මුවදෙව්දාවත මහා කාව්‍යයක්ද යන්න පිළිබඳ අධ්‍යයනයක්

4658
badadaathi

සහකාර කථිකාචාර්ය
මනෝජා නවෝදනී ඒකනායක
සිංහල අධ්‍යයන අංශය
පේරාදෙණි විශ්වවිද්‍යාලය
පේරාදෙණිය
[email protected]


 
 

හැඳින්වීම
 
බටහිර සාහිත්‍ය විචාරවාද මෙරටට පැමිණීමට පෙර සිංහලයාගේ කවීත්වය ස්වාධීන මඟක  ගමන් කළ අතර එය පොළොන්නරු සාහිත්‍ය යුගය දක්වාම පැවතියේය. එහෙත් සියබස්ලකර නමැති කාව්‍ය උපදේශ ග‍්‍රන්ථය පිවිසීමෙන් පසුව එහි ඇති සංස්කෘත අලංකාර සහිත මහා කාව්‍ය ආකෘතිය නිසා සිංහල කවියේ ස්වාධීනත්වයට බලපෑම් කළ හැකි විය. ඒ අනුව සිංහල සාහිත්‍යය මූලාරම්භයේ සිටම බෞද්ධාගමට නැඹුරුව හැඩ ගැසුණු ආකාරයක් දක්නට ලැබෙයි. සිංහල කවීහු සියබස්ලකරේ එන ‘පෙදෙන් බුදු සිරිතැ- බසින්වත් සිරිත් ඇ’ යන සම්මතයට අනුගතව බෝසත් චරිත බුද්ධ චරිතයේම ලා සලකා එය වස්තු විෂය කරගනිමින් ජාතක කථා ඇසුරෙන් අගනා බෞද්ධ සාහිත්‍ය කෘති සම්පාදනය කළහ. මුවදෙව්දාවත එලෙස බිහි වූ කෘතියක් වන අතර සියබස්ලකරෙහි අනුදත් මහා කාව්‍ය ලක්ෂණ අඩු වැඩි වශයෙන් අන්තර්ගත කරන්නට එවක සිංහල කවීහූගේ අභිප‍්‍රාය වූහ. ඒ අනුව සිංහල පද්‍ය සාහිත්‍යයේ දැනට දැකගත හැකි පැරණිම කාව්‍ය ග‍්‍රන්ථය සේ සලකන මුවදෙව්දාවත ජාතක කතා පොතේ එන මඛාදේව ජාතකය ආශ‍්‍රය කරගෙන රචනා වූ අතර එහි මඛාදේව රජතුමා නරකෙසක් දැක සසර කලකිරී තපසට යෑමේ සිද්ධියක් වටා ගොඩනැෙ`ගයි. ඒ අනුව පොළොන්නරු යුගයේ මෙලෙස සම්පාදය වූ ‘මුවදෙව්දාවත කාව්‍ය ග‍්‍රන්ථය’ හඳුන්වා එය මහාකාව්‍යයක් වශයෙන් සාර්ථක සහ අසාර්ථක ලක්ෂණ පෙන්නුම් කළේද යන්න විමසා බැලීමට අපේක්ෂිතය.
 
 ) මහාකාව්‍ය ලක්ෂණ හඳුනා ගැනීම
 
 මහාකාව්‍ය යනු කුමන අන්දමේ පද්‍යය විශේෂයක් දැයි පළමු කොටම විමසා බැලිය යුතුය. එනම්, එහි සරල අර්ථය ගතහොත් විශාල, දීර්ඝ නැතිනම් ලොකු කාව්‍යය යන්නයි. එහිදී කිසියම් අංග ලක්ෂණ සමූහයකින් සමන්විත කාව්‍යයක් සංස්කෘත සාහිත්‍යයෙහි මහාකාව්‍ය යන නාමයෙන් හඳුන්වනු ලැබේ. එහෙත් යම් කාව්‍යයක් අවශ්‍ය අංග ලක්ෂණවලින් තොරවන්නේ නම් එවැන්නක් ‘නියම’ මහා කාව්‍යයක් ලෙස නොසැලකේ. එමෙන්ම සංස්කෘත මහාකාව්‍ය අතර විචාරකයන්ගේ අත්‍යයන්ත ගෞරවයට පාත‍්‍ර වී ඇති කෘති අතර කාලිදාසයන්ගේ රඝුවංශය, කුමාරදාසයන්ගේ ජානකීහරණය, මාඝයන්ගේ ශිශුපාලවධය, භාරවීන්ගේ කිරාතාර්ජුනිය නිදර්ශන ලෙස දැක්විය හැකිය. මෙම කාව්‍යවලට මහාකාව්‍ය යන නාමය ව්‍යවහාර කරනුයේ ශ්‍රේෂ්ඨ කාව්‍ය යන අර්ථයෙන් පමණක් නොව මේවායෙහි කිසියම් සාධාරණ අංග ලක්ෂණ සමූහයක් අන්තර්ගත වී තිබීම නිසාද වේ. ඒ අනුව මහා කාව්‍යයන්හි ප‍්‍රාදුර්භූත වන සාධාරණ ලක්ෂණ ප‍්‍රථම වරට හකුළා දක්වන ලද්දේ අට වන සියවසෙහි පමණ විසූ ශ‍්‍රීමත් දණ්ඞීන් නමැති ආචාර්යවරයා විසිනි. ඒ ඔහුගේ කාව්‍යාදර්ශය නමැති කෘතියේය. දණ්ඞීන් එම ලක්ෂණ සංග‍්‍රහ කර ඇත්තේ එවකට පැවැති කාලිදාස ආදී ශ්‍රේෂ්ඨ කවීන්ගේ කෘති පරීක්ෂා කිරීමෙනි. එහි මහාකාව්‍යයකට ඇතුළත් විය යුතු අංග ලක්ෂණ පිළිබඳව ඉතා ගැඹුරින් සාකච්ඡුා කර ඇත. දණ්ඞීන්ගේ කාව්‍යාදර්ශයේ ඇතුළත් මහාකාව්‍ය ආකෘතිය මෙන්ම තේමාව සෙසු කාව්‍යයන්ට වඩා වෙනස් වූවක් වන අතර ලෞකික පාර්ශ්වය සහ වැඩි වශයෙන් බැඳී පැවතුණි. ඒ නිසාම භාරතයේ ප‍්‍රභූ ජීවිත වර්ණනා කිරීම සඳහා මෙම කාව්‍ය ආකෘතිය ඉතා හොඳින් ගැළපුණි.
 
 ලක්දිව දහවන සියවසේ පමණ රජකම් කළ අබා සලමෙවන් රජු දණ්ඞීන්ගේ මෙම ‘කාව්‍යාදර්ශය’ සිංහලයට අනුවාදනය කර ඇත. ‘සියලබස්ලකර’ නමින් හැඳින්වෙන්නේ එම අනුවාදන ග‍්‍රන්ථයයි. එහිදී කාව්‍යාදර්ශයේ කියවෙන සියලූම විස්තර ඇතුළත් නොකරන කතුවරයා මෙරට සමාජ සංස්කෘතියට
 
 ගැළපෙන පරිදි එය වෙනස් කර ඉදිරිපත් කරයි. ඒ අනුව කාව්‍යාදර්ශයේ නොතිබුණු තේමාව පිළිබඳ සියබස්ලකරට ඇතුළත් වේ. එය පහත පරිදි දැක්විය හැකිය.
 
 ”පෙදෙන් බුදු සිරිතැ- බසින් වත් සිරිත් ඈ
 
 පද යුතු බසින් නළු ඈ – අනතුරු ලකුණු දක්වම්’’
 
 එහි කිසියම් කෙනෙක් කාව්‍යකරණයට පෙළඹෙන්නේ නම් බුදු සිරිත වස්තු විෂය කරගත යුතුය යන නියමය පරිදි කටයුතු කළ යුතු බව දක්වා ඇත. ඒ අනුව සියබස්ලකරෙහි විස්තර වන මහා කාව්‍ය ලක්ෂණ පහත පරිදි දැක්විය හැකිය.
 
 ”සර්ග සහිත වූයේ මහා කාව්‍ය නම් වේ. ඒ මහා කාව්‍යයෙහි ලක්ෂණ කිමෙක්ද ගතහොත්, වස්තු නිර්දේශය හෝ ආශිර්වාදය හෝ නමස්කාරය හෝ ප‍්‍රථම වේ. ඒ කාව්‍ය තෙම හේ මෙසේ වීය යන ප‍්‍රවෘත්තියක් හෝ වෙයි. හෙවත් ඉතිහාස කථාවෙක් හෝ වෙයි. ඒ පුරාණ කථාවෙන් අන්‍ය වූ ප‍්‍රවෘත්තියක් හෝ වෙයි. චතුර්වර්ගඵල සම්බන්ධ වූ උදාර කථා නායකයකුගෙන් යුක්ත වෙයි. නගරය, සාගරය, පර්වත, සෘතුව, චන්ද්‍රෝදය, සූර්යෝදය, ආදී වර්ණනාවන්ගෙන්, මහත් වූ උද්‍යාන ක‍්‍රීඩා, ජල ක‍්‍රීඩා, මධුපාන, මනෝරථ, ක‍්‍රීඩා වර්ණනා ආදියෙන්ද විප‍්‍රලම්භය, විවාහය, කුමාරෝත්පත්තිය, වර්ධනය මන්ත‍්‍ර, දූතයන්ගේ ගමන්, යුද්ධ සහ උදාර වූ කථානායකයාගේ වර්ණනා ආදියෙන්ද අලංකෘත වූ නිරන්තරයෙන් රසභාවයෙන් යුක්ත වූ අවිස්තීර්ණ වූ නොමඳ වූ මනා සන්ධිවලින් යුක්ත වූ ශ‍්‍රවනීය සර්ගයෙන් යුක්ත වූයේ විචිත‍්‍ර අලංකාර ආදියෙන් යුක්ත වූයේ දීර්ඝ කාලයක් පැවත ජය  ගන්නේය.’’
 
 මෙම විස්තරය සලකා බලන කල මහා කාව්‍ය යනු නොයෙක් වර්ණනාවන්ගේ එකතුවක් යැයි කිසිවකුට හැ`ගී යෑමට ඉඩ ඇත. එහෙත් ඉහත කී වර්ණනාවන් හා අනෙකුත් අංග අතරින් පතර ඇමුණූ පමණින් මහා කාව්‍යයක් නිර්මාණය වන්නේ නැත. ඒ අනුව මහා කාව්‍යයෙහි ඇතුළත් කරනු ලබන අංගයන් අතර සන්ධි මනා කොට ගැළපිය යුතු යැයි දණ්ඞීන් දක්වා ඇත.
 
 ) මුවදෙව්දාවත කාව්‍ය ග‍්‍රන්ථය  පිළිබඳ හැඳින්වීම
 
 සිංහල භාෂාවෙන් ලියූ මෙකළ දක්නට ලැබෙන පැරණි කාව්‍ය ග‍්‍රන්ථ ත‍්‍රිත්වයෙන් එකකි, මුවදෙව්දාවත. මෙය රචනා කළ කතුවරයා හෝ ලියැවුණු කාලය පිළිබඳව කිසිදු තොරතුරක් දක්වා නොමැත. එහෙත් ඒ පිළිබඳව විවිධ විචාරක මත පවතී. එනම්, මුවදෙව්දාවත සහ සසදාවත කව්සිළුමිණට පසුව කරන ලදැයි සිතන්නෝත් ඇත. එහෙත් කාව්‍යාංග සම්පූර්ණ නොවූ කර්තෘ කාලාදිය සඳහන් නොවූ මුවදෙව්දාවත තැනුවේ මේ පොත් දෙකට පෙර යැයි සැලකිය හැකිය. කතුවරයා බෞද්ධ ගිහියෙකු නොව බෞද්ධ භික්ෂූන් වහන්සේ කෙනකු යැයි කාව්‍යයෙහි නමස්කාරය දැක්වෙන කවි අනුව සිතිය හැකිය. එමෙන්ම මුවදෙව්දාවතේ කතාවත බෞද්ධ කථාවකට වඩා බ‍්‍රාහ්මණ, හින්දු කථාවල ස්වරූපය උසුලන බැවින් එය සසදාවතට කලින් ලියන්නට ඇති බව සිතීමට ඉඩ ඇත. මෙයින් පැහැදිලි වන්නේ එය රචනා කරන්නට ඇත්තේ බමුණු සමය හා බමුණු මත මෙරට තදින් බල පැවැත්වන්නට වූ ලීලාවතී බිසවුන් වහන්සේගේ පාලන සමයට පෙර සැලකීම සුදුසු වන බවයි. එසේම මුවදෙව්දාවත හෙළු ගී 164 කින් යුක්ත වූවකි. එහි විස්තර කළේ ජාතකට්ඨ කථාවේ 9 වන මඛාදේව ජාතකයයි. එය මෙසේය. ‘‘මෙසේ ඒ රජ්ජුරුවන් නර කෙස් පහළ වූ නියාව කල්පනා කරත් අභ්‍යන්තරයෙහි දාහ වැදගත, සක ශරීරයෙන් ඩා වැගිරෙන්නට පටන් ගත්තේය. ඒ වෙලේහි රජ්ජුරුවෝ ‘අදම මහණ දම් රකින්නට වටනේ’යි… ප‍්‍රධාන පුත‍්‍ර වූ රාජ කුමාරයන් කැඳවා ‘පුත, මා හිස නර කෙසක් පහළ විය… එසේ හෙයින් මහණ වන්නට දැන් මට කල් වන්නේය. තෙපි මේ රාජ්‍ය පාවා ගනුව’යි කීහ.’’ යනුවෙන් ජාතක කතාවේ දැක්වෙන අතර එය මුවදෙව්දාවත් කර්තෘ පද්‍ය ආරම්භයේදී එක් කවියකින් පි`ඩු කොට දක්වා තිබේ. ඒ අනුව මුවදෙව්දාවතේ මුඛ්‍ය පරමාර්ථය ලෙස නර කෙසක් දුටු මඛාදේව රජු තපසට යෑම හෙවත් නෙක්ඛම්ම පාරමිතාව මෙහිදී ප‍්‍රකට කරනු ලබයි.
 
 ) මුවදෙව්දාවත කාව්‍ය ග‍්‍රන්ථය මහා කාව්‍යයක් වශයෙන් සාර්ථක වන්නේද යන්න විමසා බැලීම
 
 ‘පෙදෙන් බුදු සිරිතැ…’ නැතහොත් බුද්ධ චරිතය පද්‍යයට උචිත වස්තුව යන්න සියබස්ලකරේ නියමය වුවද ආරම්භයේ පටන්ම සිංහල කවියන්ගේ කාව්‍ය කෘතිවල වස්තු විෂය වූයේ බෝසත් සිරිතයි. මුවදෙව්දාවතේ කතාවත බෞද්ධ කථාවලට වඩා බ‍්‍රාහ්මණ හින්දු කථාවක ස්වරූපය දරයි. එහෙත් සියබස්ලකරෙන් නිර්දේශ කර ඇත්තේ බෞද්ධ මහා කාව්‍ය මාර්ගයකි. ඒ නිසා බෝසත් සිරිත යොදා ගැනීම කොතරම් දුරට උචිතද යන්න  ගැටලූවකි.
 
 මහාකාව්‍ය සම්ප‍්‍රදායේ ලක්ෂණ විවිධ වූ අතර ඒවා මුවදෙව්දාවත නම් ගී කාව්‍යයට යොදා ගැනීමේදී කොතරම් දුරට අසාර්ථක වූයේද යන්න විමසා බලන කල, එය අසාර්ථක වීමට බල පෑ හේතු අතර ප‍්‍රධානතම හේතුවක් වනුයේ කථා නායකයා සම්බන්ධ ගැටලූවයි. චතුර් වර්ග ඵලයෙන් යුක්ත වූ උදාර කථා නායකයකුගෙන් යුක්ත වීම මහා කාව්‍ය ලක්ෂණ අතර එකකි. මෙහිදී මහා කාව්‍යයට අවශ්‍ය වර්ණනා හා බද්ධ කළ හැකි ගිහි ජීවිතයේ ඇලූණු නායකයකු වටා ගෙතුණු කථා පුවතක් මෙහි නොමැත. මෙහි දැක්වෙනුයේ නරකෙසක් දැක සැප සම්පත් අතහැර තපසට යන කෙනකුගේ කථා පුවතකි. එසේ ගිය බෝසතුන්ගේ කථා පුවතට මහා කාව්‍යානුබද්ධ වර්ණනා බලයෙන් ඇතුළු කළ කල්හි ඒවා චරිත නිරූපණය සමග අභේද්‍ය ලෙස නොබැඳේ. එහෙයින් මඛාදේව ජාතකය මහා කාව්‍යයට ප‍්‍රතිෂ්ඨා විය හැකි සදාශ‍්‍රයකැයි කිව නොහැකිය.
 
 මුවදෙව්දාවත කථා වස්තුව කාව්‍ය ප‍්‍රබන්ධයක් සඳහා ප‍්‍රමාණවත් යැයි කියනු උගහටය. ජාතක කතා අතරෙන්ම වඩා උචිත වස්තු කෙතරම් පවතීද? එහෙත් ඒසා අඩුලූහුඬුකමින් යුත් පුවතක් තෝරා ගන්නා කවියා යම් විශේෂ කරුණක් සිය හදවත කළඹන තත්ත්වයේ බලගතු ආවේගයක් නිසා එසේ පෙළඹුණා විය යුතුය. එමෙන්ම මහා කාව්‍යට ගැළපෙන වස්තු විෂයක් මුවදෙව්දාවත්කරු උපයෝගී කොට නොගන්නා බව පැහැදිලිය. මඛාදේව ජාතකය උපයෝගී කොටගෙන එයට දියකෙළි වර්ණනා, රති ක‍්‍රීඩා වර්ණනා ආදිය අන්තර්ගත කිරීම අපහසුය. ඒ නිසා මුවදෙව්දාවත්කරු එවැනි වැනුම් ආයාසයෙන් නිර්මාණයෙහි අන්තර්ගත කොට ඇති බව පෙනේ.
 
 ගී කාව්‍යවල දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් නම් වස්තු නිර්දේශය ඉතා සංක්ෂිප්තව එක් ගීයකින් දැක්වීමයි. ඒ අනුව කථා වස්තුව හකුළුවා දැක්වීම පෙර සංස්කෘත කවීන්ගේද ලක්ෂණයකි.
 
 ”අප මුනිදෙක් කලක් – රජසිරි පැමිණි යෙහෙන් වෙසෙමින් ඉසැ නරක් දුටු – කෙණෙහි ඉසි වෙස් රිස් වී’’
 
 සියබස්ලකරෙහි දැක්වෙන පරිදි කවක් ඇරඹිය යුතු ක‍්‍රම තුනක් වේ. එනම්, වස්තු නිර්දේශයෙන්, ආශිර්වාදයෙන් සහ නමස්කාරයකින් කාව්‍යයක් ආරම්භ කළ යුතු බව දක්වයි. මෙයින් පැරණි සිංහල කවීන් ප‍්‍රිය කළේ නමස්කාර මුඛයෙන් කාව්‍යය ඇරඹීමය. ඒ මග ගමන් ගත් මුවදෙව්දාවත්කරු බුදුන් වන්දනය මගින් කාව්‍යය අරඹයි. මෙම කර්තෘගේ මේ වෑයම මහා කාව්‍යයක් නිර්මාණය කිරීම බව එමගින් විවරණය වන අතර සියබස්ලකරෙන් පැන වූ කාව්‍ය ආකෘතියේ ගමන් කිරීමට ඔහු ගත් උත්සාහය මොනවට පැහැදිලි වේ. මේ අනුව පෙනී යනුයේ මුවදෙව්දාවත කාව්‍ය අන්තර්ගතය මහා කාව්‍ය ලක්ෂණයන්ගෙන්ද යුක්ත වී ඇති බවයි. ඒ නිසා මුවදෙව්දාවත මහා කාව්‍ය ලක්ෂණ නොදරන්නේ යැයි සෘජුවම පැවසිය නොහැකිය.
 
 කාව්‍ය දෙස අවධානය යොමු කිරීමේදී සිව් වන කාව්‍යයේ සිට අනූ දෙවන කවිය දක්වා කෘතියෙන් අඩකටත් වැඩි ප‍්‍රමාණයක් මඛාදේව ජාතක කතාවෙන් ඉ`දුරා වෙනස් වූ කරුණු දක්වා තිබේ. එහිදී මහා කාව්‍ය සම්ප‍්‍රදාය නිරූපණය කිරීමෙහිලා අනවශ්‍ය විස්තර වර්ණනා භාවිතා කර පමණට වඩා දීර්ඝ කිරීම සිදු කර ඇත. ජාතක කථා වස්තුව හැරුණු විට පුර වැනුම, රජ වැනුම, සැදෑ වැනුම, නිසා වැනුම, උදා වැනුම යනාදිය නොවැදගත් බාහිර වැනුම් කර තිබෙන සැටියෙන් පෙනෙනුයේ කතුවරයාගේ මූලික අදහස වූ මුනිගුණ වැනුමට හෝ එය හා බැඳී පවත්නා කරුණා රසය දියුණු කිරීමට හෝ ඒ වැනුම් කිසිදු පිටුවහලක් නොවන බවයි. ඒ වගේම එම මුල් වැනුම් මෙහි අරමුණට හානි කර යැයි සැලකීමට ඉඩ ඇත. අලංකාර ග‍්‍රන්ථවල දැක් වූ පරිදි කාව්‍යට ඇතුළත් විය යුතු අංග අතර එවැනි වැනුම් පෙළක්ද සඳහන් කොට ඇත. ඒ නිසා මුවදෙව්දාකරු එම වැනුම් තම ග‍්‍රන්ථයට ඇතුළත් කරන්නට ඇති බව සිතිය හැකිය. කෙසේ නමුත් මේ වැනුම් දෙස බැලීමේදී පෙනී යන්නේ ඒවා ආයාසයෙන් එක් කරන ලද බවයි. ඒවා කාව්‍යයේ ඉතිරි කොටස් සමග අත්‍යයන්තයෙන් බැඳී නොපවතින අතර ඒවා නිසා මුවදෙව්දාවතේ කලාත්මක සංයමය පිරිහීම හ`දුනාගත හැකිය. මෙම කරුණු කාව්‍ය ග‍්‍රන්ථයේ අසාර්ථකත්වයට මූලිකව බලපෑ බව කිව යුතුය.
 
 මුවදෙව්දාවත රචකයා තම නිහතමානි බව පෙන්වාදීමට කවිය භාවිතයට ගනී. එය අගය කළ යුතු ගුණයක් වුවද එය මහාකාව්‍යක අන්තර්ගත විය යුතු ලක්ෂණයක් ලෙස හ`දුනා නොගනී.
 
 ”හඟිම් ද මා මෙනෙන් –
 
 ගුණ හිමියා කියන්නට
 
 පොහොම් නෙළුඹැ’ සිනාවුණා –
 
 පල`දුන් හොත් තුසර හර’’
 
 ”නුවණ නිසයුරා –
 
 විනේ කුමුදු නිසයුරා
 
 කෙලෙස් තුසර දිවයුරා –
 
 බව දක් ලැව් අග’යුරා’’
 
 ”සත් තිසර සරා –
 
 ගුණ බි`ගු පෙළ මහසරා
 
 විසා දලනිදු පසරා –
 
 තිත් ගජ කැනට කෙසරා’’
 
 කවියා බුදුන් හැඳින්වීම සඳහා රූපක පෙළක්ම ඉදිරිපත් කරනු ලබයි. බුදුන් නුවණ නමැති නදියට සාගරයකි ආදි ලෙස පැරණි කවීන් යොදාගත් රූපකද ඊට අමතරව බවදුක් අගයුරා, නිත් ගජන් කැන් කෙසරා යනුවෙන් බුදුන් ගින්නටත්, කේසර සිංහයෙකුටත් උපමා කර ඇත. මේ උපමා මගින් බුදුන්ගේ ශාන්ත ගතියටත්, මුදු මොලොක් ගතියටත්, කාරුණික බවටත් පහරක් එල්ල වේ. මුවදෙව්දාවත්කරු උචිතානුචිතව සහ විවේක බුද්ධියෙන් තොර වූ බව පැහැදිලි වේ. ඒ අනුව මහා කාව්‍යක අන්තර්ගත කළ යුතු යැයි සැලකෙන විචිත‍්‍ර අලංකාර ආදිය මෙම කාව්‍ය කෘතියට ඇතුළත් කිරීමට යෑමේදී කතුවරයාට බොහෝ අතපසුවීම් සිදු වී ඇති බවත් හ`දුනාගත හැකිය.
 
 මුවදෙව්දාවත මහා කාව්‍යයක් වශයෙන් අසාර්ථක ලක්ෂණ පෙන්නුම් කිරීම කෙරෙහි බල පෑ තවත් හේතු සාධකයක් වනුයේ පුර වර්ණනාවලදී ශාන්ත පරිසරයක් වර්ණනා කරනු වෙනුවට ශෘංගාරාත්මක පරිසරයක් මවා පෑමයි. එහිදී නගර, සාගර, පර්වත, සෘතු, සැන්දෑ, උදා, උද්‍යාන, ක‍්‍රීඩා, මධුපාන උත්සව, රතෝස්ව ආදිය උත්කර්ෂවත් අන්දමින් වර්ණනා කිරීම යන මහා කාව්‍ය ලක්ෂණය මුවදෙව්දාවතේද අන්තර්ගත කර ඇති මුත් එය අසාර්ථක ලක්ෂණයක් වීමට මූලිකතම හේතුවක් වූයේ ආගමික පරිසරයක ශෘංගාරාත්මක පරිසරයක් මවා තිබීමයි. එය මඛාදේව ජාතකයට නොගැළපේ.
 
 ‘‘අනේ නුවර දෙලෙ – නුදුළ දඹදිව තල විමල්
 
 රන් පියුමැත් කෙමි එව් – බිජී නුවර මියුලූ නම්’’
 
 අනෙකුත් ගී කාව්‍ය රචකයන් මෙන්ම නගර වර්ණනාවකින් ආරම්භ කරන කවියාට මියුළු නුවර දිස් වී ඇත්තේ ජම්බුද්වීපය නැමැති රන් පියුමෙහි මහත් වූ කෙමියක් ලෙසටයි. ඉන් පසුව ඔහු නගරයේ නොයෙකුත් අංග වර්ණනා කරනුයේ සව්සිරින් පිරුණු නගරයක් මවා පෑමටයි. අනෙකුත් කෘතිවල එන නගර වර්ණනාවන්හි මෙන් මෙහිද ගතානුගතික නගර වර්ණනාවක් බව හ`දුනාගත හැකි අතර කතුවරයා මහා කාව්‍ය ලක්ෂණ අන්තර්ගත කිරීමට උත්සාහ දැරීම මෙයට හේතු වී ඇත. මෙලෙස කවියා දීර්ඝ වශයෙන් වර්ණනා කරනුයේ ලෞකික ජීවිතය හා බැඳුණු වස්තූන් හා පුද්ගලයන්ය. මඛාදේව රජු කායිකව හෝ මානසිකව කිසිදු සම්බන්ධතාවක් පැවැත්වීම සම්බන්ධයෙන් කාව්‍යයේ කිසිවක් ප‍්‍රකාශ වන්නේ නැත. එහිදී නගරයේ සෞන්දර්ය මුඛ්‍ය චරිතය විසින් ආස්වාදනය කරනු නොලැබේ. කම් සුව විඳීම ප‍්‍රතික්ෂේප කොට තපසට සුදානම්ව සිටින රජ කෙනෙකු මෙවැනි අනුරාගී පරිසරයක විසීම උචිත නොවේ. මේ වැනුමෙන් ජනිත වන ශෘංගාර රස මිශ‍්‍ර විෂයාසක්තභාවය කාව්‍යයේ මුඛ්‍ය රසය වන ශාන්ත හෝ නිර්වේද රසයට ප‍්‍රතිරෝධී වෙයි.
 
 මුවදෙව්දාකරු රාජ වර්ණනයේදීද දක්වන ඇතැම් විස්තර අනවශ්‍යය. මුළුමනින්ම ගත් විට එය ගතානුගතික රජ වැනුමකි. අතිශයෝක්තියෙන් ඉදිරිපත් කර ඇති රජ වැනුම සෑම කාව්‍ය ග‍්‍රන්ථයකම දක්නට ලැබෙන රාජ වර්ණනයට සමානය. මේ අනුව පැහැදිලි වනුයේ සිංහල කවියා උචිතානුචිත බව නොසලකා අලංකාර ශාස්ත‍්‍රයේ ඇතැම් අංගවලට ගරු කිරීම නිසා ස්වකීය සහජ කවීත්වය යටපත් කරගත් ආකාරයයි. එපමණක් නොව මුවදෙව්දාවතෙහි කථා පුවතට කිසිදු සම්බන්ධයක් නොමැති සරා, නිසා, සැදෑ, උදා වැනුම් පිළිබඳ අදහස් දක්වන කුමාරතුංග මුණිදාස මෙසේ දක්වයි. ‘‘සෘතු වර්ණනය හෝ සන්ධ්‍යානිශෝධය වර්ණන හෝ මේ කාව්‍යයේ කථා ශරීරය හා ස්වභාවිකවැ නොබැඳේ. ඒ එක එක බලයෙන් ඇද ගත් සේ යැ. පුරාතන මහා කවීන්ගේ අරුත් ගෙනැ ගැසිය යුතු තැනක් නොපෙනෙන විටැ එවැනි තැන් නොගැළපෙන සේ වුවද ඈදෑ ගැනීම වස්තු උත්පාදක ශක්ති හීන වූවන්ගේ සිරිති.’’ මෙයින් විවරණය වනුයේ මෙම වර්ණනා කාව්‍ය ශරීරය හා බැඳී නොපවතින බවයි. කවියා සරා වැනුමේදී අතිශයින් දුර්වල වූ අවස්ථා නිරූපණය කරන ආකාරයක් දැකගත හැකිවිය. ඒ අනුව අලංකාරවාදයට යටපත් වීම නිසා පැරණි සෑම කවියෙකු කෙරෙහිම දක්නට ලැබෙන පොදු දුර්වලකමක් නම් සමහර අවස්ථා නිර්මාණය කිරීමේදී හෝ ඉදිරිපත් කිරීමේදී උචිතානුචිත විවේක බුද්ධියෙන් තොර වීමයි.
 
 ‘‘සරා රිවි කෙසරා – සුනිල් ගුවන් මිණිතෙලේ
 
 වජඹුතු එකල්හි පැලෑ – මහ මෙනේ ගිජි`දු මුළු’’
 
 මෙහි අදහස වනුයේ ශරත් සූර්යය නැමැති සිංහයා ඉතා නිල් වූ අහස නැමැති නිල්මිණි තලයෙහි සිටිනු හා සම‘ගම අනේක මේඝ නැමැති හස්්ති සමූහයෝ පලා ගියහ යන්නයි. මෙම අවස්ථාව කිසිදු ලෙසකින් නොගැළපෙන උපමාලංකාරයකි. ශරදාකාශය සෘතුවේ ආකාශය දෙස බලන පාඨකයා තුළ ඇති විය යුතු සෞන්දර්ය රසාත්මක හැ`ගීම් මෙම උපමාවෙන් නැති වී යයි. එහි ඇති වනුයේ බිහිසුණු බවකි. එමෙන්ම මුවදෙව්දාකරු අවස්ථාවෝචිත වර්ණනා මැවීමෙහි දුර්වල වී ඇති බව පෙනේ.
 
 මුවදෙව්දාවත මහාකාව්‍යයක් වශයෙන් අසාර්ථක වීමට බල පෑ හේතු සාධක අතර තවත් එක් හේතුවක් වනුයේ අනවශ්‍ය ප‍්‍රමාණයට වඩා සංස්කෘතික වර්ණනාවලට නතු වීමයි. එහිදී මඛාදේව ජාතක කතාවේ මුඛ්‍ය පරමාර්ථය වන නෙක්ඛම්ම පාරමිතාව මුවදෙව්දාකරුට මග හැරෙන අතර එහි එන 92 වැනි ගීය දක්වා ඇති කොටස සකු අලංකාරවාදයට නැඹුරු වූ වර්ණනා දැකිය හැකිය. සීගිරි ගී මගින් මුළුමනින්ම වෙනස් වූ නිදහස් අලංකාර භාවිතය වෙනුවට සංස්කෘත අලංකාරවාදය මූලික කරගෙන ලිය වූ අවස්ථාවක් ලෙස ‘‘කුමාරදාසගේ ජානකීහරණය මුවදෙව්දා කවියා බෙහෙවින් ඇසුරු කර ඇත.’’

advertistmentadvertistment
advertistmentadvertistment