අද මගේ උපන් දිනය… පොඩි පාටියක් දානවා එන්න පුළුවන් ද…? මාගේ මිතුරකුගෙන් ආරාධනාවක් ලැබුණි. කිරිබත්ගොඩ නගරයේ පිහිටි අලුතින් විවෘත කළ හෝටලයක තෙවැනි මහලේ මෙම උපන් දින සාදය පැවැත්විණි.

‘උපන් දින තෑගි ගේන්න නම් බැහැ. දන්නවානේ මේ දවස්වල අපේ ආර්ථිකය’ යැයි මම මිතුරාට පැවසුවේ අවංකවමය. අප ලබන වැටුපෙන් ජීවිතය ගැටගසා ගන්නේ බොහොම අමාරුවෙනි. වෙනදා රුපියල් දහසකින් මිලදී ගත් භාණ්ඩ දැන් රුපියල් පන්දහසකටවත් මිලදී ගත නොහැකිය. එනිසා මේ වන විට අපට බොහෝ අවශ්‍යතා සීමා කිරීමට සිදුව ඇත.

මම බස් රථයෙන් කිරිබත්ගොඩ නගරයට ගොස් අදාළ හෝටලයට ගොඩ වූයෙමි. මාගේ මිතුරාත්, තවත් මාගේ මිතුරු මිතුරියන් කිහිප දෙනෙක් ද සාදය සඳහා පැමිණ සිටියහ.

මෙම හෝටලයට මා ගොඩවැදුණේ පළමුවරටය. එහි තරුණ තරුණියන් සහ පවුලේ සාමාජිකයන් සමග රාත්‍රි ආහාර ගැනීම සඳහා පැමිණි අය ද සිටියහ.

මම දෙවැනි මහලේ සිට පිටත බැලුවෙමි. වේලාව රාත්‍රි හතට පමණ ඇත. කිරිබත්ගොඩ නගරය කලබලය. රාජකාරි නිමවා නිවෙස් බලා යන ජනතාව, කඩ සාප්පුවලින් තම එදිනෙදා භාණ්ඩ මිලදී ගැනීමට පැමිණ ඇති අය, කෑම කඩවලින් ආහාර ගැනීමට පැමිණ සිටින අයගෙන් සහ වාහනවලින් නගරය පිරී ගොසිනි. ලස්සනයි නේද ටවුම… මා නගරය දෙස බලා සිටිනු දැක එතැනට පැමිණි මිතුරෙක් විමසීය.

මිනිස්සු ජීවත්වන්න කොච්චර වෙහෙසක් ගන්නවා ද… ඉස්සර මේ වෙලාවට කිරිබත්ගොඩ නගරය පාළුයි. දැන් රෑවෙන්න රෑවෙන්න නගරය සෙනඟගෙන් පිරෙනවා. දැන් දවල් – රෑ කියලා වෙනසක් නැහැ… නේද…? මිතුරාට නගරයේ රාත්‍රි සිරි නරඹන අතර පැවැසුවෙමි.

රාත්‍රි කාලයේ ජීවිතය (Night Life) අප බොහෝ දෙනෙක්ට නුහුරුය. මෙම රාත්‍රි ජීවිත බොහෝ විට අප රටේ පැවතියේ කොළඹ නගරයේය. තරු පන්ති හෝටල්වලය. ඊට සහභාගි වූයේ ව්‍යාපාරිකයන්, විදේශ සංචාරකයන් වැනි අයයි.

රාත්‍රි සමාජ ශාලා, කැසිනෝ, රාත්‍රි අවන්හල් වෙත යා යුතු නම් බම්බලපිටිය, කොල්ලුපිටිය, ගල්කිස්ස වැනි නගරවලට යා යුතුව තිබුණි.

නමුත් දැන් සෑම නගරයකම මෙවැනි රාත්‍රි සමාජ ශාලා, රාත්‍රි අවන්හල්, රාත්‍රි ආහාර කඩ ආදිය විවෘත වන්නට පටන්ගෙන ඇත.

මම හෝටලයේ වේටර්වරයකුගෙන් මෙවැනි සාද ගැන විමසුවෙමි. කොරෝනාවලින් පස්සේ දැන් ටිකක් අපිත් ඔළුව උස්සනවා.

මම මීට පෙර වැඩ කළේ වෙන හෝටලයක. (ඔහු කිරිබත්ගොඩ නගරයේ ප්‍රසිද්ධ හෝටලයක නමක් කීවේය). දැන් ඒ හෝටල්වලට සෙනඟ එනවා අඩුයි. ඒවා අලුත් විදිහට නැහැ. දැන් තරුණ පිරිස ඇවිත් අහන්නේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න පුළුවන් ද? පාන්දර වෙනකම් හෝටලය ඇරලා තියෙනවා ද? කියා ය. මා සේවය කළ හෝටලයේ මෙම පහසුකම් නැහැ. රාත්‍රි 10.00ට හෝටලය වහනවා. දැන් මේ හෝටලය එහෙම නැහැ. සමහර තරුණ තරුණියෝ හෝටලයට එන්නේ රෑ දහයට විතර.

එහෙම එන අය රැකියාව කරන්නේ පිටරට සමාගම් සමග. එයාලා කියනවා රාජකාරි තියෙන්නේ එම රටවල වෙලාව අනුව කියලා. සමහරු පාන්දර දෙක තුනට ලු වැඩ පටන් ගන්නෙ. උදේ 8.00යි 5.00 තියෙන අපේ රටේ රැකියා වේලාවන් නෙවෙයි එයාලාට තියෙන්නේ. පාන්දර ඉඳන් උදේ වෙනකම්. ඉතිං… අපිත් දැන් ඒ වගේ අයට සේවා සපයන්න හුරු වුණා. එයාලට ඩොලර්වලින් ලු වැටුප් ලැබෙන්නෙ. එනිසා අතේ මිටේ හොඳට සල්ලි තියෙනවා. එක් අයෙක් රුපියල් පන්දහසක් පමණ අඩුම තරමින් රෑට මෙහේ කන්න ඇවිත් වියදම් කරනවා.

ඔය එන බොහෝ දෙනෙක් මත්පැන් ගන්නෙ නැහැ. ශක්තිජනක පානයක් (Energy Drink) ගන්නවා.

වේටර් තරුණයා පැවසූ එම තොරතුරුවලට අනුව දැන් හෝටල්හි සේවා සපයන කාලය පවා කාලයේ තාලයට අනුව වෙනස් කළ යුතුව ඇත.

රාත්‍රි දහය තෙක් අපි උපන් දින සාදයේ සිටියෙමු. අපගේ සාදයට නම් මධු විත තිබුණි. එනිසා අපි සියලු දෙනා කුලී ගමන් රථවලින් නිවෙස් වෙත යෑමට තීරණය කළෙමු.

මම ගොඩවූයේ ත්‍රිරෝද රථයකටය. නිවසට යන අතරතුර මම ඔහුගෙන් තොරතුරු විමසුවෙමි. ‘සර්… රෑට තමයි හයර් වැඩි. එනිසා මම හයර් දුවන්නෙ රෑ දහයෙන් පස්සෙ. ඒ වෙලාවට පාරේ වාහනත් අඩුයි. එනිසා පෙට්‍රල් පිච්චෙනවත් අඩුයි. උදේට හයර් දුවන්න ගියහම ට්‍රැෆික්වලට වඩා ත්‍රීවීල් පාර්ක්වල ඉන්න ගියහම තමයි කට්ට කන්න වෙන්නෙ. මමත් දවල්ට පාර්ක් එකේ හයර් දිව්වා. සමහරදාට එකක්වත් නැහැ. ආවත් රුපියල් සියයේ කෑල්ලක්.

රෑට හයර් දුවනකොට කන බොන මහත්තුරුනෙ ඉන්නෙ. සමහරු හයර් එකේ ගාණට වැඩියෙන් දෙනවා.

ගොඩාක් තරුණ ජෝඩු කැරොකේ, නයිට් ක්ලබ් ගිහින් ගෙදර යන අය. සිකුරාදාට හයර් වැඩියි. එදාට නයිට් ක්ලබ්, කැරෝකේ යන අය වැඩියි. ඉතිං… පාන්දර දෙකට තුනට අපිට හයර් දුවාගන්න බැරි තරම් ලැබෙනවා.

මම මගේ යාළුවන්ටත් කිව්වා රෑට දුවන්න එන්න කියලා. සමහරු බයයි බීලා යන කට්ටිය අරගෙන යන්න. මෙහෙමයි, මේ අවට ප්‍රදේශවල ඉන්න අය ගැන අපි දන්නවනෙ. දුර හයර් එකක් කිව්වොත් අපි ටිකක් මඟ හරිනවා. එයාලා ෂුවර් නැහැ. එතකොට අපි කියනවා ක්‍රෙඩිට් යන කුලී රථයක යන්න කියලා’ ඔහු මා නිවසට ඇරලවනතුරු සිය රැකියාවේ අත්දැකීම් පැවසීය.

ඇත්තටම මෙය අප බොහෝ දෙනා නොදකින සමාජයකි. එනිසා ඇතැම් දෙනා මෙම රාත්‍රි ජීවිත ගැන වැරදි මත පළ කරති. ගණිකාවන් ඇසුරු කරන, අනියම් සබඳතා ඇති කරගන්න, මත්පැන් බී පිස්සු නටන, සූදු කෙළින සමාජ ක්‍රමයක් ලෙස පවසති.

නමුත් දිවා කාලයේදීත් මෙම ක්‍රියාවන් සිදුවන බව එසේ චෝදනා කරන අය නොසිතති. අප බොහෝ දෙනාට සිදුව ඇත්තේ වෙනස් වන සමාජය සමග අනුගත වීමට ඇති නොහැකියාවයි. එනිසා ඔවුන් සිතන්නේ තවමත් තම පැරණි සමාජ ක්‍රමයමය. එසේම ඇතැම් දෙනා පවසන්නේ මෙම රාත්‍රි ජීවිත සල්ලිකාරයන්ට පමණක් සීමා වී ඇති බවය.

නමුත් තවම ගමේ මළ ගෙයකදී රාත්‍රිය ගත කරන තරුණ පිරිස් මත්පැන් පානය, කැරම් ගැසීම, බූරුවා ගැසීම, පමණක් නොව කන්සා පානය ද කරති. එවැනි තැන්වල සිටින්නේ ගමේ රස්තියාදු කාරයන් යැයි කියනා පිරිසකුත් සිටිති. මන්දයත්, රාත්‍රි ජීවිතවලට චෝදනා කරන්නේ රාත්‍රියට බිය මිනිසුන් බැවිනි. ඔවුහු මළගෙයක රාත්‍රියක් ගත කරන්නට බිය වෙති. රාත්‍රියේ ගමනක් බිමනක් යන්නට අදිමදි කරති. පිරිත් පිංකමක රාත්‍රිය ගත කරන්නට ද අකැමැතිය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment