මුලින් තියන්නේ මහ මැතිවරණයද ජනාධිපතිවරණයද කියා පාලකයන් දෙගිඩියාවක සිරවෙලා

138

ජාජබ නායක අනුර කුමාර දිසානායක කොළඹ කාන්තා සමුළුවේදී කියයි

තම පක්ෂයේ ආණ්ඩුවක් යටතේ පළමු කොටම පුරවැසියන්ට සාධාරණ මිලකට පෝෂ්‍යදායී ආහාර වේලක් සහ වස-විෂවලින් තොර ආහාර වේලක් ලබාදීම සහතික කරනවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

හෝමාගමදී පසුගියදා පැවැති ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් වැඩිදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය.

මෑත ඉතිහාසයේ කඩඉමක් පැමිණ තිබෙන නිසා පාලක කණ්ඩායම මහ මැතිවරණයක් පවත්වනවාද, ජනාධිපතිවරණයක් පවත්වනවාද යන්න ගැන දෙගිඩියාවෙන් ඉන්නේ. රනිල් වික්‍රමසිංහ කල්පනා කරන්නේ ජනාධිපතිවරණයක් පවත්වන්න. මහ මැතිවරණයකට එයාට අපේක්‍ෂකයෝ හොයා ගන්න බැහැ. රාජපක්‍ෂලා හිතන්නේ රාජපක්‍ෂලාට ජනාධිපති මැතිවරණයට අපේක්‍ෂකයෙක් පවුලෙන් හොයා ගන්න බැරි නිසා මහ මැතිවරණයක් තිබ්බොත් හොඳයි කියලා. සජබෙ ගම්වල ඉතිරි වෙලා තිබෙන ඡන්ද ටික රැකගන්න කල්පනා කරනවා.

අප මුහුණ දී සිටින්නේ හුදු ආණ්ඩු මාරු කිරීමකට නොවෙයි. ලංකා ඉතිහාසයේ ප්‍රබලතම දේශපාලන, ආර්ථික, සමාජ පරිවර්තනයක් සිදු කරන්න සූදානම් වෙනවා. මේ නිසා මෙතෙක් රට පාලනය කළ කණ්ඩායම් අවසානය දක්වා ඔවුන්ගේ බලය රැකගන්න උත්සාහ කරනවා. තමන්ගේ දේශපාලන බලය ආරක්‍ෂා කර ගන්නත්, ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර තවත් මාධ්‍යවේදීන්ට පහර දුන්නා. තමන්ගේ ස්වාමියා අහිමි වුණු දුක දරාගෙන ඉන්න සන්ධ්‍යා එක්නැලිගොඩලාටත් සාධාරණය ඉටු විය යුතු නැද්ද? පෑන හසුරුවමින්, තමන්ගේ මතය හැසිරවීම නිසා ඔවුන් කිසිවකුත් ඝාතනය විය යුතු නැහැ. සන්ඩේ ලීඩර් පුවත් පතේ පිටු ගණනක් ලසන්ත වික්‍රමතුංග පිරවූයේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන්. අද රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවේ වාඩි වී ඉන්නවා. ලසන්ත වික්‍රමතුංග ගැන පරීක්‍ෂණ නැහැ. මේ රටේ ජනතාවගේ මූල්‍ය අපරාධයන් සිදු කිරීමේ කඩඉමක් මහ බැංකු කොල්ලයෙන් සිදු කළා. ඔවුන් කළ මූල්‍ය අපරාධ ගැන සොයා දඬුවම් දෙන බව කී පිරිස් අද රනිල් වික්‍රමසිංහ වටා වාගේම සමගි ජන බලවේගයට එකතු වී ඉන්නවා. ඔවුන් දඬුවම් ලැබිය යුතු මේ අපරාධවලින් ආරක්‍ෂා වීමට විවිධ උපක්‍රම යොදනවා. පරම්පරාව කේන්ද්‍රගත කරගෙන පැමිණි මේ වංචාකාරී, දූෂිත පාලනය පොදු ජනයා අතට මාරු වීමේ කඩඉමට පැමිණ තිබෙනවා.

දේශපාලනය සඳහා පිවිසීමට අපේක්‍ෂා කරන තරුණ තරුණියන් වෙනුවෙන් නව දොරටු අපේ පාලනයක් යටතේ විවෘත කරනවා. ඔවුන්ගේ පෙළපතින් පැමිණි දේශපාලනය, සාමාන්‍ය ජනතාවගේ දූ-පුතුන් වෙත මාරු වීම වැළැක්වීම සඳහා කළ හැකි සියලු‍ කුමන්ත්‍රණ සිදු කරනවා. මැද කොළඹ පිට්ටනියක් පුරවලා සහල් ගෙනැත් තිබෙනවා. ලංකා ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රමාණය මේ මැතිවරණයේදී ඔවුන් පොම්ප කරනවා. නමුත්, 2022 මැයි මාසේ 09දාට පෙර සිටි ජනතාව රැවටිය හැකි වුවත්, දැන් ඉන්නේ අත්දැකීම්වලින් පාඩම් ඉගෙනගෙන තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක් වාගේම හැටනවලක්‍ෂයක් ඡන්දවලින් පත් වුණු ජනාධිපතිවරයෙක් පලවාහැරිය ජනතාවක්. ඉරාකයේ සදාම් හුසේන් පලවාහරින්න ඇමෙරිකානු හමුදාව ගොඩබැස්සා. ලිබියාවෙත් ඒ වාගෙයි. නමුත්, ගල් කැටයක්වත් අතට නොගත් ජනතාව ඡන්දය ලක්‍ෂ 69ක් ලබා ගත් පාලකයාව පලවාහැරියා. ඒ නිසා ඔවුන් සෙල්ලම් කරන්න හදන්නේ අපි දේශපාලනය කරන අලු‍ත් ජනතාවත් එක්කයි. රනිල් වික්‍රමසිංහලා, මහින්ද රාජපක්‍ෂලා, සජිත් ප්‍රේමදාසලා දේශපාලනය කරන්න ලෑස්ති වෙන්නේ පැරැණි ජනතාවත් එක්ක. අපි දේශපාලනය කරන්නේ 2022 මැයි 09දායින් පසු වෙනස් වූ නව ජනතාවත් එක්ක.

මෙතැනට පැමිණ සිටින කිසිවකුත් තමන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් පැමිණි අය නොවෙයි. අප අතර තිබෙන්නේ මේ රටත්, මේ රටේ ජනතාවටත් මෙයට වඩා යහපත් ජීවිතයක් ගොඩනැඟීම පිළිබඳ පොදු අරමුණ පමණයි. ඒ අරමුණ වෙන කිසිවකුටවත් කොපි කරන්න බැහැ. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන වටුවන් දඩයම් කරන්න වැද්දා හෙළුෑ දැලෙන් සාමූහිකව ගැලවී යාමේ නායකත්වය බෝධිසත්ව වටුවා විසින් ලබා දුන්නා. ගැහැනු අපි එකමිටට තේමාව වටා එක්වී සිටින්නේ මේ රට පරිවර්තනය කිරීම සඳහායි. අපි ඒ වෙනුවෙන් සැලසුම් සකස් කර වේදිකාවේ කතා කළත්, ඒ ක්‍රියාමාර්ගවල වැඩිම බරක් දරන්නේ, ක්‍රියාකාරී වන්නේ වේදිකාව ඉදිරිපිට සිටින ඔබ සියලු‍ දෙනායි. මෙය ජයග්‍රහණය කරා මෙහෙයවීමට ශක්තිය, ධෛර්යය ඔබ සියලු‍ දෙනාටම ප්‍රාර්ථනා කරනවා.

මැතිවරණ ජයග්‍රහණය කියන්නේ අවසානය නොවෙයි, රට ගොඩනැඟීමේ ආරම්භයයි. එහි පළමු කාර්යය ජනතාවගේ ආහාර වේල ලබාදීම සහතික කිරීමයි. අපේ රටේ මහා පරිමාණ හාල්මෝල් හිමියන් කිහිප දෙනකුගේ ඒකාධිකාරී වෙළෙඳපොළ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ බිඳ දමා සාධාරණ මිලකට පාරිභෝගිකයාට සහල් ලබාදීමටත් ගොවියාට සාධාරණ මිලක් ලබා දීමටත් යාන්ත්‍රණයක් සකස් කරනවා. එළවළු, පලතුරු සම්බන්ධ වෙළෙඳපොළක් ඒ වාගේම නැවත සකස් කිරීමට පස්අස්වනු නාස්තිය අවම කරනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ පළමු කොටම පුරවැසියන්ට සාධාරණ මිලකට පෝෂ්‍යදායී ආහාර වේලක් සහතික කරනවා. වස-විෂවලින් තොර ආහාර වේලක් ලබා දීමත් සහතික කරනවා. දෙවනුව පුරවැසියන්ගේ සෞඛ්‍යය ආරක්‍ෂා කිරීමේ කෙටිකාලීන ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. පරීක්‍ෂණ පහසුකම්, ඖෂධ ප්‍රමාණවත් තරම් ලබාදීම මාස දෙක තුනක් තුළ තහවුරු කරනවා. දරුවන්ගේ අධ්‍යාපනය තුන්වැනි හදිසි අවශ්‍යතාව ලෙස ප්‍රමුඛත්වය ලබා දෙනවා. තමන් විඳින දුක තමන්ගේ දරුවාට ලබා නොදීමේ චේතනාවෙන් අධ්‍යාපනය වෙනුවෙන් විශාල කැප කිරීමක් දෙමාපියන් කරනවා. මේ වන විට මුළු පාසල් පද්ධතියම කඩාවැටී තිබෙන තත්වය වෙනස් කර ඒ ගැන නැවත විශ්වාසයක් ඇති කරනවා. අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් කරමින්, සියලු‍ම වෘත්තීන්වලට ගැළපෙන අධ්‍යාපනයක් ලබාදීමේ දිගුකාලීන සැලැසුම් ක්‍රියාත්මක කරනවා. ඒ වෙනුවෙන් වූ සමාජ ආකල්ප පරිවර්තනයකුත් අපි ඇති කරනවා. අද

ගෙදරට බරක් වී තිබෙන දරුවාගේ අධ්‍යාපනය එයින් මුදාගෙන රජයේ වගකීමක් බවට පත් කර ගන්නවා. අපේ රටට ඕනෑ දැනුමෙන්, නිපුණතාවෙන් යුක්ත පුරවැසියන් බිහි කරන අධ්‍යාපනයක්. ලෝකයත් එක්ක තරග කළ හැකි දරුවන් නිර්මාණය කරන අධ්‍යාපනයක් අපට ඕනෑ. ඔවුන්ට ඕනෑ කරන්නේ ඡන්ද කාලයට ෆෝම් කොළ පුරවන, අරක්කු වීදුරුවට යට වෙන, නාමල්ලාගේ පිටිපස්සෙන් යන දරුවන්. ලෝකයේ නව දැනුම උකහාගෙන ඉදිරියට යන සමාජ විනයක් සහිත දරුවන් බිහි කරන අධ්‍යාපනයක් අපි නිර්මාණය කරනවා. ඒ වාගේම විනයක් සහිත නීතිගරුක සමාජයක් බිහි කිරීමට මෙතෙක් පැමිණි මාවතෙන් අනාගතයේ රට ගොඩනඟන පරිවර්තනීය වෙනසක් කළ හැකි ආණ්ඩුවක් බලයට පත් කරගත යුතුයි. එයින් පසුව කාන්තාවන්ටත්, ඇකයේ නැළවෙන දරුවන්ටත් සුරක්‍ෂිතභාවය තහවුරු වන රටක් ගොඩනැඟීමේ පරිවර්තනය වෙනුවෙන් ජයග්‍රහණය කරා ධෛර්යයෙන් ගමන් කරන ලෙස ආරාධනා කරනවා.
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment