මුහුදු පතුල ශුද්ධ කරන අමුතු ශ්‍රමදානයක් උණවටුනෙන් පටන් අරන්

401

● ව්‍යාපෘතියේ නම “නිල්ධජ වෙරළ තීරය”

● දැනට කිලෝ 600 ක අපද්‍රව්‍ය ඉවත් කරලා

උණවටුන වෙරළ තීරය දෙස් විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයකි. ඒ විතරක් නොව මෙකී වෙරළ තීරය ස්වභාව ධර්මයේ අපූරු නිමවුමකි. ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට මෙකී වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන් එකකි. කවාකාර හැඩයකින් යුතුව වෙරළ තීරය පිහිටා ඇත්තේය. වෙරළ තීරය කිලෝමීටර් එකහමාරක් පමණ දිගය. 2004 වසරේදී මෙය සුන්දරම වෙරළ තීරය බවට පත්විය. ඒ විතරක් නොව 2013 වසරේදී සංචාරක පාරාදීසයන් දහය අතරට උණවටුන සංචාරක කලාපය පත්විය. එමෙන්ම 2015 වර්ෂයේ දී උණවටුන මුහුදු වෙරළ වසරේ ලොව හොඳම මුහුදු වෙරළ ලෙස නම් කොට තිබුණි. ඒ ඇමෙරිකානු ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජනමාධ්‍යවේදින්ගේ සංගමය එක්ව සිදු කළ සමීක්ෂණයකට අනුවය.

මෙරට සංචාරක ව්‍යාපාරයත් වෙරළ තීරයත් මහ සයුරත් අතර ඇත්තේ වෙන්කළ නොහැකි තරමේ බැඳීමකි. විදේශීය සංචාරකයන් අපේ රටේ වෙරළ තීරයට හා මහ මුහුදට වහවැටී එහි අසිරිය විඳ දරාගැනීම සඳහා මෙරටට පැමිණෙති. කෙසේ වුවද මිනිසුන්ගේ නොයෙකුත් ක්‍රියාකාරකම් නිසා මෙරට වෙරළ තීරය හා මහ සයුර දූෂණයට ලක්වෙමින් ඇත්තේය. මෙරට සමුද්‍ර දූෂණයේ සියයට 90ක් පමණ ගොඩබිම ක්‍රියාවන් තුළින් සිදුවන අතර සියයට 10ක් පමණ නැව් හා මුහුදු ආශ්‍රිත ක්‍රියාවන් මගින් සිදුවේ. මුහුදු ජලයේ ගුණාත්මක බවට හා සාගරයේ සුන්දර බවට මේ තුළින් සිදුවන්නේ දැඩි බලපෑමකි. ඒ විතරක් නොව අපේ රටේ සංචාරක කර්මාන්තයට ද එය මරුපහරකි. කෙසේ වුවද මේ වනවිට උණවටුන වෙරළ තීරයේ සුන්දරත්වය වියැකී ගොස් ඇත්තේය. ඒ මිනිසුන්ගේ නොයෙකුත් ක්‍රියාකාරකම් හේතුවෙනි.

මුහුදු පතුල ශුද්ධ කරන අමුතු ශ්‍රමදානයක් උණවටුනෙන් පටන් අරන්

වර්ෂ 2030 වනවිට ශ්‍රී ලංකාවේ ජනතාව හා ශ්‍රී ලංකා ආර්ථිකයෙහි යහපැවැත්ම හා ස්ථායි සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව වටා දූෂණයෙන් තොර සමුද්‍රීය පරිසරයක් ඇති කිරීම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ප්‍රධාන දැක්මයි. උණවටුන වෙරළ තීරය නිල් ධජ වෙරළ තීරයක් බවට පත්කිරීමේ කටයුත්තට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය විසින් මේ වනවිට අතගසා ඇත්තේය. ලංකාවේ ඇති වෙරළ තීරයන් අතුරින් පළමු වරට උණවටුණ වෙරළ තීරය මේ සඳහා තෝරාගෙන තිබේ. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් ලබාදී ඇත. නිල්ධජ වෙරළ තීරයක් යනු ලෝකයේ අංක එකේ වෙරළ තීරයකි. නැතහොත් සුදුසුකම් ලත් වෙරළ, තීරයක් සඳහා ලබාදෙන ජාත්‍යන්තර පාරිසරික සම්මානයකි.

ලෝකයේ රටවල් අතර නිල් ධජ වෙරළ තීරයන් දක්නට ඇත්තේ අතළොස්සකි. යම්කිසි වෙරළ තීරයක් නිල්ධජ වෙරළ තීරයක් බවට පත්කර ගැනීම සඳහා නිර්ණායක 32ක් සපුරාගත යුතු වේ. වෙරළ තීරයේ පිහිනුම් ජලයේ ගුණාත්මකභාවය, පාරිසරික අධ්‍යාපනය සහ තොරතුරු, පාරිසරික කළමනාකරණය, ජීවිත ආරක්ෂාව සහ සේවා යන මාතෘකා යටතේ මෙම නිර්ණායක එකතු කර ඇත. වෙරළ තීරයේ ඇති සියලුම සනීපාරක්ෂක පහසුකම් පැකේජ පවිත්‍රාගාරයට හෝ නාගරික පවිත්‍රාගාරයට සම්බන්ධ කිරීම අනිවාර්ය නිර්ණායක අතර වේ. නිල් කොඩි අපේක්ෂක වෙරළ තීරයන් සඳහා නාන ජල තත්ත්ව රෙගුලාසියට අනුකූලව, සෑම දින 15 කට වරක් මුහුදු ජල සාම්පල ලබා ගන්නා අතර ක්ෂුද්‍ර ජීව විද්‍යාත්මක විශ්ලේෂණය සිදු කරනු ලැබේ.

මුහුදු පතුල ශුද්ධ කරන අමුතු ශ්‍රමදානයක් උණවටුනෙන් පටන් අරන්

උණවටුන වෙරළ තීරය සඳහා මෙකී නිර්ණායක සපුරාගැනීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය මගින් මේ වනවිට වෙරළ තීරය තුළ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතී. ජල සාම්පල්වල තත්ත්වය පරීක්ෂා කිරීම ද සිදුකරමින් පවතී. මේ සඳහා උණවටුන සංචාරක කලාපයේ හෝටල් හිමියන්ගේ, පිහිනුම් මධ්‍යස්ථාන හිමිකරුවන්ගේ සහයෝගය හිමිවී ඇත. ඒ විතරක් නොව නිල්ධජ සංකල්පය යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා නිල්ධජ ප්‍රජා ග්‍රාමීය කමිටුවක් පිහිටුවා ඇති අතර මීට අමතරව රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් ද පත්කොට ඇත. මෙකී ව්‍යපෘතිය ආරම්භ කිරීමට පෙර උණවටුණ වෙරළ තීරය ආශ්‍රිතව මුහුදු පතුල නිරීක්ෂණය කොට අවශ්‍ය දත්ත ලබාගැනීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේ සමුද්‍ර පරිසර නිලධාරි හා සමුද්‍ර විද්‍යාඥ සඳුන් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් විසින් කටයුතු කරණු ලැබීය. ඒ සඳහා නිල්ධජ ප්‍රජාමූල කමිටුවේ සභාපති රිදීවිලා හෝටලයේ හිමිකරු සුමිත් උඹෙසිරි මහතාද එක්විය.

මෙකී ව්‍යාපෘතිය භාරව කටයුතු කරනු ලබන්නේ සමුද්‍ර පරිසර නිලධාරි හා සමුද්‍ර විද්‍යාඥ සඳුන් වික්‍රමසිංහ මහතාය. ඔහු අප සමග කතාබහ වැටුණේය.

මුහුදු පතුල ශුද්ධ කරන අමුතු ශ්‍රමදානයක් උණවටුනෙන් පටන් අරන්

උණවටුණ වෙරළ තීරය නිල්ධජ වෙරළ තීරයක් බවට පත්කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි අපි මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ. උණවටුණ මුහුදු තීරය ආශ්‍රිතව පරියේෂණයක් සිදුකරලා තිබුණේ නැහැ. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිතුමිය, සාමාන්‍යධිකාරිතුමා, දකුණු පළාත් භාර අධ්‍යක්ෂිකා රේණුකා රණවීර මහත්මියගේ උපදෙස් මත දින 04ක් තිස්සේ උණවටුණ මුහුදු පතුළ ගැන පර්යේෂණයක් කළා. කොරල්පර, වැලි තට්ටු තිබෙන ස්ථාන හදුනා ගත්තා. කොරල්පර නම් මියගොස් තියෙන්නේ. අලුතෙන් කොරල්පර වගාකළ යුතුයි. උණවටුණ වෙරළ තීරය ආශ්‍රිත මුහුදු පතුල තුළ අපද්‍රව්‍ය කඳු ගොඩගැසී තිබුණා. මූලික පියවර වශයෙන් මුහුදු පතුලේ ගොඩගැසී ඇති අපද්‍රව්‍ය කඳු ඉවත් කිරීමට තමයි අපි කටයුතු කළේ මේ සඳහා උණවටුණේ පිහිනුම් මධ්‍යස්ථාන මගින් විශාල සහයෝගයක් ලබා දුන්නා. මුහුදු පතුලේ තිබී ටයර්, ප්ලාස්ටික් කැබලි රෙදි කැබලි, ස්ලෝන් බට ආදි අපද්‍රව්‍ය කිලෝ 600ක් විතර ඉවත් කිරීමට කටයුතු කළා. වෙරළ තීරය තුළ තිබී පොලිතින් බියර් කෑන් වීදුරු බෝතල් 150ක් පමණ ඉවත් කිරීමට කටයුතු කළා. සෑම මාසයකට වරක් මුහුදු පතුල හා වෙරළතීරය පිරිසිදු කිරීමට අපි බලාපොරොත්තුවෙනවා. මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ හා තොරතුරු තාක්ෂණ පීඨයේ ඉගෙනුම ලබන සිසුන් 100 දෙනකු පමණ මේ සඳහා එක්වුණා. එම සිසුන් විසින් rotaract club යනුවෙන් සංවිධානයක් පිහිටුවාගෙන තියෙනවා. එම සිසුන් මෙකී ශ්‍රමදානය සඳහා සිය දායකත්වය ලබා දුන්නා. මේ සඳහා හබරාදූව ප්‍රාදේශීය සභාව, පොලිසිය උණවටුණ සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය, උණවටුන සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයන්ගේ සංගමය, උණවටුන කිමිදුම් ආයතන මේ සඳහා විශාල සහයෝගයක් ලබා දුන් බව සඳුන් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

උණවටුන වෙරළ තීරය නිල්ධජ වෙරළ තීරයක් බවට පත්කිරීමේ කටයුත්තට උණවටුන නිල්ධජ ප්‍රජා කමිටුවේ සභාපති හා උණවටුන සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ ලේකම් රිදීවිලා නිකේතනයේ හිමිකරු සුමිත් උබේසිරි මහතා සුවිශේෂීවූ දායකත්වයක් ලබාදෙති. ඔහු මෙකී ව්‍යාපෘතිය ගැන කීවේ මෙවැනි කතාවකි.

නිල්ධජ වෙරළ ව්‍යපෘතිය සාර්ථක කරගැනීම සඳහා අපි ගොඩක් මහන්සි වෙනවා. උණවටුන වෙරළ තීරය නිල්ධජ වෙරළ තීරයක් බවට පත්වුණාට පසු මෙහි සංචාරක කර්මාන්තය තුළ විශාල පරිවර්තනයක් ඇතිවෙනවා. කොටින්ම කිවහොත් උණවටුණේ සංචාරක කර්මාන්තය උඩුයටිකුරු වෙනවා. මේ සඳහා අනුමැතිය ලබාගැනීමට වසර තුනක් විතර යනවා. දැනට මේ සඳහා ඉල්ලුම්කොට තියෙනවා. ඒ සඳහා අවශ්‍ය නිර්ණායක මේ කාලය තුළදී සපුරාගත යුතු වෙනවා. වෙරළ තීරය පමණක් නෙවෙයි වෙරළ තීරය ආශ්‍රිත මුහුදු පතුලත් පිරිසිදු කළ යුතුයි. එම කාර්යයට තමයි අපි අතගසා තියෙන්නේ. ඇත්තටම උණවටුන මුහුදු පතුල යට තියෙන්නේ සුන්දර ලෝකයක්. එම සුන්දරත්වය දෙගුණ තෙගුණ කිරීම තමයි අපේ අරමුණ. මෙකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු මෙකී ප්‍රදේශයේ යටිතල පහසුකම් දියුණුවෙලා විශාල සංවර්ධනයක් ඇතිවේවි. ඉදිරියේ දී මුහුදු පතුලේ ගල්මල් වගාකිරීමට ද කටයුතු කරනවා යැයිද සුමිත් උබ්සෙිරි මහතා කීවේය.

මුහුදු පතුල ශුද්ධ කරන අමුතු ශ්‍රමදානයක් උණවටුනෙන් පටන් අරන්

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment