ණයහිමියන් සමග සාකච්ජාවල ප්‍රගතියක් තියෙනවා
– මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ, 2022 ඔක්තෝබර් මස 05 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SDFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට මහ බැංකුව තීරණය කර ඇත. මෙම තීරණයට එළඹීමේදී, මුදල් මණ්ඩලය විසින් නවතම සාර්ව ආර්ථික තත්ත්වයන්, අපේක්ෂිත වර්ධනයන් සහ සාර්ව ආර්ථික පුරෝකථන සලකා බලා ඇත. මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දැනට පවතින දැඩි මුදල් තත්ත්වය, උද්ධමනය ඉහළ යෑමේ වේගය අඩු වීම සහ දේශීය හා ගෝලීය සාධකවල සහාය ලබමින් නුදුරු කාලීනව අපේක්ෂිත උද්ධමනය අඛණ්ඩව පහළ යෑමේ ක්‍රියාවලිය සලකා බලන ලදී. ඉදිරි කාලය තුළ අපේක්ෂිත උද්ධමනය අඛණ්ඩව පහළ යෑමේ ක්‍රියාවලිය සාක්ෂාත් කර ගැනීම සඳහා මුදල් තත්ත්වය ප්‍රමාණවත් තරම් දැඩිව පවතින බව මුදල් මණ්ඩලයේ අදහස විය. දැනටමත් ක්‍රියාත්මක වන දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම් සඳහා දැඩි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සහාය වනු ඇති අතර සමස්ත ඉල්ලුම් පීඩන ගොඩනැගීම අවම කිරීමටත් එමගින් උද්ධමන අපේක්ෂා පාලනය කිරීමට සහ මැදි කාලීනව මතුපිට උද්ධමනය ඉලක්කගත සියයට 4-6 මට්ටම දක්වා පහළ දැමීමට එම ක්‍රියාමාර්ග උපකාරී වනු ඇතැයි මහ බැංකුව පවසයි.
මෙම මූල්‍ය ප්‍රතිපත්ති විවරණය ඉදිරිපත් කිරීම සඳහා පසුගිය බ්‍රහස්පතින්දා (06දා) මහ බැංකුවේ මාධ්‍ය හමුවක් පැවති අතර එහිදී අවධානය යොමු වූ ප්‍රධාන කරුණක් වූයේ මූල්‍ය අරමුදලේ ණය පහසුකමයි. එම අපට ලැබෙන මූල්‍ය පහසුකම වෙනුවෙන් මූල්‍ය අරමුදලේ විධායක සභාවේ අනුමැතිය ලබා ගැනීම අපට ඇති මීළඟ අභියෝගයයි. ඒ වෙනුවෙන් රජය සහ මහ බැංකුව දැන් කටයුතු කරගෙන යයි. ඒ පිළිබඳව සහ මේ දිනවල ඉහළ මට්ටමක තිබෙන පොලී අනුපාත ගැන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වීය. පහතින් සටහන් වන්නේ එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නවලට මහ බැංකු අධිපතිවරයා දැක් වූ අදහස්ය.
මෙම මාධ්‍ය හමුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම ලබා ගැනීමේ ක්‍රියාවලියේ මෙතෙක් ප්‍රගතිය කවරේද යන්න ගැන මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර ඒ සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා මෙසේ කියා සිටියේය.
සැප්තැම්බර් 01 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව ඇති කරගත් පසු අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ පටන් ගත්තා. අපට ණය දුන් ද්විපාර්ශවික රටවල් සහ වාණිජ පදනමින් ණය දුන් අයත් එක්ක. ඒ ක්‍රියාවලියේ දී අපි සාකච්ජා වට කිහිපයක් පැවැත්වුවා. විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශය ඒ තාක්ෂණික මට්ටමේ සාකච්ජා කළා. තියෙන ඒ දත්ත ඒ අය සමග සාකච්ජා කළා. ඊට අමතරව පසුගිය සැප්තැම්බර් 23 වැනිදා හැමෝටම පොදුවේ ඉදිරිපත් කිරීමක් ලෙස ඔක්කොම අපි ණය දෙන ආයතනවලට තොරතුරු ඉදිරිපත් කළා. ඊට පසුවත් ජනාධිපතිතුමා ජපානයට සංචාරය කරපු වෙලාවේ ජපානයත් සමග සාකච්ජා කරලා තිබුනා. ඊට පසු මැනිලාවල ආසියානු සංවර්ධන බැංකු මීටිමට ගිය වෙලාවේත් සාකච්ජා කරලා තිබුන. ඒ අතරතුර ජනාධිපතිතුමා එංගලන්තයේ ගිය වෙලාවෙත් යම්කිසි මට්ටමක සාකච්ජා කරන්න අවස්ථාව ලැබිල තිබුණ. ඒ ඉහළ මට්ටමේ සහ තාක්ෂණික මට්ටමේත් සාකච්ජා සහ තොරතුරු හුවමාරු කර ගැනීම් දිගටම පවත්වාගෙන යනවා. ඒ ක්‍රියාවලිය ලබන සතියේ අපි රාජ්‍ය මුදල් ඇමැතිතුමා සහ භාණ්ඩාගාර ලේකම්තුමා ඇතුළු අපි කණ්ඩායමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ජාවලට ගියහමත් අපි බලාපොරොත්තු වෙනවා දිගටම ඒ සාකච්ජා පවත්වාගෙන ගිහින් අපි ඒ ණය දීපු රටවල් සහ වාණිජ පදනමින් ණය දීපු අයත් එක්ක කතා කරලා ඉක්මනින් ප්‍රගතියක් ලබා ගන්න.
මෙහිදී අපි සියලුම ණය හිමියන් සමග සාකච්ජා කරගෙන යනවා. ඒ සම්බන්ධයෙන් එකඟත්වයකට ආවහම එය ප්‍රකාශ කරනවා. ඒ සාකච්ජාවල ප්‍රගතියක් පෙන්නුම් කරනවා කියන ප්‍රකාශය මට කියන්න පුළුවන්. එම සාකච්ජාවලින් මාස කිහිපයක් තුළ මූල්‍ය සහතික කිරීම් නොවැම්බර් පමණ වන විට ඇති කරගෙන මූල්‍ය අරමුදලේ විධායක සභාවට ගිහින් මේ වැඩසටහන දෙසැම්බර් මාසය පමණ වන විට අනුමත කරගත හැකිවනු ඇතැයි අපේක්ෂා කරනවා. ඒ වෙනුවෙන් දැන් කටයුතු කරගෙන යනවා.
මූල්‍ය අරමුදලේ විධායක සභාවේ අනුමැතිය ලැබී එම මුදල් ලබුනත් එම මුදල් පමණක් අපේ විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීම සඳහා ප්‍රමාණවත් නොවන නිසා අපට තවදුරටත් විදේශ මුදල් සොයා ගැනීමට සිදු වන බවත් ඒ සඳහා ඇති සැලසුම් මොනවා ද යන්න ගැනත් මෙහිදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළ අතර එයට මහ බැංකු අධිපතිවරයා මෙසේ පිළිතුරු දුන්නේය.
අයිඑම්එෆ් එකෙන් අප බලාපොරොත්තු වෙන්නේ මුදලේ ප්‍රමාණයට වැඩිය අපේ වැඩපිළිවෙළ සහ ණය තිරසාර කළ විට දරාගත හැකි මට්ටමට අපේ ණය අඩු වීමයි. ඒ තුළින් අනෙකුත් ආයෝජකයන්ට පිළිගත හැකි වැඩපිළිවෙළක් බවට පත් කර ගැනීමට තමයි මූල්‍ය අරමුදලේ සහාය ගන්නේ. ඒ අතර මූල්‍ය අරමුදල මුදලුත් යම්කිසි කොටසක් දෙනවා. එය දෙන්නේ කොටස් වශයෙන්. මේ වැඩපිළිවෙළ වසර හතරක් තුළ සාර්ථකව කරගෙන ගියොත්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එය අනුමත කරා කියන්නේ ඒ වැඩපිළිවෙළ පිළිඅරගෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාර්ථකත්වයක් ලබගන්නව කියන්නේ ඒකත් එක්කම කෙටිකාලීනවම එය ලැබුණට පසුව ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වගේ ඒවායින් අමතර තවත් මූල්‍ය පහසුකම් ලබා දෙනවා. ඒක තමයි විදේශ විනිමය පැත්තෙන් ලැබෙන දෙවන සහනය. තුන්වැනි සහනය තමයි දැන් අපි ණය ප්‍රතිව්‍යුහගත කරගත්තේ නැත්නම් වසරකට අපිට ඇමෙරිකානු ඩොලර් බිලියන හයක් විතර ගෙවන්න තිබුණනේ. දැන් අපි ණය ගෙවීම තාවකාලිකව නවත්වා ඇති නිසා ණය ගෙවන්නේ නැහැ. එතකොට අපි ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමෙන් බලාපොරොත්තු වන්නේ ඉදිරි වසර කිහිපය තුළ වසරකට ගෙවන්න තියෙන බිලියන හයක පමණ ප්‍රමාණය හැකි තරම් අඩු කර ගැනීම. එතකොට විදේශ විනිමය පැත්තෙන් සහන තුනක් ලැබෙනවා. එකක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන යම්කිසි මුදල් ප්‍රමාණය. ඊට අමතරව ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වගේ බහුපාර්ශ්වීය ආයතන වලින් දෙන සහාය. ඊට අමතරව ගෙවිය යුතු ණය ප්‍රමාණය භාගයක් හෝ ඊටත් වඩා අඩු කරගත්තොත් එතැනින් එන සහනය. එහෙම සහනයක් ලැබුණම අපේ අදහස මේ තියෙන විදේශ විනිමය අර්බුදය සෑහෙන දුරකට සමනය කරගන්න පුළුවන්.
අනිත් කාරණය තමයි එහෙම තත්ත්වයකට ආවහම යම්කිසි විදේශ ආයෝජකන්ගේ විශ්වාසයක් එනවා අපි යම්කිසි නිවැරදි වැඩපිළිවෙළක ඉන්නේ කියල. එතකොට තවත් පුද්ගලික අංශයට, බැංකුවලට විදේශ මුදල් පහසුකම් ගන්න පුළුවන්. තෙල් සංස්ථාවට සල්ලි දීල වෙනුවට මාස හයක ණයට තෙල් ගෙන්වා ගන්න පුළුවන්. ඒ වගේ කෙටිකාලීන ණය පහසුකම් මැදි හා දිගු කාලීන ක්‍රෙඩිට් ලයින් වගේ සෑහෙන ප්‍රමාණයකින් දැන් තියෙන විදේශ විනිමය වශයෙන් තියෙන අමාරු තත්ත්වය ඒ වැඩපිළිවෙළට ගියොත් සමනය කර ගන්න පුළුවන්. අනිත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවලින් බලාපොරොත්තු වන්නේ මුදලින්ම පමණක් නෙවෙයි රටේ ආර්ථිකය යම් කිසි යහපත් ආකාරයකට පරිවර්තනය කරගන්න ඕන කාර්යක්ෂම සහ තවත් හොඳට විදේශ විනිමය උපයා ගන්න පුළුවන් ක්‍රමවේදයකට. එහෙම තමයි මැදි හා දිගුකාලීන විසඳුම තියෙන්නේ. මේ වසර හතරක කාලය තුළ මේ ප්‍රතිසංස්කරණ ඉලක්ක කරලා තියෙන්නේ ආර්ථිකය අනිත් පැත්තට හරවල ණය ගන්නේ නැතුව වුණත් රටට ඉදිරියට යන්න පුළුවන් ආකාරයට මේක සකස් කර ගැනීමයි.
විදේශ විනිමය ප්‍රේෂණ ගැන අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා මෙසේ කීවේය.
මේ වන විට මිලියන 350 කට විතර ප්‍රේෂණ වැඩි වෙලා තියෙනවා. පසුගිය දත්ත වලින් පෙනී ගිහින් තියෙන්නේ එය යම්කිසි ආකාරයට ස්ථාවර විදියට වැඩි වෙලා තියෙනවා. ඒකෙ අර ප්‍රශ්න කිහිපයක් තිබුන ඕපන් එකවුන්ට් කියන සිස්ටම් එකක් ඇවිත් බ්ලැක් මාකට් එක රු. 380, රු.400 වගේ ගෙවන තත්ත්වයක් තියෙන ප්‍රවණතාවක් තිබුණ බැංකු ක්‍රමයෙන් නැතුව පිටින් එන්න. ඒක සැහෙන දුරකට සමනය වෙලා තිබුණ. නමුත් පසුගිය සතියේ දෙකේ බ්ලැක් මාකට් එක වැඩි වෙලා කියලත් අපට යම් යම් දත්ත පෙන්නුම් කරනවා. ඒ වගේ කෙටිකකාලීනව එහෙම වෙන්න පුළුවන්. නමුත් දැන් ප්‍රේෂණ සම්බන්ධයෙන් තියෙන දත්ත වඩාත් නිවැරදියි මම හිතන්නේ. කලින් ඩොලර් මිලියන 550 ක් 600 ක් ලැබෙන කාලේ අපට කොටසක් විකුණන්න කියල රෙගියුලේෂන් එකක් තිබුණේ නැහැ. ඒ නිසා බැංකුවලිනුත් හොයා ගන්න බැරි ලැබීම් ඔක්කොම ප්‍රේෂණ කියල දාල අපට එවල තියෙන්නේ. දැන් නීතියෙන්ම අපට ඉන් කොටසක් විකුණන්න ඕන නිසා ඊට වඩා බොහොම පරිස්සමින් බලල එවනවා. ඉදිරියේදී ප්‍රේෂණ තව වැඩි වෙන්න පුළුවන්. දැන් පිටරට යන එක වැඩි වෙලා තියෙන නිසා ඒ අය සල්ලි එවන්න පටන් ගත්තට පසුව, ඒ වගේම අපට පේනවා බැංකු පද්ධතිය තුළ විදේශ විනිමය සුලභතාව කලින්ට වඩා යම්කිසි වැඩි වීමක් තියෙනවා කියන එක.
මේ වන විට පවතින ඉහළ පොලී අනුපාතික නිසා සිය ව්‍යාපාර පවත්වාගෙන යා නොහැකි බවට කර්මාන්තකරුවන් කරුණු දැක්වුව ද සැබෑ ලෙසම ඊට හේතු වී ඇත්තේ ඉහළ උද්ධමනයක් පැවතීම බවත්, ව්‍යාපාර ස්ථාවරව පවත්වාගෙන යෑමට නම් උද්ධමනය පාලනය කළ යුතු බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙම මාධ්‍ය හමුවේ පැවසීය. ඔහු ඒ සම්බන්ධයෙන් මෙසේ ද කීවේය.
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් යම් යම් කරුණු දක්වලා තියෙනවා මේ පොලී අනුපාතය නිසා කරගෙන යන්න බැහැ කියලා. ඒක නිසා තමයි අපි කිව්වේ, විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ පිරිවැය බැලුවාම, ඒ ගොල්ලන්ගේ ණය ගෙවීමේ පිරිවැය 4%-5% ක් පමණ. වැඩිම වුණොත් 7%ක් 8%ක්. 95%ක්ම තියෙන්නේ අනෙකුත් අමුද්‍රව්‍යවලට, ප්‍රවාහන, වැටුප් ගෙවීම් යනාදියේ වැඩිවීම්. ඒ වැඩිවෙන්නේ උද්ධමනය නිසා.
සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් හිතාගෙන සිටිනවා නම්, පොලී වියදම දැන් තියෙන එකෙන් භාගයක් කළා කියලා, පොලිය නිසා වුණු වියදම ඉතුරු කර ගන්න පුළුවන්. අනෙක් 95% යන වියදම දෙගුණ වෙනවා. අපි අඩු කළොත් පොලී අනුපාතය උද්ධමනය 100% ක් වෙයි. එතකොට පඩි වැඩිකරන්න වෙනවා ඒ ප්‍රමාණයෙන්, අමුද්‍රව්‍ය වියදම වැඩිවෙනවා, විනිමය අවප්‍රමාණය කරන්න වෙයි. අනෙකුත් 95%ක් වියදම් දෙගුණයක් වෙන්න පුළුවන්, උද්ධමනය පාලනය කළේ නැත්නම්.
උද්ධමනය පාලනය කිරීමෙන් අපි ඒගොල්ලන්ට කරන්නේ ලොකු උදව්වක්. පොලී අනුපාතය ඉහළ තබා ගැනීම තුළින්, උද්ධමනය පාලනය කිරීම තුළින් තමයි ඒ අයගේ 90% ක් පමණ අනෙක් වියදම් පාලනය කර ගන්න පුළුවන් වෙන්නේ.
ඒක නිසා තමයි වැදගත් දේ, පළවෙනි කාරණය සියලුම කර්මාන්තවලට, සියලුම සේවාවලට, සියලුම ව්‍යාපාරවලට, උද්ධමනය පාලනය කර ගැනීම වැදගත් වෙනවා. පහුගිය කාලේ, පොලී අනුපාතය ඕනෑවට වඩා අඩුවෙන් තියාගෙන හිටියානේ. මුදලුත් අච්චු ගැහුවානේ ඇතිවෙන්න පහුගිය කාලේ. ඒකේ ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ. ආයෙත් පොලිය අඩුවෙන් තියාගන්න ඕනේ නම් ඒ ප්‍රතිඵලයම ලැබෙන්න පුළුවන්. ඒක තමයි තේරුම් ගන්න තියෙන්නේ පොලී අනුපාතය ඉහළ තබා ගන්නේ ඒ හැමෝගේම ව්‍යාපාර යම්කිසි ආකාරයක ස්ථාවරව පවත්වා ගෙන යෑමට හැකියාව ලැබෙන්නයි. එසේ වන්නේ උද්ධමනය පාලනය කළොත් පමණයි.
සකස් කළේ
ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@ gmal.com