මුහුද මැද ගැටුමෙන් අතරමං වූ ධීවරයෝ 4 දෙනා ගාල්ල වරායට

167

සෞඛ්‍ය තත්ත්වය හොඳටම දුර්වලයි

ගොඩබිමට ආවේ ගැටුමෙන් දින 6කට පසුව

නියමුවා රේඩාර් පද්ධතියට හානි කර පැනලා ගිහින්

මුහුද මැද ගැටුමෙන් අතරමං වූ ධීවරයෝ 4 දෙනා ගාල්ල වරායට



ධීවර කාර්මිකයින් පිරිසක් අතර මහ මුහුදේ දී ඇතිවූ ගැටුමකින් පසු මුහුදේ අතරමංව සිටි ධීවර කාර්මිකයින් සිව්දෙනකු ඊයේ (16 දා) ගාල්ල ධීවර වරායට පැමිණීමෙන් පසු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි.

මෙම ධීවර කාර්මිකයෝ සිව්දෙනා ඉතා දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූහ. ඔවුන් ගොඩබිමට පැමිණ තිබුණේ මුහුදේ දී ගැටුම ඇතිවී දින 6කට පසුවය.

පසුගිය ජනවාරි 09 වැනිදා මිරිස්ස ධීවර වරායෙන් ධීවර කාර්මිකයින් පස්දෙනකු ‘කැන්ගරු’ නමැති බහුදින යාත‍්‍රාවෙන් මුහුදු ගොස් තිබුණි. බහුදින ධීවර යාත‍්‍රාවේ නියමුවා හා ධීවරයන් අතර මුහුදේ දී ගැටුමක් ඇතිවී තිබේ.

මෙම ගැටුමෙන් පසු බහුදින ධීවර යාත‍්‍රාවේ නියමුවා බෝට්ටුවේ සන්නිවේදන උපකරණවලට (රේඩාර් පද්ධතියට) හානි කර මුහුදේදීම වෙනත් බෝට්ටුවක නැගී පලා ගොස් ඇත.

බහුදින යාත‍්‍රාවේ නියමුවා යාත‍්‍රාව දමා පලා යෑමෙන් ධීවර කාර්මිකයෝ සිව්දෙනා මහ මුහුදේ දී අතරමං වූහ. පසුව මොවුන් එම බහුදින යාත‍්‍රාවෙන්ම ගාල්ල ධීවර වරායට පැමිණ තිබුණි. මෙම සිද්ධිය පිළිබඳ ගාල්ල වරාය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ලලිත් චාමින්ද, එස්.කේ. කළුආරච්චි – ගාල්ල, හිනිදුම රවීන්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment