මුහුදු පුරාවිද්‍යා පර්යේෂකවරු ලංකාවටම ඉන්නෙ 6යි

මුහුදු පතුළට එකම කිමිදෙන කාන්තාව

මවක, බිරිඳක, ගෘහණියක ලෙස එකල සාම්ප්‍රදායික භූමිකාවක හිරවුණු කාන්තාව අද වන විට අභ්‍යාවකාශය මෙන්ම මිහිකතද ජය ගනිමින් සිටියි. අසමසම වූ උතුම් මාතෘත්වය මෙන්ම දරාගත නොහැකිවූ කායික වේදනාවන් මෙන්ම ජීවිතයේ හමුවන අභියෝගයන් මැද එම ජීවන අභියෝගයන්ට මුහුණ දෙන ආකාරය අනුවද කාන්තාව සුවිශේෂී වේ. දරා ගැනීම අතින් කාන්තාව සාපේක්ෂව ඉදිරියෙන් සිටින බව පිළිගත යුතුමය.

එකල මෙන් නොව අද වන විට කාන්තාව ගගනත මෙන්ම මහ පොළොවද, භූමිය වට කළ මහ සයුරද දික්විජය කර ඇති බව නොරහසකි. අවදානම රැකියාව කරගත් මුහුදු පතුලේ සුන්බුන් සොයන ජිනාගේ කතාව දිරිය කාන්තාවන්ට උපහාරයක් වනු නිසැකය.

වෘත්තියෙන් ඇය පුරාවිද්‍යා ගවේෂිකාවකි. ඉනිඳු ඇය සුවිශේෂ වන්නේ මුහුදු පුරාවිද්‍යා ගවේෂිකාවක් ලෙසය. මේ සඳහා ලංකාවේ ස්ථාපිතව ඇති මුහුදු පුරාවිද්‍යා ඒකකයේ වෘත්තිකයන් අට හය දෙනකු බවට පත්වෙමින් මේ වනවිටත් ඇය එම සේවයේ යෙදෙන එකම කාන්තාව බවට පත්වී ඇත. ඇය නමින් ජිනාලි තිලිණිකා විජේසිංහ ඒකනායක වේ. මූලික අධ්‍යාපනය සාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ සිදු කළ ඇය තුන වසරේදී පියාගේ වියෝවෙන් පසු මව සමග පෝද්දිවෙල ගමට පැමිණෙයි. පහ වසර ශිෂ්‍යත්වයෙන් පැමිණ ලබුදූව සිරිධම්ම විද්‍යාලයේ පාසල් අධ්‍යාපනය හමාර කරමින් රුහුණු විශ්වවිද්‍යාලයේ 2014 වසරේ පුරාවිද්‍යා විශේෂවේදී උපාධිධාරිණියක ලෙසින් ක්ෂේත්‍රයට පිවිස රැකියාව සහ ජීවිතය තුලනය කරමින් මාරාන්තික අවදානම ද දෝතට රැගෙන මුහුදු පතුල සිඹිමින් සුන්බුන් සොයන ඇය සැබවින්ම වීර කාන්තාවකි. ශූර කාන්තාවකි. ශක්තිමත් ගැහැණියකි. අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවටද දස්කම් පෑ ඇය රුහුණු සරසවියේ පැසිපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවකි.

මුහුදු පතුල සිඹින සොඳුරු කිඳුරිය ජිනා

පුරාවිද්‍යා උපාධිධාරීන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුහුණු කාල සීමාවකට යොමු කරන අතර පුහුණු වන උපාධිධාරීන් ලෙස ගාල්ලේ ස්ථාපිතව ඇති මෙම මුහුදු පුරාවිද්‍යා ඒකකයට යොමුවීම ජිනාලිගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වූ බව ඇය පැවසුවාය. අභ්‍යන්තර කෙටිකාලීන පුහුණුව මුහුදු පුරාවිද්‍යාව පිළිබඳව හැදෑරීමට අවස්ථාවලද ඇය පැතූ අයුරින්ම මුහුදු පුරාවිද්‍යාවෙහි නියැලෙන්නට ලැබීම භාග්‍යයක් බව සඳහන් කරන්නීය. තම ආශාව නිරායාසයෙන්ම ඉටුවූ බවද පවසන්නීය. එතැන් පටන් ඇය මුහුදු පුරාවිද්‍යා නිලධාරිනියක් ලෙස සිය වෘත්තීය ගමන ආරම්භ කර ඇත. පුරාවිද්‍යා නිලධාරීන් ගොඩබිමේ හා භූගත පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථානයන් ගවේෂණයන් කරන අතර ඇයගේ භූමිකාව තුළ ගවේෂණයන් සිදුවන්නේ මුහුදු පතුල තුළය. ඔබ දකිනා ඡායාරූපයන් සහ වීඩියෝ පටයන් තුළ තිබෙන ආකර්ෂණීය බව සොඳුරු සටහන් ඔබ වශී කළ ද සැබවින්ම මාරාන්තික අවදානමක් ද සහිතව කටයුතු කළ යුතු බව ජිනාලි පවසන්නීය. මුහුදේ පතුලේ පවතින ගිලුණු නැව් පිළිබඳ ගවේෂණය කොට වාර්තා කිරීම ඇගේ රාජකාරියෙහි කොටසකි. මුහුදු පතුලට ගොස් නැවක නම් එහි දිග පළල සොයාගැනීම, දිය යට දීම සැලසුම කෙසේ විය යුතුද සැකිල්ල ඇඳ ගැනීමෙන් පසුව ගොඩබිමේදී නැවත සිතියමකට සකස් කොට පරිගණකගත කිරීම ප්‍රධාන වශයෙන් සිදු කිරීම ඇගේ කාර්යභාරය වේ. මින් අමතරව විශේෂයෙන් හඳුනාගනු ලබන පුරාවස්තු වේ නම් කාලවකවානු නිර්ණය කිරීම සඳහා එම පුරාවස්තු ගොඩබිමට ගෙන ඒම, තිබෙන ස්ථානයෙහි අස්ථානගත වීමට ඇති පුරාවස්තු සංරක්ෂණය සඳහා ගොඩබිමට ගෙන ඒම හෝ තියෙන ස්ථානයේම ස්ථාපිත කිරීම තුළ වටිනාකමෙහි වැඩිවීම පදනම් කරමින් ස්ථානය සංරක්ෂණය කිරීමද ඇතුළු කාර්යයන් සිදු කරනු ලබයි. තවත් ලෙසකින් යම්කිසි පිරිසක් හෝ පුද්ගලයෙක් හෝ හඳුනාගත් මෙවැනි පුරාවස්තු පිළිබඳ දැනුම් දුන් පසු ඒ පිළිබඳ මූලික අධ්‍යයනයක් කරමින් ඒවා සහතික කර ගැනීමෙන් පසු කිමිදුම් කොට අදාළ කටයුතු කරනු ලබයි. ලංකාවටම ඇති එකම මුහුදු පුරාවිද්‍යා ඒකකයේ අට දෙනෙක් වන මෙම පිරිස අතරින් මේ වන වන විට එකම කාන්තාව වීමද සුවිශේෂීවන අතර මේ වන විට 6 කට සීමා වී ඇත. අවුරුද්දේ කාලවකවානු අනුව කාලගුණික තත්ත්වයන් හමුවේ මුහුදේ ස්වභාවය සලකමින් උතුරට, නැගෙනහිරට, දකුණට, බස්නාහිරට ආදී වශයෙන් මුහුදු ප්‍රදේශයේ මෙම පුරාවිද්‍යා අධ්‍යයනයන් සිදු කරනු ලබයි.

මුහුදු පතුල සිඹින සොඳුරු කිඳුරිය ජිනා

විශ්වවිද්‍යාල අධ්‍යයනයෙන් පසු වෘත්තියට යොමු වීමත් සමග නිදහසේ සිය වෘත්තීය කරගෙන යෑමට මවගෙන් ලැබුණු සහාය අති මහත් බව පවසන්නීය. එසේම උප පොලිස් පරීක්ෂකවරයකු වශයෙන් කටයුතු කරන ඔහුගේ ස්වාමියා ද ඇයට දක්වන්නේ නොමඳ සහාය කැපවීමකි. දියණිය මෞලි තිසාක්යා බිහි වීමත් සමග පවුල සහ වෘත්තීය තුලනාත්මකව ගෙනයෑම යම් අභියෝගයක් වූ බවට ඇය දකින්නීය. මුල් කාලයේ ඇය සිය දියණිය සමග මවත් කැටුව එම ස්ථානයන් කරා ගොස් සිය වෘත්තීය සිදුකළ බව සිහිපත් කළාය. එහෙත් දියණියකගේ ආදරණීය මවක් වූ ඇයට සිය වෘත්තීය දිවිය හා ගැටෙන්නට සිදුවීම හා දියණියගේ පාසල් අධ්‍යාපනයට යොමු වීමත් සමග දියණියකට මවකට ඇති ආත්මීය බන්ධනයට යම්කිසි දුරස්ථ සීමාවන් පවතින බව ජිනා පවසන්නීය.

කෝසල අබේතුංග නම් උප පොලිස් පරීක්ෂකවරයකු වූ සිය ස්වාමියා පිළිබඳ ඇය දරන්නේ මෙවන් අදහසකි.

මුහුදු පතුල සිඹින සොඳුරු කිඳුරිය ජිනා

“සැමියෙකු විදිහට ඒ කැපවීම උපරිමයි. එයාට යන්න බැරි තැනකට මම යන එක දකින එක තමයි එයාගේ ආසාව. අම්මාත් මීට නොමඳ සහයක් ලබා දෙමින් කරන කැපවීම නිසා මේ දේ කරන්න හැකිවෙලා තියෙනවා.”

වෘත්තියේ අභියෝගයන් පිළිබඳව සඳහන් කරන ඇය කිමිදීම යනු ජීවිත අවදානම සහිත අභියෝගයක් බව පවසන්නීය. බාහිරින් නිරීක්ෂණය කරන්නකුට පෙනෙන්නේ එය සරල විනෝදකාරී සුන්දර ලෝකයක වෘත්තියක් බව වුණත් එහි ඇති දුෂ්කරතාවය පිළිබඳ පැහැදිලි කළේ මේ අයුරිනි.” මෙහිදී මැරෙන්න තියෙන අවදානම වැඩියි. අපි කිමිදීමේදී අරගෙන යන වායුව සාමාන්‍ය හුස්ම ගන්න වායුව. මේ ටැංකියෙ තියෙන වායු ප්‍රමාණයට තමයි අපිට වැඩ කරන්න පුළුවන්. ගැඹුරට යන්න යන්න අපිට රැඳී සිටීමට ඇති හැකියාව අඩුයි. මේ දවස්වල අපි වැඩ කරනවා ආසියාවේ පරණම ගිලුණු දැව නෞකාවක් පිළිබඳව වසර 2200ක් පමණ ඉපැරණි. මෙහි තඹ කොටස්, මැටි භාජන, ඇඹරුම් ගල් අත් ගල්, පාද සලකුණු සහිත දෑ, මේ ගැන පර්යේෂණ සිදු කරමින් පවතිනවා.

(ගොඩවාය යාත්‍රාව) මෙහි අපට කිමිදිලා ඉන්න පුළුවන් වෙලාව විනාඩි 14ක් දාහසයක් අතර. ඒකත් අපි හුස්ම ගන්න ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. කලබල වෙලා එහෙම නැත්නම් බර වැඩ වගේ නැත්නම් හයියෙන් හුස්ම ගන්නවා නම් එහෙම වෙලාවෙදි මේ වායු ප්‍රමාණය අපිට මදි වෙනවා. මෙහිදී අපි නිතරම පීඩනය බලන්න ඕනෑ. ගැඹුරෙදි ආශ්වාස කරන විට සිරුරේ පටක තුළ නයිට්‍රජන් අවශෝෂණය වැඩියි. වාතය අඩුයි වගේ නම් අපි උඩට එන්න පටන් ගන්න ඕනෑ. ඒ එනකොටත් අපිට හිතෙන කොටම උඩට එන්න බෑ. ඇඟේ තියෙන නයිට්‍රජන් බුබුළු විශාල වෙලා පිපිරීම්වලට නහර පිපිරීම්වලට, අංශභාගය තත්ත්වයන්ට හා මරණයට පවා පත්විය හැකියි. එනිසා, පරිගණකයේ අපි රැඳී සිටිය යුතු කාලයන් සඳහන් වෙනවා. 12මී, 10මී, 6මී, ආදී වශයෙන්. මීටර් පහේදි අපි විනාඩි තුනක් අනිවාර්යයෙන්ම සිටිය යුතුයි. සමහර වෙලාවට අපේ ටැංකි බ්ලොක් වෙන්න පුළුවන්. උපකරණ ක්‍රියා විරහිත වෙන්න පුළුවන්. මෙම තත්වයන් වළක්වා ගැනීමට කිමිදුම් උපාංග මෙන්ම කිමිදුම් වගු පරිගණක භාවිතය සහ මන්දගාමී වේගය සම්මත ආරක්ෂිත නැවතුම්, පුහුණුවේ ලද ආරක්ෂිත සීමාවන් අනුගමනය කළ යුතුයි. අපි අනිවාර්යයෙන් සහායක කිමිදුම්කරුවකු සමග තමයි යන්නේ. හදිසි අවස්ථාවක එයාගෙන් අපි උදව් ගන්නවා. ඒ වෙලාවට අපි එයාගේ උදව්වෙන් තමයි උඩට එන්න වෙන්නේ. මීටර් 32ක් පමණ ගැඹුරට අපි මෙහි කිමිදෙනවා. පීඩනයත් එක්ක ඇතිවන තත්ත්වයන් අනුව අපේ ශරීර අභ්‍යන්තරයේ රුධිරයත් සමග නයිට්‍රජන් බුබුළු පිට වෙනවා. ඇත්තටම කියනවනම් ජීවිත අවදානම වැඩියි.

මුහුදු පතුල සිඹින සොඳුරු කිඳුරිය ජිනා

රියැදුරු බලපත්‍රය වගේම කිමිදුම් බලපත්‍රයකුත් මේ සඳහා ලබා ගැනීම කළ යුතු වෙනවා. open water කියන එකේදී අපිට යන්න පුළුවන් මීටර් 18 ක් විතරයි. advance open water කියන එකේදී අපිට යන්න පුළුවන් දළ වශයෙන් මීටර් තිස්ගණනක්. ඒ ගණනය කරපු වගුවට වඩා අපි ළඟ ඇති කිමිදුම් පරිගණකය හා කිමිදුම් ඔරලෝසුව තුළින් අපි කොච්චර ගැඹුරකින්ද, අපි සිටිය යුතු වෙලාව කොපමණද කියල දෙනවා. එලාම් ක්‍රමවේදයක් මගින්. එලාම් එකට මෙච්චර විනාඩි ප්‍රමාණයක් තියෙනවා ආදි වශයෙන් ටික ටික අඩු වෙමින් යනවා ඒක සීරෝ වෙනකොට එලාම් එක වදිනවා. අපි මේ ප්‍රමාණයෙන් ඉන්න ඕනේ කියලා. ඒ වගේම අපිට හිතාගෙන ඉන්න වේගෙට උඩට එන්න බැහැ. මේ සංඥා ක්‍රමය මගින් අපිව පාලනය කරනවා. ඒ වගේම එලාම් එක කොච්චර වැදුනත් අපේ සිලින්ඩරේ වායුව නැත්නම් ඒත් අපිට එන්න බෑ. ඒ කියන්නේ එලාම් එකට අනුව තව විනාඩි දහයක් ඉන්න පුළුවන් වුණත් අපේ සිලින්ඩරයේ වායුව නැත්නම් අපිට ඒත් ඉන්න බෑ. ප්‍රෙෂර් ගේජ් එක අනුව ඒක අපි තේරුම් ගන්න ඕනෑ. බාර් දෙසීයකින් තමයි පටන් ගන්නේ. එය එක එක වර්ණයන්ගෙන් පෙන්නනවා. රතු, කොළ, කහ ආදි වශයෙන්. බාර් පනහ කියන්නේ අපි අවදානමකට ළංවෙලා කියන එක. මිනී මෝරුන් වැනි සත්ව අවදානම තර්ජන නැති වුණත් ජෙලි ෆිෂ් වැනි විෂ මාළුන් වැන්නවුන්ගෙනුත් ජීවිත අවදානමක් තියෙනවා.”

මීට අමතරව ශාරීරික යෝග්‍යතාවය, නින්දේ ප්‍රමාණය, විජලනය, ඖෂධ භාවිතය ආතතිය, මත්ද්‍රව්‍ය භාවිතය කිමිදීම කෙරෙහි සෘජුව බලපාන සාධක වේ.

කාන්තාවක් ලෙස සම්ප්‍රදායික ගැහැණියට අභියෝග කරන ඇය කාන්තාව දකින්නේ මෙලෙසනි.

“අනවශ්‍ය නීති නෑ. සීමා කොටු කිරීම් නෑ. කාන්තාවක් කියන්නේ සාම්ප්‍රදායික රාමුවක කොටු වුණ කෙනෙක් කියලා නොසිතා ලෝකය වෙත අඩිය තියන්න ඕනි කෙනෙක්. ඒ හැම පියවරකදීම දියණියක්, බිරිඳක්, මවක් කියන චරිතෙට සාධාරණයක් කරමින් තමන්ගේ දේ දිනාගන්න ඕනි.”

කාන්තාවට බොහෝ අර්ථකථන දෙන අය අතර කාන්තාව ඉතා දුර්වල තැනැත්තියන් ලෙස පහළ ස්ථරයකට ඇද දමන්නට සැරසෙන ඇත්තෝ නැත්තේද නොවේ. කාන්තාවගේ සීමාව පිළිබඳව හා සිය දිවිය දෙවැනි කොට වෘත්තීය අංක එක කරගත් ජිනා වැන්නවුන් අපිට හමුවන්නේ අතිශය කලාතුරකිනි. මරණය, ජීවිතය, අවදානම, වෘත්තීය, පවුල හා සමාජය මේ සියල්ල මැද ඉද්දගැහුවාක් මෙන් සිටින්නට පුළුවන් වන්නේ මෘදු හිතක් මෙන්ම අභියෝග හමුවේ යදම් වන් ඍජු වූ යෝධබල යෝධ වීරිය ඇත්තියකටම පමණකි. ඇගේ දිරිය දිවියට හා සොඳුරු පවුලට අපි ආශිර්වාද කරමු.

සමන්තා ප්‍රින්සි ලාලනී

advertistmentadvertistment
advertistmentadvertistment