” මෙදා අවුරුද්දේ ඇහෙයිද? රතිඤ්ඤා සද්දේ”

113

සාගින්න සෝගින්න සිරිලක ජනතාව ‘‘දවද්දී’’, පෝලිම් හා භාණ්ඩ හිඟය, භාණ්ඩ මිල ඉහළ යෑම් හමුවේ ජනතාව කෝපයෙන් ‘‘පුපුරද්දී’’, ගින්නෙන් පුපුරන ද්‍රව්‍යයක් වූ රතිඤ්ඤාවේ මිල ද වෙඩි බේත් ආශි‍්‍රත ද්‍රව්‍යවල මිල ද බක්මහ එළැඹෙන්නටත් පෙරාතුව සිටම වැඩි වී තිබේ. රතිඤ්ඤා හා වෙඩි බේත් ආශි‍්‍රත ද්‍රව්‍ය එසේ ‘‘ගණන් ඉස්සුවේ’’ වෙළෙඳපොළේ වෙඩි බෙහෙත්, රසායන ද්‍රව්‍ය හිඟ වීම නිසාවෙනි. විශේෂයෙන් රතිඤ්ඤා සෑදීමට ගන්නා පොටෑසියම් නයිටේ‍්‍රට් (KNO3) ශී‍්‍ර ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවෙන් සීමිතව ලබා දීමත්, මල් වෙඩි, නිලා, බමර චක‍්‍ර සෑදීමට භාවිතා කරන බේරියම් නයිටේ‍්‍රට් (BeNO3) හිඟ වීමත් නිසාවෙන් මෙවර වෙනදා මෙන් ඉල්ලන තරම දිමට හෝ හැකියාවක් නොමැති බව රතිඤ්ඤා ආශි‍්‍රත නිෂ්පාදකයෝ පවසති. කුඩා දරුවනගේ පී‍්‍රති ප‍්‍රමෝදය උපදවන මල්වෙඩි, අහස්කූරු, නිලා, බමර චක‍්‍ර මෙවර බරපතළ හිඟයක් ඇති වන්නේ ද තිබෙන සුළු ප‍්‍රමාණයේ මිල ඉහළ යන්නේ ද වෙළඳපොළේ ඇති වෙඩි බේත් හිඟය නිසාම බැව් ඔවුහු පෙන්වා දෙති.

එසේම රතිඤ්ඤා හා ආශි‍්‍රත ද්‍රව්‍ය නිපදවීම සඳහා අවශ්‍ය ඉවතලන ඝන කඩදාසි කාඞ්බෝඞ්, නූල්, ලෙබල්, ඉරටු පමණක් නොව මැටි පවා වෙළෙඳපොළේ මිල ඉහළ ගොස් ඇති බව ඔවූහු පවසති. ඒ නිසාම මෙවර තමනට අකැමැත්තෙන් වුවත් වෙනදාට වඩා දෙගුණයක මිලට වාගේ මිලකට සියලූ ද්‍රව්‍ය මිල නියම කිරීමට සිදුව ඇති බැව් ඔවුන් පවසන්නේ කනස්සල්ලෙනි.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සොයා නිකවැරටිය ඉහළගම ප‍්‍රදේශයේ ඇති ‘චැම්පියන්’ සුප‍්‍රසිද්ධ වෙළෙඳ නාමයෙන් රතිඤ්ඤා ආශි‍්‍රත නිෂ්පාදනයන් එළිදක්වන රතිඤ්ඤා කම්හලට ගියෙමි. එය අක්කර 10-15 ක් පුරා පැතිරුන බිමකි. එහි අඩි 100-50 දුරින් තැන තැන කුඩා ගොඩනැඟිලි තනා එකිනෙකින් වෙන්කොට ඒවායෙහි වෙඩි බේත් ඇඹරීම, සේව නූල් තැනීම, බම්බු තැනීම, බම්බුවලට මැටි කට්ට ගැසීම, නූල් බැඳීම, කොළ ඇලවීම, බමරචක‍්‍ර, අහස්කූරු, නිලා සෑදීම ආදී ඒ ඒ නිෂ්පාදනයන් සඳහා අදාළ කි‍්‍රයාමාර්ග කාන්තාවන් විශාල පිරිසක් විසින් ඉටු කරනු ලබන අයුරු දක්නට ලැබිණි.

එහි නිෂ්පාදන කළමනාකරු ටී. එම්. සිසිර තෙන්නකෝන් මහතා අප හා පැවසුවේ මෙසේය.

" මෙදා අවුරුද්දේ ඇහෙයිද? රතිඤ්ඤා සද්දේ"

‘‘අපේ කම්හලේ නිෂ්පාදන වැඩ කටයුතු ආරම්භ කරන්නේ, සෑම වසරකම සිංහල, දමිළ අවුරුදු නිමාවත් සමගමයි. මෙහි කාන්තාවන් හතළිහක් (40) පමණ ද, ගම්මානවල නිවෙස්වල තවත් සීයක් (100) පමණ ද සේවය කරනවා. අපි සියයට සීයක් ආරක්ෂිතවයි මේ කර්මාන්තය කරන්නේ. මන්ද, මෙය භයානක කර්මාන්තයක්. අත්වැරැද්දකින් හෝ වැලි කැටයකින් හෝ මේ වෙඩි බේත් ගිනිගත හැකියි, පුපුරා යා හැකියි. ඒ ගැන උපදෙස් දී පුහුණු කර තිබෙනවා. රක්ෂණය කර තිබෙනවා. මේ ගොඩනැඟිලි ඈතින් ඈත තනා තිබෙන්නේත් ආරක්ෂාව උදෙසාමයි. ඒත් පසුගිය වසරකදී ඉතාමත් අවාසනාවන්ත හා ඛේදජනක සිදුවීමක් වුණා. මෙහි කළමනාකාර ලෙස සිටි මගේ මාමණ්ඩි ඒ ඒ ආරියසේන මහතා හදිසියේ වෙඩි බේත් ඇවිළී සිරුරට ගිනි ගෙන පිළිස්සී මිය ගියා. ඒ තරමට මේ කර්මාන්තය භයානකයි.

‘‘අපි ළඟ වසර 25, 26 අත්දැකීම් ඇති කාන්තාවන් ඉන්නවා. ඔවුන්ගේ ජීවනය, දරුවන්ගේ අධ්‍යාපනය විවාහ මංගල්‍යයන් පවා ඉටුකර ගැනීමට ඔවුන් මුදල් සරිකර ගත්තේ මෙහි සේවාවක් කිරීමෙන් සේවක අර්ථසාධක සුබසාධක අරමුදලට මුදල් බැර වෙනවා.

වෙනදා වගේ නොවෙයි මෙවර, පොටෑසියම් නයිටේ‍්‍රට් (Kno3), පොටෑසියම් පර්මැංගනේට් (Kmno4), බේරියම් නයිටේ‍්‍රට් (Beno3) හිඟයි. විශේෂයෙන් බේරියම් නයිටේ‍්‍රට්. ඒ නිසා මෙවර මල්වෙඩි, නිලා, බමරචක‍්‍ර හිඟයි. ටිකක් මිලයි.

මේ ප‍්‍රදේශවල නිරන්තරව ගොවීනට ඇති ප‍්‍රශ්නයක් වන වල් අලි ප‍්‍රශ්නයට ද මෙම කම්හලින් ලැබෙන්නේ නොමඳ සහායකි.

අපි ‘‘විසිකරන අලි වෙඩි’’ හදනවා. මේවා ආරක්ෂිතයි. පත්තු කර විසි කිරීමට කල් තිබෙනවා. උත්සව සමයට පෙර සිටම අපට අලි වෙඩි විකුණා ගැනීමට හැකි වනවා.

‘‘ඇතමෙක් අපට පවසන්නේ මහ හඬින් පුපුරන රතිඤ්ඤා සාදා දෙන්න කියායි. රතිඤ්ඤා වැල් අතරට බට්ටො දාන්නලූ. සමහර නිෂ්පාදකයන් එලෙස කරනවා ඇති. ඒත් පාරිසරික නීති තිබෙනවා. ඒ වගේමයි, ළමුන්ගේ, මිනිසුන්ගේ කන් බෙරවලට හානිකරයි. විශේෂයෙන් ගෙදර සුරතල් බල්ලන්ට මෙම හඬ අති සංවේදීයි. ඔවුනට දරා ගන්න බැහැ. අධි වෙඩි හඬ. කන් පුපුරනවා. මිය යනවා. ඔවුන් අවුරුදු කාලේ කැලේ සැඟවෙනවා.’’

‘‘රතිඤ්ඤා සෑදීමේදී සේව නූල් අඟල් එකහමාරක්වත් එළියට තබන්න ඕනි. දල්වා විසි කිරීමට කාලය තිබෙන්න ඕනි. අහස් කූරු දල්වද්දී පයිප්ප කැබැල්ලක බහා පත්තු කිරීම ආරක්ෂා සහිතයි. දැන් හුඟ දෙනෙක් අහස්කූරු භාවිත කරන්නේ රිළවු එළවන්න. උන් අහස්කූරුවලට බයයි. රතිඤ්ඤාවලට බය නැහැ.’’

මෙම නිෂ්පාදන කි‍්‍රයාවලියේ ඇති බිහිසුණු බව නිසාම මිනිසුන්, කාන්තාවන් යොදාගෙන සිදු කරනවාට වඩා යාන්ති‍්‍රක කි‍්‍රයාකාරකම් යොදා ගැනීමට නොහැකි දැයි මම ඔහුගෙන් විමසුවෙමි.

" මෙදා අවුරුද්දේ ඇහෙයිද? රතිඤ්ඤා සද්දේ"

මම උත්සාහ කළා එවැනි ක‍්‍රම රැසක්ම. වෙඩි බෙහෙත් මිශ‍්‍ර කළ හැකි බැරලයක්, ඒ වගේම වෙඩි බේත් හලන පෙනේරයක්. ඒවා තවදුරටත් ඉදිරියේදී වැඩි දියුණු කිරීමට අදහස් කරනවා.

එසේ වුවත්, අවදානම දරාගෙන, ප‍්‍රවේශමින් වැඩ කරන කාන්තාවන් වැඩිපුර යොදා ගන්නේ සැබවින්ම ඔවුන්ගේ පවුල් පිටින් යැපෙන්නේ මේ කර්මාන්තයෙන් නිසා. ඒ නිසා කම්හල ඇතුළේ ද, පිටත නිවෙස්වල අයට ද දෛනික ජීවන ආදායම් මාර්ගයක් ලැබී තිබෙනවා. අපි ඒ ගැනත් හිතන්න ඕනි. අපි ඔවුනට බෝනස්, දීමනා දෙනවා. වැටුප් දෙනවා. සහන දෙනවා. ඔවුන් ජීවත් කරවීමත් අපේ වගකීමක්.

රතිඤ්ඤාව මෙලෙස මිනිසුන් ජීවත් කරවන මෙන්ම මොහොතකින් මිනිසුන් ‘‘මරවන’’ භාණ්ඩයක් ද වෙයි. මොහොතක් දැල්වී පාට පාට ඉරි කැබලි අහස පුරා සුන්දර ලෙස විසුරුවන, සුදු එළි කැරකි කැරකී මල් වරුසා මෙන් ඇදහැලී දරුවනගේ ද වැඩිහිටියනගේ ද සතුට, ප‍්‍රමෝදය තීව‍්‍ර කරන රතිඤ්ඤා, නිලා, බමරචක‍්‍ර, අහස්කූරු, හූ කියන අහස්කූරු, වෙඩි බම්බු පිටුපස ඇත්තේ එතරම් සොඳුරු නොවූ බියකරු කතා පුවතක් බව ඔබට දැන්වත් දැනෙනවාද? එසේ වුවත් ඔබ පුළුස්සන රතිඤ්ඤාවක්, නිලාවක්, අහස් වෙඩිල්ලක්, බමරචක‍්‍රයක් පාසා තවත් නිවසක අඹු දරුවන් සතුටින් බත් වේලක රසවිඳින බව නම් සිතිය යුත්තේමය. රතිඤ්ඤාව සුපුරුදු පරිද්දෙන්ම දුකේදීත් සැපේදීත් අපව අත්හැර නොයනු ඇත. කොතරම් අග හිඟ තිබුණ ද මෙවර ද මිනිසුන් අවුරුදු කනු ඇත. රතිඤ්ඤා පත්තු වනු ඇත.

ටෙරන්ස් වනිගසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment