මෙන්න මැයි ඉතිහාස කතාව…මැයි පළවෙනි දින සමරණ 136 වන ජාත්‍යන්තර කම්කරු සහයෝගිතා දිනය

76

1886 වර්ෂයේ ඇමෙරිකාවේ නිව්යෝක් හි සිට සැන් ප්‍රැන්සිස්කෝ දක්වා විහිදුණු වැඩවර්ජන හා පෙළපාලිවලින් යුත් අරගල වසරක් විය. ඊට තුඩු දුන් ප්‍රධාන ඉල්ලීම වූයේ පැය අටකට සීමා වූ සේවා කාලයක් දිනකට ලබා ගැනීමයි. මේ සටන් රැල්ලේ අරගල මධ්‍යස්ථානය වූයේ චිකාගෝ නගරයයි.

1886 යේ මැයි 1 දින චිකාගෝ නගරයට හතළිස් දහසක පමණ වැඩ වර්ජිත කම්කරුවන් පිරිසක් වීදි බැස සාමකාමී පෙළපාලියක් පැවැත්වූහ. මේ පෙළපාලිය මැයි 2 හා 3 යන දෙදින තුළත් පැවැත් විණ. චිකාගේ නගරයේ මැක්කොමික් කර්මාන්ත ශාලාවේ වැඩවර්ජනය කඩා කප්පල් කර දැමීමට හාම්පුතුන් දැරූ උත්සහයේදී වැඩ වර්ජකයින් හා එය මර්දනය කිරීමට පැමිණි හොරිකඩයින් අතර ගැටුම් ඇති විය. මැයි 3 වන දින මේ සිදුවීම් උග්‍රවීම හේතුකොට ගෙන පොලීසිය ඊට වෙඩි තැබීම නිසා හය දෙනෙකු මියගොස් පනස් දෙනෙකු තුවාල ලැබූහ. පෙළපාලියේ ගෙන ගිය සුදුපාට බැනර් කොඩි කම්කරුවන් හෙළුෑ ලෙයින් රතු පැහැගැන්වී තිබිණි. මෙම සිදුවීමෙන් පසු කම්කරුවන්ගේ පාට ලෙස රතුපාට තෝරාගනු ලැබිණි.

● යෝධ රැලිය

මේ වෙඩි තැබීමට විරෝධය පාමින් මැයි 4 වන දින යෝධ රැලියක් චිකාගෝ නගරයේ මධ්‍යම චතුරශ්‍රයේ පවත්වනු ලැබීය. මේ රැලිය අමතා චිකාගෝ නගරයේ වැඩ වර්ජිත කම්කරු නායකයෝ රැසක්ම කථා කළහ.

හාම්පුතුන්ට විරෝධය පළ කිරීමට පැවැති මේ අරගලය පසුව පොලීසියට විරුද්ධත්වය පළ කිරීමට පැවැති අරගලයක ස්වරූපයක් ගත්තේය. ආණ්ඩුව තවදුරටත් හිංසාකාරී පිළිවෙතකට පිවිසීමට ඉඩ ඇති හෙයින් නොසැලී සාමකාමීව සංවිධානාත්මකව අරගලය ඉදිරියට ගෙන යෑමට නායකයෝ වැඩ වර්ජිකයින්ට උපදෙස් දුන්හ.

අනතුරුව රැලිය අවසන්වීමට මදකට පෙර පොලිසිය ඒ ප්‍රදේශයට පිවිසියේය. එහිදී නාඳුනන පුද්ගලයෙකු විසින් විසිකරනු ලැබූ අත්බෝම්බයකින් පස්දෙනෙකු තුවාල ලැබූ අතර එක් අයකු මරුමුවට පත් වූයේය. මෙසේ මරුමුවට පත් වූ පුද්ගලයා පොලිස් නිලධාරියකු බැවින් එතැන් පටන් පොලීසිය ඉවක් බවක් නොමැතිව කම්කරුවන්ට වෙඩි තබන්නට පටන් ගත්තෝය. ඉන් පසු පොලීසියේ මර්දනකාරී වැඩපිළිවෙළ මුළු ඇමෙරිකාව පුරාම ක්‍රියාත්මක කෙරිණි. වැඩවර්ජකයින් දුටු තැන පහර දෙන්නටත් වෘත්තීය සමිති කාර්යාල කඩා බිඳ දමන්නටත් පටන් ගත්තේය. එතැන් පටන් සටන ආණ්ඩුව සහ කම්කරුවන් අතර සටනක් බවට පරිවර්තනය විය. බෝම්බ ගැසූ සිදුවීම සම්බන්ධයෙන් චිකාගෝ නගරයේ කම්කරු නායකයන් අට දෙනකු අධිකරණය හමුවට මිනීමැරුම් චෝදනා මත ඉදිරිපත් කෙරිණි. ඉන් හත් දෙනකු සිද්ධිය වූ මොහොතේ නොසිටියත් ඔවුන්ට විරුද්ධව විරෝධතා ගොනු කෙරිණි.

● අල්ලස් දීම

මෙන්න මැයි ඉතිහාස කතාව…මැයි පළවෙනි දින සමරණ 136 වන ජාත්‍යන්තර කම්කරු සහයෝගිතා දිනය

කම්කරු විරෝධී පුද්ගලයන් මේ ජූරි සභාවට කැඳවා තිබිණි. ඒ දැඩි දඬුවම් ලබාදීමේ පූර්ණ නිගමනවලට අනුවය. මෙහි සාක්‍ෂි ලබාදුන් අයට අල්ලස් දී තිබූ බව පසු කලෙක හෙළිදරව් විය.

අධිකරණයට ඉදිරිපත් වු විත්තිකරුවන් දැඩි ආත්ම ගෞරවයකින් හා එඩිතර බවකින් යුක්තව තමන් නිවැරැදිකරුවන් බව ප්‍රකාශ කරමින් ආණ්ඩුවටත් පොලීසියටත් විරුද්ධව තියුණු ලෙස චෝදනා ඉදිරිපත් කළෝය. මෙහිදී ඔස්කාර් තිබේම යන වෘත්තීය සමිති නායකයාට වසර පහළොවක සිරදඬුවමක් හා අනෙකුත් සියලු කම්කරු නායකයන් එල්ලා මරා දැමීමට නියම කෙරුණි. මොවුන්ව එල්ලා මරණ දිනය ළං වෙත්ම අධිකරණ තීන්දුවට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් මුළු රට පුරාම දියත් කරනු ලැබීය. ඊට විරෝධය පළ කොට විදේශ රටවලින්ද පෙත්සම් ගලා එන්නට විය. මේ පිරිසට ලබාදී තිබෙන දඬුවම ලිහිල් කරන ලෙසද ඉල්ලා සමාජයේ විවිධ ක්‍ෂේත්‍රවලින් බලපෑම් එල්ලවන්නට විය. මේ බලපෑම් නිසාම සැමුවෙල් පීල්ඩන් සහ ඉයුජින් ෂවාබ්ට පමුණුවා තිබූ මරණීය දණ්ඩනය වෙනුවට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලිහිල් විය. මොවුන් එල්ලා මරා දැමීමට නියමිතව තිබූ 1887 නොවැම්බර් 11 වන දිනට පෙර දිනයේ 10 වන දින ලුවිස් ලින්ග් සියදිවි නසා ගත්තේය. ඒ අනුව 11 වන දින ඇල්බට් පර්සන්ස්, ඕගස්ට් ස්පයිස්, ජෝර්ජ් ඒංගල් සහ ඇඩෝල්ප් පිෂර් යන කම්කරු නායකයින් හතර දෙනා එල්ලා මරා දමන ලදී. ඔවුන් කම්කරු පන්ති විමුක්තියේ වීර භටයින් ලෙස මරණයට එඩිතරව මුහුණ දුන්හ. එල්ලා මරා දැමීමට මොහොතකට පෙර ඕගස්ට් ස්පයිස් අවසාන වශයෙන් මෙසේ ප්‍රකාශ කළේය. “අපේ වචනවලට වඩා අපේ නිශ්ශබ්දතාව බලගතු වන කාලයක් වැඩි කල් නොගොස් උදාවෙනවා.”

1893 දී සිර දඬුවම් ලබමින් සිටි සැමුවෙල්, ඉයුජින් හා ඔස්කාර් යන තිදෙනා නිදහස් කරන ලදී. මේ වනවිට ඉලිනොයිස් ප්‍රාන්තයේ නව ආණ්ඩුකාරවරයා වශයෙන් ජෝන් පී. ඇල්ටිහෙල්සි නම් අයෙක් පත් වූයේය. පසුව ඔහු මේ නඩු තීන්දුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළේය. ඒ අනුව යථෝක්ත නඩු විභාගය පක්ෂපාතීව පවත්වා තිබෙන බවත් එල්ලා මරා දමනු ලැබූ පුද්ගලයන් ඇතුළු අට දෙනාටම විරුද්ධව චෝදනා එල්ලවී නොතිබුණු බවත් පක්‍ෂපාතී ජූරි සභාවක් තෝරා ගෙන තිබුණු බවත් හෙළි විය.

● පැය අටේ වැඩ අයිතිය

මේ අනුව දිනකට පැය අටක් වැඩ ඉල්ලා 1886 මැයි මාසයේ ඇමරිකාවේ චිකාගෝ නගරයේ පැවැති වැඩ වර්ජනයේදී හය දෙනකු වෙඩි තබා මරා දමනු ලැබු අතර සතර දෙනකු එල්ලා මරා දමනු ලැබීය. එක් අයකු සියදිවි හානි කර ගත්තේය. තිදෙනකු හත් වසරක් සිර දඬුවම් ලැබූහ. සියගණන් වෙඩි උණ්ඩවලට ලක් වූ අතර දහස් ගණනක් අත්අඩංගුවට ගැණිනි. පොලිස් ප්‍රහාරයන්ට ලක් වූ ප්‍රමාණය අපමණය. අද පැය අටේ වැඩ දිනය භුක්ති විඳින මුළු ලොව පුරාවූ කම්කරු පන්ති ජනතාව දිවිපිදූ ඒ වීර ඇමෙරිකානු කම්කරු නායකයන් සැමරීම සහ ඔවුන්ට ගෞරවය දැක්වීමට තම පන්තිමය යුතුකමක් වශයෙන් සලකමින් වසරක් පාසා මැයි 01 වන දින රැලි හා පෙළපාලි පවත්වති.

1886 මැයි අරගල ඛේදවාචකයකින් අවසන් වූවත් ඇමෙරිකානු කම්කරු පන්තියේ සටන් රැල්ල නොනැවතී පැවැතිණ. සමස්තයක් වශයෙන් ගත් කල 1886 මුළු වැඩ වර්ජන ව්‍යාපාරය ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයේ ජය ස්ථම්භයක් වශයෙන් සලකනු ලබයි. 1887 සිට 2 වන කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ තීරණ අනුව ජාත්‍යන්තර කම්කරු සහයෝගිතා දිනය ලෙස මැයි මස 1 වන දිනය පවත්වයි.

● ශ්‍රී ලංකාවේ ප්‍රථම මැයි දිනය

ශ්‍රී ලංකාවේ මැයි දිනය පැවැත්වීම ආරම්භ වනුයේ 1933 දීය. එවකට ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස කටයුතු කළ ඊ. ඒ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකොටුව ප්‍රයිස් පාක් හීදි මේ මැයි රැලිය පවත්වනු ලැබීය. මෙහි තේමාව වූයේ “ රාජ්‍ය පාක්ෂික වෙමු” යන්නයි. මේ අවස්ථාවට යටත් වජිත ආණ්ඩුවේ නිලධාරීන්ට හා ඔවුන්ගේ බිරියන්ට ආරාධනා කර තිබිණි.

1934 දී ශ්‍රී ලංකාවේ දෙවන මැයි දිනය පැවැත්වූයේ මාක්ස්වාදී සංගමයයි. මෙය ප්‍රථම වරට වමට සම්බන්ධ සමාජවාදී මතවාදය පළ කරන මැයි දින සැමරීම වේ. දොස්තර සරවනමුත්තුගේ ප්‍රධානත්වයෙන් පිටකොටුව ප්‍රයිස් පාක්හිදී පැවැත්විණි. මෙහි තේමාව වූයේ “ජාතික නිදහස හා සමාන වැටුප්” යන්නයි. මෙම මැයි රැලියේ ප්‍රධාන කථිකයා වූයේ එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයෙකු වූ දොස්තර එස්. ඒ. වික්‍රමසිංහයි. ඊටත් වඩා ප්‍රබල මැයි දිනයක් 1935 දී පැවැත්විණි. මෙය ලංකා සම සමාජ පිහිටුවීම ආසන්නයේදී පැවැත්වුණු අතර වැල්ලවත්ත රෙදිමෝලේ සේවක ගැටලුවක් මුල්කරගෙන පසු කලෙක ලංකා සම සමාජ පක්‍ෂයේ නායකයකු වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වෘත්තීය සමිතියක්ද පිහිටුවීම මේ වකවානුවේ සිදුවිය. එතැන් පටන් දිගටම ලංකා සම සමාජ හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් යන වමේ දේශපාලන පක්‍ෂවල මූලිකත්වයෙන් මැයි රැලි හා පෙළපාලි පැවැත්විණි. කම්කරුවන්ට එරෙහිව අසාධාරණ ලෙස සම්මත කර තිබූ නීති රීති, අතිකාල දීමනා, පැය අටේ වැඩ දිනය ඉල්ලීම යන අයිතීන් දිනා ගැනීමේ සටන් පැවැති අතර 1946 හා 1947 වැඩ වර්ජන, 1953 හර්තාලය යන සිදුවීම් සමග කම්කරු සටන් පැවතෙද්දී 1956 සිදුවූ පෙරළියත් සමග කම්කරු පන්තියට ඇහුම්කන් දෙන නායකයකු වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා අගමැති තනතුරට පත්විය. ඉන්පසුව පැය අටේ සේවය නීතිගත වීම, විශ්‍රාම වැටුප් අයිතිය හිමි වීම, පුද්ගලික අංශයේ සේවකයන්ට අර්ථසාධක අරමුදල් අයිතිය ලබා ගැනීම මේ සඳහා පීටර් කෙනමන් මහතා හා එම්. ජී. මෙන්ඩිස් මහතා සිදු කළ මෙහෙය අගය කළ යුතුයි. එමෙන්ම ටී. බී. ඉලංගරත්න මහතා කම්කරු ඇමැති ලෙස අර්ථ සාධක අරමුදල් අයිතිය පෞද්ගලික අංශයට ලබාදීමට ගත් තීරණය වැදගත් වේ.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය ඇතුළු වමේ ව්‍යාපාරය විසින් ගෙන ගිය අරගලයක ප්‍රතිඵලයක් ලෙස 1956 දී අග්‍රාමාත්‍ය එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විසින් මැයි දිනය නිවාඩු දිනයක් බවට පත් කළේය. ඒ අනුව මැයි දිනය නිවාඩු දිනයක් කර හැටහයවෙනි සංවත්සරය මෙවර මැයි දිනයට යෙදෙන්නේය.

1987 හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් මැයි දින පෙළපාළි හා රැස්වීම් පැවැත්වීම තහනම් කළේය. එදින ලංකා සම සමාජ පක්‍ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය, ශ්‍රී ලංකා මහජන පක්‍ෂය ඇතුළු වමේ ව්‍යාපාරය සංවිධානය කළ මැයි පෙළපාළියට පොලිස් ප්‍රහාරයක් එල්ල විය.

කෙසේ වෙතත් අද මැයි දිනය කම්කරු පන්තියේ අවශ්‍යතා මත නොපවත්වන අතර එක් එක් දේශපාලන පක්‍ෂවල පටු දේශපාලන අවශ්‍යතා සඳහා මැයි දිනය යොදා ගනී. නිල්පාට, කොළ පාට, කහ පාට විවිධ වර්ණ යොදා ගනිමින් කම්කරු පන්තියේ අරමුණු අපේක්‍ෂා හා ඉල්ලීම්වලට පටහැනිව පත්වන මැයි සැණකෙළිවලින් වෙන් වී කම්කරු පන්තියේ වර්තමාන හා අනාගත අරමුණු සඳහා මැයි දිනය යොදා ගැනීම ගැන වැඩ කරන ජනතාව නියෝජනය කරන දේශපාලන පක්‍ෂවල හා සංවිධානවල වගකීම වෙයි.

එස්. සුදසිංහ
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය

advertistmentadvertistment
advertistmentadvertistment