මෙරට පුවත්පත් කලාවේ තක්සලාව

33

සිසිර පරණතන්ත‍්‍රි සහ එඞ්මන්ඞ් රණසිංහ සුවිශේෂී හමුවක්

මෙරට පුවත්පත් කලාවේ තක්සලාවට නැතහොත් සරසවියට දශක හතරක් සපිරෙන මොහොතේ ඒ වෙනුවෙන් සටහනක් තබන්නට බුලිතගෙන් ලැබුණු ඇරයුම සතුටින් පිළිගනිමි.

‘දිවයින’ මෙරට පුවත්පත් කලාවේ සරසවිය යැයි මා හඳුන්වන්නේ ඇයි දැයි මෙය කියවන ඔබගේ මනස තුළ කුතුහලයක් ඇතිවන්නට ඉඩ තිබේ. මේ සටහන අවසානය තෙක් කියවන ඔබට එහි පිළිතුර අතරමඟදී හමුවන බවද පළමුව සටහන් කරමි.

මෙරට පහළ වූ විශිෂ්ටතම ව්‍යවසායකයකු වූ උපාලි විජයවර්ධනයන් විසින් ඇරැුඹූ දිවයින විශිෂ්ට නැකතකින් උපන් පත්තරයකි. මුල් වකවානුවේ ඊට එල්ලවූ අවලාද, අපවාද, අපහාස, උපහාස සියල්ල මැද කටු කොහොලිය පිරි මංපෙතක් ඔස්සේ ගිරිදුර්ග මෙන්ම අතරමඟ ඇටවූ බොරු වළවල් ද පසු කරමින් ‘දිවයින’ මේ දක්වා පැමිණි ගමන් මඟ බොහෝ දෙනෙකුගේ දැවැන්ත කැපකිරීම් සමුදායක ප‍්‍රතිඵලයකි.

මෙරට පහළ වූ විශිෂ්ටතම කතුවරයකුවන එඞ්මන්ඞ් රණසිංහ සූරීන්ගේ ගුරුහරුකම් හා මඟපෙන්වීම් මැද ඇරැුඹී මෙරටට ශක්තිමත් විපක්‍ෂයක් නොතිබූ අසූව දශකයේ එදවස බලයේ සිටි ජේ. ආර්. ජයවර්ධන රජයේ අනේකවිධ කෙනෙහිලිකම් මැද ‘දිවයින’ නොසැලී, නොදැවී පැමිණි ගමන ගැන ලියන්නට අමුතුවෙන් අටුවාටීකා අවැසි නැත.

එදවස එඞ්මන්ඞ් රණසිංහ සූරීන්ගේ ශක්තිමත් කශේරුවේ ආවරණය මැද කොන්ද කෙළින් තබාගෙන ජේ. ආර්. ආණ්ඩුව විවේචනය කළ ඉරිදා දිවයින නියෝජ්‍ය කතුවර දයාසේන ගුණසිංහයන්ට අනිවාර්ය නිවාඩු යන්නටත් ගිනිගත් දකුණට ගියෙමි යන මැයෙන් දකුණේ භීෂණය ගැන ඉරිදා දිවයිනට ලිපියක් ලියූ තරුණ මාධ්‍යවේදියකු වූ වත්මන් සිළුමිණ කතුවර ධර්මන් වික‍්‍රමරත්නට සේවය හැරදා යන තැනටත් වැඩ කටයුතු සිදුවිය. ජයවර්ධන ආණ්ඩුව ‘දිවයින’ට පත්තර එවූ නිසි බලධරයා වූ නිදහස් පුවත්පත් කලාවේ වටිනාකම ඉහලින්ම දැන සිටි ආචාර්ය සරත් අමුණුගම එක පෑන් පහරකින් හෝ දිවයිනට හානියක් සිදුකළේ නැත.

ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවෙන් පසු බිහිවූ පේ‍්‍රමදාස රජයෙන් ‘දිවයින’ට සිදුකළ කෙනෙහිලිකම්වල ද කිසිදු අඩුවක් වූයේ නැත. 1991 වසරේ එක්තරා දිනයක පේ‍්‍රමදාස රජයේ ප‍්‍රබලයකු වූ ඇමැති සිරිසේන කුරේ අත උපාලි පුවත්පත් සමාගමේ සභාපතිනිය වූ ලක්මණි වෙල්ගම මැතිනිය වෙත ජනපති පේ‍්‍රමදාස එවූ පණිවිඩයට ඇය හිස නැමුවා නම් අද ‘දිවයින’ මෙතැන නැත.

එඞ්මන්ඞ් රණසිංහ මහතා කතු පදවියෙන් ඉවත් කර ගෙදර යැව්වහොත් උපාලි විජයවර්ධන මහතා මහජන බැංකුවෙන් ගෙන තිබූ සැලකිය යුතු ගණනක ණය මුදල එකවර කපා හරින බවට ගෙනා යෝජනාව සභාපතිනිය එකහෙළාම ප‍්‍රතික්‍ෂේප කළේ දිවයිනේ වාසනාවටය. ඇය සිරිසේන කුරේ ඇමතිවරයාට දුන් පිළිතුර මෙසේය.

ඒ ණය මුදල මම කොහොම හරි  ගෙවන්නම්. එඞ්මන්ඞ්ව මට ඊට වඩා වටිනවා.

අදට ද ‘දිවයින’ සාර්ථකත්වය පසුපස තිබෙන අදෘෂ්‍යමන බලවේගය ඒ කශේරුවේ සවිමත්බවය.

රණසිංහ මහතාගේ මඟ පෙන්වීම මැද පුවත්පත් කලාවේ හතර මායිම් ඇතුළේ ජවය, පන්නරය, සවිය මෙන්ම අත්දැකීම්ද උකහා ගත් එකම වකවානුවක දිවයිනට ආලෝකය ගෙනා කතු මඬුල්ලේ එකට සේවය කළ අති බහුතරය විශිෂ්ටයෝය.

එඞ්මන්ඞ් රණසිංහ මහතා යටතේ දෙවැනි පෙළ නියෝජනය කළ දයාසේන ගුණසිංහ, උපාලි තෙන්නකෝන් මෙරිල් පෙරේරා, ගාමිණි සුමනසේකර, දයාරත්න රණසිංහ, දයා ප‍්‍රනාන්දු, සිරිමල් ෆොන්සේකා, ගයිරික පේරුසිංහ, කිත්සිරි නිමල් ශාන්ත, අසෝක ගුණතිලක, කරුණාදාස සූරියආරච්ච්, ධර්මරත්න විජේසුන්දර, නන්දසේන සූරියආරච්චි, ස්ටැන්ලි පේ‍්‍රමරත්න, සුනිල් මාධව පේ‍්‍රමතිලක, චන්ද්‍රසිරි දොඩන්ගොඩ, තිස්ස වීරසේකර, අනුර සිරිවර්ධන, ජයන්ත චන්ද්‍රසිරි මෙන්ම ප‍්‍රධාන කාටුන් ශිල්පියා වූ ඩබ්ලිව්. ආර්. විජේසෝම එමෙන්ම ජනක රත්නායක, ශාන්ත කේ. හේරත්, විනී හෙට්ටිගොඩ මුල් යුගයේ ‘දිනපතා දිවයින’ හා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ ලැබූ සාර්ථකත්වයේ පහන් කණුය.

ඔවුන් සමග එකට සේවය කළ දෙවැනි පෙළ ආශ‍්‍රිතයන් වූ දයා ලංකාපුර, සරත් අබේගුණවර්ධන, චාන්දනී විජේතුංග, අනුර සොලමන්ස්, ජටිල වැල්ලබඩ, සුන්දර නිහතමානී ද මැල්, කීර්ති වර්ණකුලසූරිය, පද්මා වේරගොඩආරච්චි, ලයනල් මුණසිංහ, ශාන් විජේතුංග, දීප්ති අධිකාරි, නෝමන් පලිහවඩන, චන්ද්‍රසිරි කටුදෙණිය, සිරිමෙවන් කස්තුරිආරච්චි, පුෂ්පා ඉලංගන්තිලක, ටී.එම්. ජී.චන්ද්‍රසේකර, අසෝක වන්නිආරච්චි, එම්.එස්.එම්.අයුබ්, ඇසල ජයසේන, රන්ජන් පරණවිතාන, සුසිල් පේ‍්‍රමලාල් මෙන්ම උප කතුවරුන්වූ ඩබ්ලිව්. කේ. ඞී. නවරත්න, දේශපි‍්‍රය දිසානායක, ගුණසිරි වීරසූරිය, කි‍්‍රෂාන්ති පීරිස්, ඉන්ද්‍රපාල නානායක්කාර, අනුර හොරේෂස්, රෝහණ වෙත්තසිංහ, මහින්ද කරුණාරත්න, මුදිත කාරියකරවන ආදීහු ද උසාවි වාර්තාකරුවන් වූ රූපසිරි විද්‍යාරත්න, ස්ටැන්ලි සමරසිංහ, චතුර විද්‍යාරත්න, සරත් ධර්මසේන ද ජායාරූප කතුවරුන් වූ චන්ද්‍රා වීරවර්ධන, බන්දු එස්. කොඩිකාර හා යූ. එන්. පෙරේරා සෙවණ ලැබූ චන්ද්‍රසිරි වීරසිංහ, මංගල වීරසේකර, නිහාල් චන්ද්‍රකුමාර, ජූඞ් ඩෙන්සිල් පතිරාජ, ශ‍්‍රීලාල් ගෝමස්, සරණපාල පමුණුව සහ නිමල් දයාරත්න ඇතුළු ඡුායාරූප ශිල්පීන් ද කළ මෙහෙවර අතිවිශිෂ්ටය.

මේ සියල්ලන් අතරින් එඞ්මන්ඞ් රණසිංහ මහතාගෙන් පසුව 1994 දී දිවයින ප‍්‍රධාන කතු පදවියට පත්වූයේ එහි සිටි දෙවැනි පෙළ විශිෂ්ටයා වූ උපාලි තෙන්නකෝන් මහතාය.

2000 දශකයේ මුල් දශක එකහමාර තුළ එදා ‘දිවයින’ හා ඉරිදා දිවයින කතු මඬුල්ලේ පුවත්පත් කලාවේදීන් වූ දුසිමකට ආසන්න පිරිසක් මෙරටේ ප‍්‍රධාන දහරාවේ ජාතික පුවත්පත්වල කතු පදවිවලට තේරී පත්වූහ. තවත් දෙදෙනෙක් ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරු බවට පත්වූහ. තිදෙනෙක් විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු වූහ. දෙදෙනෙක් විiුත් නාලිකා ද්විත්වයක අධ්‍යක්‍ෂවරු වෙද්දී ඉහත පිරිසගෙන් එක් අයකු කර්මාන්ත අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්වරයාද වෙද්දී තවත් අයකු රජරට සරසවියේ වැඩබලන උප කුලපතිවරයා ද විය.

පසුකාලීනව උපාලි තෙන්නකෝන් මහතා ‘රිවිර’ ප‍්‍රධාන කතුවරයා වෙද්දී

ගාමිණී සුමනසේකර හා මෙරිල් පෙරේරා ඉරිදා දිවයින හා දිනපතා දිවයින කතුවරු වූහ. සුන්දර නිහතමානි ද මැල් ඉරිදා ලක්බිම ප‍්‍රධාන කතුවරයා වෙද්දී කිත්සිරි නිමල් ශාන්ත ලක්බිම දිනපතා ප‍්‍රධාන කතුවරයා විය. 2002 ජනවාරියේ කිත්සිරි නිමල් ශාන්තයන්ගේ හදිසි අභාවයේ හිස් වූ දිනපතා ලක්බිම මුල්පුටුව භාරවූයේ ජටිල වැල්ලබඩටය. දයා ලංකාපුර සිළුමිණ කතු පදවියටත් ඉන් පසුව කරුණාදාස සූරියආරච්චි එම පුටුවටත් පත්වෙද්දී දිනමිණ කතුවරයා වූයේ මහින්ද අබේසුන්දරය. ඒ මඟගිය ධර්මන් වික‍්‍රමරත්න වත්මන් සිළුමිණ කතුවරයා ය. ගාමිණි ජයලත් දිනමිණ කතුවරයාය.

දිවයින කතු මඬුල්ලේ විශිෂ්ට නිෂ්පාදකයෙකු වූ ගයිරික පේරුසිංහ ස්වාධීන රූපවාහිනියේ සභාපති ධුරයටත් ඉන් පසුව අනුර සිරිවර්ධන (විදුසර සමාරම්භක කතුවරයා ද* පසු කලෙක එහිම සභාපති ධුරයටත් පත්වී පසුව දිවයින බිහිකළ පළමු අමාත්‍යාංශ ස්ථිර ලේකම්වරයා වූයේ 2010 වසරේදී කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්වීම් ලබමිනි.

පසුකාලීනව දිවයින පළමු දශකයේ මුල පටන් එම කතු මඬුල්ලේම එකට සේවය කළ ජයන්ත චන්ද්‍රසිරි, නාරද නිශ්ශංක, දිනපතා දිවයින කතුවරු බවටත්, අනුර සොලමන්ස් ඉරිදා දිවයි කතුවරයා බවටත් ලක්‍ෂ්මන් පියසේන සිළුමිණ කතු පදවියටත් පත්වූහ. මේ අතරේ දීප්ති අධිකාරි පුවත්පත් සමාගමක අධ්‍යක්‍ෂවරියක බවටද පත්වූවාය.

ශාන් විජේතුංග ස්වර්ණවාහිනියේ දේශපාලන අංශයේ ප‍්‍රධානියා වී ඉන්පසුව ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ ප‍්‍රථම අධ්‍යක්‍ෂවරයා බවටත්, අසෝක ඩයස් සිරස/එම්.ටී.වී. අධ්‍යක්‍ෂවරයකු බවටත් පත්වූහ.

රණසිංහ යුගයේ අවසන් පුරුක් ලෙස ‘දිවයින’ ට එක්වූ නයනක රන්වැල්ල ඉරිදා රිවිර ප‍්‍රධාන කතු පදවියටත්, චාමින්ද වාරියගොඩ, සිළුමිණ ප‍්‍රධාන කතු පදවියටත්, පසුකාලීනව තේරී පත්වූහ.

‘දිවයින’ එකම කතු මඬුල්ලේ එකම සමයක එක බත්පත බෙදාහදාගෙන කෑ සාමාන්‍ය පුවත්පත්කලාවේදීන් දුසිම් දෙකකට ආසන්න පිරිසකගේ වෘත්තීය අනාගතය ප‍්‍රධාන මුද්‍රිත මාධ්‍ය දහරාවේ කතුවර පදවි දක්වාත්, ඉහළම පරිපාලන තනතුරු දක්වාත් ගෙන එන්නට තරම් ගුරු හරුකම්, අත්දැකීම්, ජවය හා පන්නරය එන්නත් කළ ‘දිවයින’ මෙරට පුවත්පත් කලාවේ තක්සලාව නැතහොත් සරසවිය ලෙස අරුත් නොගන්වා වෙන නම් කවර නමකින් හඳුන්වන්නද?

පුද්ගලිකව මගේ වෘත්තීය දිවියට ද ආලෝකය ගෙනා ‘දිවයින’ පුවත්පතකින් අදට ද මගේ නිවසේ බත්පතක්වත් බඳින්නට අවසර නැත.

සිව්වන දශකයට පා තැබූ දිවයිනටත් දිවි ගමනේ නව වැනි දශකය ගත කරමින් සිටින ‘දිවයින’ සමාරම්භක කතුවර එඞ්මන්ඞ් රණසිංහ සූරීන්ටත් අනෙකුත් සියලූ ජ්‍යෙෂ්ඨයන්ටත් චිරං ජයතු!

සිසිර පරණතන්ත‍්‍රි
කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ
මව්බිම
 

advertistmentadvertistment