මෙරට අධ්‍යාපන ක්‍රමය විෂය දැනුමට පමණක් සීමා වෙලා, දරුවන්ට සිතීමේ ශක්තිය අඩුයි…

261

 * ඇමෙරිකන් ජාතික ළමයි පන්සිල් ගත්තෙ නැති වුණාට බුදුදහමට අනුව ජීවත් වෙනවා…
 * යහපත් සමාජය නිර්මාණය වුණොත් මේ රට දියුණු කරන්න අපහසු නෑ…
 
 * දලයි ලාමාටත් වඩා ලෝකයේ බුදුදහම ප‍්‍රචලිත කළ සිංහල හාමුදුරුවෝ…
 
 තරංග රත්නවීර
 
1944 අවුරුද්දෙ දීපු දානය ගැන 1992 අවුරුද්දෙ මට කියනකොටත් ඔහුගේ ඇස්වලින් කඳුළු බේරුණා. ඒ ඇස්වල සතුටු කඳුළු දැනුදු මට මැවිලා පේනවා. බොහෝ දේශනවලදී ඒ අපූරු කතාව මමත් සිහිපත් කරන්නෙ හරිම සතුටින්. ඒ වගේම මට මූලික අධ්‍යාපනය ලබා දුන්න කොටහේන පක්‍ද්ක්‍දාකිත්ති, වල්පොළ රාහුල, යක්කඩුවේ පක්‍ද්ක්‍දාරාම, කිරිවත්තුඩුවේ නායක හාමුදුරුවෝ වගේ උන්වහන්සේලා නිතරම මට සිහිපත් වෙනවා. උන්වහන්සේලාගේ ගුරුහරුකම්, මගපෙන්වීම නොලැබෙන්න අද මම මෙතැන නොහිටින්න තිබුණා.
 
 ඉන්දියාවේ, මැලේසියාවේ, ඇමරිකාවේ විශ්වවිද්‍යාලවල ඉගෙනගන්න අවස්ථාවලදී මම නොබියව දේශකවරුන්ගෙන් ප‍්‍රශ්න ඇහුවා. මම ප‍්‍රශ්න අහනකොට අනිත් ළමයි පුදුමයෙන් බලාගෙන හිටියා. අපට ප‍්‍රශ්න කිරීමේ බය නැති කළේ පිරිවෙණේදී. පිරිවෙණේ අධ්‍යාපනය ලබා දුන් උතුම් උන්වහන්සේලා නිතරම පන්තියේ ප‍්‍රශ්න අහන්න පුරුදු, පුහුණු කළා. පන්තියේදී ප‍්‍රශ්න ඇහුවම හාමුදුරුවෝ ඒ මොහොතේදීම පිළිතුරු දෙනවා. සමහර අවස්ථාවලදී ‘ඉතාම හොඳ ප‍්‍රශ්නයක්. දැන් උත්තර දෙන්න අපහසුයි. මම මේ ප‍්‍රශ්නයට හෙට පිළිතුරු දෙන්නම්’ කියලා ගුරු හාමුදුරුවො පාඩම ඉදිරියට කරගෙන යනවා. ඊට පහුවෙනිදා පන්තිය ආරම්භ වෙච්ච හැටියේ පහුවදා ප‍්‍රශ්නවලට උදාහරණ සහිතව පිළිතුරු ලබාදීමට අපේ ගුරු හාමුදුරුවෝ අමතක කළේ නෑ. ඒ වගේම නිතරම ප‍්‍රශ්න අහන්න උන්වන්සේලා අපිව උනන්දු කළා. ඒ අතර ප‍්‍රශ්න අහනවට අකමැති හාමුදුරුවොත් හිටියා.
 
 මම විද්‍යාලංකාර පිරිවෙණට ගියේ අවසාන පන්තියේ මුල් අවුරුද්දෙ. අපේ පන්තියේ ශිෂ්‍යයන් හැත්තෑදෙදෙනෙක් ඉගෙනගත්තා. මම පන්තියට ගිය පළමු දවසෙ උගන්වන්න ආවෙ බඹරැන්දේ සිරිසීවලී හාමුදුරුවෝ. වේගයෙන් කතා කරන, විශාල වාග් මාලාවක්, ප‍්‍රසන්න හඬක් තියෙන හාමුදුරුනමක්. උන්වහන්සේ පන්තියට එන්නෙ වේවැලකුත් අරගෙන. උන්වහන්සේ දේශනාව පටන්ගෙන ‘යම්කිසි රටක රජ කෙනකුට රණකාමී හැඟීම් ඇති වූ විට ආගමික හැඟීම් නැති වෙනවා…’ කියලා දේශනාව කරගෙන ගියා.
 
 ‘හාමුදුරුවනේ, දුටුගැමුණු රජතුමාට රණකාමී හැඟීම් සහ ආගමික හැඟීම් දෙකම තිබුණා. ආගම බේරගන්න එතුමා යුද්ධ කළේ ඒ නිසයි…’ පන්තිය ඉදිරියේ නැඟිටලා මම ප‍්‍රශ්නයක් ඇහුවා. සිරිසීවලි හාමුදුරුවන්ට හොඳටම කේන්ති ගියා. අතේ තිබුණු වේවැලෙන් මේසෙට වේගයෙන් ගැහුවා. පන්තියේ සියලූම ළමයි මගෙ ප‍්‍රශ්නයට හිනා වුණා. එදා ඉඳලා කිසිම දවසක උන්නාන්සේගෙන් මම ප‍්‍රශ්න ඇහුවේ නෑ. එදා ඒ හාමුදුරුවො නිහතමානීව ප‍්‍රශ්නයට පිළිතුරු දුන්න නම් මම ඉදිරියටත් ප‍්‍රශ්න අහලා ගැටලූ නිරාකරණය කර ගන්නවා.
 
 යම් ඉගැන්වීමක් සම්බන්ධයෙන් ශිෂ්‍යයින්ව ප‍්‍රශ්න කිරීමට යොමුකරවීම ගුරුවරයකුගේ උතුම් ගුණාංගයක්. එක් ශිෂ්‍යයෙක් අහන ප‍්‍රශ්නයක් පන්තියේ ඉගෙනගන්න සියලූම ළමයින්ට ප‍්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම ළමයින්ට හිතන්න පුරුදු කරන්න තියෙන හොඳම ක‍්‍රමය තමයි කරුණාව, මෛත‍්‍රිය පෙරදැරි කරගෙන තම දරුවන්ට වගේ පන්තියේ ඉගෙනගන්න ළමයින්ට ප‍්‍රශ්න අහන්න පුරුදු කිරීම. එහෙම වෙනකොට ගුරුවරු සම්බන්ධයෙන් ළමයි තුළ තිබෙන ගෞරවය, බැඳීම වැඩි වෙනවා. ඒත් දැන් පන්තියේ ළමයි ප‍්‍රශ්න අහනකොට ඇතැම් ගුරුවරුන්ට කේන්ති ගිහින් නොරිස්සුම් කතා කියනවා. එහෙම වුණාම ප‍්‍රශ්න අහන්න කැමති ළමයිත් බය වෙනවා. තව සමහර ගුරුවරු ප‍්‍රශ්නයට උත්තර දෙන්න නොදන්නාකමට බොරු කියනවා. ළමයි ඉදිරියේ ගුරුවරු බොරු බේගල් ඇද බෑම තමයි පුංචි දරුවන්ව නොමඟට යැවීමේ ආරම්භය. ගුරුවරු, දෙමවුපියො ළමයින්ට බොරු කියන්න පුරුදු කළාට පස්සෙ ඒ ළමයි කිසිම බයක් නැතිව බොරු කියනවා. අපේ ලොකුම අක්කගේ දුව පුංචි කාලේ හරිම කටකාරයි. අක්කගෙන් ප‍්‍රශ්නම අහනවා. ඒ වගේම දඟයි. දවසක් මම අක්කලාගේ ගෙදර ගිහින් ඉන්නකොට දුව විසේ කරනවා දැකලා ‘පුතේ සාදු ගහයි…’ කියලා ලොකු අක්කා දුව බය කළා. ඒකට මට නොසෑහෙන්න තරහා ගියා. ‘ලොකු අක්කා එහෙම කියන්න එපා. එහෙම කිව්වම මාව දකින සෑම මොහොතක මේ පුංචි දරුව බය වෙනවා. ඒ වගේම ඒක සම්පූර්ණ බොරුවක්. පුංචි කාලෙ ඉඳලා දරුවන්ට බොරු කියන්න උගන්වන්න එපා…’ අපේ ලොකු අක්කා එදා ඉඳලා ඒ වරද කළේ නෑ. ඒ දරුවා විතරක් නෙමෙයි ලොකු අක්කගේ සියලූම දරුවො බොහොම හොඳට හැදුණා. ඒත් දහම් පාසල්වලින් පිරිච්ච අපේ රටේ සමහර ළමයි කටඇරියොත් කියන්නෙ බොරු. ළමයි එහෙම වෙලා තියෙන්නෙ ගුරුවරුන්ගේ සහ මවුපියන්ගේ වැරැදි නිසයි.
 
 ඇමරිකවේ මම දන්න පවුලක අම්මා වයස අවුරුදු පහක දුවට කියලා ‘අද ඉස්කෝලෙ යන්න එපා. ඔයාට සනීප නැතිව හිටියා කියලා මම ලියුමක් දෙන්නම්. හෙට ඒ ලියුම ටීචර්ට ගිහින් දෙන්න…’’ කියලා.
 
 ‘අම්මට කොහේදෝ යන්න තියෙන නිසා මාව ඉස්කෝලෙ එව්වේ නෑ කියලා මම හෙට ඉස්කෝලෙ ටීචර්ට කියන්නම්. මට බොරු කියන්න බෑ…’ දරුවගෙ කතාවට ඒ අම්මට ගොඩක් ලැජ්ජා හිතිලා. විහාරයට පැමිණි අවස්ථාවක මටත් කිව්වා. තව දවසක් හැන්දෑවක ඇමරිකාවේ පදිංචි ලංකාවේ පවුලක් විහාරයට ඇවිත් ධර්ම කරුණු සාකච්ඡා කරමින් හිටියා. ඒ කිහිපදෙනා අතර හිටිය වයස අවුරුදු දහයක විතර ගැහැණු දරුවෙක් අත ඉස්සුවා…
 
 ‘මොකද පුතේ’ මම ඇහුවා…
 
 ‘මට කාරණයක් කියන්න තියෙනවා’
 
 ‘මොකක්ද පුතේ…’
 
 ‘භන්තේ… පුංචි අපිට පුළුවන් පන්සිල් රකින්න. අපි සතුන් මරන්නෙ නෑ. බොරු කියන්නෙ නෑ. හොරකම් කරන්නෙ නෑ. කාමයේ වරදවා හැසිරෙන්නෙ නෑ. මත්පැන් පාවිච්චි කරන්නෙ නෑ. ඒත් අපේ මවුපියන්ට මේ එක පන්සිල් පදයක්වත් ආරක්‍ෂා කරන්න බෑ…’ ගැහැණු දරුවගේ ඒ කතාවට එතැන හිටිය අම්මා තාත්තා, ආච්චිලා සීයලාට කර කියාගන්න දෙයක් නැතිව බිරන්තට්ටු වුණා. ඒ දරුවා ඇමරිකාවේ ඉපදිලා හැදුණු වැඩුණු කෙනෙක්. ඉගෙනගත්තේ ක‍්‍රිස්තියානි පාසලක. ඒ දරුවන්ට බොරු කියන්න, හොරකම් කරන්න, සතුන් මරන්න එපා කියලා ගුරුහරුකම් දෙන්න දහම් පාසල් තිබුණේ නෑ. ඒත් ඒ පාසල්වල ගුරුවරු, දෙමවුපියො හොඳ, නරක හොඳට උගන්වනවා. අලූතින් යමක් හිතන්න ඒ දරුවන්ට උගන්වනවා. ඇමරිකාවේ පාසල්වල ඉගෙනගන්න ළමයින්ට හොඳට ප‍්‍රශ්න අහන්න, හිතලා උත්තර දෙන්න උපරිම අවස්ථාව දිලා තියෙනවා. ගෙවල්වල මවුපියො සමඟ නිතර ගැටලූ සාකච්ඡා කරනවා. සමහර ළමයි විහාරයට ඇවිත් අපිත් සමඟත් විවිධ ගැටලූ සාකච්ඡා කරනවා. යම් ගැටලූවකට අමාරුවෙන් පිළිතුරු සොයාගත්තම හිතේ හොඳින් ධාරණය වෙනවා. මේ රටවල ළමයි බුද්ධිමත් පුංචි කාලෙ ඉඳලා හොඳ පුරුදු, යහපත් මගපෙන්වීමක් ලැබෙන නිසයි. අපේ රටේ බොහෝ විහාරස්ථානවල දහම් පාසල් පවත්වාගෙන යනවා. අපි තරම් පන්සිල් ගන්න ජාතියක් ජීවත් වන තවත් රටක් ලෝකයේ කොහේවත් නෑ. ඒත් අපේ දරුවන්ට සිතීමේ ශක්තිය අඩුයි. මෙරට අධ්‍යාපන ක‍්‍රමය විෂය දැනුමට පමණක් සීමා වෙලා. විශ්වවිද්‍යාලවල විභාග ලියන්නෙත් පොත් කටපාඩම් කරලා. එහෙම විභාග සමත් වෙලා ඵලක් නෑ. බුද්ධිය පාවිච්චි කරලා හිතලා ප‍්‍රශ්නවලට පිළිතුරු සොයන්න ළමයින්ව පුරුදු කරන්න ඕනෑ. පන්සිල් ගත්තට ඵලක් නෑ, පන්සිල් රකින්න පුරුදු කරන්න ඕනෑ. එහෙම වුණොත් විතරයි නිර්මාණාත්මක අදහස්වලින් පිරිපුන් ළමයි අපිට බිහි කරන්න පුළුවන් වෙන්නෙ.
 
 ඇමෙරිකාවේ ජීවත්වන සිංහල පවුල්වල දරුවොත් පන්සිල් පද පහ හොඳට ආරක්‍ෂා කරනවා. ඇමෙරිකන් ජාතික ළමයි පන්සිල් ගත්තෙ නැති වුණාට බුදුදහමට අනුව ඉගෙනගන්නවා. අපේ රටේ මිනිස්සු බුදු බණ අහනවා විතරයි, පන්සිල් ගන්නවා විතරයි දහමේ හැසිරෙන්නෙ නෑ. පහුගිය දවසක ඇමරිකන් ජාතිකයෙක් ලංකාවට ගිහින් ඇවිත් කියපු කතාවට මට ලැජ්ජ හිතුණා.
 
 ‘‘රාජකාරි කටයුත්තක් කරගන්න ලංකාවේ යාළුවෙක් එක්ක උදෙන්ම අපි රාජ්‍ය ආයතනයකට ගියා. අදාළ රාජකාරිය භාර නිලධාරියා ඇමරිකාවට එන්න වීසා ගන්න, ජොබ් ගන්න ආකාරය ගැන අහලා මෙරට විස්තර කතා කරන්න පැය දෙකක් ගත්තා. උදේ 10.30 ට විතර තේ එකක් බොන්න යන්න කතා කළා. කැන්ටිමට ගිහින් තේ බීලා නැවත සීට් එකට එන්න විනාඩි 45 ක් ගියා. අපිවත් ළඟ තියාගෙන කතා බහා කරමින් රාජකාරිය කරගෙන යනකොට දන්නේම නැතිව දවල් වුණා. ඔරලෝසුව බලලා ලන්ච් එකට යන්න කතා කළා. කතාබහ කරමින් ලන්ච් එක අරගෙන එනකොට දෙක විතර වුණා. නැවත අදාළ රාජකාරිය කරගෙන ගිහින් ඔරලෝසුව බලලා තේ එකක් බොන්න යන්න කතා කළා. එතකොට වේලාව සවස 3.30 ට විතර වුණා. 4.30 වෙනකොට කාර්යාලයේ බොහෝ සේවකයො බෑග් මලූත් උස්සගෙන යන්න ගියා. ඒත් අපේ කටයුත්ත කරපු නිලධාරියා රාජකාරිය අවසාන කළේ නෑ. දැන් ඉඳලා වැඩ කරනවට අතිකාල ගෙවනවා. ඒ නිසා අපි පැය තුනක් විතර වැඩ කරලා යනවා. එහෙම කියලා ? 8 ට තමයි අපේ වැඬේ ඉවර කරලා දුන්නෙ. ඒ කාර්යාලයෙන් අපි පිටත්වෙනකොට මගේ ලිපිනයත් ඉල්ල ගත්තා. මම ඇමරිකාවට ඇවිත් මාසයක් විතර යනකොට ‘ඇමරිකාවට එන්න උදව් කරන්න’ කියලා ලංකාවේ ඒ නිලධාරියා මට ලියුමක් එවලා තිබුණා…
 
 ‘උඹ වගේ දුෂ්ටයකුට අපේ රටට අඩිය තියන්න මම නම් උදව් කරන්නෙ නෑ. උඹ කොච්චර ද්‍රෝහියෙක්ද කියලා එදා මම තේරුම් ගත්තා. ඒ නිසා උඹ නැවත මට ලියුම් එවන්න එපා…’ කියලා බැණලා ලියුමක් යැව්වා කියලා ඒ ඇමරිකන් ජාතිකයා මා සමඟ පැවසුවා. බොරුවෙන්, හොරකමෙන් පිරිච්ච එවැනි දුර්දන මිනිස්සු රාජ්‍ය ආයතනවල වැඩ කරනකොට මේ රට දියුණු කරන්නෙ කොහොමද? රටේ ජනතාව නීතියට ගරු කරන්නෙ නෑ. විනයක් නෑ. කෙනෙක් කියන දේකට ඇහුම්කන් දෙන්නෙ නෑ. එංගලන්ත පවුලක් අපේ විහාරයට ඇවිත් කතාබහ කරමින් ඉන්නකොට ඔවුන් අතර සිටි අවුරුදු නවයක විතර දරුවා ‘ආයෙත් මම නම් ලංකාවට යන්න නෑ’ කිව්වා.
 
 ‘ඇයි පුතේ එහෙම කියන්නෙ’ මම ප‍්‍රශ්න කළා.
 
 ‘ලංකාවේ කිසිම නීතියක් නෑ. පාරවල්වල වාහන පදවන විදිහ හරිම වැරදියි. කන් දෙදරන්න හෝන් ගහනවා. රියැදුරන්ට කිසිම හැදියාවක් නෑ. අනතුරු වැඩියි. පාරවල්වල යන්න බයයි…’ ඒ පුංචි හිතට දැනුණු අපේ මිනිසුන්ගේ අසංවර ගති පැවතුම් ගැන අපි කම්පා වෙනවා හැරෙන්න වෙන මොනව කරන්නද? මේ අයහපත් ගති පැවතුම් සමාජයෙන් අතු ගා දැමීමට නම් අපේ රටේ වල්මත් වෙච්ච අධ්‍යාපනය ක‍්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕනෑ. ප‍්‍රථමයෙන් කළ යුත්තේ රට දියුණු කිරීමට වැඩ කිරීම නෙමෙයි. යහපත් පුරවැසියන් නිර්මාණය කිරීමට කටයුතු කරන්න ඕනෑ. රටේ නීතියට ගරු කරන, විනයක් සහිත දැහැමි සමාජයක් නිර්මාණය වූ පසු අපේ රට පහසුවෙන්ම සංවර්ධනය කරා ගෙන යන්න පුළුවන්…
 
 මතු සම්බන්ධයි

advertistmentadvertistment
advertistmentadvertistment