ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව නැවත යථා තත්ත්වයට පත්වෙමින් පැවැතිය ද ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ දරිද්‍රතාවට පත්ව හෝ නැවත දරිද්‍රතාවට ඇදවැටීමේ අවදානමක සිටින බව ලෝක බැංකුව පවසයි.
මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා මේ බව පැවසීය.
ආර්ථිකය ප්‍රකෘතිමත් වීම සෑම කෙනකුටම බලපාන සහ විශේෂයෙන් දැඩි ලෙස පීඩාවට පත්වූවන්ට ප්‍රතිලාභ ලැබෙන බව සහතික කිරීම සඳහා, රැකියා නිර්මාණය කරන සහ දුප්පතුන්ට සහාය වන ප්‍රතිපත්ති කෙරෙහි ශ්‍රී ලංකාවට අවධානය යොමු කළ හැකි බව ද ලෝක බැංකුවේ ද්විවාර්ෂික ‘Sri Lanka Development Update’ නම් වාර්තාව ප්‍රකාශයට පත්කරමින් ඩේවිඩ් සිස්ලන් මහතා සඳහන් කරයි.
Stay on Track යන මාතෘකාවෙන් නිකුත් කර ඇති මෙම වාර්තාවෙන් ධනාත්මක ආර්ථික වර්ධනය සහ මූල්‍ය කාර්ය සාධනය තිබියදීත්, ශ්‍රී ලංකාව හමුවේ සැලකිය යුතු අභියෝග තවමත් පවතින බව ඉස්මතු කරන බව ද අවධාරණය කර ඇත.
මෙසේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය පෙර පුරෝකථන අභිබවා ගියත් දරිද්‍රතාව අඩු කිරීමට සහ මධ්‍යකාලීන ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට වැඩි උත්සාහයක් දැරීම අවශ්‍ය බවට ද ලෝක බැංකුව මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත.
2024 දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය කැපී පෙනෙන ප්‍රකෘතියක් අත්කර ගෙන ඇති අතර එය පෙර අපේක්ෂිත සියයට 4.4 ට සාපේක්ෂව සියයට 5 ක වර්ධනයක් වාර්තා කරමින් වර්ධන අපේක්ෂාවන් ඉක්මවා ගොස් ඇති බව ලෝක බැංකුව පවසයි. මෙම වර්ධනයට කර්මාන්ත හා සේවා, විශේෂයෙන් ඉදිකිරීම් සහ සංචාරක ආශ්‍රිත සේවාවන්හි ශක්තිමත් ක්‍රියාකාරිත්වය හේතු වී ඇත.
ගෝලීය ප්‍රචණ්ඩත්වයන් සහ පෙර නොවූ විරූ වෙළෙඳ ප්‍රතිපත්ති අවිනිශ්චිතතාවන් මධ්‍යයේ අර්බුදයේ බලපෑම් සහ වර්ධනයට ව්‍යුහාත්මක බාධාවන් පිළිබිඹු කරමින් 2025 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 3.5 දක්වා මධ්‍යස්ථ වනු ඇතැයි අපේක්ෂා කරනු ඇති බව ද එම වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත