විසඳුමක් නැති ලංකා ඉන්දීය ධීවර ප්‍රශ්නයට තාමත් උත්තර නෑ…!

ඉන්දීය ධීවරයන් ඉස්සන්, මුහුදු කූඩැල්ලන්, පොඩි මාළු ටික පවා අරගෙන යනවා

රට වටේ ම මුහුද තිබුණාට බත්පතට මාළු කෑල්ලක් එක් කර ගන්නට රටේ හැම දෙනාට ම වත්කමක් නැති ගානය. මිනිසාගේ පෝෂණ අවශ්‍යතාවයෙන් ප්‍රෝටීන් වැඩිපුර ම ලබාගත හැක්කේ මස්, මාළු අනුභවයෙනි. එහෙව් කියා පෝෂණයෙන් සපිරි මස් කන්නට අපේ රටේ සාමන්‍ය ජනතාවට හැමදාම බැරිය. ඒ නිසා මාළු කෑල්ලක, කරවල කෑල්ලක එසේත් නොමැතිනම් වියළි හාල්මැස්සන් හෝ බත්පතට එක්කර ගැනීමට වැඩිදෙනකු පෙළඹෙන්නේ පෝෂ්‍යදායී ආහාර වේලෙහි සමබරතාවය රැකගැනීමට ය. ‘මේ දවස්වල මාළු ගිනි ගණන්’ යැයි බොහෝදෙනා කියන කතා අපට අනන්තවත් ඇසී ඇත. ‘රට වටේ ම මුහුදක් තියා ගෙන ගිනි ගාණට මාළු කන්න වෙලා තියෙන්නේ’ මේ තවත් අයගේ කතාවකි. ඇත්තෙන්ම මෙවැනි කතා තෙපලන්නට අපට සිදුව ඇත්තේ කෙසේ ද? එක්කෝ මෙයට ලංකාවේ මාළු වෙළෙන්දන් වගකිව යුතුය. නැත්නම් ධීවරයන් වගකිව යුතු ද? මේ ගැන අප ඔවුන් ගෙන් විමසූවිට ඔවුන් කියන්නේ අපේ රටේ මාළු අඩු ගාණට කන්නටනම් ලංකාවේ මත්ස්‍ය සම්පත පැහැර ගැනීම නැවැත් වියයුතු බවය. ඔවුන් කියන්නේ ඔවුන් අවශ්‍ය ඉන්ධන ටිකවත් ගැනීමට හරිහමන් වත්කමක් නැතිව දහසකුත් ප්‍රශ්න තබා ගෙන දියඹට යන බවය. එවන් ප්‍රශ්න ගොන්නක් හිසමත තබාගෙන ගොස් බත්පතට මාළු කෑල්ලක රස ගෙනෙන්නට ඔවුන් දරන්නේ අපමණ වෙහෙසකි. ඒ දැනට ලංකාවේ ධීවරයන්ට මුහුණ දීමට සිදුවන ‘ඉන්දීය ධීවරයා ගේ මත්ස්‍ය කොල්ලයත් ඔවුන් ගෙන් සිදුවන අඩන්තේට්ටම් නිසා ය.

ඉන්දීය ධීවරයෝ කල්පිටිය මුහුදෙත් මසුන් දඩයමේ

මෙරට උතුරු මුහුදට පැමිණෙමින් ඉන්දීය ධීවරයන් කරන නීති විරෝධී මසුන් ඇල්ලීම මේ වනවිට කල්පිටිය මුහුදු සීමාව දක්වා පැතිර ගොස් ඇති බව සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමය සඳහන් කරයි. එම සංගමෙයේ සභාපති අරුණ රොෂාන්ත පවසන්නේ මේ නිසා දිනකට ඉන්දීය ධීවර යාත්‍රා 500කට ආසන්න ප්‍රමාණයක් උතුරේ සිට කල්පිටිය මුහුදු සීමාවට පැමිණෙන බවය. මේ ආකාරයට ඉන්දීය ධීවරයන් සතියට දින තුනක්, හතරක් ලංකා මුහුදු සීමාවට පැමිණ මසුන් මැරීමේ කටයුතුවල නියැළීම නිසා උතුරේ සහ දකුණේ ධීවරයන්ට ධීවර කර්මාන්තය නිසි ලෙස කළ නොහැකි තත්ත්වයක් ඇතිවී ඇත.

ඉහත කරුණු කිහිපය සලකා බැලීමේ දී මෙරටට අයත් සාගරයේ මත්ස්‍ය සම්පත නෙළා ගැනීම පිළිබඳව මතුව ඇත්තේ කනගාටුදායක තත්ත්වයකි. රට වටකොට ඇති සාගරයක් ස්වභාව ධර්මයා ගෙන් අපට උරුම වූවද එයින් නිසි ප්‍රයෝජනයක් ලබාගැනීමට රටක් වශයෙන් අප තවමත් අසමත්ය. ඒ වෙන කිසිවක් නොව, එදා සිට ම මෙරට ධීවරයාට තම ධීවර රැකියාවේ නියැළීමට අවශ්‍ය සම්පත් හා වටපිටාවක් නොතිබීමය. දහසකුත් අගහිඟකම් ඇති මෙරට ධීවරයාට දැල් ආම්පන්න සිට ඉන්ධනවලට වැඩි පිරිවැයක් දැරීමට සිදුවී ඇත. කොටින්ම කිවහොත් අද ධීවරයාට මුහුදු යෑමට අවශ්‍ය ඉන්ධන ටික ද නොමැති තත්ත්වයක් උද්ගතවී ඇත. ඔවුන්ට ඉන්ධන මිල ශීඝ්‍ර ලෙස ඉහළ යෑම ද තම රැකියාව සිදුකර ගෙන යෑමට දැවැන්ත අභියෝගයකි. තත්ත්වය එසේ තිබිය දී ඉන්දීය ධීවරයන් ගෙන් මෙරට ධීවරයන්ට එල්ලවී ඇති තර්ජන හා මෙරට මත්ස්‍ය සම්පත මංකොල්ලකෑම නිසා මෙරට උතුරු ධීවර කර්මාන්තයට එල්ල වී ඇත්තේ බලවත් තර්ජනයකි.

පෙර සඳහන් කළ පරිදි ඉන්දීය ධීවරයාගේ ප්‍රශ්නය අපට කියන්නේ සමස්ථ ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමයේ සභාපති අරුණ රොෂාන්ත මහතාය. ඔහු පවතින තත්ත්වය කියන්නේ ය.

මුහුද අපට…මාළු උන්ට…

“මෙම ප්‍රශ්නයේ බලපාන මූලිකම කරුණ තමයි, ඉන්දීය ධීවරයා ගෙන් අපේ රටට වන හානිය. ඊළඟ කාරණාව තමය,ි මේ අය අපේ දේශ සීමාවට එන්නේ ජාත්‍යන්තර සාගර නීතිරීති උල්ලංඝනය කරමින් කියන එක. මේ අය බොටම් ට්‍රෝලිං ක්‍රමය මගින් මාළු අල්ලන එක තමයි සිදුකරන්නේ. මේ දැල ඉතා විශාල එකක්. මේ අය කරන්නේ මහා පරිමාණ පන්න යොදාගනිමින් මසුන් අල්ලන එක. අපට තියෙන ප්‍රශ්නය තමය,ි මේ විදිහට දේශ සීමා උල්ලංඝනය කරමින් අපේ රටට එන ඉන්දීය ධීවරයන්ට නීතිය ක්‍රියාත්මක නොකිරීම. ආරක්‍ෂක අංශ මගින් ඔවුන් අත්අඩංගුවට ගැනීම නිසි පරිදි සිදුවන්නෙත් නැහැ. දිනකට බෝට්ටු 500ක් විතර එන කොට අවුරුද්දකට විතර බෝට්ටු දෙක තුනක් අල්ලලා වැඩක් නැහැ. ඒත් සිදුවෙන්නේ එහෙම දෙයක්. මේ ප්‍රශ්නයෙන් දේශපාලන වාසි ගන්න පිරිසක් අපේ රටේ ඉන්නවා. ඉන්දියාවේ ඉන්න මහාපරිමාණ ව්‍යාපාරිකයන් හා දේශපාලනඥයන්ගේ විශාල ප්‍රමාණයක් අපේ මුහුදු සීමාවට ඇතුළු වෙනවා. ඉස්සන්, මුහුදු කූඩැල්ලන්, පොඩි මාළු ටික පවා මේ අය අරගෙන යනවා. කොරල්පර පවා මේ අය අරන් යන තත්ත්වයට පත්වෙලා. මේක ඒ අයගේ බිස්නස් එක. මේ නිසා අපේ අහිංසක ධීවරයන් අසරණ වෙලා. කොටින්ම කිව්වොත් මේ අය එනකොට අපේ ධීවරයන් ගොඩට එන තත්ත්වයක් තමයි උතුරු නැඟෙනහිර මුහුදේ තත්ත්වය. එයාලගේ බෝට්ටු එද්දී අපේ ධීවරයාගේ බෝට්ටු අහලකවත් තියාගන්න බෑ. මොකද එයාල පොළොව යටින් විශාල දැල් ඇදගෙන එනවා. එතකොට අපේ ධීවරයාගේ දැල් කපාගෙන කඩාගෙන යනවා. අපේ ධීවරයන් පාවිච්චි කරන්නේ පොඩි පන්න. එම දැල්වල ශක්තිමත් භාවය ඉතා අඩුයි. එයාල එන දවසට අපේ ධීවරයා අයින් වෙන්න ඕනා. මේක සම්පූර්ණයෙන්ම රටේ නීතියටත් ජාත්‍යන්තර නීතියටත් පටහැනි දෙයක්. මේක මුහුදු සම්පත විනාශකාරී පන්න ක්‍රමයක්. මේකට ඉතාමත් කඩනමින් දේශපාලන තීන්දුතීරණ ගන්න අවශ්‍යයි. හැබැයි පසුගිය යුද්ධ කාලයේ මේ විදිහට ඉන්දීය ධීවරයා අපේ සීමාවට ආවේ නෑ. ඒත් අවුරුදු 30ක් යුද්ද කරලා උතුරු නැඟෙනහිර නිදහස් කර ගත්තත් දැන් එම පළාත්වල ජාතික ආරක්‍ෂාව ගැන ප්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා. අපේ රටේ ඉඩම් ඉන්දියාවට, චීනයට, ඇමෙරිකාවට විකුණනවා. ඒ මදිවට මුහුද ද ඉන්දියාවෙන් ඇවිත් අල්ල ගන්නවා. ආණ්ඩුවත් ඉන්දීය ධීවරයාට මසුන් ඇල්ලීමේ අයිතිය ලියකියවිල්ලෙන් ලබාදෙන්න මීට කලින් මුට්ටිය දලා බැලුවා. කොයි වෙලාවෙ හරි ඒකත් දෙන්න තමයි බලන් ඉන්නේ.

ඉන්දීය ට්‍රෝලිං ක්‍රමය නිසා අපේ මුහුදේ මත්ස්‍ය සම්පත විනාශ වුණා. ඒ වගේම එක්ස්ප්‍රස් පර්ල් නැවේ ප්‍රශ්නයක් අපේ සාගරයේ මත්ස්‍ය සම්පතට දරුණු ලෙස බලපාලා තිබෙනවා. මේ නිසා ඇතැම් මත්ස්‍යයන් සම්පූර්ණයෙන්ම වගේ වඳවෙලා ගිහිල්ලා තියෙන්නේ. වෙනද මේ කාලයට අහුවෙන මසුන් දැන් අහුවෙන්නෙත් නැති තරම්. වෙනදා මේ කාලයට යක්සාලයා, කරට්ටයා, හුරුල්ලා ඕන තරම් අසුවෙනවා. ඒත් දැන් මාර්කට් එකේ මාළු ගිනි ගණන්. පොඩි මාළුත් රුපියල් හය හත්සියයයි අටසීයයි. මේවාට මේ ආණ්ඩුව පාලනය කරපු අය වගකියන්න ඕනා. ඉන්දීය ධීවරයාගේ මාළු කොල්ලය ප්‍රසිද්ධ දෙයක්. මේ අය මන්නාරම පැත්තෙන් ගොඩබිමට එනව කියල තමයි දැන් ආරංචි වෙලා තියෙන්නේ. මේ අය කල්පිටියත් ඉක්මවලා කන්දකුලිය කියන ප්‍රදේශයට වෙනකන් එනවා. නැඟෙනහිර පැත්තෙන් කෝකිලායි පුල්මුඩේ දක්වා එනවා. ගොඩක් අත්අඩංගුවට පත්වෙන ඉන්දියාවේ ධීවරයාව නිදහස් කරන ක්‍රමයක් තමයි ආණ්ඩුව අනුගමනය කරන්නේ. ඒත් හදිස්සියේවත් ඉන්දියාවෙන් අපේ කෙනෙක් අත්අඩංගුවට ගත්තොත් ඒ අය හරියට ම නීතිය කරනවා.”

ඔහුගේ කතාව එතනින් ඉවර නැත. එහෙත් අපි ඔහුගේ කතාවට මඳ විරාමයක් තබමු. ඉන්දීය ධීවරයාගේ ආක්‍රමණික ප්‍රශ්නයට පිළිතුරු සොයන මෙරට ආණ්ඩුව උතුරු මුහුදේ හා නැඟෙනහිර මුහුදේ මසුන් ඇල්ලීමේ අයිතිය ලියවිල්ලෙන්ම ඉන්දියාවට දී රටක් වශයෙන් කරබා සිටීමට ප්‍රයත්න දැරීම කිසිසේත් අනුමත කිරීම නොහැක්කකි. සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමයේ සභාපතිවරයා කියන්නේ ද රටක් වශයෙන් ඊට එරෙහිව නිසි ක්‍රියාමාර්ග නොගැනීමේ අහිතකර ප්‍රතිඵලයට අද උතුරු නැඟෙනහිර ධීවරයා මුහුණ දෙනබවය. මෙරට ධීවරයා ද ඉන්දීය ධීවරයාගේ ප්‍රශ්නය හැරුණු කොට තවත් ප්‍රශ්න රැසකට මුහුණ පාන්නේය. ඒ ගැන අරුණ රොෂාන්ත සිය හඬ නැවතත් අවදි කරන්නට වූයේ මෙසේය.

“අපේ ධීවරයාගේ අනිත් ප්‍රශ්නය තමයි ඉන්ධන ප්‍රශ්නය. සභාපතිවරයෙක් විදිහට මට කියන්න තියෙන්නේ ඉස්සර අපේ ධීවරයාට මුහුදු යන්න වැය වුණේ රුපියල් 7000ක් විතරයි. ඒත් දැන් 25000ක් ඕනා දවසකට මුහුදු යන්න. සමහර යාත්‍රාවලට 20000ක්, 40000ක් විතර යනවා ඉන්ධනවලට. ඉතින් මේ කියන ප්‍රශ්නවලින් අපේ ධීවරයා තැලෙනවා. එකපැත්තකින් ඉන්දියාවේ ධීවරයා ගෙනුත් අනිත් පැත්තෙන් තෙල් හා ආම්පන්නවල මිලෙනුත් ධීවරයා අසරණ තත්ත්වයකට පත්වෙලා. රටකට ඇවිත් ඒ රටට හිමි සම්පත් නෙළා ගෙන යනකන් ඒ රටේ පාලකයන් බලා සිටීම විශාල ප්‍රශ්නයක්. ආරක්‍ෂක අංශවලටත් කරන්න දෙයක් නැහැ. මොකද මේ ප්‍රශ්නය රාජතාන්ත්‍රික ප්‍රශ්නයක්. මේවා විසඳීමට දේශපාලන තීරණ ගන්න කියලයි අපි ඉල්ලන්නේ. අනිත් ප්‍රශ්නය තමයි ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් අමාත්‍යාංශය හා ආණ්ඩුවට කිසිම සැලසුමක් නෑ. ඒක තමයි ඇත්ත තත්ත්වය. එහෙම සැලැසුමක් තියෙනවනම් ලංකාවේ ධීවර කර්මාන්තය දියුණු කරන්න පුළුවන්.” ඔහු සිය කතාවට සමුදුන්නේ එසේය.

බත්තලන්ගුණ්ඩුව ප්‍රදේශයේ වෙසෙන ධීවර සමිතියේ හිටපු ලේකම් වර්ණකුලසූරියගේ ඇන්ටන් ප්‍රනාන්දු ඉන්දීය ධීවර ප්‍රශ්නයෙන් හොඳින් බැටකෑ අයෙකි. ඔහුට කියන්නට ද යමක් ඇති හෙයින් අප ඔහුට සවන් දීමට තීරණය කළෙමු. මේ ඔහුගේ කතාවය.

“ඉන්දීය ධීවර යාත්‍රා දිනකට විශාල ප්‍රමාණයක් අපේ මුහුදු සීමාවට ඇතුළු වෙනවා. මේ අය අපේ මුහුදේ තියෙන කොරල් පර පවා විනාශ කරනවා. මුහුදු පතුලේ තියෙන සාගර සම්පත් සම්පූර්ණයෙන්ම වගේ මේ අය විනාශ කරල තියෙන්නේ. ට්‍රෝලිං ක්‍රමය නිසා අපේ ධීවරයාගේ දැල් ආම්පන්න හැමදාම වගේ විනාශ වෙනවා. මේ පිළිබඳව අප නාවික හමුදාවට දැනුම් දුන්නත් තවමත් එයට නිසි විසඳුම් ලැබිලා නෑ. මේ කියන බොටම් ට්‍රෝලිං ක්‍රමය ඉන්දියාවේ තහනම් කරපු ක්‍රමයක්. ඉන්දියාවේ සාගර සම්පත් විනාශ වෙන්න එක හේතුවක් තමයි මේ බොටම් ට්‍රෝලිං ක්‍රමය. දැන් එයාලගේ මුහුදේ මාළු නැහැ. ඒ නිසා මේ අය අපේ සාගර කලාපවලට අනවසරයෙන් ඇතුළුවෙලා මත්ස්‍ය සම්පත සූරා ගෙන යනවා. මේ නිසා අපේ ධීවරයාට නෙළා ගන්න මත්ස්‍ය සම්පත් දැන් මුහුදේ අඩුයි. ආණ්ඩුවටත් අපි මීට කලින් ඉඳලම දැනුවත් කිරීම් සිදුකළා. නාවික හමුදාවටත් කිව්වා. දැන් ඒ අය කියන්නේ ඒ අයට මේ සම්බන්ධව නිසි බලයක් නැහැ කියලා. ඒත් අපේ ට්‍රෝලර් යාත්‍රාවක් ඉන්දියාවේ සීමාවට ගියොත් ඉන්දීය හමුදාවෙන් අත්අඩංගුවට ගන්නවා. ඒත් ඉන්දීය ධීවරයා අත්අඩංගුවට ගන්න ක්‍රමවේදයක් දැන් දකින්න නැහැ. මේක තමයි රටේ තත්ත්වය.

ඉන්දියාවට ම සින්න වෙන අපේ මත්ස්‍ය සම්පත?

මුහුද අපට…මාළු උන්ට…

පසුගිය අවුරුදු කිහිපය මුළුල්ලේම මන්නාරම් නගරයේ දී දැවැන්ත විරෝධතාවන් පවත්වන්නට වූයේ උතුරු මුහුද ඉන්දියාවට විකිණීමට එරෙහිවය. ඒ ලංකා මුහුදේ මසුන් මැරීමට ඉන්දීය ධීවරයන්ට බලපත්‍රයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් සැලසුම් කිරීමට රජය මගින් කටයුතු යොදා තිබීම නිසාය. තවද පසුගිය කාලය පුරාම මෙරට ධීවරයන් වීථි පුරා පෙළපාලි ගියේ මෙරට මුහුදේ ඉන්දීය ධීවරයන් සිදුකරන මත්ස්‍ය සම්පත කොල්ල කෑම සපුරා නතර කරන ලෙස ඉල්ලා ය. ඔවුන් කියා සිටියේ ආණ්ඩුව විසින් ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදේ මසුන් මැරීමට අවසර දීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් සිටින බවත්, එය වහා නතර කරන ලෙසය.

ආණ්ඩුව මේ සම්බන්ධව වැනෙන සුළු ප්‍රතිපත්තියක් අනුගමන කළ ද ඉන්දීය ධීවරයාගේ ගැටලුව සම්බන්ධව තවමත් විසඳුම් ඉදිරිපත් කළේ ද නැත. එම නිසා මේ වනවිට ද ශ්‍රී ලංකා ධීවරයන් හා ඉන්දීය ධීවරයන් අතර ගැටුම් හටගනිමින් පවතින බවක් පෙනෙන්නට ඇත. පසුගිය කාලය පුරාවට මෙන්ම අද වනවිට ද උතුරු මුහුදේ ඉන්දීය ධීවරයන් නාවික හමුදා අත්අඩංගුවේ පසුවීම වැනි කාරණාවලින් සනාථ වන්නේ ඉන්දීය ධීවර ප්‍රශ්නය තවමත් විසඳී නොමැති බවය.

සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ ක්‍රියාකාරිකයකු වන ටිරෝන් මහතා කියන්නේ ද ඉන්දීය ධීවර ප්‍රශ්නය තවමත් විසඳී නොමැති බවක්ය. ඔහු කියන්නේ නීතිවිරෝධී පන්න භාවිත කරමින් ලංකා මුහුදේ මත්ස්‍ය සම්පත සම්පූර්ණයෙන්ම නෙළාගන්නේ ඉන්දීය ධීවරයා බවය.

“ඉන්දීය ධීවරයා නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීම ලංකාවට ලොකු ප්‍රශ්නයක්. ඔවුන් ඇවිත් අපේ මුහුදු සම්පත සම්පූර්ණයෙන්ම සූරාගෙන යනවා. ඉන්දීය ධීවරයා මසුන් මරන ක්‍රමය ලංකාවේ තහනම් කළ ක්‍රමයක්. ඒත් ඔවුන් මුහුදු පතුලත් එක්කම හූරලා මසුන් අල්ලා ගෙන යනවා. එතකොට සාගර පතුලේ සිටින කුඩා මසුන්, ගල්මල්, බිත්තර පවා විනාශ වෙලා යනවා. සතියට දින තුනක් හතරක් ඇවිල්ලා කෝටි ගාණක අපේ මත්ස්‍ය සම්පත ඔවුන් රැගෙන යනවා. එකපාරට බෝට්ටු 500ක් විතර එනවා. කල්පිටියට මෙහාට වෙන්න තියෙන බත්තලගුණ්ඩුව පැත්ත වෙනකන් ඉන්දියාවේ ධීවරයා එනවා. මේ අය ගොඩක් අල්ලන්නේ ඉස්සෝ වගේ මාළු. ඔවුන් එන ට්‍රෝලිං බෝට්ටු රේල් පීලි දමලා බිමදිගේ ඇදන් එන ක්‍රමයක් තියෙන්නේ. එතකොට අපේ මුහුදේ පතුල සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. අපේ රටට එන්න තියෙන විදේශ විනිමය තමයි මේ විදිහට ඉන්දියාව ඇවිත් අරන් යන්නේ. ඒත් මේක නවත්වන්න තාම රටේ ආණ්ඩුවට බැරිවෙලා තියෙනවා.”

අපේ රටේ ධීවරයන් ඉන්දීය ධීවර ප්‍රශ්නය කියන්නේ එලෙසය. එහෙත් මෙම ඉන්දීය – ලංකා ධීවර ගැටලුවට ද ඉතිහාසයක් ඇති බව රහසක් ද නොවේ. එදා සිට ම අද වනවිට මේ ප්‍රශ්නය අවුරුදු ගණනාවක් අපගේ පාලකයන් ඇදගෙන ගොස් ඇත්තේ හුදෙක් දේශපාලන වාසි තකාය. එදා සිට ම රටක් වශයෙන් වැනෙන සුළු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම නිසා අද බලවත් ගැටලුවක් බවට පත්වී ඇති ධීවර ප්‍රශ්නයට හැකි ඉක්මනින් පිළිතුරු ලැබීම ධීවරයන් පමණක් නොව, අද රටේ කාගේත් බලාපොරොත්තුවය.

මොකක්ද මේ තහනම් පන්න

තවද තහනම් ධීවර අම්පන්න වන ‘ලයිට්කෝස්, බොටම් ට්‍රෝලිං වැනි ආම්පන්න භාවිතය හේතුවෙන් කුඩා මසුන් විශාල ලෙස මියයෑමෙන් මත්ස්‍ය සම්පත විශාල ලෙස අඩුවීමට හේතුවී ඇත. පසුගිය කාලය තුළ එනම් එල්.ටී.ටී.ඊය ත්‍රස්තවාදී යුද්ධය නිමවීමත් සමග නැවත ඉන්දීය ධීවර ගැටලුව පටන්ගෙන ඇති බවද ධීවර සමිති සාමාජිකයෝ පෙන්වා දෙති. නාවික හමුදාව මගින් මුහුදු සීමා ආක්‍රමණය කරන ධීවර යාත්‍රාවලට අවවාද කළත් නැවත වතාවක් ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමා උල්ලංඝනය කිරීමට පටන්ගෙන ඇති බවට වාර්තා වේ. මේ හේතුවෙන් මෙරට ධීවරයාගේ මත්ස්‍ය අස්වැන්නට කණකොකා හඬන්නට පටන්ගෙන ඇත. ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමා ආක්‍රමණය කරන්නේ හිතාමතාමය. එසේ ඔවුන් මුහුදු සීමා ආක්‍රමණය කරනු ලබන්නේ ද බහුදින ධීවර යාත්‍රාවලිනි. එම යාත්‍රවල මුහුදු සීමා පැහැදිලිව හඳුනාගත හැකි ජී. පී. එස්. උපාංග සතුව තිබුණත් ඔවුන් ඒ කිසිවක් නොතකා මෙරට මුහුදු සීමාවට ඇතුළු වෙති.

මාළු අපේ වුණාට වාසි ඉන්දියාවට

ඉන්දීය ධීවරයන් මන්නාරමට ඉහළින් කන්කසන්තුරය දක්වා වන පෝක් සමුද්‍රසන්ධිය අවට මුහුදු කලාපයට වැඩි වශයෙන් පිවිසෙන්නේ එය මසුන්ගෙන් පිරී ඇති ප්‍රදේශයක් නිසාවෙනි. තවද පොකිරිස්සන්, ඉස්සන් වැනි මසුන් බටහිර රටවලින් වැඩි ඉල්ලුමක් ඇති නිසා හොඳ වෙළෙඳපොළක් පවත්වා ගෙන යෑමට ඉන්දියාවට හැකිවී ඇත. එමෙන්ම සැමන් මසුන් ද මේ කලාපයේ බහුලවම හමුවන අවස්ථාවන් ද ඇත. එය මත්ස්‍ය සැකසුම් කර්මාන්තයට මහත් පිටිවහලක් වන හෙයින් තමිල්නාඩුවේ පමණක් මසුන් සකස් කිරීමේ කම්හල් 28ක් පවත්වා ගෙන යති. ඒවාට මසුන් අලෙවි කරන ධීවරයන්ට ඉහළ මුදලක් ලැබෙන අතර ඉන්දියාව විශාල රටක් බැවින් රට අභ්‍යන්තරයට මත්ස්‍ය සම්පත විශාල මිලකට අලෙවි කළ හැකිය.

දූපතක් වන ශ්‍රී ලංකාව කරදිය ධීවර කර්මාන්තය මනාව පවත්වාගෙන යෑම සඳහ ස්වභාව ධර්මය විසින් ලාංකිකයන්ට සුදුසු භූගෝලීය පරිසරයක් නිර්මාණය කොට දී ඇත. එහෙත් අපේ රටේ ධීවර කර්මාන්තය නිසි පරිදි පවත්වාගෙන යෑම සඳහා සුදුසු වාතාවරණයක් මෙරට නොතිබීම මෙරට මත්ස්‍ය කර්මාන්තය මෙන්ම මුළු මහත් රටටම බලපා ඇත. දැන් සිදුවිය යුත්තේ මෙරට උතුර, නැඟෙනහිර මුහුදේ අයිතිය ඉන්දියාවට පවරා දීම නොව, මෙරට මුහුදු සීමා ආක්‍රමණය කරන්නන්ට දැඩි නීති පැනවීමය. ඒ සඳහා රාජතාන්ත්‍රිකව කටයුතු කිරීමය. එමෙන්ම මෙම මත්ස්‍ය සම්පත් බාධාවකින් තොරව නෙළා ගැනීමට ලාංකික ධීවරයාට අවස්ථාව ද සැලසිය යුතුය. මන්ද මෙරටට හිමි මත්ස්‍ය සම්පතේ සැබෑ හිමිකරුවා ඉන්දියාව නොව, ශ්‍රී ලාංකික ධීවරයා ය.

මුහුද අපට…මාළු උන්ට…

රමින්ද මාවතගේ


advertistmentadvertistment