අපනයන වෙළෙඳාමට පහසුකම් සැලසීමට රාජ්‍ය ආයතන සහ
රේගුව ඒකාබද්ධ කර තනි සේවා කවුළුවක්
අපනයනකරුවන් හමුවේ ජනපති අනුර කුමාර දිසානායක පවසයි
රට තුළ ආර්ථික ස්වාධිපත්‍යයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බවත්, ඒ වෙනුවෙන් මෙරට අපනයනකරුවන්ගේ පූර්ණ සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
අපනයන සංවර්ධන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අපනයනකරුවන් සමග ඊයේ (29 දා) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
අපනයන වෙළෙඳ පහසුකම් සැලසීමට අනෙකුත් රාජ්‍ය ආයතන සහ ශ්‍රී ලංකා රේගුව ඒකාබද්ධ කර ගනිමින් තනි සේවා කවුළුවක් නිර්මාණය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා අපනයනවලට සම්බන්ධ රජයේ ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම හා ඩිජිටල්කරණයේ වැදගත්කම පිළිබඳව ද කරුණු පැහැදිලි කළේය.
එසේම බලශක්ති මිල සැලකිය යුතු මට්ටමකින් පහළ දැමීම, විදේශ අයෝජන ප්‍රවර්ධනය, ජාත්‍යන්තර වෙළෙඳ පොළට ප්‍රවේශය ලබා ගත හැකි පරිදි තානාපති සේවා ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු කරුණු පිළිබඳ රජයේ අවධානය යොමුව ඇති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
මෙම සියලු අරමුණු ඉතා කෙටි කලක් තුළ ඉටුකර ගැනීම රජයේ අපේක්ෂාව බවත්, ඒ වෙනුවෙන් ක්ෂේත්‍රයේ සියලු දෙනාගේ පුළුල් දායකත්වය අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ඉදිකිරීම්, භාණ්ඩ ප්‍රවාහන හා සැපයුම්, මත්ස්‍ය අපනයන, තොරතුරු තාක්ෂණ, මැණික් හා ස්වර්ණාභරණ, මුද්‍රණ, වීදුරු හා පිඟන් භාණ්ඩ, කුළුබඩු කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් අපනයනකරුවන් මීට එක්ව සිටි අතර එක් එක් කර්මාන්තවලට අදාළව සහ පොදුවේ අපනයන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳ හා ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව ද කරුණු ඉදිරිපත් කෙරිණි.
අපනයන ආදායම් ඉහළ නංවා ගැනීමේ රජයේ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ආයෝජන ප්‍රවර්ධනය, නිසි නියාමනය, පර්යේෂණ හා සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, කර්මාන්තවල ඵලදායීතාව ඉහළ නැංවීම, වෙළෙඳපොළ ප්‍රවේශය ලබා ගැනීම, ඩිජිටල්කරණය මෙන්ම බදු සහන සැලසීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.