මෙදා යල එදා වගේ නොවෙයි….

118

වියළි කලාපීය වැව්වල ඇති  තරම් වතුර

ගොවියා තවමත් අවිනිශ්චිතව


ලංකාවේ වගා කරන ඉඩම් අතරින් තුනෙන් දෙකක් පමණ තිබෙන්නේ වාර්ෂික වර්ෂාපතනය සෙන්ටිමීටර් 175 කට වඩා අඩු වියළි කලාපයේ ය. එය වඩාත් සශ්‍රීකව රටේ නිෂ්පාදයනට දායක වන්නේ ඔක්තෝබරයේදී ඇරඹෙන හොඳින් වැසි ලැබෙන මහ කන්නය මගිනි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව 2018 මහ කන්නයේ දිවයිනේ වී නිෂ්පාදනය ටොන් මිලියන 2.4 කි. 2018 යල කන්නයේ නම් එය ටොන් මිලියන 1.5 කි. අස්වද්දා ඇති භූමි ප්‍රමාණයන් පිළිවෙළින් හෙක්ටයාර් 667191 ක් සහ 373763 ක් වේ. මේ සංඛ්‍යාලේඛනයන් ඉහත ප්‍රකාශය සඳහා සාක්ෂි සපයයි.

මෙදා යල එදා වගේ නොවෙයි....

2021/22 මහ කන්නය ගතවූයේ විවිධාකාර අරගල සමඟිනි. රජය මගින් කෘෂිරසායන ද්‍රව්‍ය හා රසායනික පොහොර ආනයනය නවතා දමා, එම යෙදවුම් රහිතව කෙරෙන ගොවිතැනක් වෙතට ගොවි ජනතාව යොමුකිරීමට උත්සාහ දරනු දකින්නට ලැබුණි. මහපොළොවේ යථාර්ථය සමග මෙය කෙතරම් තාත්විකදැයි විවිධ සංවාද මණ්ඩපයන්හිදී තර්ක විතර්ක කෙරෙද්දී, බහුතර ගොවීන්ගේ අත්දැකීම වූයේ නම් ලැබුණු පොහොර වර්ගයන් සමග යන ගමන එතරම් සාර්ථක නොවන බවය. එසේ වුවත් ලැබුණු අස්වැන්න කිරා මැන බලනාතෙක් කාගේ අදහස නිවැරදිදැයි යන්න පිළිබඳව එකඟතාවයකට එන්නටත් වාදයට පැටලී සිටි කණ්ඩායම්වලට හැකියාවක් ලැබුණේ නැත. අවසානයේදී ගත් තීරණය ඉක්මන් වැඩියයිද, යම් වැරදීමක් සිදු වූ බවද බලධාරීන් විසින් පිළිගැනීමත් සමග 40% ක පමණ අස්වනු ඌනතාවයක් ද ගොවි ගෙදරට පෙන්වමින් මහ කන්නය නිමා විය.

දැන් යල කන්නය උදාවී තිබේ. මහා වාරිමාර්ග පද්ධති ක්‍රියාත්මකවීමට පෙරදී නම් යල කන්නය යනු වියළි කලාපය තුළ එතරම් නිල්ල නගනා සමයක් නොවේ. එහෙත් අලුතෙන් බිහිවූ ගොවි ජනපදයන්හි තිබෙන කුඹුරු ඉඩම්වලට වාරි ජලය ලැබීමත් සමග පෙර දිනවලට සාපේක්ෂව යල කන්නයේත් සාධාරණ තරමේ කුඹුරු වගාකිරීමක් සිදුකෙරුණි. කෙසේ වෙතත් යල පටන්ගන්නා විට වියළි කලාපීය වැව් හා ජලාශයන්හි ඉතිරිව තිබෙන්නේ මුළු ධාරිතාවෙන් 40% ක පමණ ජල ප්‍රමාණයකි. වැස්සද සීමා සහිතව ලැබෙන කාලයක් බැවින් ගොවි ජනතාවට උපදෙස් ලැබෙන්නේ ප්‍රවේසමෙන් මේ ටික ගොවිතැන සඳහාම භාවිතා කරන්නට ය. මූලික බිම් සැකසීම අප්‍රේල් මාසය තුළ ඉඳහිට වැටෙනා සුළු වැසි ප්‍රමාණය හරහා සිදුකරගෙන, වැවේ සංචිතය බෝගයේ ඉදිරි අවශ්‍යතා සඳහා භාවිතා කරන්නට ය. බලධාරීන් විසින් ජල නිකුතුවේ කාලසටහන් සාදන්නේත් එම උපදෙස්වලට ගැලපෙන පරිද්දෙනි. එහෙත් මෙදා යල එදා මෙන් නොවේ. වැව් සියල්ලෙහි හොඳට වතුර තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

“මේ ජලයෙන් කොටසක් ඉදිරියේදී ඇතිවෙන වියළි කාලය හමුවේ වාෂ්ප වෙලා හානිවෙනවා. ඉතුරු ටික ගොවි ජනතාව විසින් පාවිච්චි කළ යුතුමයි. ඉතුරු කරලා වැඩක් නෑ. තවත් වාෂ්ප වෙලා යයි. මාස් කන්නයේදී හොඳට වහිනවනේ. ඒ වතුර ටික එකතු කරගන්න වැව් හිස්වෙලා තියෙන්න ඕනෑ.”

එසේ පවසන්නේ වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඉංජිනේරු වසන්ත බණ්ඩාර පලුගස්වැව මහතායි. නමුත් ගොවීන් ඉන්නේ අවිනිශ්චිතව ය. මේ ගැන අප කථා කෙරුවේ මහවැලි සී කලාපයේ ගිරාඳුරුකෝට්ටේ වෙසෙන වී ගොවියෙක් සමගයි.

“අපිට වතුර විතරක් ලැබිල වැඩක් නෑ. කෝ කුඹුර හාන්න ට්‍රැක්ටරේට දාන්න තෙල්. දැන් හරක් ඉන්නවයැ ඉස්සර වගේ. කොහොමහරි හාගත්ත කියමුකෝ, කෝ රසායනික පොහොර, තෙල්බෙහෙත්. ඒවා ඇත්තෙත් නෑ. තිබුනත් අපිට ගන්න පුළුවන් මිලකට නෑ. යූරියා තියෙනවා මිටියක් 40,000 යි. ඉස්සර 1000 ට අඩුයි. ඉතින් අපි කොහොමද වවන්නේ.”

කතාවේ හැටියට නියරට ගොඩවෙන්නට පවා ඇත්තේ බරපතළ අකැමැත්තකි. එම තර්කයේ යම් සාධාරණ පෙනුමක්ද තිබෙන්නේ ය. එහෙත් සමාජයක් වශයෙන් අප ඉදිරිය බැලිය යුත්තේ මීට වඩා කල්පනාකාරීවය. මන්දයත් වෙනදා උදාවෙන යල කන්නය මෙන් නොව මෙදා පැමිණ ඇත්තේ සුවිශේෂ යලකි. අපගේ ඉරණම තීරණය කළ හැකි වගා කන්නයකි. වෙනදා යලට තිබුණු වතුර ප්‍රශ්නය මෙවර නොතිබුණත් එදා අතේ දුරින් ගත හැකිවූ හැම දෙයක්ම පාහේ අද දවසේ ගොවි සිතට වධදෙන කරුණු බවට පත්ව තිබේ. කුඹුර කොටන්නට ඇති අකැමැත්තට ප්‍රධාන හේතුව වන්නේ එයයි. එහෙත් රටේ ජනතාව දැන් අනුභව කරන්නේ ගබඩාවල සංචිතව තිබූ සහල් ය. ඇතැම් මෝල් හිමියන් ක්‍රම ක්‍රමයෙන් තම පැරණි වී තොග මේ ආකාරයට හිස්කරමින් තිබේ. ඒ ගබඩා පුරවන්නට අලුත් වී ලැබිය යුතුය. වතුර ලැබුණත් යෙදවුම් නොමැතිය කියා කුඹුර අතහැරියහොත් ගබඩාවලට වී ලැබෙන්නේ නැත. තොග අවසන්වී සහල් හිඟයක පෙරනිමිති පහළ වනු ඇත්තේ යල කන්නයේ අවසානය වන අගෝස්තු පමණ වන විටදීය. මෙරට නිෂ්පාදනයක් නැතිනම් කලකට ඉහතදී කෙරුවාක් මෙන් විදෙස් රටකින් හෝ ගෙනැවිත් කෑමට පවා අවශ්‍ය විදේශ විනිමය නොමැති තත්ත්වයක්ද දැන් උද්ගතව තිබේ. ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් මෙය නම් බරපතළ තත්ත්වයකි.

එසේ නම් ගොවි ජනතාව වශයෙන් මේ මොහොතේ කළ යුතු වන්නේ කුමක්ද? රසායනික පොහොර හා කෘෂිරසායන ද්‍රව්‍ය වෙනුවෙන් පැනවූ තහංචි සියල්ලම මේ වනවිට ඉවත් කර තිබුණත්, අධික මිල ගණන් නිසාද, ඒවා ගෙන්වා බෙදාහැරීමට කාලයක් නොමැති නිසාද, ගෙන්වීමට විදේශ විනිමය නොමැති නිසාද, එළඹි යල කන්නය බොහෝ දුරට ඉදිරියට යා යුත්තේ පසුගිය මහ කන්නයේදී පුරුදු පුහුණු කරගත් ක්‍රියා පිළිවෙත් ඔස්සේම බව පළමුවෙන් තේරුම්ගත යුතුවේ. නිර්දේශිත පිළිවෙත් අනුගමනය කරමින් කුඹුරු කිරීම කෙසේ වෙතත්, ලියැද්දට නොමිලේම ලැබෙන වතුර ටිකෙන් උපරිම ප්‍රතිපලයක් ලැබෙන පරිදි වගා ස්ථාපනයට පියවර ගැනීම දෙවැනි පියවරයි. වෙනදා ලැබෙන අස්වැන්නෙන් යම් ප්‍රමාණයක් හෝ ලබාගන්නට කන්නය අවසානයේදී හැකිවන්නේ නම් එයද ජයග්‍රහණයකි. ඉහත කී ප්‍රශ්න හමුවේ ගොවි ගෙදර පාවිච්චියට ප්‍රමාණවත් තරමින් හෝ නිෂ්පාදනයක් කෙරෙන්නේ නම් වියළි කලාපීය ගොවියාට ලැබෙන සහනය ඉතා විශාලය. එය වෙලාවේ හැටියට ඔහු ලබනා ජයග්‍රහණයකි. මන්දයත් පිටරටකින් රැගෙන එන දෙයක් හෝ දේශීය හදන විස්කෝතුවක් වැනි විකල්ප ආහාරයක් හෝ ගමට එන්නේ නගරයේ අවශ්‍යතා සැපිරීමෙන් පසුව බව ගැමියා සිහි තබාගත යුතුය. නිපදවන දෑ නගරයේදීම අලෙවි වන්නේ නම් ප්‍රවාහන පිරිවැයක්ද දරමින් ඒවා ගමට යවන්නට නිෂ්පාදකයන් හෝ බෙදාහරින්නන් කටයුතු නොකරනු ඇත.

ගෙවත්තේ සංවර්ධනය ගැන වැඩි අවධානයක් දැක්වීම තුන්වෙනි කරුණයි. බටු, මිරිස්, තක්කාලි සිටුවීමේ සුපුරුදු මෝස්තරය අතහැර කෙටිකාලීනව ඵලදාව දෙන, බත් නොකා හදිස්සියට වේලක් පිරිමසා ගත හැකි පිෂ්ඨමය විකල්ප කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය. මඤ්ඤොක්කා නම් මාස නවයක් කල් ගතවෙන බෝගයකි. එහෙත් බතල, තුන්මස් අල යනාදිය මෙවැනි විකල්ප පිෂ්ට ප්‍රභවයන්ය. මුළුතැන්ගෙයි ජලය බැසයන වටාපිටාවේ කොළ එළවළු පාත්තියක් යනාදිය පිළියෙළ කරගැනීම හදිස්සියට කදිම විසඳුමකි.

සියල්ල අහිමි වූ මොහොතේ, මුහුණ සමග තිබෙනා තරහට නහය කපාගන්නට යෑමෙන් තත්ත්වය තවත් දරුණුවනවා මිස විසඳුමක් ලැබෙන්නේ නැත. වැසි සහිත යල කන්නයක් තිලිණ කරමින් සොබාදහම දැක්වූ සහයෝගයට හැකි තරමින් යහපත් ප්‍රතිචාර දැක්වීම අද දවසේ ගොවියා ගතයුතු හොඳම තීරණයයි.

සනත් එම්. බණ්ඩාර
[email protected]

සංස්කරණය – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment