මුහුණු පොතෙන් සල්ලි ගරන අලුත්ම විදිහ මෙන්න

1652

සාක්ෂි තිබුණත් පොලිසියට තවමත් හොරු අල්ලන්න බැරිවෙලා…|
දැන් ෆේස්බුක් යන්නෙත් බලාගෙනයි…

තෙව්නි කෙහාරා ඉතා රූමත් තරුණියකි. වයස අවුරුදු විසි දෙකකි. නිරතුරුවම සුන්දර සිනහවක් මුහුණේ රැඳී තිබූ ඇය නිරහංකාර මෙන්ම අහිංසක තරුණියක වූවාය. විවාහක ඇය ස්වාමිපුරුෂයා සමග දෙල්ගොඩ ප්‍රදේශයේ සාර්ථක පවුල් ජීවිතයක් ගත කරමින් සිටී.

තෙව්නිට සතියකට පමණ පෙර මැසෙන්ජර් හරහා කෙටි පණිවුඩයක් සහ වෙබ් අඩවියක ලින්කුව (link) ලැබී තිබුණි. එම කෙටි පණිවුඩයෙන් පවසා තිබුණේ මෙවන් දෙයකි.

“නංගී මම ඔයා ඉගෙන ගත්ත ඉස්කෝලේ අක්කා කෙනෙක්. ඔයාගේ ෆොටෝ වගයක් ෆේස්බුක් එකේ ශෙයා වෙනවා. ඒක වහාම ඩිලීට් කරන්න. ඒ වගේ ෆොටෝ ශෙයා වෙන එක ඔයාටත් අපේ ඉස්කෝලෙටත් හොඳ නැහැ. දැන්ම මේ ලින්ක් එකට ගිහින් ඒ ෆොටෝ ටික ඩිලීට් කරන්න.”

එම කෙටි පණිවුඩය දුටු තෙනුරි එක්වරම පුදුමයට පත්විය. කිසිදිනක එවැනි දෙයක් සිදු විය නොහැකිය. ඒ බව ඇයට ඉර හඳ මෙන් විශ්වාසය. මෙය කාගේ හෝ විහිළුවක්දැයි කියා ඇය කල්පනා කළාය. එහෙත් මෙවැනි ආකාරයේ විහිළුවක් කිරීමට කිසිවකුටත් අවශ්‍යතාවයක් නොමැත. එම නිසා ඇය එම කෙටි පණිවුඩයට මෙලෙස පිළිතුරු ලබාදුන්නාය.

“ඔයාට වැරදීමක් වෙලා ඇති අක්කේ. ඔය කියනවා වගේ ෆොටෝ කොහෙත්ම මගේ ශෙයා වෙන්න විදිහක් නැහැ. මොකද මම කවදාවත් ඒ වගේ ෆොටෝ අරන් නැහැ. ඒක මට හොඳටම විශ්වාසයි. ඒක නිසා මට බය වෙන්න දෙයක් නැහැ.”

තෙව්නිගේ එම කෙටි පණිවුඩයට අක්කා යැයි කියා ගත් කාන්තාව යළි මෙලෙස පිළිතුරු ලබා දී තිබුණි.

“වෙන කාගෙවත් නෙවෙයි. ඔයාගේම තමයි. මම කියනවට ඒ ලින්ක් එකෙන් ගිහින් බලන්නකෝ. මට ඔය වගේ බොරුවක් කියන්න පිස්සුවක් නැහැනේ.”

මුහුණු පොතෙන් සල්ලි ගරන අලුත්ම විදිහ මෙන්න

“ඒක කොහොමත් වෙන්න බැරි දෙයක් අක්කෙ. ඔයා ඔච්චර කියනවා නම් මට ඒ ෆොටෝවල ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා එවන්නකෝ. එතකොට ඇත්ත නැත්ත බලාගන්න පුළුවන්නේ.”

“ස්ක්‍රීන් ෂොට් ගහන්න විදිහක් නැහැ නංගි. ඒ ප්‍රොෆයිල් එක ලොක් කරලා තියෙන්නෙ. ඒක නිසා මම කියනවට ගිහිල්ලා බලන්න. අනික මට ඔයාට බොරුවක් කියන්න හේතුවක් නැහැනේ නංගි.”

“ඒ වුණාට අක්කේ මට ඕක පිළිගන්න බැහැ. මොකද මම දන්නවා කවදාවත් මගේ අතින් එහෙම දෙයක් වෙලා නැහැ කියලා.”

තෙව්නි එසේ කීවත් එම කාන්තාව පුන පුනා පැවසුවේ එම ලින්ක් එකට ගොස් ඇත්ත නැත්ත පරීක්ෂා කරන ලෙසයි. අවසානයේ තම ස්වාමි පුරුෂයාවද දැනුවත් කර ඇය එම ලින්කුව (link) ගොස් බැලුවාය. එහෙත් ඇයට අක්කා යැයි කියාගත් කාන්තාව පැවසූ තමන්ගේ පිංතූර දැක ගැනීමට නොහැකි විය.

“කොහෙද යන පිස්සු ගෑනියෙක්. නිකන් මගේ ඔළුව අවුල් කරා විතරයි බොරු කියලා.”

අවසානයේ සැමියාට ඇය එලෙස පැවසුවාය.

එලෙස සිදුවී දින දෙකක් ගත විය. ඇයට වෙනදා මෙන් ෆේස්බුක් ගිණුමට ඇතුළුවීමට නොහැකි බව තහවුරු විය. වෙන කවුරුන් හෝ අනවසරයෙන් එයට ඇතුළු වී ඇති බව ඇයට දැනගන්නට ලැබුණි. ඒ සමඟම ඇය ළඟින්ම ඇසුරු කරන අක්කා කෙනෙක් දුරකථන ඇමතුමක් ලබාදී මෙලෙස විමසීය.

“නංගි ඔයාගේ තාත්තා මේ දවස්වල ඉන්නේ අසනීපෙන්ද?”

“නැහැ අක්කේ. ඇයි එහෙම අහන්නෙ.”

“වරදවා හිතන්න එපා. ඔයා මගෙන් සල්ලි වගයක් ඉල්ලලා එහෙම මැසේජ් එකක් දාල තිබුණෙ. ඒකයි මම ඇහුවේ.”

“පිස්සුද අක්කෙ මම එහෙම මැසේජ් එකක් දැම්මේ නැහැ.”

“ඒක තමයි මට විශ්වාස කරන්න බැරි නිසා තමයි ඔයාගෙන් කෝල් එකක් අරන් ඇහුවේ.”

“කොහොමද අක්කට ඒ වගේ මැසේජ් එකක් ආවෙ.”

“ඔයාගේ මැසෙන්ජර්වලින් ඇවිල්ලා තිබුණේ.”

“ඒක වෙන්න බැහැ අක්කෙ. මේ දවස්වල මගේ ෆේස්බුක් එකට වෙනදා වගේ යන්න බැහැ. කවුරුහරි ඒක හැක් කරනවා මම හිතන්නේ. නැතිනම් කවදාවත් මම ඔය වගේ මැසේජ් කරන්නේ නැහැනෙ. තව කී දෙනකුට යවල ද දන්නේ නැහැ. ඉන්න අක්කේ මම තව පොඩ්ඩක් හොයල බලලා කෝල් එකක් දෙන්නම්.”

ඇය යළිත් තම ෆේස්බුක් සහ මැසෙන්ජර් ගිණුම්වලට ඇතුළත් වීමට උත්සහ කළාය. කොතරම් උත්සහ කළද ඇයගේ ගිණුමට ඇතුළුවීමට නොහැකි විය. ඒ අනුව ඇය ස්ථිරවම තේරුම් ගත්තේ තමාගේ ෆේස්බුක් ගිණුමට කවුරුන් හෝ අනවසරයෙන් ඇතුළුවී ඇති බවය. ඇය ඇමතුම ලබා දුන් අක්කාට යළි මෙලෙස පැවසුවාය.

“අක්කේ මගේ ෆේස්බුක් එකට ලොග් වෙන්න බැහැ. කවුරු හරි ඒක හැක් කරලා. බලන්නකෝ.”

“ඒක තමයි මටත් සැක හිතුනේ. මොකද කවදාවත් ඔයා එහෙම සල්ලි ඉල්ලන කෙනෙක් නෙවෙයිනේ.”

“මට තේරුම් ගන්න පුළුවන් වුණ දේ.”

“ඒ මොකක්ද?”

“දැන් දවස් දෙකකට උඩදී එක්කෙනෙක් මට ලින්ක් එකක් එව්වා මගේ ෆොටෝ වගයක් ශෙයා වෙනවා බලන්න කියලා. ඒ ලින්ක් එක ඕපන් කළාට පස්සේ තමයි මෙහෙම වෙලා තියෙන්නේ. ෂුවර් එකට ඒ ලින්ක් එකෙන් තමයි මගේ ෆේස්බුක් එක හැක් කරල තියෙන්නේ.”

ඒ අතර මුහුණු පොතේ සිටින මිතුරු මිතුරියන්ගෙන් නොකඩවා ඇයට දුරකථන ඇමතුම් ලැබෙන්නට පටන් ගත්තේය. ඔවුන් සියලු දෙනාම විමසුවේ තාත්තාගේ අසනීප තත්ත්වය පිළිබඳවයි. ඒ අතර සමහරු ඉල්ලූ මුදල් ගිණුමට බැර කළ බවද පැවසූහ.

එම කතා අසා ඇය මානසිකව ඇද වැටුණු අතර තමන්ට සිදුවී ඇති සයිබර් අපරාධය ගැන ඔහුන් සියලු දෙනාම දැනුවත් කිරීමටද පියවර ගත්තාය. අවසානයේ ඇයට මෙය මානසික වදයක් බවට පත් විය. එය තවත් තිව්‍ර වූයේ ඈය දැන් ගැබිනි කාන්තාවක් නිසාය. දන්නා සියලු උත්සහයන් දරා බැලුවත් නැවත ඇයගේ ෆේස්බුක් ගිණුමට ඇතුළුවීමට නොහැකි විය.

අවසානයේ ඇය නීතියේ පිහිට පැතීමට තීරණය කළාය. ඒ අනුව ඇය ස්වාමි පුරුෂයා සමග බියගම පොලිසියට ගොස් ඒ පිළිබඳව පැමිණිල්ලක් දැමීමට උත්සාහ කළහ. එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් පැවසුවේ එවැනි පැමිණිල්ලක් භාර ගැනීමට නොහැකි බවයි. ඒ වන විටත් ෆේස්බුක් ගිණුමට ඇතුළු වූ පුද්ගලයා ඇයගේ මිතුරු මිතුරියන්ට තාත්තා අසනීපයි කියා යැවූ කෙටි පණිවුඩ, ආපසු ලබාදීමේ පොරොන්දුව මත ඉල්ලූ මුදල් ප්‍රමාණයන් සහ මුදල් බැර කිරීමට යවා තිබූ ගිණුම් අංකය ඇතුළු විස්තර එම පොලිස් නිලධාරීන් වෙත ඉදිරිපත් කළේය. අවසානයේ ඒවා බැලූ එම පොලිස් නිලධාරීන් පැවසුවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඇති පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ගොස් ඒ පිළිබඳව පැමිණිලි කරන ලෙසයි.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටා ඇති පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ගොස් එම පොලිස් නිලධාරීන් මුණගැසී තමා මුහුණ පා සිටින සයිබර් අපරාධය පිළිබඳව සාක්ෂි සහිතව ඇය පැවසුවාය. ඒ අනුව එම නිලධාරීන් ඇයගේ ෆේස්බුක් ගිණුම යළි යාවත්කාලීන කිරීමට උත්සාහ කළේය. එහෙත් එය අසාර්ථක විය. ඉන්පසු එම නිලධාරීන් පවා පැවසුවේ තමන්ට මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් භාර ගත නොහැකි බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ඒ පිළිබඳව පැමිණිලි කරන ලෙසයි. එයට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විද්‍යුත් ලිපිනයක් ලබා දී පැවසුවේ එම සිද්ධිය සම්බන්ධයෙන් එම ලිපිනයට පැමිණිල්ලක් යොමු කරන ලෙසයි. ඇය එම විද්‍යුත් ලිපිනයටද පැමිණිල්ලක් යොමු කළාය. එහෙත් එයට කිසිදු පිළිතුරක් නොලැබුණි. එයින් තවත් අසරණ වූ ඇයට නීතියේ පිහිට ගැන එතරම් විශ්වාසයක් නොතිබුණි.

ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක ඡායාරූප ශිල්පියකු වන නිශාන් එස්. ප්‍රියන්ත නැමති ඇයගේ පියාද මුල සිටම මෙම සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකර තමාගේ දුවට සාධාරණයක් ඉටුකර දෙන ලෙස අදාළ පොලිස් ස්ථානවල නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. එහෙත් සතුටුවිය හැකි පිළිතුරක් ඔහුට නොලැබුණි. සමහර පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ මෙවැනි සයිබර් අපරාධයක් විසඳීම සඳහා අවශ්‍ය නිසි තාක්ෂණික දැනුම නොමැති බවයි.

නීතියේ පිහිට නිසියාකාරව නොලැබෙන නිසා භාෂිත රත්නායක නැමති ඥාති පුතෙකුට මෙම සිද්ධිය පිළිබඳව ඔහු පවසා තිබේ. එවිට එම තරුණයා ඒ සඳහා ඉදිරිපත් වී පැය භාගයක් යන්නට මත්තෙන් එම ෆේස්බුක් ගිණුම යළි එහි හිමිකාරිය වූ තෙව්නි කෙහාරාගේ භාරයට ගෙන තිබුණි. වැඩිදුර සොයා බැලීමේදී අනාවරණය වී තිබුණේ විදේශ රටක සිටින අයෙක් මෙරට පුද්ගලයකුගේ සහාය ඇතිව ෆේස්බුක් හරහා මෙම ජාවාරම සිදුකර ගෙන යන බවයි.

තෙව්නිගේ ෆේස්බුක් ගිණුම යාවත්කාලීන කළ පසු දැනගන්නට ලැබුණේ ඇයගේ ගිණුම හරහා තවත් මිතුරු මිතුරියන් විසි දෙනකුගේ පමණ තොරතුරු ලබාගෙන ඔවුන්ගේ ගිණුම්වලටද ඇතුළු වී මෙම සයිබර් අපරාධය සිදු කරගෙන ගොස් ඇති බවයි.

ෆේස්බුක් ගිණුම තමන් භාරයට ගත් පසු එයට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයා ඇයගේ පින්තූරයක් භාවිතා කර වට්ස්ඇප් ගිණුමක් නිර්මාණය කර ඒ හරහා මිනිසුන් රවටා මුදල් ලබා ගැනීමේ ජාවාරමක් සිදු කරගෙන යන බවට ද සනාථ වී ඇත. එහි සඳහන් දුරකථන අංකය ද මෙරට හාවිතා කරන එකකි. මෙම සයිබර් අපරාධයට නිසි පිළිතුරක් නොමැති තැන ඇය ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයට ද ඒ පිළිබඳව දැනුම් දුන්නාය. එහිදී ඔවුන් පවසා ඇත්තේ ගම්පහ පොලිස් දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යන අයිටි ලැබ් එකක් ඇති බවත් එම ඒකකයට ගොස් මේ පිළිබඳව පැමිණිලි කරන ලෙසත්ය. ඒ අනුව ඇය එම ඒකකයට ගොස් මෙම සයිබර් අපරාධය පිළිබඳ ඔවුන්වද දැනුවත් කළාය. එහිදී එම නිලධාරීන් උපදෙස් ලබා දුන්නේ අදාළ පොලිස් ස්ථානයට ගොස් තම ඒකකයෙන් පැවසූ බව කියමින් පැමිණිල්ලක් දමන ලෙසයි.

ඒ අනුව නැවත වරක් ඇය බියගම පොලිසියට ගොස් ඒ පිළිබඳව පැවසුවාය. එහිදී එම පොලිස් නිලධාරීන් ගම්පහ එම ඒකකයේ දුරකථන අංකය ඇයගෙන් ලබාගෙන ඔවුන්ට ඇමතුමක් ලබාදීමෙන් පසුව ඇයගේ පැමිණිල්ල සටහන් කරගත්තේය.

ගැබිනි මාතාවක් වන ඇය තමන්ට වූ සයිබර් අපරාධය පිළිබඳව සාක්ෂි සහිතව පැමිණිලි කිරීමට ගොස් විවිධ පොලිස් ස්ථානවල දින කිහිපයක්ම රස්තියාදු වීමට සිදුවිය. එලෙස රස්තියාදු වුවත් මෙම ලිපිය ලියන මොහොත වනවිටත් නීතියෙන් ඇයට නිසි පිහිටක් ලැබී නොමැත. මෙම ලිපියෙන් පසුවවත් වගකිවයුතු නිලධාරීන් හැකි ඉක්මනින් ඒ පිළිබඳව සොයා බලා ඇයට නිසි සාධාරණයක් ඉටු කරනු ඇතැයි අපිද බලාපොරොත්තු වෙමු.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment