තමන්ගේ පෞද්ගලික මුදලින් ජනතා සේවය කරන වර්තමාන ආණ්ඩුවේ පළමුවැනි දේශපාලනඥයා ධම්මික පෙරේරා විය යුතුය. ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය භාරගත් හෙතෙම තම අමාත්‍යාංශය යටතේ තිබෙන පාස්පෝට් කන්තෝරුවට ගිය ගමන රූපවාහිනියෙන් පෙන්වන ලදි. පාස්පෝට් එකක් ගැනීම යනු එදත් අදත් කවදත් විශාල පරිප්පුවක් අමුවෙන්ම අනුභව කළ යුතු වැඩකි. මෙයට අවුරුදු 5 ට ඉස්සර පාස්පෝට් එකක් ගැනීමේදී සාමාන්‍ය ජනතාව මහත් වධයක් වින්දාහ. එකල මේ කන්තෝරුව බ්‍රෝකර්ලාගේ විමානයකි. ව්‍යාජ පාස්පෝට් අව්‍යාජ පාස්පෝට් ලෙස බ්‍රෝකර්ලා හරහා සෑදීම පාස්පෝට් කන්තෝරුව තුළදීම සිදුවිය. එකල පාස්පෝට් එකක් සෑදීමට ලියවිලි රැසක්, දීර්ඝ ඉල්ලුම් පත්‍රයක්, ස්ටුඩියෝ එකෙන් ගන්නා ඡායාරූප, ජේ පී ගේ අත්සන යනාදිය අවශ්‍ය විය. ඊට අමතරව පගාදීම සඳහා සල්ලි කොළ විශාල ප්‍රමාණයකුත් සුවිශාල රස්තියාදුවකුත් අවශ්‍ය විය. මේ සියල්ලටම අමතරව පාස්පෝට් ලබා ගැනීම සඳහා පිට පළාත්වලින් එන තරුණියන් හා විවාහක කාන්තාවන් රවටාගෙන හෝටල් කාමරවලට ගෙනගොස් දූෂණය කිරීම ද බ්‍රෝකර්ලා මෙන්ම ඇතැම් පාස්පෝට් නිලධාරීහු ද තදේටම කළහ. පාස්පෝට් කන්තෝරුව පුංචි බොරැල්ලේ තිබුණු කාලයේදී, ඉහත ස්ත්‍රී දූෂණ කටයුත්ත සඳහාම සාදන ලද ලැගුම්හල් ගණනාවක්ම පුංචි බොරැල්ලේ හැමතැනම විය. අද බත්තරමුල්ලේ පාස්පෝට් කන්තෝරුව පවතින පරිශ්‍රය අවට ද මෙවැනිම ලැගුම්හල් අලුතින් විවෘත කර තිබේ. එය අතුරු කතාවකි.
ව්‍යවසාය සංවර්ධන ඇමැති ධම්මික පෙරේරා පාස්පෝට් කන්තෝරුවට ගොස් පාස්පෝට් නිකුත් කිරීමේ කටයුතු ඉක්මන් කිරීම සඳහා අවශ්‍ය අලුත් සර්වරයක් තමන්ගේ පෞද්ගලික සල්ලිවලින් කුලියට ගත්තේය. අමාත්‍ය තනතුර භාර ගැනීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවකදී හෙළිවුණු පරිදි අමාත්‍යාංශයේ වැඩ කටයුතු සඳහා හැම මසකම රුපියල් මිලියන 5 ක මුදලක් සිය පෞද්ගලික මුදලින් යෙදවීමට ධම්මික පෙරේරා තීරණය කර ඇත. මේ මිනිහාගෙන් හැකි උපරිම ප්‍රයෝජනය ගෙන රටට සහ ජනතාවට සේවයක් ලබා ගැනීමට ආණ්ඩුව සහ නිලධාරීන් පියවර ගත යුතුය. එසේ නැතිව මේ සියලු දෙනාම ඇඹරෙන්නට පටන් ගත්තොත් එක්තරා අවස්ථාවකදී ධම්මික පෙරේරා තුළ කලකිරීමක් හට ගැනීමට ඉඩ තිබේ. මිනිහකු කඩා වැටීම පටන් ගන්නා තැන එතැනය.
අද කතු වැකියෙන් අපි තවත් ප්‍රශ්නයක් සාකච්ඡා කරමු. ඒ වූකලී මාධ්‍යවේදීන්ට ඇති ඉන්ධන ප්‍රශ්නයයි. මේ රටේ දේශපාලනඥයන් විසින් පිළිගනු ලැබිය යුතු එක් වැදගත් කාරණයක් තිබේ. එනම් පුවත්පත්, රූපවාහිනී, ගුවන් විදුලි සේවා යනාදිය නොතිබෙන්නට මේ රට මීට වඩා කුණු වූ අල ගොඩක් වීමට ඉඩ තිබුණු බවය. ශ්‍රී ලංකාව යනු ආසියාවේ තිබෙන වඩාත්ම දූෂිත රටවල්වලින් එකකි. මීට පෙර ආසියාවේ වෙනත් රටවල් කිහිපයක් සතුව තිබූ දූෂිතයන්ගේ කුසලානය මේ වනවිට අපි බලහත්කාරයෙන්ම අත්පත් කරගෙන ඇත්තෙමු. මේ කුසලානය පිටුපස විනාඩියට 60 බැගින් නොව තත්පරයට 60 බැගින් සිදුවන දූෂණවලින් වැඩි හරියක් අනාවරණය කරන ලද්දේ පත්තර සහ රූපවාහිනී නාලිකාද පෞද්ගලික එෆ් එම් ගුවන් විදුලි නාලිකාවන් ද විසිනි. ඇත්තටම දේශපාලනඥයන් කරන වැඩවලට වඩා වැඩි කොටසක් වැඩ මාධ්‍ය මගින් සිදුකරනු ලැබේ. අද මේ මාධ්‍යවේදීන්ට තම සේවය නිසි පරිදි සම්පූර්ණ කර ගැනීමට නොහැකි වී ඇත. එයට හේතුව ඉන්ධන හිඟයයි. මෙයට එක් උදාහරණයක් පෙන්වමු. අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පෙරේදා පැවැත්විණ. පෙරේදා ද පසුගිය අනෙක් හැම දවසක වගේම තෙලුත් නැත; එසේම බසුත් නැත.
එබැවින් අගමැතිතුමාගේ මාධ්‍ය හමුව වාර්තා කිරීම සඳහා අගමැති කාර්යාලයට යාගත නොහැකිව පුවත්පත් කතුවරු සහ වෙනත් මාධ්‍යවේදීහු රැසක් විශාල අපහසුවකට පත්වූහ. මාධ්‍යවේදියා යනු නෙලුම් මලෙන් උපන් කෙනෙක් නොවේ. එසේ නෙලුම් මලෙන් උපන්නෝ දේශපාලනඥයෝ ය. පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනා කරන ලබ්බක් නැති වුවද ඔවුන්ට ඇති තරම් ඉන්ධන ලැබේ. මේ පිරිස ද රටේ සිදුවන බොහෝ දේවල් දැනගන්නේ ජනමාධ්‍ය වෙතිනි. එමතු ද නොව සිය දූ දරුවන් හෝ ඥාතීන් බලය අවභාවිත කරමින් කරන කුපාඩි වැඩ වුව ඔවුන් දැනගන්නේ මාධ්‍යයෙනි. මාධ්‍යවේදීන් සඳහා ඉන්ධන සලාකයක් දීම ආණ්ඩුව විසින් පැහැර හරිනු ලැබ තිබේ. මාධ්‍යකරුවන් තෙල් ඉල්ලන්නේ වැලි අදින ටිපර්වලට හෝ සිමෙන්ති ගෙනියන ප්‍රයිම්මුවර්වලට හෝ අරක්කු අදින ලොරිවලට හෝ ගසා ගැනීමට නොව ස්වකීය කුඩා මෝටර් රථයට හෝ කබල් මෝටර් සයිකලයට පොම්ප කර ගැනීම සඳහාය. ආණ්ඩුව ඉන්ධන පහසුකමක් මාධ්‍යකරුවන්ට ලබා නොදෙන්නේ නම් මේ වෙලාවේදී අප එය සලකන්නේ මාධ්‍ය මර්දනය සඳහා යොදන ලද උප්පරවැට්ටියක් ලෙසය. එබැවින් හැකි ඉක්මනින් මාධ්‍යකරුවන් වෙනුවෙන් ඉන්ධන ලබාදෙන ලෙස අපි ආණ්ඩුවට බල කරමු.