මෙහෙම අරගල බිමක් ලෝකේ කොහේවත් දැකලා නැහැ – ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයේ බැබළ වූ හිරාන් අබේසේකර අරගල බිමට ගිය පසු කියන කතාව

186

ඔහු නමින් හිරාන් අබේසේකර. පසුගියදා එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැති ඔලිවර් සම්මාන උළෙලේ දී හොඳම වේදිකා නළුවාට හිමි සම්මානය ඔහුට හිමි වුණා.එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටි Royal Albert Hall හිදී පැවැති වේදිකාවේ විශේෂයෙන් ඇගයීමේ වාර්ෂිකව පවත්වන බි්‍රතාන්‍ය ඔලිවර් සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයේ බැබළ වූ හිරාන් කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවකුවන අතර ඔහු එංගලන්තයේ නාට්‍ය කලාව පිළිබඳ රාජකීය ආයතනයේ (Royal Academy of Dramatic art) උපාධිධරයෙකි.

යැන් මාටෙල් විසින් රචිත බුකර් සම්මාන දිනූ නවකතාවක් ඇසුරින් නිර්මිත “Royal Albert HallZ වේදිකා රංගනයේ ප්‍රධාන භූමිකාවට පණ පෙවීය. මෙම වේදිකා නාට්‍ය Lolita Chakrabart ගේ නිර්මාණයකි.

හිරාන් 2015 වසරේ පැවැති රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේදී ද හොඳම රංග වින්‍යාසය උදෙසා සම්මානය දිනා ගැනීමට සමත් විය. පසුව 2019 වසරේ එක්සත් රාජධානි නාට්‍ය සම්මාන උළෙලේ දී හොඳම වේදිකා රංගනය වෙනුවෙන් පිදෙන සම්මානය ද තමන් සතු කර ගත්තේය.

මෙහෙම අරගල බිමක් ලෝකේ කොහේවත් දැකලා නැහැ - ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයේ බැබළ වූ හිරාන් අබේසේකර අරගල බිමට ගිය පසු කියන කතාව

සිහින් කෙසඟ සිරුරක් හෙබි බි්‍රතාන්‍ය ඔලිවර් සම්මානය හිමිකරගත් මේ පුංචි කොලුගැටයා සමග දොඩමළු වීමේ අවස්ථාවක් අපට උදා වුණා. අඩ හෝරාවකට ආසන්න කාලයක් ඔහු අප සමග කතාබහ කළ දෑ මෙලෙස සටහන් කර ගත්තා.
මට හම්බ වුණේ ලෝරන්ස් ඔලිවියර් සම්මානය. මම හිතන්නේ ඒක වේදිකාව ගත්තහම ලෝකය සලකන සම්මාන උළෙලවල් දෙකක් තියෙනවා. ටෝනි සහ ඔලිවියර්. ටෝනි සම්මාන උළෙල බ්‍රෝඩ්වේ නිෂ්පාදනයක්. මේ සම්මාන උළෙල එංගලන්තයේ පැවැත්වුණේ. එහි හොඳම නළුවාට හිමි සම්මානය තමයි මට හම්බ වුණේ.

මම රඟ පෑ ,”Life of Pie”, වේදිකා නාට්‍යය ලන්ඩන්වල වින්ඩම්ස් තියටර් එකේ එළැඹෙන සැප්තැම්බර් මාසයේ වෙනකම් පැවැත්වෙනවා. ඊට පස්සේ අපි මෙහි නිෂ්පාදනයක් ඇමරිකාවට අරගෙන යනවා. ඒ බ්‍රෝඩ්වේ තියටර් ස්ටී්‍රට් එකට. මම හිතන්නේ ලබන වසරේ අප්‍රේල්වල විතර මේ නාට්‍ය අවසන් වේවි.

මෙම සම්මානය සඳහා මාත් එක්ක තවත් තුන් දෙනෙක් නිර්දේශ වුණා. මම ඔවුන්ගේ රිවීව් කියෙව්වා. ඔවුන් රඟපානවා දැකලා නැහැ. හැබැයි ඒ ටිකත් සිරා නාට්‍යය ටිකක් ලු. නිර්දේශ වීම ම මට හරි ආස හිතුණා. ඊට පස්සේ ඒ ගැන වැඩිය හිතන්නේ නැතිව හිටියා. මොකද දිනයි ද දන්නේ නැහැ කියලා. කට්ටිය ප්‍රශ්න අහන්න ගත්තා දිනුවහම කියන්න කතාවක් හදා ගත්තා ද කියලා. ඊට පස්සේ ටික ටික බය හිතෙන්න පටන් ගත්තා. මට ඒ වෙලාවේ ඇති වුණ හැඟීම් නම් කියන්න බැහැ අප්පා. ගොඩක් දේවල් එක පිට එක උඩ වැටුණා. මතකයන් කීයක් ද? ඔතැනට එන්න කොච්චර දේවල් මම කරලා තියෙනවා ද? මම දන්න තරමින් මීට පෙර මේ සම්මානය කාටවත් හම්බ වෙලා නැහැ.ඒ වෙලාවේ මම මචංලා කියලා කිව්වේ, My mother and father  කියලා පටන් ගත්තේ. මම හිතන්නේ අම්මයි. තාත්තයි ගැනයි. ඊට පස්සේ My Sri Lanka කියලා කිව්වහම ඒ මොහොතේ කුණාටුවක් වගේ අමුතු හැඟීම් ගොඩක් ඇඟ ඇතුළෙන් එන්න පටන් ගත්තා. ඒකත් එක්කයි වචන ටිකත් එළියට ආවේ. ඒක ඉතින් බොක්කෙන් දැනිච්ච දේ තමයි කිව්වේ.

ආදරෙයි කියලා කියන්න අනෙක් හේතුව තමයි එවෙලේ මතක් කරන්න ලොකු දෙයක් තිබුණා. මේ කාලේ අපි හැමෝම දන්නවානේ ලංකාවේ මොකද්ද වෙන්නේ කියලා. එතැන ඒ වෙනදේට මට සම්බන්ධ වෙන්න බැරි එක ගැන කනගාටුවෙන් හිටියේ. එතැන වෙනදේට එතැන හදන ලෝකයට වගේම එතැන හැදිලා තියෙන ලෝකයට මම හරි ආදරෙයි. මට එහෙම එකක් කොහේදීවත් දැනිලා නැහැ. මම ලෝකයේ එක එක තැන්වල ගිහිල්ලා තියෙනවා. එතැන තියෙන දේ මට කොහේදීවත් දැනිලා නැහැ. අරගලය තියෙන්නේ මැජික් එකක්. මම අරගල භූමියට ගිහිල්ලා මිනිස්සු අඳුනගත්තා. ලංකාවේ එච්චර ආදරයක් ඒ විදිහට ඇතිවෙයි කියලා මට හිතුණේ නැහැ. අරගල භූමිය හරි ආදරයෙන් හැදුණ තැනක්.

මම තරුණ කාලේ මම ආසාවෙන් හිටපු ලංකාවක් ඔළුවේ තිබුණා. ඒ ලංකාව අපිට ලංකාවේම නැති නිසා මම හිතෙනවා එතැන අපි ප්‍රොමිස් ලෑන්ඩ් එකක් වගේ පොඩි කෑල්ලක් හදාගෙන ඉන්නවා. ඒක හරි වටිනවා.ඇත්තම කියන්න ඕනෑනේ. මම එයාර් පෝර්ට් එකට ආවා. ඊට පස්සේ ගෙදර ආවා. අම්මයි තාත්තයි බලලා අරගලයට ගියා. වෙනසක් අපිට වුවමනා නිසයි මම ලංකාවට ආපු ගමන් අරගල භූමිය තෝරා ගත්තේ. මචං අපි හැමෝටම ඒක දැනෙන දෙයක්නේ. අපිට වෙනසක් අවශ්‍ය වෙලා තියෙනවා. අපිට ඒ අරගලයේ විවිධ සටන් පාඨ තියෙනවා ඒකේ මූලිකම ගැඹුරම දේ තියෙන්නේ අපි ජීවත් වුණ විදිය යි. අපි ජීවත් වුණ ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය අපිට තවදුරටත් ඕනෑ නැහැ කියලනේ කියන්නේ අරගලයේ ලොකු ගැඹුරු අර්ථයක් තියෙනවා. අපි ජීවත් වුණ විදිහේ වෙනසක් ඇති කරන්නයි හැමෝම එකතු වුණේ.

අරගල භූමියට ගියහම ඉමෝෂන් ෆීලින්ස් ගොඩක් තියෙනවා. සංවාද වෙනස් වෙන්න ගත්තා. හරි ආසයි අහගෙන ඉන්න. මිනිස්සු ඔවුන්ගේ දැනුම පාවිච්චි කරලා අරගල කරන විදිහ ගැන කතා කරනවා.

මම ලංකාවේ නාට්‍ය කර කර හිටියේ කෞශල්‍ය අක්කලා, මයුර අයියලා එක්ක. ඊට පස්සේ මමයි මගේ හොඳ මිත්‍රයෙක් වුණ දිලුම් බුද්ධිකට චන්දන අයියා ආරංචියක් දුන්නා බි්‍රටිෂ් කවුන්සිල් එකේ ඉංග්‍රීසි, දමිළ හා සිංහලෙන් නාට්‍යයක් කරනවා කියලා. ඒකේ ඔඩිෂන්වලට යන්න කිව්වා. මම බය නිසා දිලුම් එක්ක ගියා. ඔහු එන්න බැහැ කිව්වා. ඉංග්‍රීසි කතා කරන්න බැහැ කියලා. අන්තිමේ දී මිනිහත් තේරුණා. විලී රිචඩ්ස් කියලා කෙනෙක් තමයි අධ්‍යක්ෂණය කළේ.

මෙහෙම අරගල බිමක් ලෝකේ කොහේවත් දැකලා නැහැ - ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයේ බැබළ වූ හිරාන් අබේසේකර අරගල බිමට ගිය පසු කියන කතාව

ඔහු යෝජනාවක් ගෙනාවා ඔයා ඩ්‍රාමා ස්කූල් යන්න කැමැති ද කියලා. එතැනින් තමයි ජීවිතය වෙනස් වෙන්න ගත්තේ.

මුලින්ම මම හිතුවා දොස්තර කෙනෙක් වෙන්න ඕනෑ කියලා. මම හිතුවා ඒක හරි කියලා. ඊට පස්සේ පළමුවැනි වතාවේ උසස් පෙළ අසමත් වුණා. දෙවැනි වතාවේ හොඳට පාඩම් කර කර ඉන්න අතරේ තමයි සුනාමිය ආවේ. ඒ වෙලාවේ මගේ හොඳ යාළුවෙක් නැති වුණා. මායි මයුර අයියත් තව කිහිපදෙනකුයි අපි ඔහුව හොයන්න පටන් ගත්තා. අන්තිමේ මේ පවුලට වුණ දේ ගැන දැන ගත්තා. එදා රාත්‍රියේ මම මයුර අයියාගේ ගෙදර හිටියේ. ඊට පස්සෙ දවසේ රාත්‍රියේ අම්මලා ගේ ගෙදර හිටියා. එදා තමයි හිතුණේ මම මෙඩිසින් තවදුරටත් කරන්න වුවමනා නැහැ. මොකද ජීවිතය මේ වගේ ටක් ගාලා යන්න පුළුවන්. මැරෙනවා නම් මම ආස දෙයක් කර කර ඉන්න කොට මැරෙනවා නම් හොඳයි කියලා එතැනින් තමයි කලාව තෝර ගත්තේ. මුලදී ඒ දේට අම්මා තාත්තා කැමැති වුණේ නැහැ. පස්සේ ගොඩක් උදව් කළේ.

මම දන්නා දේවල් බෙදා හදා ගන්න තමයි උත්සාහ කරන්නේ. ඊට පස්සේ මම හිතාගෙන ඉන්නවා ලංකාවේ නාට්‍ය කරන්න. තව මට ආසම දෙයක් තමයි පොඩි ගමක් වගේ එකක් හදන්න. ඒකේ මම හිතාගෙන ඉන්නේ ස්ටුඩියෝ අටක් විතර නිර්මාණය කරන්න. ඒ අටෙන් හතරක් ලෝකල් ආටිස්ලාට විවර කරනවා. අනෙක් හතර ජාත්‍යන්තර කලාකරුවන්ට දොරටු විවර කර තබන්න උත්සාහ කරනවා. එතකොට රිහසල් සමාගම් සමග කතාබහ කරලා හරි පැකේජ් එකක් හදලා ලංකාවට ඔවුන්ව ගෙන්වා ගන්න අදහසකුත් තියෙනවා. එතකොට ඔවුන්ගේ පුහුණුවීම් සිදු වන්නේ ලංකාවේ. එහෙයි මෙහෙයි අතර බි්‍රජ් එකක් (පාලමක්) වෙන්න පුළුවන් නම් ඒක තමයි මගේ සිහිනය.

ලංකාවේ සහ එංගලන්තයේ වේදිකාව අතර ලොකුම වෙනස තියෙන්නේ සල්ලිවලින්. එංගලන්තයේ ආර්ට්ස්ලට ඇගයීමක් තියෙන නිසා වගේම එහේ සමාජ ඒ විදිහට තියෙන්නේ ආර්ට් නිසා කියලා ඔවුන් දන්න නිසයි සල්ලි පොම්ප කරනවා ආර්ට්ස්වලට. ඒකත් එක්ක ඒක දියුණු වෙනවා. ඒක තමයි මම දකින ලොකුම වෙනස. ඒ පරිසරය කලාවේ දියුණුවට හරි ෂෝක්.

දිනේෂ් විතාන
ඡායාරූප -යූ. කේ. අබේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment