ව්‍යාපෘති පටන් අරන් අවුරුදු පහළොවකටත් කිට්ටුයි
කෝටි ගණන් වැය කරලා
ගිං – නිල්වලා, උමා ඔය ව්‍යාපෘතිත් ඒ අතර
විදේශ ණය මත මෙරට ක්‍රියාත්මක කරනු ලැබූ ඇතැම් සංවර්ධන ව්‍යාපෘති සුදුඅලි බවට පත්ව තිබේ. විදේශීය රටවලින් ගිනි පොලියට ලබාගෙන ක්‍රියාත්මක කළ ඇතැම් ව්‍යාපෘතිවලින් මෙරට ආර්ථිකයට කිසිදු දායකත්වයක් ලැබී නො තිබුණි. ඒ විතරක් නොව, වසර පහකින්, හයකින් ක්‍රියාත්මක කළ යුතු සංවර්ධන ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සඳහා වසර දහ පහළොවක් ගතවී තිබේ. ඇතැම් ව්‍යාපෘති ප්‍රමාද වීම නිසා ණය ලබාදුන් විදේශීය බැංකු සඳහා මිලියන ගණනින් දඩ මුදල් ගෙවීමට සිදුවී ඇත. එමෙන්ම ඇතැම් සංවර්ධන ව්‍යාපෘති වංචා, දූෂණ හා අක්‍රමිකතාවලින් පිරීගොස් ඇත.
මිලියන 90,294ක් වැය කළත් ජාතික ආර්ථිකයට කිසිදු දායකත්වයක් ලැබී නැත.
අප මේ කියන්නට යන්නේ වාරිමාර්ග අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරමින් පවතින මෙරට ප්‍රධාන වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘති හතරක් ගැන ය. මෙකී ව්‍යාපෘති ආරම්භකොට වසර 14ක් ගතවී ඇතත් මෙකී ව්‍යාපෘතිවලින් මේ දක්වා මෙරට ජාතික ආර්ථිකයට කිසිදු දායකත්වයක් ලැබී නො තිබුණි. ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට තිබූ විගණන වාර්තාවකට අනුව මෙකී සංවර්ධන ව්‍යාපෘති හතර සඳහා වසර 14ක කාලසීමාවක් තුළ රුපියල් මිලියන අනූදහස් දෙසිය අනූහතරයි දශම පහක මුදලක් (90,294.5) වැයකොට තිබුණි. එහෙත් එකී ව්‍යාපෘතිවලින් මේ දක්වා ජාතික ආර්ථිකයට කිසිදු දායකත්වයක් ලැබී නො තිබුණි. ඒ විතරක් නොව, මෙකී ව්‍යාපෘති නිමකිරීම සඳහා සැලසුම් කළ කාලය මෙන් දෙගුණයටත් වඩා වැඩි කාලයක් ගතවී තිබුණ ද එකී ව්‍යාපෘති මේ වනතෙක් නිමකොට නො තිබුණි.
මෙකී සංවර්ධන ව්‍යාපෘති වන්නේ තල්පිටිගල ජලාශය, ඵලදායිතා ප්‍රවර්ධනය සහ වාරිමාර්ග පද්ධති කාර්යක්ෂමතාව කළමනාකරණය කිරීමේ ව්‍යාපෘතිය, ගිං, නිල්වලා හැර වීමේ ව්‍යාපෘතිය, සහ උමා ඔය හැර වීමේ ව්‍යාපෘතියයි. මෙකී ව්‍යාපෘති සඳහා ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් මිලියන එක්ලක්ෂ පනස්තුන්දහස් නවසිය පහළොවයි දශම හතකි. මෙකී ව්‍යාපෘති අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමේ දී මූලික අරමුණු යටතේ ඉදිරිපත්කොට තිබූ ආර්ථික වාසි සැලසුම්ගත පරිදි ලබාගැනීමට නොහැකි වී තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වේ. ඒ පිළිබඳ විශ්ලේෂණය කර වගකිව යුතු පාර්ශ්ව පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීමක් සිදුකොට නොමැති බව ද විගණනය මගින් පෙන්වා දී තිබුණි.
වසර 14ක් තිස්සේ ඉබි ගමනේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති මෙම ව්‍යාපෘති ප්‍රමාද වීම හේතුවෙන් අපේක්ෂිත ප්‍රතිලාභ සඳහා වන බලපෑම තක්සේරු කර ඒ පිළිබඳ වන බලපෑම අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තා කළයුතු බව විගණනය මගින් නිර්දේශ කොට ඇත. එමෙන්ම කාර්ය මණ්ඩල සඳහා සේවා දිගු ලබාදීමේ දී ප්‍රමාද වීම හේතුවෙන් අපේක්ෂිත ප්‍රතිලාභ අහිමි වීමේ බලපෑම පිළිබඳ සලකා බැලිය යුතු වන අතර කාලය දර්ඝ කිරීමේ අනුමැතිය ලබාගෙන සැලසුම් කළ කාලය තුළ ව්‍යාපෘති නිම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බව විගණනය මගින් නිර්දේශකොට තිබුණි.
තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය 2015 වර්ෂයේ දී වූ ආණ්ඩු පෙරළියත් සම ඇති වූ ජනතා විරෝධයත් සමග මෙකී ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීමට නො හැකි විය. කෙසේවුවද 2017 වර්ෂයේ දී නැවත මෙකී ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා චීනයේ EXIM බැංකුව සමග ණය ගිවිසුම් අත්සන් කරනු ලැබීය. 2018 වර්ෂයේ දී ව්‍යාපෘති කළමනාකරණ ඒකකය ද ස්ථාපිත කරනු ලැබීය. ඒ කොයි හැටි වුවද පාස්කු ප්‍රහාරයෙන් පසු කොන්ත්‍රාත්කාර සමාගම විසින් අධ්‍යයන කටයුතු නතර කිරීමට කටයුතු කරනු ලැබීය. 2020 වර්ෂයේ දී මෙකී ව්‍යාපෘතියේ කටයුතු නැවත ආරම්භ කරනු ලැබීය. මේ පිළිබඳ වාරිමාර්ග අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ 2020,2021 යන වර්ෂවල මෙකී ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත්කර ගැනීමේ කටයුතු සියයට 95ක් ද මැනුම් හා සමීක්ෂණ කටයුතු සියයට සියයක් මේ වනවිට අවසන් කොට ඇති බවය. තල්පිටිගල ජලාශ ව්‍යාපෘතියේ මූලික කටයුතු සියල්ල අවසන් කර ඉදිකිරීම් ඇස්තමේන්තුවෙන් සියයට 09ක පමණ ආසන්න ප්‍රමාණයක වැඩ කොටසක් අවසන් කොට ඇති බව වාරිමාර්ග අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට තිබුණි.
● ඵලදායිතා ප්‍රවර්ධනය සහ වාරිමාර්ග පද්ධති
කාර්යක්ෂමතාව කළමනාකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා මුදල් ප්‍රතිපාදන හා අක් මුදල් ප්‍රමාණය නොලැබීම නිසා බලාපොරොත්තු වූ ඉලක්කවලට ළඟා වීමට නො හැකිවී ඇති බවත් මේ නිසා සමස්ත භෞතික ප්‍රගතිය සියයට 12.16කට සීමා වී ඇති බව ද ගණන් දීමේ නිලධාරිවරයා විගණනයට සඳහන් කොට ඇත.
● ජාත්‍යන්තර් තරගකාරි මිල ගණන් නො කැඳවා කොන්ත්‍රාත්තුව ලබාදීලා
උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මෙරට ප්‍රධාන වාරිමාර්ග ව්‍යාපෘතියකි. මෙකී ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුළු පිරිවැය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 529.06කි. රුපියල්වලින් ගතහොත් රුපියල් මිලියන 74,325.75කි. මෙකී ව්‍යාපෘතිය සඳහා ඉරාන අපනයන සංවර්ධන බැංකුව විසින් විදේශීය ණය මුදල් ලබාදීමට එකඟවී තිබුණි. කෙසේවුවද ඉරානයට සම්බාධක පැනවීම නිසා ශ්‍රී ලංකාව සහ ඉරානය අතර බැංකු ගනු දෙනු නතර විය. ඒ සමග ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ මූල්‍ය පහසුකම් ද නතර කිරීමට කටයුතු කරනු ලැබීය. ඒ වනවිට ශ්‍රී ලංකා රජය විසින් කොන්ත්‍රාත්කරු වෙත අත්තිකාරම් මුදල් ලෙස ඇමරිකානු ඩොලර් 77,107,880ක මුදලක් ගෙවා තිබුණි. මෙකී මුදල හා කොන්ත්‍රාත්කරු විසින් කරනු ලැබූ වැඩ සඳහා ඉරාන අපනයන සංවර්ධන බැංකුව හරහා ඇමරිකානු ඩොලර් 50,619,304ක මුදලක් ගෙවා තිබුණි. ව්‍යාපෘතිය සඳහා අරමුදල් ඉරාන අපනයන සංවර්ධන බැංකුව විසින් මූල්‍යනය කිරීම යටතේ තරගකාරි මිල ගණන් කැඳවීමකින් තොරව අමාත්‍ය මණ්ඩලයේ තීරණය පරිදි කොන්ත්‍රාත්කරු තෝරාගෙන 2007 වර්ෂයේ ගිවිසුම්ගතව තිබුණි. කෙසේවුවද 2013 වර්ෂයේ දී ඉරානයට පනවනු ලැබූ සම්බාධක හේතුවෙන් දේශීය මුදලින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කොට තිබුණි. දේශීය අරමුදලින් ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යෑමට තීරණය කිරීමත් සමග ජාත්‍යන්තර තරගකාරි මිල ගණන් කැඳවීම තුළින් ශ්‍රී ලංකා රජයට ලබාගත හැකිව තිබූ තරගකාරි වාසි පිළිබඳ තක්සේරු කිරීමක් සිදුකර නො තිබුණි.
කෙසේවුවද මේ පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ ව්‍යාපෘතිය කොන්ත්‍රාත්කාර සමාගමෙන් අවසන් කර ජාත්‍යන්තර තරගකාරි මිල ගණන් කැඳවීමට යෑම තුළින් ප්‍රායෝගික ගැටලු රැසකට සේවායෝජකයාට මුහුණ දීමට සිදුවනු ඇති බවය.
● ව්‍යාපෘතිය ප්‍රමාද වීම නිසා ප්‍රතිලාභ අත්කර ගැනීමට බැරිවෙලා.
කෙසේවුවද ව්‍යාපෘතිය ප්‍රමාදවීම නිසා අපේක්ෂාකර තිබූ ප්‍රතිලාභයන් අත්පත් කරගැනීමට නොහැකිවී තිබුණි. විදුලි බල ජනන පද්ධතියට අමතරව වැල්ලවාය හා තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි නව ඉඩම් හෙක්ටයාර් 4500ක් සඳහා වාරි ජල පහසුකම් සැපයීම මෙකී ව්‍යාපෘතියේ අරමුණකි. එමෙන්ම දැනට වගාකරනු ලබන ඉඩම් හෙක්ටයාර් 1500ක් සඳහා වාරි ජලය සපයා ගැනීමට සැලසුම්කොට තිබුණි. මෙකී ව්‍යාපෘතිය තුළින් පානීය හා කර්මාන්ත සඳහා වාර්ෂිකව ඝන මීටර් මිලියන 30ක ජලය සැපයීම තවත් අරමුණකි. එමෙන්ම ඩයබරා හා පුහුල්පොළ ඉදිකරනු ලබන ජලාශ තුළින් බණ්ඩාරවෙල හා ඇටැම්පිටිය යන ප්‍රදේශවලට පානීය ජල අවශ්‍යතා සැපයීමට ද ව්‍යාපෘතියේ තවත් අරමුණකි. එහෙත් මෙකී ව්‍යාපෘති අරමුණු ඉටුකර ගැනීමට නොහැකි වී තිබුණි. මෙකී ව්‍යාපෘතිය ප්‍රමාදවීම හේතුවෙන් ව්‍යාපෘතියෙන් ලැබිය යුතු ප්‍රතිලාභ අහිමි වීම පිළිබඳ තක්සේරුවක් සිදුකොට නො තිබුණි. ව්‍යාපෘතියේ කාලය දිර්ඝ කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය සඳහා ඉදිරිපත් කරනු ලැබූ සංදේශයට මේ පිළිබඳ ඇතුළත් කොට නො තිබුණි.
උමා ඔය හැරවීමේ ව්‍යාපෘතියේ 2022 දෙසැම්බර් මස අවසන්වීමට පෙර සියලු වැඩකටයුතු අවසන් කර ප්‍රධාන වාරිමාර්ග ජලාශයට ඩයරබා සහ පුහුල්පොළ ජලාශ 02න් නිකුත් කරනු ලබන ජලය ලබාදීමට සැලසුම් කොට ඇති බව ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත. එමෙන් ම බණ්ඩාරවෙල, දියතලාව සහ හපුතලේ ජල යෝජනා ක්‍රම ඉදිකිරීමේ කටයුතු සිදුකරමින් පවතින බව ද ගණන් දීමේ නිලධාරිවරයා විසින් විගණනයට සඳහන් කොට ඇත.
උමා ඔය ව්‍යාපෘතියේ ජලකාන්දුව වෙනුවෙන් කොන්ත්‍රාත්කරු විසින් වන්දි වශයෙන් ගෙවිය යුතු කෝටි 193 රජය මගින් ගෙවලා කෙසේවුවද උමා ඔය හැර වීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන උමඟෙ හි ඇතිවූ ජලකාන්දුව හේතුවෙන් කොන්ත්‍රාත්කරු විසින් ගෙවිය යුතු වන්දි වශයෙන් රුපියල් එකසිය අනූතුන්කෝටි දහතුන්ලක්ෂ හතළිස්හයදහස් තුන්සිය අනූහයක මුදල (1,931,346,396) රජයේ මුදලින් ගෙවා ඇති බව ද විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන් ම මෙකී මුදලින් රුපියල් අසූඅටකෝටි අනූහත්ලක්ෂ අසූනවදහස් දෙසියපනස් දෙකක (889,789,252) මුදල කොන්ත්‍රාත්කරු ගෙන් අයකර ගෙන නොතිබූ බවද විගණන මගින් අනාවරණය කොට ඇත. කෙසේවුවද මේ පිළිබඳ වාරිමාර්ග අමාත්‍යාංශයේ ගණන් දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ වන්දි වශයෙන් ගෙවූ මුදලින් අරාබි සමාගමෙන් අයකර ගැනීමට ඇති ඉතිරි මුදලවන රුපියල් 584,813,829 මුදල සමාන වාරික 06කින් අයකර ගැනීමට නිර්දේශ කොට ඇති බවය.
● අයකරගත් ප්‍රමාද ගාස්තු ඩොලර් පනස්තුන් ලක්ෂයක් ආපසු කොන්ත්‍රාතාත්කාර සමාගමට ගෙවලා.
කොන්ත්‍රාත්කරු ගෙන් ප්‍රමාද ගාස්තු ලෙස ඇමරිකානු ඩොලර් හැටහයලක්ෂ තිස්එක්දහස් තුන්සිය හැටහතරක මුදලක් (6,631,364) අයකර ගෙන තිබුණි. එහෙත් අමාත්‍ය මණ්ඩලයේ තීරණය පරිදි ඉන් ඇමරිකානු ඩොලර් පනස්තුන් ලක්ෂ පන්දහස් අනූඑකක මුදලක් (5,305,091) ආපසු කොන්ත්‍රාත්කරුට ගෙවා තිබුණි. ප්‍රමාද ගාස්තු අයකර ගැනීම තවදුරටත් තීරණය කරන තුරු තාවකාලිකව නතර කිරීමට කටයුතු කරන ලෙස එවකට සිටි ජනාධිපතිවරයා නියෝග නිකුත්කොට තිබූ බව විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන් ම අයකරගත් ප්‍රමාද ගාස්තු නැවත ආරාබි සමාගමට ගෙවීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා කමිටුවක් පත්කරනු ලැබීය. එම කමිටු වාර්තාවට අනුව අයකරගත් ප්‍රමාද ගාස්තුවලින් සියයට 80ක මුදලක් ගෙවීමට යෝජනා කොට තිබූ අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබුණි. කෙසේවුවද විගණනය මගින් නිර්දේශකොට ඇත්තේ ගිවිසුමේ කොන්දෙසි ප්‍රකාරව ප්‍රමාද ගාස්තු අයකර ගැනීමට කටයුතු කළ යුතු බවය. අයකරනු ලැබූ ප්‍රමාද ගාස්තු නැවත ගෙවීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව දැනුවත් කර නැවත අයකර ගැනීමට කටයුතු කළයුතු බවය.
2020 වර්ෂය අවසන් වනවිට මෙකී ව්‍යාපෘතියේ මූලස්ථාන වැඩ සඳහා දේශීය අරමුදලින් රුපියල් මිලියන 72,153.17ක මුදලක් වැයකොට තිබුණි. විදේශීය අරමුදලින් රුපියල් මිලියන 6,522,85ක මුදලක් වැයකොට තිබුණි. ව්‍යාපෘතිය 2008 වර්ෂයේ දී ආරම්භකොට 2015 වර්ෂයේ නොවැම්බර් මස 15 දින නිමකිරීමට අපේක්ෂා කොට තිබුණි. එහෙත් ව්‍යාපෘතියේ කාලය 2021 වර්ෂයේ දෙසැම්බර් මස 25 දක්වා දිර්ඝකොට තිබුණි.
ගිං නිල්වලා ව්‍යාපෘතියේ ගිවිසුම අවලංගු වී තිබුණ ද ව්‍යාපෘතියේ මූලික සැලසුම් සඳහා රුපියල් මිලියන 4011 එකවර ගෙවලා ගිං නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය ද මෙරට දේශපාලන වේදිකාවේ දැඩිලෙස කථාබහට ලක්වූ ව්‍යාපෘතියකි. මෙකී ව්‍යාපෘතිය සඳහා 2014 වර්ෂයේ නොවැම්බර් මස 05 වැනි දින ඇමරිකානු ඩොලර් මිලියන 690ක EPC කොන්ත්‍රාත් ගිවිසුමකට චීන සමාගමක් සමග එළැඹ තිබුණි. මේ සඳහා පූර්ව වැඩ අත්තිකාරම් ලෙස රුපියල් මිලියන 4011.05 ක මුදලක් ගෙවා තිබුණි. ගිවිසුමේ කොන්දේසි අනුව වර්ෂයක් තුළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක තත්ත්වයකට පත්නොවන අවස්ථාවක දී දෙපාර්ශ්වයේ එකඟතාවයකින් තොරව ගිවිසුම අවලංගු විය යුතුය. ඒ අනුව 2015 වර්ෂයේ නොවැම්බර් මස 05 වැනි දිනට ගිවිසුම අවලංගු වී තිබුණි. අත්තිකාරම් ඇපකරය මුදල් බවට පත්කර ගැනීමට හැකියාව තිබුණ ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව අත්තිකාරම් මුදල ව්‍යාපෘතියේ පළමු අදියරේ පිරිවැය ලෙස හඳුනාගෙන තිබුණි. ඒ අනුව මූලික දත්ත රැස්කිරීම, මැනුම් කටයුතු , භූගෝලීය නිරීක්ෂණ කටයුතු, ශක්‍යතා අධ්‍යයන වාර්තාව යාවත්කාලීන කිරීම, මූලික සැලසුම් සඳහා මෙකී මුදල පිරිවැය ලෙස හඳුනාගෙන තිබුණි.
ව්‍යාපෘතියේ සැලසුම් සඳහා මිලියන 4011 ගෙවා වසර පහක් ගතවී ඇතත් මූලික සැලසුම් තවම අවසන් කර නැහැ එම කටයුතු මාස 08කින් නිමකළ යුතු බවට අවබෝධතා ගිවිසුමකට ද එළැඹ තිබුණි. මේ සඳහා අදාළ සම්පූර්ණ මුදල වූ රුපියල් මිලියන 4011ක් එකවර ගෙවා තිබුණි. මෙකී මුදල එකවර ගෙවා වර්ෂ පහක් ගතවී ඇතත් ව්‍යාපෘතියේ මූලික සැලසුම් සකස් කිරීම මේ දක්වා නිමකර නො තිබුණි. එකී කටයුතුවලින් සියයට 26ක් තවදුරටත් නිම කළ යුතුව පැවැතුණි. අමාත්‍ය මණ්ඩල අනුකමිටු තීරණය පරිදි නීතිපති උපදෙස්
ලබාගැනීමකින් තොරව කටයුතු කළ වගකිවයුතු නිලධාරින් සම්බන්ධව විධිමත් පියවර ගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
අනික් කාරණය වන්නේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අත්තිකාරම් නිදහස් කිරීමට ප්‍රථම පාරිසරික ඇගයීම් හා ශක්‍යතා අධ්‍යයනයක් සිදුකළ යුතුය. රේඛීය ආයතන මගින් අනුමැතිය ලබාගත යුතුය. එහෙත් ශක්‍යතා අධ්‍යයනයක් හෝ අදාළ රේඛීය ආයතනවලින් අනුමැතිය ලබාගෙන නො තිබුණි.
● පාරිසරික ඇගයීම් හා ශක්‍යතා අධ්‍යයනයක් කරලා නැහැ
මෙකී ව්‍යාපෘතිය නිල්වලා ගඟ ආශ්‍රිතව පමණක් සිදුකිරීමට කටයුතු කරන ලෙසත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන ලෙස 2016 ජුනි 23 වැනි දිනැති ලිපියෙන් අග්‍රාමත්‍ය ලේකම්වරයා දන්වා තිබුණි. එහෙත් ඒ අයුරින් කටයුතු නොකර යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති ගිං ගඟ ආශ්‍රිතව හා නිල්වලා ගඟ යන කොටස් දෙක සඳහා ම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කිරීමට අදාළ කොන්ත්‍රාත්කාර සමාගම සමග ගිවිසුමකට එළැඹ තිබුණි. එම නිසා මෙකී ව්‍යාපෘතියට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අනිකුත් ආයතනවල අනුමැතිය ලබාගැනීමට නො හැකවී ඇත. ඒ අනුව 2017 වර්ෂයේ දී අවිධිමත් ලෙස එළැඹි තිබූ අවබෝධතා ගිවිසුම් යටතේ සිදු කරනු ලැබූ අධ්‍යයනයන් හා සැලසුම් ද ප්‍රයෝජනයක් නොවන බව විගණන වාර්තාවේ සඳහන් වේ.
● ව්‍යාපෘතිය සඳහා බඳවාගත් කාර්යමණ්ඩලය සඳහා වැටුප් දීමනා සඳහා මිලියන 57ක් ගෙවලා
ඒ විතරක් නොව, මෙකී ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩලයේ තීරණය අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එකඟතාවය සහ අනුග්‍රහය ලබාගතයුතු බව සඳහන් කර වර්ෂ 04ක් ගතවී තිබුණි. එහෙත් ව්‍යාපෘතියේ කටයුතු සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එකඟතාවයකින් තොරව ව්‍යාපෘතියේ කටයුතු සිදුකරමින් පැවැතුණි. එමෙන්ම මෙකී ව්‍යාපෘතිය සඳහා බඳවාගත් කාර්ය මණ්ඩලය වෙනුවෙන් වැටුප් දීමනා සහ අනිකුත් වියදම් වෙනුවෙන් වර්ෂ පහක කාලයක් තුළ රුපියල් මිලියන 57ක වියදමක් දරා තිබුණි. එහෙත් ව්‍යාපෘතියේ කටයුතු වර්ෂ අටක කාලයක් අඛණ්ඩව ප්‍රමාදවීම තුළ එය අනාර්ථික සහ අතිරේක වැය බරක් බවට පත්ව තිබූ බව විගණන වාර්තාවේ සඳහන් වේ. කෙසේවුවද මේ සම්බන්ධයෙන් ප්‍රධාන ගණන් දීමේ නිලධාරිවරයා විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ ව්‍යාපෘතියේ අනුමත කාර්යමණ්ඩලය 15ක් වුවද කිසිදු අවස්ථාවක සම්පූර්ණ කාර්යමණ්ඩලය බඳවා ගෙන නොමැති බවය. 2017 වර්ෂයේ සිට මේ දක්වා ගෙවනු ලැබූ කාර්යමණ්ඩල වැටුප රුපියල් මිලියන 27ක් බවද ගණන් දීමේ නිලධාරියා විසින් සඳහන් කොට ඇත.
ලලිත් චාමින්ද