මෙන්න වැඩසිටි කන්දන් කපනෝ…හම්බන්තොට ඉඩම් ගන්න එනවා නම් පරිස්සම් වෙන්න…ජනතාව කියයි

345

සටහන – මත්තල දිලීප් එන්. ජයසේකර

පරිසරය රැක ගැනීම වෙනුවෙන් වෙනම ජාතික පරිසර දින ද නම් කර ඇති අතර කෝටි ගණන් මුදල් වියදම් කරමින් විවිධ වැඩ සටහන්ද ක‍්‍රියාත්මක වේ. එමෙන්ම පරිසරය විනාශ කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි දඬුවම් පැමිණවීමට හැකි වන පරිදි අණපනත්ද ඕනෑවටත් වැඩියෙන් තිබේ. මේ නීතිරීති අණපනත් පොත් කොතෙකුත් තිබුණත් ඒවායෙන් රිංගා ගොස් සිය අභිමතාර්ථ ඉටුකර ගැනීමට කැලෑපාළුවෝ සමත්ව සිටිති. මේ කුමන අණපනත් තිබුණත් දිනෙන් දින මෙරට තුළ සිදුවන වන විනාශයේ නම් කිසිදු අඩුවක් නොමැතිය. එහි ආසන්නතම පුවත අපට පසුගිය දින වාර්තා වූයේ කතරගම දෙවිහාමුදුරුවන්ගේ අඩවියේ පිහිටි වැඩසිටි කන්ද රක්ෂිත ප‍්‍රදේශයෙනි.

 වැඩසිටි කන්ද රක්ෂිතයේ ඇති ඉතා වටිනා දුර්ලභ ගස් කොලන් විශාල ප‍්‍රමාණයක් කපා දමමින් අක්කර සිය ගණනක් කැලෑ පාළුවන්ගේ ග‍්‍රහණයට නතුව තිබුණේ ඇතැම් බලධාරින්ගේද පිහිට ඇතිව බවයි බොහෝ දෙනෙකු පවසන්නේ. ඒ අනුව අප ද මේ සම්බන්ධයෙන් සොයා බැලීමක නිරත වූ අතර එහිදි අනාවරණය වූයේ වැඩසිටි කන්ද රක්ෂිතයේ පමණක් නොව හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ කිහිපයකම තැනින් තැන මෙලෙස වන විනාශයන් සිදුව ඇති බවයි. මෙහිදී අප සඳහන් කඝ යුතු කරුණ නම් වන විනාශය සිදුව ඇති භූමි ප‍්‍රමාණය අක්කර වශයෙන් මෙතෙකැයි කීම කෙසේ වෙතත් තැනින් තැන මහා පරිමාණ ලෙස වන විනාශ සිදුවන බව නම් සත්‍යයකි. ආන්දෝලනයට තුඩු දුන් වැඩසිටි කන්ද රක්ෂිත ප‍්‍රදේශයේ ඉඩම් ඇල්ලීමට හෝ කැලෑ කැපීමට සාමාන්‍ය මිනිසුන්ට කිසිසේත් කළ නොහැක්කකි. ඒ වනජීවි නිලධාරීන් හා වන සංරක්ෂණ නිලධාරීන් නිරතුරුවම මේ ප‍්‍රදේශවල සංචාරයේ නිරත වීමය. ඒ අනුව බොහොම පැහැදිලි වන කරුණ නම් කතරගම මේ සිදුවන වන විනාශය පිටුපස බලවතකු සිටින බවයි. මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමේදී අපට දැනගැනීමට ලැබුණේ මෙවන් කතාවකි. ”මහත්තයෝ දේශපාලන ලොක්කෙක් තමයි මේ කැලේ කපන්නේ. මේ කැලේ කපන මිනිස්සුන්ට පොඩි ගාණක් දීලා පොඩි ඉඩම් කෑල්ලකුත් දෙනවා. එහෙම දීලා මේ අහිංසක මිනිස්සු ලවා මේ කැලෑව සුද්ධ කරලා හයියක්කාර මිනිස්සු මේවට හොර ඔප්පු හදාගන්නවා. ඉතින් වන සතුන්ට ඉන්න තැනක් නෑ.යැයි කතරගම කඩපිලක සිටි වැඩිහිටියෙක් අපත් සමග කීවේය.

මෙන්න වැඩසිටි කන්දන් කපනෝ...හම්බන්තොට ඉඩම් ගන්න එනවා නම් පරිස්සම් වෙන්න...ජනතාව කියයි

මෙම කැලෑ පාළුවෝ කතරගම වැඩසිටි කන්ද රක්ෂිතයේ පිහිටි තින්නෝරු කැණීම් සිදුකරන ප‍්‍රදේශය දක්වාත් හා කතරගම කටගමුව ප‍්‍රදේශය දක්වාම වූ කැලෑ කොටස ද හෙළිපෙහෙළි කර තිබේ. අප මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශයේ හම්බන්තොට දිස්ත‍්‍රික් කාර්යාලයෙන් ද විමසීමක් කළ අතර එහිදී එහි ප‍්‍රධානියා පැවසුවේ මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කිසිවක් ප‍්‍රකාශ කළ නොහැකි බවත්, තොරතුරු අවශ්‍යම නම් කොළඹ කාර්යාලයෙන් විමසන ලෙසයි. ඒ අනුව අප දුරකථනය ඔස්සේ කොළඹ ප‍්‍රධාන කාර්යාලයෙන් විමසීමක් කිරීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය. පසුව අප මේ සම්බන්ධයෙන් විමසීම සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ කතරගම ප‍්‍රාදේශීය ලේකම්වරයා දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද එයද ව්‍යර්ථ වීය.

 රට වටා සිදුවන කැලෑ හෙළිකිරීම් පිළිබඳව කවුරුන් කුමන ප‍්‍රකාශ කළත් රට පුරා පිහිටි කැලෑ බොහොමයක් ජාවාරම්කරුවන්ගේ ග‍්‍රහණයට නතුව ඇති බව අප අවිවාදයෙන් නමුත් පිළිගත යුතුව තිබේ. අද වන විටත් හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ මත්තල හා පහළ මත්තල, ගොන්නොරුව හා කැටැන්වැව ප‍්‍රදේශවල මහා පරිමාණයෙන් ඉඩම් ජාවාරම සිදුවෙයි. මෙහිදි ප‍්‍රධාන වශයෙන් සිදුවන්නේ ඒ ඒ ප‍්‍රදේශවල සිටින හයියක්කාර මිනිසුන් දේශපාලන හයියද ලබාගෙන කැලෑ ඉඩම් අල්ලා විවිධ සල්ලිකාරයන්ට අලෙවි කිරිමයි. හම්බන්තොට බොහෝ පැරැන්නන් පැවසුවේ අත්තා මුත්තා කාලේ පටන් ගණ කැලෑ ලෙස පැවති භූමි අද විවිධ පිරිස් ඇවිත් ඔවුන්ට අයිති නින්දගම් යැයි පවසමින් සුද්ධ කර වැටවල් ගසාගෙන තිබේ. එලෙස වැටවල් ගසා වෙන්කර ගන්නා අක්කර හැට හැත්තෑව වැනි ප‍්‍රමාණයේ භූමි විවිධ ප‍්‍රදේශවල සල්ලිකාරයන්ට අලෙවි කරයි. මෙම ප‍්‍රදේශ පිළිබඳ මෙලෝ හසරක් නොදන්නා ඇතැම් ව්‍යාපාරිකයන් ඇවිත් අක්කර හැට හැත්තෑව මිලදී ගෙන අද උසාවි පොලිසි ගාණේ රස්තියාදුවීම්ද බහුලව මේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන්ම දැකිය හැකිව තිබේ. ව්‍යාපාරිකයන්ගෙන් අපි ඉල්ලන්නේ මේ හම්බන්තොට ඉඩම් මිලදි ගන්න එනව නම් පරිස්සම් වෙන්න කියා යැයි වැඩිහිටි කිහිප දෙනෙකුම අපත් සමග පැවසීය.

ගෙවුණු වසර කිහිපය තුළදි පමණක් හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය තුළ පමණක් අක්කර දහස් ගණනක් විවිධ ජාවාරම්කරුවන් විසින් අල්ලාගෙන කම්බි වැටවල් ගසා විදුලි වැටවල් දමාගෙන ඇතත් එය බළධාරීන්ට නොපෙනීම පුදුමයට කරුණකි. නිවසක් හදාගන්න කෝටු කෑල්ලක් හෝ ගහක් කපාගන්න යන ගමේ ගොඬේ බංඩයියලා, සිරිපාලලා කැලේට යන්නත් කලින් ගිහින් අල්ලාගෙන උසාවි හමුවට ඉදිරිපත් කිරිමට තරම් දක්ෂ වන සංරක්ෂණ හා වනජිවී නිලධාරීන්ට මහා පරිමාණයෙන් කැලෑ එළි කර වගා පවත්වාගෙන යන පුද්ගලයන් අල්ලා ගැනීමට නොහැකි වීම පුදුමයට කරුණකි.

 හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතයෙන් සියයට 40ක් පමණ ආවරණය වන්නේ මහවැලි අධිකාරියට අයත් වනාන්තර ඉඩම්වලින් ය. 1979 අංක 23 දරන ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරි පනතේ 3(1) වගන්තියට අනුව 1981 අපේ‍්‍රල් 16 දින නිකුත් කරන ලද අංක 137 දරන ගැසට් නිවේදනය මගින් වලව බල ප‍්‍රදේශය වශයෙන් විශාල භූමි ප‍්‍රමාණයක් මහවැලි අධිකාරිය යටතට පවරා ඇත්තේ එම මුළු කැලෑ ප‍්‍රමාණයම හෙළිපෙහෙළි කිරිමට හෝ විවිධ ජාවාරම්කාරයන්ට විකිණීමට නොවන බව බොහෝ දෙනෙකුට අමතක වී තිබේ. සංවර්ධනයේ මුවාවෙන් පරිසර පද්ධතිය විනාශ කිරීම කිසිසේත් අනුමත කළ හැක්කක් ද නොවේ.

 පසුගිය කාලය පුරාවටම නිසි පරිසර ඇගයීමකින් තොරව මහවැලි කඩිනම් සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේ අනිසි ප‍්‍රතිපලයක් ලෙස අද හම්බන්තොට දිස්ත‍්‍රික්කයම වන අලි තර්ජනයට මුහුණ දී තිබේ.

 යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ලෙස මීට වසර කිහිපයකට පෙර නම් කරනු ලැබූ කොටසට අයත් මදුනාගල අභයභූමිය ආශ‍්‍රිතව පිහිටි හෙක්ටයාර් 300ක් පමණ භූමියත්, කරඹගස්මුල්ල ඖෂධ වනය, සූරියවැව වැවේගම, වැලිආර, කුඩාඉඳිවැව, කෝන්කැටි ආර ඇතුළු අවට වනාන්තරය හෙක්ටයාර් 700ක් පමණ වන කොටසත් කාලාන්තරයක් තිස්සේ වන අලින් පමණක් ජීවත් වූ ප‍්‍රදේශ බවට පත්ව තිබුණත් අද එම ප‍්‍රදේශවල වැඩි වශයෙන් ඇත්තේ ජාවාරම්කරුවන්ටය. මීට අමතරව අන්දරවැව, පහළ මත්තල, උඩ මත්තල, ලූණුගම්වෙහෙර, කතරගම දක්වාම වූ පිහිටි කැලෑ කොටස්ද විවිධ ජාවාරම්කරුවන් විසින් අල්ලාගෙන ඇත්තේ වන සංරක්ෂණ හා වනජීවී නිලධාරීන් මෙන්ම ඉහළ පෙළේ දේශපාලන මිතුරන්ගේ සහායෙන් බව අමුතුවෙන් කිවයුතු නොමැතිය.

 දිගින් දිගටම මෙලෙස රය පුරා පිහිට සීමිත වූ කැලෑ කොටස් කැලෑ පාළුවන්ගේ ග‍්‍රහණයට නතුවිම හමුවේ මෙරට ඉතිරිව ඇති සීමිත කැලෑ කොටස ද අනාගත පරපුරට අහිමිව යෑමට තව වැඩි කලක් ගත නොවනු ඇත. මේ නිසා රටකරවන බලධාරින්ගේ මෙන්ම පරිසරය සතා සිව්පාවා ආරක්ෂා කිරීමට සිටින නිලධාරීන්ගේ සේවය අවංකවම ඉටුවනතාක් මේ පරිසර පද්ධතිය අනාරක්ෂිත බව යළි යළිත් සිහිපත් කළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment