මෙදා පාර සියලු‍ දෙනා විශ්වාසයෙන් ගොඩවෙන්නේ මාලිමාවේ වේදිකාවට

243

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අම්බලන්තොටදී කියයි

බඹරේ වැල්ලෙත් කැරකුණ කාලේ ඡන්ද තිබ්බා

අපේ රටේ එක් කාලයක් තිබුණා මාසෙන් මාසෙට ඡන්ද පවත්වන කාලයක්. ඒ, එයාලගේ බඹරේ වැල්ලෙත් කැරකෙන කාලයේ. මේ ඡන්දය පැවැත්වෙන මාර්තු මාසේ 09 දිනය රටේ හැරවුම් ලක්ෂය බවට පත්වෙනවා. සියලු‍ සමාජ ස්ථර විශ්වාසයෙන් ගොඩවෙන්නේ මාලිමාවේ වේදිකාවට යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

දිසානායක මහතා එසේ පවසා සිටියේ ජාතික ජන බලවේගයේ අම්බලන්තොට ජනතා රැලිය එක් වෙමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒමහතා මෙසේද කීය.

මේ ඡන්දය පැවැත්වෙන මාර්තු මාසේ 09 දිනය රටේ හැරවුම් ලක්ෂය බවට පත්වෙනවා. ඒක මේ ජන ගංඟාව දකින කොට අපට තහවුරු වෙමින් තිබෙනවා. අපේ රටේ එක් කාලයක් තිබුණා මාසෙන් මාසෙට ඡන්ද පවත්වන කාලයක්. ඒ, එයාලගේ බඹරේ වැල්ලෙත් කැරකෙන කාලයේ. ඒත් අද, මේ ඡන්දය පවත්වන්න තිබුණේ ගිය අවුරුද්දේ. ඒක කල් දැමුවා. දැනුත් මේ ඡන්දය පැවැත්වීම වළක්වන්න ආණ්ඩුව කළ හැකි සෑම උත්සාහයක්ම ගත්තා. ඒත් ඒ අවස්ථා සියල්ලම අපි පසු කළා. තව එක් අවස්ථාවක් තිබෙනවා. ඒ ඡන්දය පැවැත්වීම. අනෙක් සියලු‍ම අවස්ථා ජයග්‍රහණය කළා වගේම ඒ අවස්ථාවත් අපි ජයග්‍රහණය කරනවාමයි. ඡන්දයක් කල් දමන්න හැකි පාරවල් දෙකයි තිබෙන්නේ. එකක් පාර්ලිමේන්තුව මගින් අලු‍ත් නීතියක් ගෙනඒම. ඒ අවස්ථා සියල්ල අපි පසුකොට තිබෙනවා. අනෙක් අවස්ථාව අධිකරණය මගින්. අධිකරණය බැඳී සිටින්නේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට. ඡන්දය කියන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකමක්. ඒ නිසා අපි විශ්වාස කරනවා, ඡන්දය කල්දැමීම වළක්වා ගන්න අධිකරණය

මෙදා පාර සියලු‍ දෙනා විශ්වාසයෙන් ගොඩවෙන්නේ මාලිමාවේ වේදිකාවට

මගින් නොහැකි වෙන බව. නීතිය මගින් ඡන්දය වළක්වා ගැනීමේ ඇති අවස්ථා අවසන් වෙන කොට තිබෙන්නේ කැලෑ පාරවල්. ඒ මොනවාද? මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට ඉල්ලා අස්වීමට බල කිරීම. මරණ තර්ජන එල්ල කිරීම. අපි ජනතාව සමග පාරට බැහැලා හරි ඡන්දය පැවැත්වීම ජයග්‍රහණය කරනවා.

අපි මැතිවරණ සිතියම සැලැස්මක් ඇතිව ක්‍රියාවට නැගුවා. අපි පළමුවෙන්ම කොට්ඨාස සභා හදලා, ආසන සමුළු පවත්වලා අපේ නායක මණ්ඩල හඳුන්වා දුන්නා. ඒ සමගම ඡන්දය ආවා. ඉතිහාසයේ ඡන්දවලදී හම්බන්තොට දිස්ත්‍රික්කය අපේ හැරවුම් ලක්ෂය වුණා. එළඹෙන ඡන්දයේදිත් හැරවුම් ලක්ෂය ලබාදෙන්නේ හම්බන්තොට දිස්ක්කයේ ජනතාව බව අපට විශ්වාසයි. ඒ ජනවරමින් අපට රනිල්ට, පොහොට්ටුවට, සජබෙට ජනවරමක් නැති බව ඔප්පු කළ හැකි වෙනවා. රටේ ජනතාවගේ විශ්වාසය මාලිමාව දිනාගෙන ඇති බව තහවුරු කළ හැකියි. ඒ ජනවරමෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ලැබෙනවා. ඒ බලයෙන් රනිල් වික්‍රමසිංහව පලවා හැර ප්‍රභූ පැළැන්තියෙන් සාමාන්‍ය ජනතාව අතට බලය හුවමාරු කර ගැනීමේ අවස්ථාව උදාකර ගන්න හැකිවෙනවා. මේ රට පාලනය කළ දූෂිතයන්, අපරාධකරුවන් පළවා හරින්න හැකි වෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ ජනතාව බලාපොරොත්තුවෙන් සිටි ජාතික ජන බලවේගයේ පාලනයක් අපි බිහි කරනවා.

ලෝකයේ වටිනාම සම්පත දැනුම. සමහර රටවල් අයි.ටී. තාක්ෂණ දැනුමෙන් විශාල ආදායම් සොයනවා. අද දරුවන්ට අධ්‍යාපනය ලබාදීම දෙමව්පියන්ට බරක් වෙලා තිබෙනවා. අපි මේ බර දෙමව්පියන්ගෙන් නිදහස් කරනවා. අධ්‍යාපනය රජයේ වගකීමක් බවට පරිවර්තනය කරනවා.

ලෝකයේ නව ක්ෂේත්‍ර ගණනාවක් නිර්මාණය වෙලා තිබෙනවා. අලු‍ත් දැනුම් පද්ධති, අලු‍ත් දොරටු නිර්මාණය වෙනවා. මැරයින් සර්විස් අලු‍ත් දොරටුවක්. පැරණි කාලයේ තිබුණා. නමුත් දැන් භාණ්ඩ ප්‍රවාහනය සිදුවන්නේ මුහුද මගින්. ඒක අලු‍ත් දොරටුවක්. ෆැෂන් ඩිසයින් කියන්නේ තවත් අලු‍ත් දොරටුවක්. ඇඟලු‍ම් කර්මාන්තයෙන් අපට ඩොලර් මිලියන 5ක් උපයන්න හැකියාව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීමට ඩොලර් මිලියන 3.2ක් වැය වෙනවා. අපට ශුද්ධ ආදායම තිබෙන්නේ ඩොලර් මිලියන 1.8ක් පමණයි. හැබැයි ෆැෂන් ඩිසයින් කියන්නේ ඊට වඩා වෙනත් ක්ෂේත්‍රයක්. අපේ දරුවෝ සාමාන්‍ය පාරේම ගමන් කරමින් සිටිනවා. මේ පැවති ආණ්ඩු, මේ පාලකයින් වර්තමාන අපේ දරුවන්ට ඒ පාරවල් විවෘතකර දීමට මැදිහත් වෙලා නැහැ. අපේ ආණ්ඩුවක් යටතේ 2030 වන විට ලෝකයට අවශ්‍ය දැනුම තිබෙන දරුවන් බිහිකිරීමට සැලසුම් කර තිබෙනවා.

අපේ ගම්බිම්වල ප්‍රධාන සංවර්ධන මාවත කෘෂිකර්මාන්තය. කෘෂිකර්මාන්තය පිළිබඳ අපේ විශාල වැඩපිළිවෙළක් තිබෙනවා. අපි මාස 14ක් තුළ කෘෂිකර්මාන්ත අමාත්‍යාංශ වගකීම දැරුවා. 2005 වර්ෂය තමයි ලංකාවේ වැඩිම වී නිෂ්පාදන කළ වර්ෂය. තව කළ යුතු දෙයක් තමයි අපේ බීජ පර්යේෂණායතන දියුණු කරලා, බීජ ගොවිපළවල් ටික දියුණු කරලා, ගොවි ජනතාවට සාධාරණ මිලකට බීජ ලබාගැනීමට අවශ්‍ය සැලසුම් වගේම ශක්තිමත්ම වාරිකර්මාන්තයක් අපි හදනවා. දශක කිහිපයක්ම ලු‍ණුගම්වෙහෙර එකම කන්නයයි වගා කළේ. මැණික් ගඟ හරස් කරලා ලු‍ණුගම්වෙහෙර ජලාශය පිරවිය හැකි වෙහෙරගල ව්‍යාපෘතිය ආරම්භ කළේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණු මාස 14ක කාලය තුළයි. අද ලු‍ණුගම්වෙහෙර ජනතාව යල-මහ කන්න දෙකම වගා කරනවා. කඳුගැට දෙකක් යා කරලා කටුවන කැකිරිඕබඩ ජලාශය හැදුවා. අද අක්කර සිය ගණනක් ගොවිතැන් කරන්න යොදා ගන්නවා. අපේ රටේ ඉඩම් විදේශිකයන්ට පැවරීම වැළැක්වීම සඳහා, විදේශිකයන්ට අපේ රටේ ඉඩම් මිලදී ගැනීම සඳහා බාධා සහිත ඉඩම් නීතිය සම්මත කළේ, මම ඉඩම් අමාත්‍ය ධුරය දරන කාලයේ. මේ අමාත්‍යවරයෙක්ගේ වගකීමක් ඉටුකිරීමක් කළ යුත්තේ කෙසේද යන්න පැහැදිලි කිරීමටයි මම මේ සඳහන් කරන්නේ.

නීතිඥවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන්, මේ රටේ විවිධ සමාජ ස්ථර, බලවේග විශ්වාසය තබමින් ගොඩවෙන වේදිකාව තමයි මාලිමාවේ වේදිකාව. ශක්තිමත් බලයක් වෙනුවෙන් සියයට පනහකට වැඩි බලයක් ලබාදෙන ලෙස අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා. මේ සටන අපි ජයග්‍රහණයෙන් කෙළවර කර ගනිමු.

advertistmentadvertistment
advertistmentadvertistment