යාපනයේ, අරියාලේ සහ කුද්දලටි යන පළාත්වල මුහුදු කූඩැල්ලන් වගා කිරීම පිණිස විවිධ සමාගම්වලට මුහුදු කලාප ලබාදීම නිසා එම පළාත්වල සාම්ප්‍රදායික ධීවරයන් 1500කට පමණ ඔවුන්ගේ රැකියා කර ගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි උතුරු කලාපීය ධීවර සංගමයේ සභාපති ඒ. අන්නාරාසා මහතා යාපනයේ දී පැවසීය. යාපනයේ දී මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මුහුදු කූඩැල්ලන් වගා කිරීමේ දී ඒ ඒ පළාත්වල සාම්ප්‍රදායික ධීවරයන්ගේ විරෝධයක් පැන නඟින්නේ නම් ඒ ප්‍රදේශවල මුහුදු කූඩැල්ලන් වගා කිරීමේ ව්‍යාපෘති පවත්වා ගෙන යෑමට අවසර ලබානොදෙන බවට මීට ඉහත දී ධීවර අමාත්‍යවරයා හා ධීවර නිලධාරීන් සහතික වුවත් මේ වනවිට එවැනි තත්ත්වයක් ක්‍රියාත්මක නොවන බවයි.
රජය දකුණේ දේශීය සමාගම්වලට උතුරු මුහුදේ මුහුදු කූඩැල්ලන් වගා කිරීමේ ව්‍යාපෘති සඳහා අවසර ලබා දී ඇති බව ද සභාපතිවරයා මෙහිදී කියා සිටියේය.
චීන ජාතිකයන් ඍජුව ම උතුරු මුහුදු කලාපයේ මුහුදු කූඩැල්ලන් වගා කිරීමේ මධ්‍යස්ථාන පවත්වා ගෙන ගිය අවස්ථාවේදී උතුරේ ධීවරයන් ඊට විරුද්ධ වීමෙන් පසුව ඔවුන් උතුරෙන් ඉවත් වූවත් චීන සමාගමවල ආයෝජනයන් මත ක්‍රියාත්මක වන දකුණේ ධීවර සමාගම් උතුරු මුහුදේ එම ව්‍යාපෘති ක්‍රියාත්මක කරගෙන යන බව ද අන්නාරාසා මහතා කියා සිටියේය.
යාපනයේ මෙන්ම එවැනි ව්‍යාපෘති කිළිනොච්චිය හා මුලතිව් පළාත්වල මුහුදු ආශ්‍රිතව ආරම්භ වී ඇති වග පැවසූ අන්නාරාසා මහතා ඉන්දීය ධීවරයන්ගෙන් උතුරේ ධීවරයන්ට සිදුවන හානියෙන් සියයට හතළිහක පමණ හානියක් මෙම ව්‍යාපෘති නිසා සිදු වන බවද පෙන්වා දුන්නේය.
දිනසේන රතුගමගේ