මෙදා සැරේ අප සමරන්නේ කළුකඩ කාරයන්ගේ අවුරුද්ද

101

දවසින් දවස මොහොතින් මොහොත මෙදා සැරේ සිංහල අලූත් අවුරුද්ද අප ඉදිරියට එනවා. ටිකින් ටික අපි අවුරුද්දට ළං වෙනවා.

ඒත් කිසිවක් වෙනදා වගේ නෑ. වෙනදානම් අවුරුද්දක් ළං වෙනකොට මොන තරම් වෙනසක්ද… මිනිස්සු මොනතරම් සතුටින්ද?

ඉස්සර නම් මේ කාලෙට දවල්ට හොඳටම අව්ව. හවසට අහස බරවෙලා. පැයක් දෙකක් යනතුරු වැස්ස. ඊට පස්සෙ හැන්දෑවට ආයෙත් වැහි වළාකුළුවලින් තොර තරු පායපු පැහැදිලි අහස.

හීතල දුරුත්ත ගෙවිල ගිහින් නවම්, මැදින් මාසවල එන පෑවිල්ල නිම කරමින් බක් මහේ අකුණු ගහ ගහ වහින්න පටන් ගත්තාම ගස් වැල් සතුටින් ඉපිල යනවා. සමහර ගස් මලින් ඵලින් පිරිලා.

අවුරුද්ද එන බව මුලින්ම කියන්නේ වැට දිගට පිපිල තියෙන එරබදු ගස්වල මල්. කෝපි ගස්වල සුදෝ සුදට අතු ඉති සරසමින් කෝපි මල් පිපෙනකොට ගමම සුවඳයි. ඔන්න එතකොට තමයි කොහා කලඑළි බහින්නේ. අවුරුද්ද කාලෙට විතරක් ඇහෙන කොහාගේ නාදය පරිසරයෙන් ඇහෙනකොට සිතට දැනුනේ පුදුමාකාර සතුටක්, පුදුමාකාර සැහැල්ලූවක්.

ඒත් කෝ අද ඒ සතුට. කෝ අද ඒ සැහැල්ලූව. හැම කෙනාගෙම මුහුණුවල ‘‘අනේ අපට මේ මොකද වුණේ’’ කියන ප‍්‍රශ්නාර්ථය ලියැවුණු අඳුරක්.

අවුරුදු දෙකක්ම අපේ රටේ පොදු ජනතාවට ඒ සතුට ඒ සැහැල්ලූව තිබුණෙ නෑ. පාස්කු බෝම්බය වරක් ඒ සතුට සැහැල්ලූව නැති කළා. ඊට පස්සෙ කොවිඞ් වසංගතය ජනතාවට හරස් වුණා.

2022 එළැඹුණාට පස්සෙ කොවිඞ් වසංගතයත් ජයගෙන, ඇති හැකි පමණින් අවුරුදු කන්න මිනිස්සු පුල පුලා බලා උන්නා.

කොවිඞ් පැතිරීම අවම වෙලා, ඒ මහා භයානක රෝගය පුංචි හෙම්බිරිස්සාවක් උණක් බවට පත්වුණාම මිනිස්සු හිතුවෙ මේ පාරවත් හිතේ හැටියට සරලව හෝ අවුරුදු සමරන්න, හැකි පමණින් අවුරුදු කන්න.

වෙනදා තරම් වගා කරපු බවබෝගවල අස්වැන්න සරු නෑ තමයි. ඒත් ලැබෙන දෙයින් සතුටු වෙලා අවුරුද්දට ටිකක් හෑල්ලූ වෙලා විනෝද වෙන්න බැරි කමකුත් නෑ.

ඒත් මුළු රටේම බලාපොරොත්තුව සුනාමියට අහුවෙලා වගේ ඈතට ඈතට පාවෙලා ගියේ රට මුහුණ පෑ බලශක්ති අර්බුදයත් එක්ක.

අද කවුරුවත්ම අවුරුදු ගැන කතාවක්වත් නෑ. වෙනදා අවුරුද්දක් කිට්ටු වෙනකොට මිනිස්සුන්ට හැම පැත්තෙන්ම ලැබෙන්නේ වාසි.

අස්වැන්න කපලා වී ටික ගෙට ගන්නවා, වී ටික විකුණා ගන්නවා. එළවළු භවභෝග ටික විකුණා ගත්තාම ඉතින් කාට කාටත් අවුරුදු.

එතකොට රජයේ සේවකයන්ට, එයාලටත් ඒ ඒ ආයතන මට්ටමින් අවුරුදු ඇඞ්වාන්ස්, බෝනස් එහෙමත් ලැබෙනවා. හොඳටම වාසි ගන්නේ බැංකුවල උදවිය. සංස්ථාවල මණ්ඩලවල, පුද්ගලික ආයතනවල සේවකයන්ට මාස දෙක තුනක පඩි බෝනස්. ඔන්න ඔහොමයි ඉස්සර.

ඒත් මෙදා පොටේ කාට කාටත් එකම සන්තෑසිය. වාසි නැති එක වෙනම දෙයක්. ඒත් ඇත්නම් කාල නැත්නම් වැටිල නිදාගන්නවත් අද මේ කිසිවකුට ඉසිඹුවක් නෑ.

වාහන තිබුණට වාහනවලට ගහගන්න තෙල් නෑ. තඩි බෙන්ස් කාර්, බී එම් ඩබ්ලිව්, පෝෂේ, ප‍්‍රිමියෝ අදී කාර් පුංචිම පුංචි ඇල්ටො, මරුටි වගේ කාර් එක්ක තරගෙට එකට පෝලිමේ. එතකොට ලෑන්ඞ් රෝවර්, කෲෂර්, ප‍්‍රාඩෝ මහ තඩි ජීප් රථත් එකම පෝලිමේ…. තෙල් ගහගන්න වලිකනවා.

කාන්තාවෝ ගෑස් පෝලිමේ. කොළඹ නාගරිකය ඇතුළේ සාමාන්‍ය ජනී ජනයා භූමිතෙල් පෝලිම්වල. භූමිතෙල් අද කෝකටත් තෛලය වෙලා.

උයාගන්න, භූමිතෙල් ලිපට වගේම ගෙවල් එළිය කරගන්න ලාම්පු කුප්පියට වැටෙන්න අද ජනතාවට සිදුවෙලා.

ඒ කිසිම තැනක අවුරුදු ගැන වගේ වගක් නෑ. අවුරුදු කන්නෙ කොහෙද…ගෑස් එකක් ගන්න භූමිතෙල් ගැලූමක් ගන්න දින ගණන් පෝලිම් වල දුක් විඳි අය කොතෙක්ද?

මේ හැම දෙයකින්ම දුක් විඳින්නෙ සාමාන්‍ය ජනතාව. පොදු ජනතාව පීඩාවට පත්වුණාට ඒ පීඩාව ඇතුළේ කල්ල මරේ දාගත්තු පිරිසකුත් ඇත්තෙ නැතුවම නොවෙයි. ඒ තමයි අපේ රටේ කඩකාරයෝ, එහෙමත් නැතිනම් වෙළෙන්දෝ.

වෙළෙඳාම කියන්නේ 100% ක්ම ධාර්මික කටයුත්තක් නොවන බව ඇත්ත ඒත් ඉතින් සාධාරණ වෙළෙඳාම වරදක් නෑ.

සාධාරණ වෙළෙඳාම කියන දෙයක් මේ දවස්වල කිසිම තැනක දකින්න නෑ. ඒකට වෙළෙන්දෝ වැරදිම නෑ. හෙවිල්ලක්, බැලිල්ලක්, පාලනයක් නැති වුණාම වෙස්සන්තරලා, සේරිවාණිජලා වෙන්න වැඩි කලක් ගතවෙන් නෑ කියලයි වැඩිහිටියො අපට කියා දුන්නේ.

හෙවිල්ලක්, බැලිල්ලක්, පාලනයක් නැති නිසා අද හාල් කිලෝවෙ, සීනි කිලෝවෙ, පිටි, පරිප්පු කිලෝවෙ ඉඳලා පැනඩෝල් පෙත්ත දක්වාම බලපාන ධර්මතාවක් වෙලා.

අසාධාරණ විදියට දවසින් දවස මිල වැඩි කර විකුණන කඩවලට අපි කිව්වෙ කළුකඩ කියලා. අද බැලූවහම බේත්හේත්වලටත් කළුකඩ සිද්ධාන්තය බලපාලා. හාල්, මේ සුමානෙ පටන් ගන්නකොට කිලෝවක් තිබුණේ 180 ට 190 ට. සුදු හාල්, රතු හාල් මේ දෙකම සුමානේ අන්තිම වෙනකොට 200 ට නැගලා. ඒ සල්ලි ගොවියාට යන්නේ නෑ. කළුකඩවල හිතපු හිතපු ගාණට හාල් අලෙවි වෙනවා. පරිප්පු මිල දවසින් දවස ඉහළ යනවා. ඩොලරය ස්ථාවර නැති නිසා අපි මොනව කරන්නද කියලා කඩකාරයොත් අහනවා. බිත්තරයක මිල රු. 25 – 30 අතර, කුකුළු මස් කිලෝව 1000 ට ළං වෙලා.

අවුරුද්ද කාලෙට පොල් තෙල් කියන්නේ අත්‍යවශ්‍යම දෙයක්. පොල් තෙල් දැනටමත් 700 ට නැගලා. රු. 1000 ටත් විකිණෙන එක එක නම් ඇති විවිධාකාර පොල් තෙල් වෙළෙඳ පොළේ. ඉතින් කොහොම කැවුම් බදින්නද කියලයි කාන්තාවෝ මැසිවිලි නඟන්නේ.

කිරිබතට, මුං කැවුමට මුං ඇට නැතිවම බැරි දෙයක්. දැන් ආයෙමත් මුං ඇට රු. 800 ට 900 ට විකුණනවා. නියමයක්, පාලනයක් නෑ. එක එක කඩවල එක එක ගණන්.

වෙනදා නම් අවුරුදු ළං වෙනකොට ගෙවල් වල වැඩිවැඩියෙන් සායම්

ගානවා. ගෙවල් පින්තාරු කරනවා. මේ පාර මිනිස්සු ගෙවල්වල සායම් ගෑම අතහැරලා. ඇයි ඉතින් වැඩි වැඩ කරන්න කොහේ තියෙන සල්ලිද?

ඇඳුමක් කැඩුමක් ගන්න වුණත් ජනතාව අද කඩවලට යන්නේ නෑ. ඒවත් බලා සිටියදී කළුකඩ වෙලා. රෙදි වෙළෙඳාමේ තරගය වැඩි නිසාදෝ ලාබෙට ගන්නත් තැන් ඇත්තෙ නැතිවම නොවෙයි.

හැම තැනම කළුකඩ. සමහරුනම් කියන්නේ අද රටම කළුකඩයක් වෙලා කියලා. ඒ කතාවත් බලාගෙන ගියාම ඇත්ත.

කළුකඩකාරයෝ කියල කිව්වාම අපේ හිත් ඇතුළේ ඒකට වෙනමම චිත්ත රූපයක් තිබුණා. කොටු කොටු සරමක් ඇඳපු, සුදු කමිසය ඇඳලා යට කරපු කපටි පෙනුමක් තියෙන බඩ තඩි මුදලාලි කෙනෙක්. කළු කෝට් එකක් ඇඳලා ජැන්ඩි පහේ කපටි හිනාවක් හෙම දාගෙන ඉන්නේ.

ඒ පරණ කළුකඩ දැන් අවලංගු වෙලා. අද ඒ වෙනුවට අලූත් කළුකඩ බිහිවෙලා.

අද කළුකඩ මුදලාලිලා හරිම වැදගත්. ඉන්නේ බ‍්‍රෑන්ඩඞ් කලිසම්, කමිස ඇඳලා. ටයි කෝට් පැළඳලා. ගමන් බිමන්, බෙන්ස්, ප‍්‍රාඩෝ, බීඑම් ඩබ්ලිව් වලින්. ඒ කළුකඩවල වෙළෙඳාම් කරන්නේ කන බොන බඩු භාණ්ඩවත් වෙන මොනව වත් නොවෙයි. එවැනි කළුකඬේ විකිණෙන්නේ ඩොලර්.

අද පිටරටවලින් බඩු භාණ්ඩ ආහාර ද්‍රව්‍ය ගෙන එන්න, පිටරට ඉගන ගන්න තමන්ගෙ දරුවන්ට සල්ලි ටිකක් යවන්න රුපියල් දීලා ඩොලර් ඉල්ලූවට ගන්න තැනක් නෑ. සහතික මිලට බැංකු ඩොලර් දෙන්නෙම නෑ.

ඒත් කළුකඬේ මිලට ඩොලර් දෙන කළුකඩකාර ඩොලර් වෙළෙන්දෝ නම් සමාජයේ හිඟයක් නැ. ඩොලරුත් දැන් කළුකඬේ විකිණෙන යුගයක්.

කොච්චර දියුණුද? ජනතාව දුකෙන් වුණත් ඒ දියුණු රටේ ඒ දියුණු වෙළඳාම් කරන අලූත් පරණ කළුකඩ මුදලාලිලා ඔක්කොම සතුටෙන්. එහෙම නම් අපිට අද සමරන්න වෙලා තියෙන්නේ කළුකඩ මුදලාලිලගෙ අවුරුද්ද නොවෙයිද?

මහසෙන් රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment