රදේශයේ ගුරුවරයකු සිය නිවස තුළදී අමානුෂික ලෙස සිසුවකුට පහර දෙන ආකාරය ඇතුළත් වීඩියෝවක් මුලතිව් ජනතාව විසින් වගකිවයුත්තන් වෙත යොමු කොට තිබේ. මේ තිරිසන් ගුරුවරයා සිය නිවසට සිසුන් කැඳවා නිතරම පහර දෙන බව දැනගන්නට තිබේ. මේ කාරණයේදී අප මුලින්ම දෝෂාරෝපණය කරන්නේ මුලතිව් ප්‍රදේශයේ ජනතාවටය. මෙබඳු පරපීඩා කාමුකයකු අතින් දරුවන් අපහරණය වන බව දැනගත් වහාම ප්‍රදේශවාසීන් කළ යුතුව තිබුණේ ඔහු අල්ලා ශාරීරික සත්කාරයක් පැවැත්වීමය. මේ රටේ මිනිස්සු අවශ්‍ය දෙයට හැරුණු විට අනවශ්‍ය සෑම දෙයකටම වීරයෝ සේ ඉදිරිපත් වෙති. බසයකට නැග අනුන්ගේ මුදල් පසුම්බියක් සොරාකෑමට තැත් කරන තරුණයකු අසුවූ කල්හි ඔහුට පහරදී අතපය කැඩීමට සිය ගණනක් වීරයෝ ඉදිරියට එති. එසේත් නැත්නම් ගසකික් පොල් ගෙඩි දෙකක් සොරාගන්නා මිනිසකු අල්ලා ඔහුට පහරදී නිරුවත් කර පාරේ ඇවිද්දවන කාලකණ්ණි වීරයෝ ද මේ රටේ වෙසෙති. (මෙවැනි වීඩියෝවක් පසුගිය කාලයේදී සමාජ ජාල පුරා ප්‍රචාරය විය.) එහෙත් තම ප්‍රදේශයේ සිටින දුෂ්ට සහ නරුම වධකයකුට කුමක් කළ යුතු ද යන්න මුලතිව් ජනතාව දැන සිට නැත. මේ කියන ගුරා මේ වනවිට පදිංචි නිවස අතහැර පලාගොස් තිබේ. ඉන්දියාව වැනි රටක මෙබන්දක් සිදුවූයේ නම් අදාළ ගුරාගේ නිවස සම්පූර්ණයෙන්ම බිමට සමතලා කරනවා ඇත. ඒත් එවැනි දෙයක් සුදුසු නැත. අපේ රට තුළ ශක්තිමත් නීති සම්ප්‍රදායක් තිබේ. පෙර කී පරපීඩක ගුරා අත්අඩංගුවට ගෙන ඔහුට අවශ්‍ය දඬුවම් දීමට අපේ නීතිය ප්‍රමාණවත්ය.

ළමයින්ට ශාරීරික දඬුවම් පැමිණවීම නූතන ලෝකය විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබේ. හැඳි නොගාන හොද්දත් ගුටි නොදී හදන ළමයාත් වැඩකට නැති බවට කියමනක් මේ රටේ ඇත. මෙබඳු ගොං කියමන් අපගේ මානසිකත්වවලින් ඉවත්කර ගැනීම අපගේ වගකීම වේ. එබඳු මානසික හොදි හැළි පොළොවේ ගසා ආදරයෙන් දරුවන් යහමඟට යොමුකරන විනයානුකූල ක්‍රමවේදයක් අපේ පාසල් පද්ධතිය තුළ තිබිය යුතුය. මේ රටේ ඇතැම් ගුරුවරුන් ළමයින්ට පහර දෙන්නේ ඉතා නීච ලෙසය. අතින්ද, පයින්ද, අඩිරූල්වලින්ද, පුටු කකුල්වලින් ද දරුවන්ට පහරදීම සිදුවේ. මේ පහරවල් නරක තැනකට වැදුනොත් ඒ ළමයාගේ ජීවිතය එතැනින් අවසන් වන අතර හදිසි කෝපය නිසා මිනී මැරීම නමැති චෝදනාව යටතේ අදාළ ගුරුවරයා සිර දඬුවමක් පමණක් ලැබ යහතින් ගෙදර ඒමට ඉඩ තිබේ. ඉංග්‍රීසි ආණ්ඩු කාලයේදී පවා ළමයින්ට පහර දීම අනුමත කෙරුණේ නැත. අප දන්නා පරිදි එක් කලෙක මේ රටේ නීතියක් තිබිණි. එම නීතියට අනුව පාසල් දරුවකුට දඬුවම් කිරීම සඳහා අඟල් භාගයකට අඩු ඝනකමක් සහිත අඩි තුනකට වඩා දිගින් නොවැඩි වේවැලක් පාවිච්චි කළ යුතුය. එම වේවැල අංශක අනූවක් ඔසවා පහර තුනක් පමණක් දරුවාගේ තට්ටම් පෙදෙසට පහරදිය යුතුය. එසේ පහර දීමට පෙර දඬුවම ලබන දරුවා කිසියම් රෝග තත්ත්වයකින් පසුවෙන්නේ ද යන්න සොයා බලා එවන් තත්ත්වයක් ඇතොත් දඬුවම් කිරීම කල් තැබිය යුතුය. තට්ටම් දෙකට ඇර පිටට, කකුල්වලට, අත්වලට පහර දීම සම්පූර්ණයෙන්ම තහනම්ය. මේ පහර දීම විදුහල්පති කාමරයේදී විදුහල්පතිවරයා විසින් හෝ විදුහලේ විනය පාලක ගුරුවරයා විසින් කළ යුතුය. එම දඬුවම සිදුකිරීමෙන් පසු ඒ පිළිබඳව ලොග් සටහනක් ලිවිය යුතු අතර අසවල් දින අසවල් වේලාවේදී අසවල් දරුවාට අසවල් පහර ගණන දෙන ලදැයි අධ්‍යාපන දෙපාර්තමේන්තුවට දැනුම්දිය යුතුය. මේ නීතිය කොහෙ ගියාදැයි අපි නොදනිමු.

සමහර විට මේ රටේ ගුරුවරු ගෙදර බිරින්දෑ සමග ප්‍රශ්නයක් ඇතිවූ විට පවා පාසලේදී දරුවන්ට පහර දෙති. වැඩිහිටියන් දරුවන්ට පහර දෙන්නේ යැයි සමහර ගුරුවරුන් සහ දෙමාපියන් කියන්නේ ආදරයට එසේ කරන බවය. කුමක් ද මේ ආදරය. මේ ආදරය වූකලී දරුවන් යහමඟට යොමු කිරීමේ ආසාවලු. එසේ නම් ආදරය හුඟක්ම වැඩිවූ කල්හි දරුවාට පිහි පහරක් හෝ කඩු පාරක් කෑමට සිදුවිය යුතුය. අප මේ කියන්නේ තර්කයක් වශයෙනි. සමහර විට මෙම තර්කයට පක්‍ෂපාත වන මීහරක් ද සිටින්නට ඉඩ තිබේ. 2022 නොවැම්බර් 12 වැනිදා හුංගම පොලිසිය මගින් අම්බලන්තොට පාසලක ගුරුවරියක අත්අඩංගුවට ගන්නා ලදී. ඒ ගුරුවරිය පාසලේ දස හැවිරිදි දැරියකට තඩි ලීයකින් පහරදී තිබිණි. දැරියගේ පිට පුපුරා තිබූ අතර ඇය රෝහලට ඇතුළත් කරන ලදී. මෙහි සඳහන් ගුරුවරිය මේ දැරියට පහරදීම පුරුද්දක් කරගෙන තිබිණි. දැරියට දිගු කෙස් වැටියක් තිබූ අතර ගුරුවරිය එයින් අල්ලා ඇයට පහර දෙන ලදී. එවිට මාපියෝ එම දිගු කෙස් වැටිය කපා දැමූහ. ඉන් පසුව ගුරුවරිය දැරියගේ බෙල්ලෙන් සහ අත්වලින් අල්ලා ඇයට පහර දී තිබිණි. මෙබඳු ගුරුවරියන් පාසල් වලින් පමණක් නොව සම්පූර්ණව මානව සමාජයෙන් ඉවත් කළ යුතුය. ලංකාවේ නීති තද බැවින් අප හිතන තරම් ඉක්මනින් වරදකරුවන්ට දඬුවම් ලබාදිය හැකි නොවේ. ඇතැම් විට කෙනෙක් පරපීඩකයකු ලෙස හැසිරෙන ආකාරය දැනගැනීමට ලැබෙන්නේ එම තැනැත්තා හෝ තැනැත්තිය අතින් තව කෙනකු මියගිය කල්හිය.

මෙබඳුම සිද්ධියක් ගැන ආසියානු මානව හිමිකම් කොමිසමේ වාර්තාවක සඳහන් වේ. එම වාර්තාවේ එන පරිදි බෙලිහුල්ඔය පාසලක උගත් 13 හැවිරිදි පිරිමි දරුවකු ගුරුවරයකු අතින් නිතරම පහර කෑමට ලක්විය. මෙම දරුවාට දරුණු අක්‍ෂි රෝගයක් තිබිණි. එය ඉතා කලාතුරකින් වැළඳෙන රෝගයක් වූ අතර දරුවාගේ ඇසේ කාචය ඉවත් කොට අලුත් කාචයක් බද්ධ කර තිබිණි. ගුරුවරයා දරුවාට පහරදී ඇත්තේ සැත්කමට ලක්කිරීමෙන් පසුවය. මේ පිළිබඳ සමනලවැව පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ල කිසිදු පොලිස් නිලධාරියකු විසින් ගණනකට ගනු ලැබ නැත. එසේම ශ්‍රී ලංකාවේ අධ්‍යාපන බලධාරීන් සහ මානව හිමිකම් කොමිසම මේ සිද්ධිය ගණන්ගෙන නැත. මෙයට හේතුව පහරදීම සිදුකළ ගුරුවරයා කිසියම් බලගතු දේශපාලන කණ්ඩායමකට අයත්ව සිටීමය.

අප ඉහතින් සඳහන් කළේ ප්‍රසිද්ධියේ වාර්තා කෙරුණු සිදුවීම් දෙකක් පමණි. මෙවැනි අප්‍රකට සිදුවීම් ඕනෑ තරම් ඔබ මේ තීරුව කියවන මොහොතේදීත් මේ රටේ සිදුවෙමින් පවතින බව මතක තබාගත යුතුය. අප දරුවන්ට පහර දෙන්නේ පෙරළා අපට පහරදීමේ හැකියාවක් ඔවුන්ට නැති බැවිනි. මෙය ගුරුවරයාට පහරදීමේ තුච්ඡ මානසික සම්ප්‍රදායේ එක් අවස්ථාවකි. මේ පිළිබඳව අධ්‍යාපන බලධාරීන්ද ආණ්ඩුවද සැලකිලිමත් විය යුතුය. එසේම මුල කී සිද්ධියට අදාළ වධකයා අල්ලාගෙන වුත් නිසි සත්කාර ලබාදිය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment