මුලින්ම කොරෝනා හැදුණේ තේ වගාවට…මේ රෝගය ව්‍යාප්තවෙන්න පටන්ගෙන අවුරුදු පහකට වැඩියි…අපේ ගම්වල බාගෙට බාගයක් තේ වගාව විනාශයි…

529

වටපණු රෝගයට බෙහෙතක් තිබුණා පසුගිය කාලේ ඒක තහනම් කළා…

සුන්දර බලංගොඩ නෙත් පිනවන තේවතු විනාශ කරමින් පැතිරී යන වටපණු දිලීර වසංගතය ගැන අපට දැනගැනීමට ලැබුණේ උඩකන්ද ප‍්‍රදේශයේදීය. බලංගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, වලේබොඩ ග‍්‍රාම සේවා කොට්ඨාසයේ ශ‍්‍රීපාද අඩවියට මායිම්ව පිහිටි අති සුන්දර ගම්මානයකදීය. එගම්වාසීන්ගේ ප‍්‍රධාන ජීවන ගැටලූව බවට පත් වී තිබුණේ ඔවුන්ගේ තේ ඉඩම්වල ශීඝ‍්‍රයෙන් පැතිරී යන වටපණු දිලීර රෝගයයි.

”අපි කියන්නේ මුලින්ම කොරෝනා හැදුණේ මිනිස්සුන්ට නෙමෙයි, තේ වගාවට. මේක කොරෝනා වසංගතය හා සමාන දරුණු වසංගතයක්. මේ වෙනකොට අපේ ගමේ සියලූම තේ ඉඩම් වටපණු රෝගයට ගොදුරු වෙලා තියෙනවා. එක තේ ගහකින් හැදිලා ටික දවසක් යනකොට පදාසයකටම පැතිරිලා යනවා…’’ උඩකන්ද ප‍්‍රදේශයේ කුඩා තේ වතු හිමියෙක් වන සරත් චන්ද්‍රසිරි කතාවට එසේ ප‍්‍රවේශයක් ලබාගත්තේය.

දැන් අප සිටිනුයේ වලවේ ගඟ අසබඩ තේ වත්තකය. ශ‍්‍රීපාද අඩවියෙන් ගලා බසිනා වලවේ ගඟ ප‍්‍රථමයෙන් ගම්මානයක් හරහා ගලා බසිනුයේ වලේබොඩ ග‍්‍රාම සේවා කොට්ඨාසය මායිමෙන්ය. අති සුන්දර කඳු වළලූ අතර හුදෙකලා වූ වලේබොඩ අසිරිය වෙනත් ලිපියකින් කතා කරන අදහසින් වටපණු වසංගතයේ ගොදුරක්ව මරණ මංචකයේ සිටින තරුණ තේ වගාවක හානිය දැක බලාගෙන ‘සමස්ත තේ කර්මාන්තයටම’ විපතක්වීමට ඉඩ තිබෙන ‘වටපණු වසංගතය’ ගැන ප‍්‍රථමයෙන් අපි කතා කරන්නෙමු.

‘‘මේ බලන්න… තේ ගස් මලානිකවෙලා තියෙන හැටි. වඳ පීදිලා වගෙයි. මේ රෝගය හැදීගෙන එනවා. තව දින කිහිපයකින් කොළ හැලිලා ගහ මැරෙනවා…’’ බෑවුමක පිහිටි අක්කරයකට අඩු තේ වගාවක් මැද තේ ගස් විශාල ප‍්‍රමාණයක් කහ පැහැගැන්වී, මැලවී ඇති ආකාරය සරත් අපට පෙන්නුවේය. ඇතැම් තේ ගස්වල මල් පිපී, ගෙඩි පලගෙන තිබෙන අයුරු ද පෙනිණි. කොළ හැලී, වියළී ගිය තේ ගස් පොකුරු වශයෙන් දිස් වන විට නම් මගේ හදවත ද පිච්චිණි. එමෙන්ම අප පැමිණි ආරංචියට එකතු වූ ප‍්‍රදේශවාසීන් ඔවුන් මුහුණදී සිටින ප‍්‍රධාන ගැටලූව වන වටපණු රෝගයේ හානිය මෙන්ම ජීවන ගැටලූ එකිනෙක වචන කරන විට ඉහ මොළත් රත් විය.

‘‘තව මාසයක් යන්නට පෙර මේ තේ කෑල්ලම ඉවරයි. මේ විදිහට අපේ ගමේ විතරක් නෙමෙයි, අහල පහල ගම් දෑලේම සමහර තේවතු සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා. මැරුණු තේ ගස් ගලවලා බලනකොට මූල පද්ධතියම දිරාපත් වෙලා කුඩු හැලෙනවා. ඒ වගේම මැරුණු තේ ගස් ගලවලා වෙන බෝගයක් දැම්මත් වැඩක් නෑ. මේ ලෙඬේම හැදිලා ඒ බෝගත් විනාශ වෙනවා. මක්‍ඳ්ෙක්‍ඳාක්කා දණ්ඩක් විතරයි මුල් අදින්නේ. ඒ නිසා අපේ මිනිස්සු ලෙඩ හැදුණු තේ ඉඩම්වල දිගට හරහට මක්‍ඳ්ෙක්‍ඳාක්කා දැම්මා. දැන් අපේ ගම්වල මයියොක්කාවලටත් මිලක් නෑ. අදටත් මගේ කොටුවේ මයියොක්කා කිලෝ දෙදහක් විතර ගලවන්න පුළුවන්. දෙන්න මිලක් නැති නිසා ගලවන්නේ නෑ. ඌරො කාලා යනවා…’’ වලේබොඩ තේ වගාකරුවන්ගේ පොදු හඬ පරයමින් නැවත සරත් චන්ද්‍රසිරිගේ හඬ ඉස්මතු විය.

මුලින්ම කොරෝනා හැදුණේ තේ වගාවට…මේ රෝගය ව්‍යාප්තවෙන්න පටන්ගෙන අවුරුදු පහකට වැඩියි…අපේ ගම්වල බාගෙට බාගයක් තේ වගාව විනාශයි…

‘‘කර කියාගන්න දෙයක් නෑ. හැම පැත්තෙන්ම අපි හිරවෙලා. එගොඩ වලේබොඩ ග‍්‍රාම සේවා කොට්ඨාසයේ පමණක් පවුල් එක්දාහස් අටසීය ගාණක් ජීවත් වෙනවා. ඒ සෑම පවුලකටම තේ වගාවක් තියෙනවා. මේ වන විට ඒ තේ වගාවන්වලින් ලැබෙන ආදායමෙන් බාගෙට, බාගයක් අඩු වෙලා. සමහරුන්ට සම්පූර්ණයෙන්ම තේ ආදායම අහිමි වෙලා. පහුගිය දවසක ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනට රාස්සගල, තෝරකන්දට ජනාධිපතිතුමා පැමිණි අවස්ථාවේදී මේ ගැටලූව සම්බන්ධයෙන් ලිඛිතව අපි කරුණු ඉදිරිපත් කළා. රත්නපුරේ තේ පර්යේෂණ ආයතනයට ගිහින් කිව්වා. ඒත් තවම විසඳුමක් නෑ. මහත්තෙලා මේ ආවට වෙන කිසිදු මාධ්‍යයකින් අපේ ප‍්‍රශ්න අහන්න ඇවිල්ලත් නෑ. දවසින්, දවස වසංගතය පැතිරෙනවා…’’ නිල්ලෙන් සුදිලෙන ගම්මාන අතර ජීවත් වන මිනිසුන්ගේ ජීවිත නම් එතරම් සුන්දර නැති බව ප‍්‍රදේශවාසීන්ගේ කතාවෙන් පැහැදිලි විය. එහෙත් පවතින වසංගත තත්ත්වය තුළ වලේබොඩ මිනිසුන්ට පමණක් නොව මුළු රටේම ජනතාව ජීවන ගැටලූවලින් මිරිකී සිටින බව අප‍්‍රසිද්ධ කතාවක් නොවේ.

‘‘තේවලින් හොඳ ආදායමක් ලැබුණු කාලේ අපේ ගම්වල මිනිස්සු ගෙවල් අලූත් කළා. වාහන ගත්තා. දැන් මිනිස්සු කඬේට යන්න තියෙන බයිසිකලයත් විකුණනවා. ඉන්න හිටින්න ගෙයක් තියෙන්න ඕන නිසා තවමත් ගේ දොර ආරක්‍ෂා කරගෙන ඉන්නවා. සමහර මිනිස්සු ගෙවල් හදන්න අරගෙන නතර වෙලා තියෙන හැටි ගම පුරා ඇවිදිනකොට බලාගන්න පුළුවන් මහත්තයෝ… වලේබොඩ ග‍්‍රාම සේවා වසමේ පුංචිම ගම්මානයේ කෝල්කැටියේ විතරක් තේ අක්කර හාරසීයක් විතර තියෙනවා. මේ වසංගතය හැදෙන්න ඉස්සෙල්ලා වලේබොඩ ග‍්‍රාම සේවා කොට්ඨාසයෙන් පමණක් දවසකට දළු කිලෝ පනස්දහසකට වැඩි ප‍්‍රමාණයක් පැටෙව්වා. ලොරි දහඅටකින් තේ දළු ඇද්දා. මගේ තේ ඉඩම්වලින් දළු කිලෝ පන්දහසක් විතර කැඩුණා. දැන් දළු කිලෝ අටසීය කැඩෙන්නෙත් නැති තරම්. දවසින්, දවස දළු ආදායම අඩු වෙනවා. ඒත් මේ වසංගතය අද, ඊයේ හැදුණු එකක් නෙමෙයි අවුරුදු පහකට වැඩියි. දැනගත්ත හැටියේ අපි තේ වතු පරීක්‍ෂණ නිලධාරීන් දැනුවත් කළා. ඒ කාලේ ඉඳලා තේ පර්යේෂණ නිලධාරීන් මේ රෝගය ගැන පරීක්‍ෂණ කරනවා. ඒත් තවම කිසිම බෙහෙතක් හඳුන්වා දුන්නෙ නෑ. ‘කොරේ පිටට මාරෙ වගේ’ දැන් තේ වතුවලට වේලාවට පොහොර ටික ලැබෙන්නෙත් නෑ. අවශ්‍ය පෝෂණ කොටස් නැතුව ගිහාම තවත් ගස් දුර්වල වෙනවා. එතකොට වටපණු වසංගතය ව්‍යාප්තිය වැඩි වෙනවා. ලෙඩ හැදුණු තේ වතුවලට නම් සමන් දෙවි හාමුදුරුවන්ගේම පිහිට තමයි…’’ සරත් ප‍්‍රමුඛ වලේබොඩ තේ වතු හිමියන් කතාව නතර කළා නොවේ. නායකත්වයේ හඬට ඉස්මතුවීමට ඔවුහු ඉඩ ලබා දුන්හ. ඒ මංතුංකන්ද කුඩා තේවතු සංවර්ධන සමිතියේ සභාපති සුමිත් සේපාල අලහකෝන් මහතාට ගැටලූව ගැන විස්තර කිරීමට ඉඩ ලබාදීමය.

‘‘මගෙත් තේවත්තක් සම්පූර්ණයෙන්ම මේ රෝගයට ගොදුරු වෙලා තියෙනවා. මේක භයානක රෝගයක්. මැරුණු තේ ගස් ගලවලා බලනකොට කිරිමුල් පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා. තේ පර්යේෂණ ආයතනයෙන් ඇවිත් පස් සාම්පල් කිහිපයක්, තේ ගස්වල මූල පද්ධති අරගෙන ගියා. රත්නපුරේ තේ පර්යේෂණ ආයතනයේ නිලධාරීන් දෙවැනි වතාවටත් ඇවිත් පස් සාම්පල් අරගෙන ගියා. ඒත් පරීක්‍ෂණ වාර්තාව නම් තවම ලැබුණේ නෑ. අපිට තියෙන අද්දැකීම්වලට අනුව නම් මේ රෝගය වැලඳෙන්නෙ 26 තේ ප‍්‍රභේදයට. බලංගොඩ ප‍්‍රදේශයේ වැඩියෙන්ම වගා කරලා තියෙන්නේ 26 තේ ප‍්‍රභේදය. ඒ තේ ප‍්‍රභේදයෙන් ලැබෙන අස්වැන්න වැඩියි, දළු බරයි. ඒත් තේ ගසේ ප‍්‍රතිශක්තීකරණය අඩුයි. මේ රෝගය වැලඳෙන්නේ තේ ගස්වල ප‍්‍රතිශක්තීකරණය අඩුවීමත් එක්ක. ඒ වගේම මේ රෝගය වැලඳිලා තියෙන්නෙ අවුරුදු 20 ට වඩා වැඩි පරණ තේ වතුවලට. වැඩියෙන්ම රෝගය වැලඳිලා තියෙන්නෙත් ශ‍්‍රී පාද අඩවියේ මායිමේම තියෙන තේ වගා බිම්වලට. ඒ වගේම ‘25 තේ ප‍්‍රභේදය’ වගා කරලා තියෙන වතුවලට මේ රෝගය වැලඳිලා නෑ…’’ වලේබොඩ තේ වතු හිමියන්ගේ සමිතිවල නිලධාරීන් සහ වතු හිමියන් තේ වගාවට වැලඳෙන වටපණු රෝගයේ බරපතලකම එසේ පැහැදිලි කළහ.

තේ වගාවට බලපා ඇති මේ වසංගත තත්ත්වය බලංගොඩ, වලේබොඩට පමණක් සීමා වූවක් නොවේ. සමස්ත බලංගොඩ තේ වතුවලටම ශීඝ‍්‍රයෙන් පැතිරෙමින් තිබෙන බව වාර්තා වේ. එහෙයින් තේ වගාවට පැතිරෙමින් තිබෙන බරපතල වසංගත තත්ත්වය ගැන කරුණු කාරණා විමසා බැලීමට තේ පරීක්‍ෂක ව්‍යාප්ති නිලධාරිවරයකු මෙන්ම රත්නපුර තේ පර්යේෂණ ආයතනයේ නිලධාරියකු ද දුරකථනය ඔස්සේ අපි සම්බන්ධ කර ගත්තෙමු. පැතිර යන වසංගතය සම්බන්ධයෙන් ඔවුහු අපට කරුණු පැහැදිලි කළහ. එහෙත් නම සඳහන් කිරීමෙන් වැළකී සිටින ලෙසට කාරුණික ඉල්ලීමක් කළහ. එහෙයින් ඔවුන්ගේ ඉල්ලීමට සවන්දී නම් සඳහන් නොකර අදහස් දැක්වීම පමණක් අපි මෙසේ සටහන් කරන්නෙමු.

‘‘මේ රෝගය හැදෙන්නෙ පසේ ඉන්න වටපණුවකුගෙන්. ව්‍යාප්තිය සිදුවෙන්නෙ ගසාගෙන යන වතුරෙන් සහ පස්වලින්. ඇසට නොපෙනෙන මේ පණුවන් තේ ගහේ මුල්වලට ඇතුළු වෙනවා. එතකොට ශාකයට අවශ්‍ය පෝෂණ කොටස් උරාගැනීමට අසීරු වෙනවා. අවශ්‍ය පෝෂණය නැති වෙනකොට ශාකය දුර්වල වෙලා මල් හටගෙන, ගෙඩි හැදිලා ගහ මැරිලා යනවා…’’ තේ වගාව විනාශ කරන වසංගතයේ භයානක තතු එසේ ඇසෙන විට අපි, ඔවුන්ට මෙසේ පැනයක් යොමු කළෙමු.

‘මේ පණු රෝගය පාලනය කිරීමට ප‍්‍රතිකර්මයක් සොයාගෙන නැද්ද?

”තේ පැළ සිටුවීමට පෙර භූමිය සකස් කරනකොට යොදන බෙහෙත් වර්ග තියෙනවා. වටපණු රෝගයටම බෙහෙතක් තිබුණා. පහුගිය කාලේ ඒ රසායනිකය බෙහෙත් ගෙන්වීම නතර කළා. වටපණු රෝගයටම කියලා අලූත් බෙහෙතක් සොයාගන්න තව ටික කාලයක් ගත වෙනවා. ඒ වගේම වගා රෝගයකට බෙහෙතක් සොයාගැනීම ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. විශේෂයෙන්ම තේ වගාවට රසායනික භාවිතා කරනකොට අතිශය පරිස්සම් වෙන්න ඕනෑ. රසායනික වැඩි වුණොත් තේවල තියෙන ගුණාත්මක තත්ත්වය අඩු වෙනවා. අපේ තේවල තියෙන ගුණාත්මක තත්ත්වය නිසා තමයි ලෝක වෙළෙඳපොළේ ඉහළ ඉල්ලූමක් පවතින්නේ. එම ගුණාත්මක තත්ත්වය අපි ආරක්‍ෂා කරගන්න ඕනෑ…’’

ව්‍යාප්ත වෙමින් තිබෙන රෝගයට ස්ථිර ප‍්‍රතිකර්මයක් සොයාගෙන නොමැති පසුබිමක තේ පරීක්‍ෂකවරයකු වශයෙන් වසංගතය පාලනය කිරීමට තේ වගාකරුවන්ට ලබාදිය හැකි උපදෙස් මොනවද?

‘‘ලෙඩ හැදුණු තේවත්තකින් තවත් තේ වගාවකට ගලා යන වතුරෙන් ඉතා ඉක්මනට මේ රෝගය පැතිරෙනවා. ඒ නිසා තේවතුවලින් බැස යන ජලය හොඳින් කළමනාකරණය කරගන්න ඕනෑ. ඒ වගේම මේ රෝගය ගැන අවබෝධයෙන් ඊට ඔරොත්තු දෙන තේ පැළ සිටුවන්න ඕනෑ. විශේෂයෙන්ම තේවතුවල නඩත්තු කටයුතු නිවැරැදිව සිද්ධ වෙන්න ඕනෑ. වගාවන්වලට ලෙඩ රෝග බෝවීමට ප‍්‍රධාන හේතුව නිසි නඩත්තුවක් නැතිකම. ඒ වගේම බලංගොඩ වැඩියෙන්ම වගා කරලා තියෙන්නෙ 26 තේ ප‍්‍රභේදය. ඒ ප‍්‍රභේදයට තමයි මේ රෝගය වැඩියෙන්ම හැදෙන්නෙ. ඒ නිසා නැවත වගා කරනකොට එම තේ ප‍්‍රභේදය වගා නොකර සිටීමටත් වගාකරුවන් වගබලා ගන්න ඕනෑ. ඒ වගේම මේ රෝගය හැදුණු තේ ඉඩම්වලට අළු හුණු යොදන්න කියලා අපි උපදෙස් දීලා තියෙනවා. නිසියාකාරව අළුහුණු යෙදීම තුළින් මේ රෝගය බොහෝ දුරට පාලනය කරගන්න පුළුවන්. රෝගය පාලනය කිරීම අවශ්‍ය උපදෙස් ලබාදීමට නිරන්තයෙන්ම කුඩා තේ වතු හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහන් කරනවා. බලංගොඩ ප‍්‍රදේශයේ මේ රෝගයේ ව්‍යාප්තිය වැඩියි. ඒ නිසා තම, තමන්ගේ තේ ඉඩම් වසංගතයෙන් ආරක්‍ෂා කරගැනීමට තේවතු හිමියන් ද උපරිමයෙන් කැපවෙන්න ඕනෑ. තේ වගාව ආරක්‍ෂා කරගන්න අපිත් උපරිම උත්සාහය ගන්නවා…’’ තේ පරීක්‍ෂක නිලධාරීවරුන්ගේ අදහස් දැක්වීමෙන් අනතුරුව බලංගොඩ බහුතරයක් වූ ප‍්‍රදේශවාසීන්ගේ ප‍්‍රධාන ආදායම් මාර්ගය බවට පත්ව තිබෙන තේ කර්මාන්තයට බලපා ඇති වටපණු රෝගය පාලනය කිරීමට දේශපාලන වශයෙන් ගෙන ඇති ක‍්‍රියාදාමයන් ගැන විමසා බැලීමට රත්නපුර දිස්ත‍්‍රික් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණී වලේබොඩ මහතාව දුරකථනය ඔස්සේ අපි සම්බන්ධ කරගත්තෙමු. මේ පැතිර යන තේ වසංගතය සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරයා කියන කතාවය.

‘‘මේ ගැටලූව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මම කරුණු පැහැදිලි කිරීමක් කළා. ‘ගම සමඟ පිළිසඳර වැඩසටහනේදී ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී දීර්ඝව කරුණු පැහැදිලි කිරීමක් කළා. දරිද්‍රතාවය පිටුදැකීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමේදීත් තොරතුරු සහිතව මේ ගැටලූව ගැන කරුණු ඉදිරිපත් කළා. මේ ගැටලූවේදී තේ වගාකරුවන් කියන්නේ එකක්. තේ පරීක්‍ෂක නිලධාරීන් කියන්නේ තව එකක්. තේ පරීක්‍ෂක නිලධාරීන් කියනවා මාන හිටවලා අවුරුදු තුනක් තියලා තේ පැළ දැම්මා නම් මේ රෝගය හැදෙන්නෙ නෑ කියලා. තේ වගාකරුවන් කියනවා අවුරුදු තුන නෙමෙයි, අවුරුදු පහක් මාන හිටවලා තියලා තේ පැළ දැම්මත් මේ රෝගය හැදෙනවා කියලා. ඒ වගේම තේ පරීක්‍ෂක නිලධාරීන් කියන්නේ මේ රෝගය හැදුණු තේ ඉඩම් මුඩු වෙන්න හැරලා, මාන හිටවලා අවුරුදු තුනක් තියලා නැවත තේ පැළ හිටවන්න කියලා. තේ වගාකරුවෝ මාන හිටවලා අවුරුදු තුනක් බලාගෙන ඉන්නෙ නැතිව අවුරුදු එකහමාරක්, දෙකක් යනකොට තේ පැළ දානවා. ඒ තුළ පොළොව යථාවත් නොවෙන්න ඉඩ තියෙනවා. ඒ හැර මේ රෝගය සම්බන්ධයෙන් විද්‍යාත්මක සිදු කර ඇති පරීක්‍ෂණවල තොරතුරු මේ මොහොතේ මා ළඟ නෑ…’’ මන්ත‍්‍රීවරයාගේ අදහස් දැක්වීම ද අවසානය.

බලංගොඩ තේ වගාකරුවන් පවසන ආකාරයට තේ වගාවට වටපණු රෝගය වැලඳෙන්න පටන්ගෙන දැනට අවුරුදු පහකට වැඩිය. මේ වන විට මෙරට ප‍්‍රධාන ආර්ථික බෝගය සහ සැලකිය යුතු අපනයන ආදායමක් ලබාදෙන තේ කර්මාන්තයේ උන්නතිය උදෙසා කටයුතු කිරීමට ආයතන රාශියක් ඇති බව සැබෑය. ජනතාවගේ බදු මුදලින් යැපෙන නිලධාරීන් සහ සේවකයන් විශාල සංඛ්‍යාවක් එම ආයතනවල සේවය කරන බව ද සැබෑය. එහෙත් වසර පහක් තිස්සේ පැතිරෙමින් තිබෙන වටපණු වසංගතයට ප‍්‍රතිකර්මයක් සොයාගැනීමට තවමත් අසමත්වීම මෙරට තේ කර්මාන්තයේ අභාග්‍යයකි. වටපණු වසංගතයෙන් තේ වගාව ආරක්‍ෂා කරගැනීමට අදාළ නිලධාරීහු දරනවා කියන වෙහෙස මහන්සිය අගය කළ යුතුය. එහෙත් තේ වගාවට යොදන පොහොර නිසියාකාරව නොලැබෙන පසුබිමක මෙරට තේ කර්මාන්තය දිනෙන්, දින අඳුරු අගාධයකට තල්ලූවෙමින් තිබෙන බව වටපණු රෝගයෙන් බැටකන බලංගොඩින් පමණක් නොව තේ වගාවට ප‍්‍රචලිත මෙරට සෑම ප‍්‍රදේශයකින්ම ඇසෙන සත්‍ය කතාවකි.

මෙරට ප‍්‍රධාන ආර්ථික බෝගයක් වූ රබර් වගාවත් කටුපොල් වගාවට බිලි වූ පසුබිමක රටට විදේශ විනිමය ලබාදෙන ‘සිලෝන් ටී’ කර්මාන්තය ආරක්‍ෂා කරගැනීමට බලධාරීන් පූර්ණ අවධානය යොමු කළ යුතුය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment