මූල්‍ය අර්බුදය ලංකාවට පමණක් ද?…මහ බලවතුන් පවා දණගැස්සු පශ්චාත් කොවිඞ් මූල්‍ය අර්බුදය ගැන හෙළිදරව්වක්…

654

කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ අපේ පැවති ආර්ථික ප‍්‍රශ්න තවත් උග‍්‍ර වී ආර්ථිකමය වශයෙන් රට අමාරු තත්ත්වයකට පත්ව ඇත. එහෙත් කොවිඞ් නිසා ලෝක ආර්ථිකයම පසුබෑමට ලක්විය. ලෝකයේ ලොකු කුඩා සෑම රටක්ම පාහේ පසුබෑමට ලක් විය. කොවිඞ් වසංගත තත්ත්වයේ පැතිරීම සහ එය පාලනය කරගැනීමේ සාර්ථකත්වයේ මට්ටම මත ද රට රටවල ආර්ථිකයන්ට වූ බලපෑම්වල වෙනස්කම් තිබේ. වර්තමානයේ අප මුහුණ දී සිටින ගෝලීය ආර්ථික අභියෝග බලවත් වීමට කොවිඞ් වසංගතයේ බලපෑම් තීරණාත්මක ලෙස බලපා තිබේ.

2020 වසරේ මාර්තු අග සිට ශ‍්‍රී ලංකාව ද කොවිඞ් වසංගතයට ගොදුරු විය. අප පමණක් නොව ලෝකයම මීට ගොදුරු විය. මේ නිසා එතැන් සිට මේ දක්වා මුළු ලෝකයම පසුවන්නේ කොවිඞ් -19 වෛරසයට එරෙහිව විශාල සටනක නිරත වෙමිනි. සමස්තයක් ලෙස ලෝකයටත්, ඒ ඒ රටවලටත් අඩු වැඩි වශයෙන් 2020 වසරේ දී අහිතකර ආර්ථික බලපෑම් සිදුව ඇති අතර 2021 වසර තුළ ද කොරෝනා විපතේ බලපෑම් තිබුණත් ඊට මුහුණ දෙමින් කොරෝනා මර්දන ක‍්‍රියාමාර්ග හමුවේ ලෝක ආර්ථිකය මෙන්ම අනෙකුත් රටවල් ද මේ විපතින් ක‍්‍රමයෙන් ගොඩ එමින් සිටියි. ඒ බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් 2021 ජුලි මාසයේ දී නිකුත් කළ ලෝක ආර්ථික පෙර දැක්මේ සඳහන් පුරෝකථන අගයන් අනුව ද පැහැදිලි වේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පුරෝකථනය කර ඇති පරිදි මේ වසරේ (2021 ) දී ලෝක ආර්ථිකය සියයට අ6 ක වර්ධනයක් අත්කර ගැනීමට නියමිතය. ගිය වසරේ (2020 ) දී ලෝක ආර්ථිකය සියයට 3.2 කින් පසුබෑමට ලක් විය. ඍණ 3.2 ක අගයක සිට සියයට 6 ක ධන ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම සැලකිය යුතු ප‍්‍රගතියකි. ලෝක නිෂ්පාදිතය 2020 වසරේ දී සැලකිය යුතු ලෙස අඩු වීමේ පදනම් බලපෑම ද 2021 වසරේ මේ ඉහළ වර්ධනයට හේතුවකි. මේ අනුව මේ වසරේ (2021 ) දී ලෝක ආර්ථිකය කොරෝනා වසංගත තත්ත්වයෙන් මිදී ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත් වීමට නියමිතය. එසේම ලබන වසරේ (2022) ලෝක ආර්ථිකය සියයට 4.9 කින් වර්ධනය වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. ගිය වසරේ (2020) දී චීනය හැර ලෝකයේ රටවල් බොහොමයක ආර්ථිකයන් සැලකිය යුතු පසුබෑම්වලට ලක් විය. ඒ නිසා මෙය අපේ රටට පමණක් වූ දෙයක් නොවේ. 2020 වසරේ දී සංවර්ධිත ආර්ථිකයන් සියයට 4.6 කින් සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් සියයට 2.1 කින් ද පසුබෑමට ලක් විය. රටවල් වශයෙන් ගතහොත් ඇමෙරිකාව සියයට 3.5 කින් ද යුරෝ කලාපය සියයට 6.5 කින්ද ජපානය සියයට 4.7 කින් සහ එක්සත් රාජධානිය සියයට 9.8 කින් ද ඍණ ආර්ථික වර්ධනයක් වාර්තා කරමින් පසුබෑමකට ලක් විය. ඉන් පසු සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයන් ගතහොත් ඒවා සියයට 2.1 කින් පසුබෑමට ලක් විය. ඒ අතර 2020 වසරේ දී රුසියාව සියයට 3 කින් ද ඉන්දියාව සියයට 7.3 කින් සහ බ‍්‍රසීලය සියයට 4.1 කින් ද ඍණ ආර්ථික වර්ධනයන් වාර්තා කරමින් පසුබෑමට ලක් විය. අපේ ආර්ථිකය ද ගිය වසරේ දී සියයට 3.6 කින් පසුබෑමට ලක් විය. මේ රජය බලයට පත්වන විට දුර්වලව පැවති ශ‍්‍රී ලංකා ආර්ථිකය මෙසේ කොවිඞ් වසංගතය හමුවේ 2020 වර්ෂයේ දී සියයට 3.6 ක පසුබෑමකට ලක්වීම ගැන සිය මහ බැංකුව 2020 වාර්ෂික වාර්තාවෙන් ප‍්‍රකාශ කළේ වසංගතය හේතුවෙන් ගෝලීය ආර්ථිකයේ ඇති වූ පසුබෑමට සමගාමීව නිදහසින් පසු ශ‍්‍රී ලංකාවේ විශාලතම ආර්ථික අවපාතය වාර්තා කළ බවයි. මේ අතරේ කොවිඞ් වසංගතය ආරම්භ වූ චීනයේ ආර්ථිකය ගිය වසරේ දී සියයට 2.3 ක ධන වර්ධනයක් වාර්තා කිරීම ද විශේෂත්වයකි.

මේ වසරේ (2021 ) දී කොරෝනා වසංගත තත්ත්වය සමනය වෙමින් සංවර්ධිත ආර්ථිකයන් සියයට 5.6 කින් සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් සියයට 6.3 කින් ද වර්ධනය වනු ඇත. රටවල් වශයෙන් ගතහොත් ඇමෙරිකාව සියයට 7.0 කින් ද යුරෝ කලාපය සියයට 4.6 කින්ද ජපානය සියයට 2.8 කින් සහ එක්සත් රාජධානිය සියයට 7.0 කින් ද ආර්ථික වර්ධනයන් වාර්තා කරනු ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පුරෝකථනය කර ඇත. ඉන් පසු සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයන් ගතහොත් ඒවා සියයට 6.3 කින් මේ වසරේ දී වර්ධනය වනු ඇත. මේ අතර 2021 වසරේ දී රුසියාව සියයට 4.4 කින් ද ඉන්දියාව සියයට 9.5 කින් ද චීනය සියයට 8.1 කින් සහ බ‍්‍රසීලය සියයට 5.3 කින් ද ආර්ථික වර්ධනයන් වාර්තා කරමින් යථා තත්ත්වයට පත්වීමට නියමිතය. අපේ ආර්ථිකය ද මේ වසරේ (2021) දී සියයට 4.0 කින් පමණ වර්ධනය වනු ඇත. එහෙත් රජය සහ ශ‍්‍රී ලංකා මහ බැංකුව නම් අපේක්ෂා කරන්නේ මේ වසරේ දී ශ‍්‍රී ලංකා ආර්ථිකය සියයට 5 කින් වර්ධනය වනු ඇති බවයි. දැනටමත් මේ වසරේ පළමු මාස හයේ දී සියයට 8 ක ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමට අප සමත් වී ඇත. කෙසේ වෙතත් අප තවමත් මේ වසරේ දෙවන කාර්තුව වන විටත් සිටින්නේ වසංගතයට පෙර නිෂ්පාදන මට්ටමට වඩා පහළිනි.

වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ලෝකයේ රටවල් මුල සිටම මූලික වශයෙන්ම කළ ප‍්‍රධාන දෙයක් නම් සංචරණය සීමා කිරීමයි. රට තුළ මෙන්ම රටවල් අතර ද මෙය සිදු වූ නිසා මේ වසංගත තත්ත්වයේ බරපතළම ප‍්‍රතිවිපාකයක් වූයේ ගෝලීය වශයෙන් සහ රටවල් අතර ඇති සම්බන්ධතාවල දුරස්ථභාවයක් ඇති වීමයි. මේ තත්ත්වය ජාත්‍යන්තර වෙළෙඳාමට මෙන්ම සංචාරක කටයුතු සැලකිය යුතු ලෙස අකර්මන්‍ය වීමට ද හේතුවක් විය. මේ නිසා මෙම කොරෝනා වසංගත කාලයේ අපට දැක ගැනීමට ලැබුණේ ලෝක ප‍්‍රජාව සහ රටරටවල් හදිසියේම එකිනෙකාගෙන් හුදෙකලා වූ ස්වභාවයකි. එය ක‍්‍රමයෙන් දැන් පහව යමින් තිබේ. අපේ දින 42 ක් පුරා පැවති නිරෝධායන ඇඳිරි නීතිය ඉකුත් ඔක්තෝබර් 01 වැනිදා යම් යම් සීමාවන්ට යටත්ව ඉවත් විය. මේ අනුව රට ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන අතර ඒ සඳහා සෞඛ්‍ය උපදෙස් වලට අනුව තවදුරටත් ආරක්ෂිතව තම රැකියා සහ ආර්ථික කටයුතු කරමින් දායක වීම සියලූ පුරවැසියන්ගේ වගකීමයි.

මූල්‍ය අර්බුදය ලංකාවට පමණක් ද?...මහ බලවතුන් පවා දණගැස්සු පශ්චාත් කොවිඞ් මූල්‍ය අර්බුදය ගැන හෙළිදරව්වක්…

කතාබහට ලක්ව තිබුණත් අවසානයේ පොදුවේ ලෝකයේ බොහෝ දෙනාගේ විශ්වාසය තැබුවේ කොවිඞ්වලට එරෙහි එන්නත්කරණයයි. ඒ නිසාම එන්නත් මිලදී ගැනීම සඳහා විශාල ඉල්ලූමක් ජනිත විය. මේ නිසා එන්නත් නිෂ්පාදකයින්, නිෂ්පාදනය හා බෙදාහැරීම වැඩි කිරීමට මහත් පරිශ‍්‍රමයක් දරන ලදී. සාමාන්‍ය ජන ජීවිතය සහ ව්‍යාපාරික කටයුතු නැවතත් හැකි ඉක්මණින් යථා තත්ත්වයට පත්කර ගැනීම උදෙසා එන්නත ලබා ගැනීමට ලෝකයේ සෑම රටක්ම පාහේ බලා සිටි අතර ඒ හමුවේ අපේ රටේ එන්නත්කරණය කිරීමේ යම් යම් ප‍්‍රමාදයන් සිදු වූ බව රහසක් නොවේ. කෙසේ වෙතත් නොයෙකුත් අභියෝග මධ්‍යයේ අපේ රටේ ද ශීඝ‍්‍රයෙන් එන්නත්කරණය සිදු කළේය. මේ නිසා අනෙකුත් කොරෝනා මර්දන ක‍්‍රියාමාර්ග සහ සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම නිසා ලෝකයේ රටවල කොවිඞ් මරණ සහ ආසාදිතයින් වාර්තාවීම අඩුවැඩි වශයෙන් ක‍්‍රමයෙන් අඩු විය. මේ අනුව අපට පමණක් නොව මේ ලෝක වසංගත තත්ත්වය හමුවේ විපතට පත් වූ ලෝක ආර්ථිකය මෙන්ම අනෙකුත් සියලූම ආර්ථිකයන් වසංගත තත්ත්වයෙන් ක‍්‍රමයෙන් මිදෙමින් යථා තත්ත්වයට පත් වෙමින් තිබේ.

2019 වසරේ පාස්කු ප‍්‍රහාරයෙන් පසු ආර්ථිකය ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබියදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසුව ඉතා කෙටි කලෙකින් අනපේක්ෂිත ලෙස අප රටට මේ කොවිඞ් වසංගතයට මුහුණ දීමට සිදු විය. අපේ ආර්ථික කටයුතු අකර්මන්‍ය වීම හරහාත් එසේම ආර්ථිකයේ විදේශ අංශය හරහාත් අපට කොවිඞ් වසංගතයෙන් බලපෑම් ඇති විය. ඒ වන විට කාලයක් පුරා දුර්වලවෙමින් පැවති අපේ ආර්ථිකය යළි ගොඩනැංවීම කෙරෙහි රටේ අති මහත් බහුතර ජනයා තම විශ්වාසය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ රජය වෙත යොමු කොට තිබූ අවස්ථාවකි. කොවිඞ් – 19 වසංගතය අපට බලපෑවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත් වී ඔහුගේ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට අනුව රටේ ආර්ථික කටයුතු මෙහෙයවීමේ සැලසුම් ආරම්භ කරමින් සිටි අවස්ථාවකය. ඒ නිසා අනපේක්ෂිත නව අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දීමට රජයට සිදු විය. මෙය අපේ රටට පමණක් නොව මුළු ලෝකයේම සෑම රටකටම අඩු වැඩි වශයෙන් මුහුණ දීමට සිදු වූ තත්ත්වයක් වන අතර එම තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමේ සමත්කම අනුව එහි බලපෑම් විවිධ වේ. අප රටේ ද විවිධ අඩුපාඩු මද නමුත් මේ වන විට මේ වසංගත තත්ත්වය තරමක් දුරට සමනය කරගෙන ඇති අතර විදේශ විනිමය අර්බුදය සහ රාජ්‍ය මුල්‍ය අර්බුදය ඇතුළු දැන් උග‍්‍ර වී ඇති රටේ ආර්ථික අභියෝග ජය ගැනීමට අප සියලූ දෙනාම එක්ව කටයුතු කළ යුතු මොහොතකට දැන් අප එළඹ සිටිමු.

පසුගිය දිනවල වඩාත්ම කතාබහට ලක් වූයේ ඩොලර් ප‍්‍රශ්නය පිළිබඳවයි. මේ ඩොලර් හිඟය හමුවේ ඉන්ධන ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේ ගැටලූ මතු විය. එහෙත් නව මහ බැංකු අධිපතිවරයා වශයෙන් අජිත් නිවාඞ් කබ්රාල් මහතා පත් වීමෙන් පසුව ඔක්තෝබර් 01 දින මහ බැංකුව විසින් සය මාසික පෙර දැක්මක් ඉදිරිපත් කරන ලදී. එමගින් ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට අවශ්‍ය විදේශ විනිමය ලබාදීම සහතික කරන ලදී. ඩොලර් හිඟය නිසා රටේ කිසිදු ඉන්ධන හි`ගයක් ඇති නොවන බවත් ඒ ගැන කිසිදු සැකයක් තබාගත යුතු නැති බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පසුගියදා (07 දා) ජනාධිපති මාධ්‍ය අංශය මගින් සංවිධානය කළ ඔන්ලයින් මාධ්‍ය හමුව අමතමින් කියා සිටියේය. ශ‍්‍රී ලංකාවට ආනයනය කිරීමට අවශ්‍ය වන තෙල් මිලදී ගැනීම සඳහා ණයවර ලිපි ආරම්භ කිරීමේ දී ඒවාට අවශ්‍ය වන මුදල් කිසිදු අඩුපාඩුවකින් තොරව සැපයීමට කටයුතු කරන බව ද ඒ සඳහා අවශ්‍ය සියලූම විදේශ මුදල් මහ බැංකුව දැනටමත් වෙන් කර ඇති බව ද මහ බැංකු අධිපතිවරයා මෙහිදී කීවේය. එම මාධ්‍ය හමුවේ දී මේ ගැන කරුණු පැහැදිලි කළ මහ බැංකු නියෝජ්‍ය අධිපති මහින්ද සිරිවර්ධන මහතා කීවේ කිසිදු හේතුවක් නිසා රටේ ඉන්ධන හිඟයක් ඇති නොවීමට වග බලා ගන්නා බවත් ඒ සම්බන්ධයෙන් ඉතා වගකීමෙන් මහ බැංකුව කටයුතු කරන බවත්ය. එහෙත් ලෝකයේ වෙනත් රටවල් දෙස බලන විට ඉන්ධන මිල ගණන් අපට වඩා ඉහළ අගයක පවතින බවත් ඉන්ධන සැපයුමේ ප‍්‍රශ්න ඇති වී තිබෙන බවත් පෙනේ. එනම් ඉන්දියාවේ මුම්බායිවල ශ‍්‍රී ලංකා රුපියල් වටිනාකම අනුව පෙට‍්‍රල් ලීටරයක් රු. 292 ක් වන විට අපේ රටේ පෙට‍්‍රල් ලීටරයක් රු. 157 ක් වන තර මුබ්බායි වල ඞීසල් ලීටරයක් රු. 265 වන විට එය අපේ රටේ රු.111 කි. කොවිඞ් හමුවේ ලොව පුරා ඉල්ලූම් සැපයුම් දාමයන්ට ඇති වී ඇති අහිතකර බලපෑම් හමුවේ ලොව පුරා ආහාර සහ භාණ්ඩ මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් ඇත. එසේම වසංගතය සමග ඇතිව තිබෙන බලශක්ති අර්බුදය හමුවේ ලෝකයේ රටවල් රැසක් අභියෝගයන්ට මුහුණ දී සිටින අතර ඉන්ධන හිඟයන් ද ඇතිව තිබේ. පසුගිය දිනවල බි‍්‍රතාන්‍යයේ ජනයාට ද වරු ගණන් පෝලිම්වල රැඳී සිටිමින් ඉන්ධන ලබා ගැනීමට සිදු විය. එසේම ඇතැම් ඉන්ධන පිරවුම් හල් ඉන්ධන නොමැති වීම නිසා වසා දමා ද තිබුණි. බි‍්‍රතාන්‍යයේ මෙන්ම ලෙබනනයේ ද මෙවැනි තත්ත්වයක් ඇතිව තිබුණි. මෙලෙස අපට පමණක් නොව ලෝකයේ වෙනත් රටවලත් බලවත් ආර්ථික ප‍්‍රශ්න නැතුවා නොවේ.

පසුගිය කාලයේ අප මුහුණ දුන් විනිමය අනුපාතයේ අස්ථාවරත්වයට කෙටිකාලීනව කවර විසඳුම් දුන්නත් මේ සඳහා දිගුකාලීන ස්ථිරසාර පිළියම වනු ඇත්තේ විදේශ විනිමය ආදායම් හැකිතාක් වර්ධනය කර ගැනීමයි. එමගින් රටේ විදේශ සංචිත ප‍්‍රමාණය ගොඩනගා ගත හැකිය. විදේශ ණය බර අඩු කිරීම තුළින් සහ විනිමය අනුපාතිකයේ ස්ථාවරත්වය තුළින් ක‍්‍රමයෙන් අයවැය හිඟය අඩු කිරීමට රජයට හැකි වේ. ඩොලර් හිඟය කොරෝනාවට පෙර සිටම අප මුහුණ දුන් ප‍්‍රශ්නයක් වුවත් කොරෝනා වසංගතය සමග එය වඩාත්ම උග‍්‍ර වීමට ප‍්‍රධාන හේතුව ඇමෙරිකානු ඩොලර් බිලියන 4.3 ක් පමණ වූ සංචාරක ආදායම් අපට අහිමි වීමයි. මේ නිසා සංචාරක කර්මාන්තය වේගයෙන් පණගන්වා ගැනීම අතවශ්‍ය කරුණකි. මාලදිවයින ඇතුළු වෙනත් රටවල් සමග බැලීමේදී කොවිඞ් වසංගතයෙන් පසු සංචාරක පැමිණීම් වර්ධනය අතින් අප සිටින්නේ ඉතාම පසුගාමී තත්ත්වයකය. විදේශ විනිමය අර්බුදය සමනය කර ගැනීමේදී මේ කර්මාන්තය ගැන සහ ඊට ලබාදෙන නායකත්වය ගැන රජය නැවත සිතා බැලීම සුදුසුය. ඒ සම්බන්ධයෙන් සුදුසු වෙනස්කම් කිරීමට දැන් හොඳටම කාලය ප‍්‍රමාණවත්ය. මෙය එක්ස්පෙරිමන්ට් කර කර සිටීමට පුළුවන් මොහොතක් නොවේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment