මුහුණු පොතෙන් හඳුනාගෙන තරුණියගේ ලක්‍ෂ 35 කට විදලා… ගිවිසුමක් අනුව ගනුදෙනුව කරලා… වංචාවක් වුවත් වැඩිදුර ක‍්‍රියාකරන්න බැහැ – පොලිසිය

402

මුහුණු පොතින් ‘චැට්’ කර හඳුනාගත් මොනරාගල තරුණයකු සම`ග ‘ඔන්ලයින් බිස්නස්’ එකක් කිරීමට ගිය ගම්පොළ ප‍්‍රදේශයේ තරුණියකට රුපියල් ලක්‍ෂ 35 ක මුදලක් අහිමි වී ඇතැයි ගම්පොළ පොලිසිය කියයි.
 
 මොවුන් දෙදෙනාම වයස අවුරුදු 25 ට අඩු වූවන් වන අතර තරුණියගේ පෙම්වතා විදේශ රැුකියාවක නිරත වන්නෙකි.
 
 මේ අතර තරුණිය විසින් ඇගේ මුහුණු පොත පරිශීලනය කරන අතර තුර මෙම මොනරාගල තරුණයා හඳුනාගෙන ඇත.
 
 දෙදෙනා අතර ඇති වූ මිතුදම වැඩි දියුණු වෙද්දී මොනරාගල තරුණයා පවසා ඇත්තේ තමා අන්තර්ජාල ව්‍යාපාරයක් කරන බවත් එයට හවුල් වන්නේ නම් මාසයකට විශාල මුදලක් උපයාගත හැකි බවය.
 
 අඩුම රුපියල් ලක්‍ෂ 35 ක් ඒ සඳහා ආයෝජනය කරන්නේ නම් ඇයට මාසයකට රුපියල් ලක්‍ෂ 18 ක් ලබාදිය හැකි බවද ඔහු පවසා ඇත.
 
 තරුණිය විසින් මේ පිළිබඳව ගම්පොළ නීතිඥ මහතකුගෙන් උපදෙස් පතා ඇති අතර එම උපදෙස් අනුව තරුණයා ගම්පොළට ගෙන්වාගෙන ඇත්තේ එයට අදාළව නීතිඥ මහතා ඉදිරියේ ගිවිසුමක් ඇතිකර ගැනීමටය.
 
 තරුණිය විසින් විදේශගත ඇගේ පෙම්වතාටද මේ බව දන්වා ඔහුගෙන් මුදල් ද ගෙන්වාගෙන ඇති අතර මොනරාගල තරුණයා සම`ග ගොස් නීතිඥ මහතා ඉදිරියේ මෙම ගිවිසුම අත්සන් කර මුදල් සියල්ල තරුණයාට ලබාදී ඇත.
 
 නීතිඥ මහතාගේ උපදෙස් හා ගිවිසුම අනුව මේ පිළිබඳව ඇයට බියක් නොමැති වුවද මුදල් දුන් දින සිට තරුණයා මුහුණු පොතින් අතුරුදහන්ව ඇති අතර දුරකථන අංකයද ක‍්‍රියා විරහිත කර ඇත.
 
 පසුව තරුණිය මේ පිළිබඳව ගම්පොළ පොලිසියේ පැමිණිල්ලක් සිදුකළ අතර විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ගමනායක මහතා මේ පිළිබඳව පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.
 
 නමුත් මෙම සිද්ධියේදී පැමිණිල්ල පිළිබඳව වැඩිදුර ක‍්‍රියාකිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව ගම්පොළ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සම්පත් වික‍්‍රමරත්න මහතා පැවසීය.
 
 මෙය වංචාවක් වුවත් නීතිඥ මහතකු ඉදිරියේ ඇතිකර ගත් ගිවිසුමක් අනුව මුදල් ගනුදෙනුව සිදු වී ඇති නිසා මෙය අපරාධයක් නොවන බවත් මෙය සිවිල් නඩුවකින් විසඳාගත යුතු බවත් ස්ථානාධිපතිවරයා පැවසීය. කෙසේ නමුත් මෙවැනි වංචා කාරයින්ට පැන යෑමට නොහැකි ලෙස කටයුතු කිරීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.
 
 ගම්පොළ – සුරංග දිල්හාන්


advertistmentadvertistment