මෙය අභියෝග රැසක් මැද එන අලුත්ම අයවැයක් – ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර

282

වර්තමාන ගෝලීය සෞඛ්‍ය අවදානම තුළ අපි මෙතෙක් ආනයන ආදේශන ගැන කතා කළ විදියට නෙවෙයි රටක් වුණහම කිසියම් ප‍්‍රමාණයක නිෂ්පාදනයක් තමන්ගේ පැවැත්මට තියෙන්න ඕන. විශේෂයෙන් දූපත් රටකට ස්වභාවිකව ලැබෙන ආරක්ෂණය තුළ කොපමණ දුරට ආහාර භෝගවලින් සහ බලශක්තියෙන් ස්වයංපෝෂිත වෙන්න පුළුවන් ද කියල බලන්න ඕන.

 මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් නොවැම්බර් 12 වැනිදා ලබන වර්ෂය (2022) සඳහා වන රාජ්‍ය අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ ඉදිරිපත් වෙන 2022 අයවැයේ හැඩරුව සහ කාලීන ආර්ථික කරුණු කරණා ගැන ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා සමග අපි සාකච්ජා කළෙමු. පහතින් සටහන් වන්නේ ‘දිවයින’ ඇසූ ප‍්‍රශ්නවලට ආචාර්ය ජයසුන්දර මහතා පිළිතුරු ලබාදුන් අයුරුයි.

මෙය අභියෝග  රැසක් මැද එන අලුත්ම අයවැයක් - ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර

ප‍්‍රශ්නය – ඔබතුමා කියල තිබුණ මේ සැරේ එන්නේ සාම්ප‍්‍රදායික අයවැයක් නෙවෙයි අලූත්ම අයවැයක් සහ පරිවර්තන අයවැයක් කියල?

 පිළිතුර – මේ රාජ්‍ය අංශයේ අයවැයේ තියෙන්නේ ආදායම් වියදම්. මේ අයවැයේ ආදායම් සහ වියදම් දෙකම ජාතික ආදායම්, වියදම් ඇති කිරීමට හෝ නැති කිරීමට හේතු වෙනවා. ආදායම් කියන මාර්ග ගත්තොත් රජය යම් සේවාවක් සැපයීමට අය කරන  ගාස්තුවකට සේවාවේ වටිනාකම ගන්න එක වෙනම කතාවක්. මම ඒ සේවාව ගන්න කොට ගෙවන්න. එවිට ඒ සේවයේ වටිනාකම අගය කරලා තමයි ගෙවන්නේ. හැබැයි බද්දක් කියන්නේ එහෙම නෙවෙයි. රජය විසින් මා සතු ආදායමින් කොටසක් රජය සතු ආදායමක් බවට පත් කර ගැනීම නිසා සමස්තය ගොඩ නැගෙන්නේ නැහැ. එහෙම ගොඩ නැගෙන්නේ නැති තැනක ඒකෙන් සිදු වෙන්නේ සමහර වෙලාවට රුපියලක් රජයේ තිබුණොත් ද වඩා ඵලදායි රුපියල මගේ අතේම තිබුණොත් ද වඩා ඵලදායි කියන ප‍්‍රශ්නයටයි අපි මුහුණ දෙන්නේ. එතකොට අද මිනිස්සු තමන් ගාව තියෙන සල්ලි රජය ගාව තියෙන සල්ලිවලට වැඩිය ඵලදායක ලෙස භාවිත කරනවා කියන මතය තමයි රටම ඉන්නේ. මගේ මතය නම් ඒකයි. එහෙම ඵලදායි තැනකින් ඵලදායි නොවන තැනකට එහෙම සල්ලි ගන්න නම් බද්දක් අය කරන්න නම් රජයේ වියදම් ඵලදායි වියදම් කරගන්නේ කොහොම ද ? ඒ නිසා තමයි මම කියන්නේ ඒ පැත්තට යන්න කලින් මිනිස්සුන්ගේ ආදායම් වැඩි වෙන්න ආදායම් බදු ප‍්‍රතිපත්ති තියෙන ගමන් රජයේ වියදම් .. ඇත්තට මේ වියදම් ඕනෑ ද ? එහෙම නැත්නම් මේ වියදම් වලින් මීට වඩා ඵලදාව ගන්න මාර්ග මොනව ද ඒ ඵලදාව ගන්න මාර්ග වලට ඵලදාව නොගන්න මාර්ග වලින් හැරෙව්වොත් ජාතික ආදායම වැඩි වෙයි. ඵලදාව අඩු තැන්වලට මේක වියදම් කළොත් ජාතික ආදායම අඩු වෙයි. ඒ නිසා ආදායමක් එන්නේ නැහැ. එතකොට අයවැය හිඟය කියන එක ගැන හිතන්න වෙන්නේ මෙන්න මේ දැක්ම තුළ. ඒ කියන්නේ කොපමණ දුරකට වියදම් කළමනාකරණයකට යොමු වෙනවද කියන එක. දැන් පුද්ගලයෙක් ගත්තොත් බලන්න පවුලක් ගත්තොත්, සමාගමක් ගත්තොත් ඒ අය හැම වෙලාවෙම තමන්ගේ ආදායමට වියදම හදනවා නේ. ඒකනේ අපි කරන්නේ. ශේෂ පත‍්‍රය තුලනය වෙන්න. රජය ඕකේ අනිත් පැත්ත. රජය වියදමට ආදායම හදනවා. අනිත් තැන්වල ආදායමට වියදම හදනව. මම දකින තාලෙට මුදල් ඇමැතිතුමාගෙන් සිද්ධ වෙන්න ඕන ඉස්සෙල්ලම තියෙන ආදායමට ද අපි වියදම් කරන්නේ කියල රටින් අහන්න. මෙතරම් අපි ඔබලාට වියදම් කරන්න ඕන ද? ඒ කියන්නේ අපි පඩි වැඩි කරනවා අපි ණය ගන්නවා ඒවාට පොලී ගෙවනවා. වැඩියෙන් බඳවා ගැනීමට පඩි ගෙවනවා. ඒ අය සේවාවන්වලට යොදවා ගන්නේ නෑ. ඊට පසු ඒ අයට ජීවිත කාලෙටම විශ‍්‍රාම වැටුපක් දෙනවා. ඒක කොහොමහරි කරගන්න පෞද්ගලික අංශයට ඒ බර පටවපුවම අර ගෙවුම් ශේෂයේ වගේම වසර 70 ගානක් ඉදිරිපත් කරපු අයවැය ව්‍යුහාත්මක වෙනසකට ලක් වෙන්නේ නැහැ. ඒ නිසා මම දකින්නේ මුදල් ඇමැතිතුමාට තියෙන අභියෝගය මේ තත්ත්වය තුළින් ඵලදායි වියදම් සහ රටට ඵලදායි ආදායම් ප‍්‍රතිපත්තියක් තුළ, ආයෝජන ප‍්‍රතිපත්තියක් තුළ ඉතිරිකිරීම් ප‍්‍රතිපත්තියක් තුළ අයවැය හිඟය අඩු කරන්නේ කොහොම ද කියන එක. ඒක ස්ථායිකරණ වැඩසටහනක් ලෙස යන්න බැහැ. ඒක යන්න වෙන්නේ ව්‍යුහාත්මකව රජයේ ආදායම් වියදම් ක‍්‍රමවේදයන් පිළිබඳව නැවත බලල. එක නිසා තමයි මම කිව්වේ මේක පරිවර්තනයක අයවැයක්.

 පරිවර්තන අයවැයක තියෙන අභියෝගය තමයි පරිවර්තනයට මිනිස්සු ලෑස්ති නැහැ. මොකද මිනිස්සු අවුරුදු ගාණක් පුරුදු කරලා තියෙන්නේ, විශේෂයෙන් රජයේ වැටුප් ලබන අය බලාගෙන ඉන්නේ, හරි දැන් වැටුප් වැඩි වෙයි කියල. ඒ අය අප්පුඩි ගහනවා. ඇමැතිවරුත් අප්පුඩි ගහනවා. ජන්ද දායකයෝ වෙනුවෙන් ඇවිත් හිටියට ඒ අය නියෝජනය කරන්නේ රාජ්‍ය සේවකයන්. ජන්දදායකයා නෙවෙයි. මගේ අත්දැකීම ඒක. එතකොට සමෘද්ධිලාභීන්ට මොනවාද ලැබුණේ කියල බලල ඒකටත් අත්පුඩියක් ගහනවා. සිගරට් මත්පැන් වලටත් බදු ගහනවා. හැබැයි කවුරුත් හිතන්නේ නැහැ මේවාට අධික බදු ගැහුවම මත්කුඩු කර්මාන්තයට, කසිප්පු කර්මාන්තයට එහෙම නැත්නම් සුදු බීඩි කර්මාන්තයට අතවනනවා කියල. මේවාට අතවනනවා ද එහෙම නැත්නම් තිරසාර ආදායම් මාර්ග ද තියෙන්නේ කියන තත්ත්වය මේ තමයි තියෙන්නේ. ඒ ගැම්ම තමයි මේකෙ ගන්න වෙන්නේ. ඒ අපේක්ෂාවන්ට වැඩිය සාමාන්‍ය මිනිස්සු බලාගෙන ඉන්න ගැසට් ටයිප් බජට් සංස්කෘතිය මේකෙ නැති වෙන්න පුළුවන්. මේ අයවැය කියවන විට එහෙම ආකර්ෂණීය දෙයක් නැහැ.

 ප‍්‍රශ්නය – ඔබතුමා කියන්නේ අපි සාම්ප‍්‍රදායිකව අපේක්ෂා කරන ආකර්ෂණීය දේ මෙහි නැහැ කියල?

 පිළිතුර – සුබසාධන ක‍්‍රමය ගැන මානසිකත්වයක් තියෙනවා. සමෘද්ධිය, වැඩිහිටි දීමනාව දීම ඒවා වැඩි කරනවා කිව්වොත් ජනමාධ්‍ය පවා ප‍්‍රධාන පුවත් ලෙස ගන්නේ ඒවා. හැබැයි ඒක තුළින් ජනජීවිතය යහපත් වෙයි ද ගුණාත්මකභාවය වැඩි වෙයි ද ඒ තුළින් ඔවුන්ට ආත්ම ගරුත්වයක් ඇති ගෘහ ආර්ථිකයක් ඇති වෙයි ද කියල කතා වෙන්නේ නැහැ. අයවැය සාකච්ජා වලට ආවත් බොහෝ දෙනෙක් කරන්නේ සම්ප‍්‍රදායිකව අයවැය සහනයක් ඉල්ලන එක. එහෙම නෙවෙයි අලූතින් හිතන්න ඕන.

 දැන් මම අපේ ගමට ගියහම මම දකිනවා විශාල  ගම්පෙරලියක්. මාටින් වික‍්‍රමසිංහ කියන ගම්පෙරලිය නෙවෙයි. දැන් වත්තක කුලී වැඩට එන කෙනා වුණත් කලිසමක් ඇඳල පිළිවෙලකට එනවා අමුඩ ගහගෙන නෙවෙයි. ඵලදායිතාව වැඩියි. දැනුම වැඩියි උපකරණ භාවිත කරන්න තියෙන දැනුම වැඩියි. ඒත් අයට බැංකු ක‍්‍රමය සකස් වෙලා නැහැ. මූල්‍ය උපකරණයක්වත් ගමට ගිහින් නැහැ. මම බැංකුවලටත් කියනවා ඔබලාගේ ශාඛා ගමට ගියාට ශාඛා දහස් ගණනක් තිබුණට ගමේ කවුරු එක්කද ගනුදෙනු කරන්නේ? ඇත්ත කතාව ගමේ ඉන්න වෙළෙන්දෝ ටිකයි, ඊළඟට හාඞ්වෙයාර් කඩ ටිකයි තොග බදු වෙළෙදාම් කරන මුදලාලිල ටිකයි ඊළඟට ඉහළ මට්ටමේ අය සහ රජයේ සේවකයෝ වගේ ය එක්කයි. එත් ගමේ ඇතුළට මූල්‍ය පහසුකම් ප‍්‍රවේශයක් නැහැ. කළමනාකරුවොත් එහෙමයි. මට තේරෙනවා මේ ශාඛාවෙන් ණය දෙන්නේ කාට ද කියල. හේතුව කළමනාකරුවො ඉන්නෙත් ඒ ක්ලාස් එකේ. ඒ අයට තමයි ණය දෙන්නේ. දැන් රු. 20,000 ක්, 30,000 ක් ගන්න ගියොත්, සමහර විට හරකෙක් ගන්න ණය ගන්න ගියොත් බැංකුවෙන් ගන්න බැහැ. මම කිව්වා මේක වෙනස් කරන්න කියල. ඉස්සර 60, 70 ගණන්වල මට මතකයි මහජන බැංකුව ලංකා බැංකුව ගියේ කැලෑවලට. ඒ කාලේ දඹුල්ල කියන එක කැලෑවක්. ඒත් අද බොහෝ අය ගමට යන්න කැමති නැහැ. ඒ කාලේ අපි  ගමේ ස්කොලේ ඉගෙන ගන්නකොට අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ගැන අඩුවක් දැනුනේ නැහැ, හොඳ ගුරුවරු හිටියේ. දැන් ගුරුවරු පවා ගමට යන්න කැමති නැහැ. ඒ ඇති පිරිහීමක් තියෙන්නේ. ඒ නිසා ඒ පරිවර්තනය අවශ්‍යයි. මම දැක්කේ ඒ පරිවර්තනය ගැන අනිත් නායකයන්ට වැඩිය ගෝඨාභය රාජපක්ෂ මහතාට දැක්මක් තියෙනවා. දැන් ගමේ කිරි තියෙනවා. මේක බෙදා ගන්න බැරි ඇයි. දියර කිරි බොන්න බැරි ඇයි කියන එක.

 මේ තෙල් බලාගාර මොකටද? යන යන තැන සූර්ය බලය තියෙනවා. මේ සඳහා තාක්ෂණය තියෙනවා. මේක දුන්නොතින් තෙල් ගෙන්වන එක අඩු කරගන්න පුළුවන් නේද? දැන් ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඩොලර් 80 යි කියල ඒකට හරි යන්න තෙල් මිල ගලපනව. තෙල් මිල ඉහළ ගියා කියල ඉල්ලූමේ ලොකු අඩුවක් වෙන්නේ නැහැ. මොකද ඒ පරිභෝජන අවශ්‍යතාව ඒ තරමටම අනම්‍යශීලී තත්ත්වයක් තියෙන නිසා. දැන් මේකට විකල්පයක්නේ අපට ඕන. දැන් ලෝක බැංකුවෙන් වුණත් කිව්වේ ඇයි ඔබලා මුදලක් අරන් හරි ත‍්‍රී වීලර් ටික ඉලෙක්ටි‍්‍රක් කරන්නේ නැත්තේ කියල. ශබ්ද අඩුයි පරිසර දූෂණය අඩුයි. මෙහෙම ප‍්‍රවාහන ක‍්‍රමවලට විදුලි ජනන ක‍්‍රමවලට යන්න ඕන. එහෙම ගියොත් විතරයි මම අවංකව දකින්නේ මේ ගෙවුම් ශේෂයේ තියෙන ඩොලර් මිලියන 4000 ක 5000 ක මුදල අයින්  කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට 20,000 ක පමණ තියෙන මුළු ආනයන වියදම ඩොලර් 15000 කට විතර අඩු වෙනවා. ඒ ගානට අපේ ආනයන වියදම් සීමා කරගන්න පුළුවන් නම්, අපට තෙල් ආනයන වියදම අඩු වෙනවා

 වගේම විදුලි නිෂ්පාදන වියදමත් අඩු වෙනවා. තෙල් වලින් ඉන්ධන හැදුවොත් විශාල පිරිවැයක් යනවා. දැන් ගල් අඟුරු වලින් විදුලිය හදන එක හොදයි කිව්වට පරිසර දූෂණය තියෙනවා. ඒවා ක‍්‍රමයෙන් ලෝකයෙන් ඉවත් වෙනවා. එතකොට තාප බලාගාර, ගල් අඟුරු බලාගාර කියන ඒවා ලෝකයේ ඉදිරි කාලයේ දී නැතිවෙන දෙයක්. වෙන රටවල් මේවා නැති කරගෙන යනවා. ඒ අතර ආයත ආදේශනය අර්ථවත් තරගකාරී වීමක් තුළ රටේ අනෙකුත් කර්මාන්තවලටත් විදුලි බිල අඩු වෙනව කියන්නේ  පාරිභෝගිකයාට වාසියක් පමණක් නෙවෙයි කාර්මීකරණයටත් හේතුවක්. ඒ සඳහා විදුලිය අඩුවට තියෙන්න ඕන. අද ගමේ කම්මල වුණත් දියුණු වෙලා තියෙන්නේ. ඒ මිනිහ මේක දියුණු කරලා තියෙනවා ඉලෙක්ටි‍්‍රක් ක‍්‍රමයට. ඒ අයට වැඩත් වැඩියි.

 ප‍්‍රශ්නය – මෙවර අයවැයෙන් ආහාර සුරක්‍ෂිතභාවය, තෙල් ආර්ථිකයෙන් මිදීම ගැන අවධානය යොමුකර තිබෙනවාද?

 පිළිතුර – වර්තමාන ගෝලීය සෞඛ්‍ය අවදානම තුළ අපි මෙතෙක් ආනයන ආදේශන ගැන කතා කළ විදියට නෙවෙයි රටක් වුණහම කිසියම් ප‍්‍රමාණයක නිෂ්පාදනයක් තමන්ගේ පැවැත්මට තියෙන්න ඕන. විශේෂයෙන් දූපත් රටකට ස්වභාවිකව ලැබෙන ආරක්ෂණය තුළ කොපමණ දුරට ආහාර භෝගවලින් සහ බලශක්තියෙන් ස්වයංපෝෂිත වෙන්න පුළුවන් ද කියල බලන්න ඕන. මේ ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මෙන් මතුවෙන දර්ශනය. යථාර්ථයක්  කරගන්න සාමාන්‍යයෙන් ගෙනාපු විසර්ජන පනත හරි යන්නේ නැහැ. ඒක අලූත් මාවතකට ගේන්න ඕන. දැන් 1970 දි ආචාර්ය එන්. එම්. පෙරේරාගේ අයවැය හෝ 1977 රොනී ද මැල් මහත්තය හෝ ට‍්‍රැක් එකට දැම්මම අනිත් මුදල් ඇමැතිවරුන්ට මේකේ යන්න වුණානේ. වෙනස්කම් ඇති වුණාට ඒ පාරේ දිගු කලක් යන්න වුණා. ආචාර්ය එන්. එම්. පෙරේරාගේ අයවැය තමයි මේ දක්වා ඉදිරිපත් කරපු හොඳම අයවැය. හැබැයි අවාසනාවට ඒ අයවැය වසර පහකට වඩා යන්න දුන්නේ නෑනේ. ප‍්‍රතික‍්‍රියා, විරෝධතා වැඩියි. මේ අනුව මම දකින්නේ රට මීට පෙර මුහුණ දුන්න අභියෝගයට වැඩිය දැවැන්ත අභියෝග රැුසක් ඇති පසුබිමක තමයි 2022 අයවැය සකස් වෙන්නේ. අයවැය ගැන සාකච්ජා වලදී මගෙන් අහනවා ආදායම් පියවර මොනවා ද කියල අහනවා. අපි ආදායම් ගන්නේ කාගෙන් ද ? තියන බද්දත් ගෙවන්න බැහැ. දැන් රජයේ සේවයේ හෝ පෞද්ගලික අංශයේ රස්සා අහිමි නොවූ අයගේ තත්ත්වය පැත්තක දාමු. හැබැයි අනිත් කාගේ තත්ත්වයෙන් බැලූවත් ඒ අය ලීසිං වාරිකය ගෙවල නැහැ. ණය වාරිකය ගෙවල නැහැ. විදුලි බිල්පත ගෙවල නැහැ. ජාල බිල්පත ගෙවල නැහැ. අපිත් ලේසියට මොරටෝරියම් (ගෙවීම් පමා කිරීම්) කියා කියා දැන් දෙසැම්බර් වෙනකම් මෙහෙම යනවා. ඒ කියන්නේ අය නොකර ගත්ත ණය පොලී සහ වාරික ප‍්‍රමාණය විශාල  ගාණක්. මේ විශාල මුදල මේ අයවැයත් සමග එසේම සංචරණ සීමා ඉවත් කිරීමත්, එන්නත්කරණයත් සමග රට යථා තත්ත්වයට පත් වෙන ගමන් මිනිස්සුන්ට එකපාර ආදායම් එන්නේ නෑනේ. එතකොට ජනයාට මේ වාරික ගෙවන්න ලියුම් ආවොත් දුෂ්කරයි. එක මාසෙක බිලක් ගෙවන එක වෙනම කතාවක්. අර එකතු වූ ගෙවීම්වලට මොකද කරන්නේ කියන එක හිතන්න වෙනවා.

 *  සාකච්ජා කළේ –  ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment