‘මෙහෙම ගියොත් රටම හාන්සියි’ මුළු රටම හරි මඟට අද සහ හෙට?  

272
‘මෙහෙම ගියොත් රටම හාන්සියි’ මුළු රටම හරි මඟට  අද සහ හෙට?  

ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11 ක ක‍්‍රියාශීලී දායකත්වයෙන් සකස් කරන ලද ‘මුළු රටම හරි මඟට’ නමැති ජාතික ප‍්‍රකාශනය දැන් විවෘත ලියැවිල්ලකි. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සමසමාජ පක්‍ෂය, ජාතික නිදහස් පෙරමුණ, ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය, පිවිතුරු හෙළ උරුමය, ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂය, ජාතික කොංග‍්‍රසය, විජයධරණි ජාතික සභාව, එක්සත් මහජන පක්‍ෂය හා යුතුකම ජාතික සංවිධානය යන පක්‍ෂ එකමුතුව මුළු රටම හරි මඟට යොමු කරවීමේ ප‍්‍රබල අවධානයකින් මෙම ජාතික ප‍්‍රකාශනය ජනගත කළ බව පැහැදිලිය. මහජන එක්සත් පෙරමුණ මෙම ප‍්‍රකාශනයට සම්බන්ධ නොවීම ද කැපී පෙනෙන සිදුවීමකි. කෙසේ වුවද ජාතික ප‍්‍රකාශනය එළිදක්වමින් අදහස් පළ කළ අතුරලියේ රතන හිමියන් මෙන්ම ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල යන ඇමැතිවරුන් ද, ශ‍්‍රීලනිප නායක මෛත‍්‍රිපාල සිරිසේන මහතා ද අවධාරණය කළ ප‍්‍රමුඛ කරුණක් වූයේ ආණ්ඩුව තුළ අභ්‍යන්තර සංවාදය බිඳවැටී තිබෙන බවය. මෙම විසංවාදය ආණ්ඩුවේ දුර්වල ආර්ථික කළමනාකරණයට හේතු වී තිබෙන බව මීට පෙර ද ප‍්‍රකාශ වී තිබේ. සමසමාජ හා කොමියුනිස්ට් පක්‍ෂවල ප‍්‍රධාන විවේචනය වූයේ ද ආණ්ඩුව කීපදෙනකුගේ හිතුමතය පරිදි ක‍්‍රියාත්මක වන බවය. ජනාධිපතිවරයාට දේශපාලන වශයෙන් නිසි උපදෙසක් නොලැබීම ආණ්ඩුවේ පසුබෑමට හේතුවක් බව තවමත් ආණ්ඩුව සමඟ සිටින ඇතැම් භික්‍ෂුන් වහන්සේ ද පෙන්වා දුන්හ. එමතු නොව මේ ආණ්ඩුව බලයට පත් කිරීමට කැප වූ සමහරුන්ගෙන් ද රට යන අත පිළිබඳ ප‍්‍රසාදයක් පළ නොවීය.

මෙරටේ මෑත වකවානුව තුළ පාලනය භාරව සිටි හැම සන්ධාන ආණ්ඩුවක්ම ඉදිරියට ගියේ විවිධ ගැටුම් ද සමඟය. එබඳු ඉරණමක් නොවූයේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට පමණි. එය ඔහුගේ පරිණත දේශපාලනයත්, පක්‍ෂයෙන් ලැබුණු ශක්තියත් නිසා ලැබුණු භාග්‍යයකි. පොදුජන පෙරමුණට නැතහොත් පොහොට්ටුවට ඓතිහාසික ජන වරමක් හිමි වුව ද එබඳු දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනඟාගත නොහැකි විය.

විමල් වීරවංශ ඇමැතිවරයා දැඩි උද්වේගයකින් ප‍්‍රකාශ කරන ‘උද්ධච්ඡ බව’ හා ‘මමත්වය’ නමැති රෝගය මේ ආණ්ඩුව තුළ තිබෙන බව පවසන තවත් අය ද සිටිති. දේශපාලන වශයෙන් පරිණත වමේ නායකයෝ ද ආණ්ඩුවට එම චෝදනාව නැඟූහ. ගෝඨාභය ජනාධිපතිවරයා විසින් ද වරක් දෙවරක් ප‍්‍රකාශ කළේ කැබිනට් ඇමැති දොලදුක නිසා සමහරුන් විරසකව හෝ දොම්නස්ව හෝ සිටින බවය. එය සත්‍යයකි. ජනාධිපතිවරයා සිය කැබිනට් මණ්ඩලය තෝරා ගැනීමේදී සෘජුව ක‍්‍රියාකළත් ඔහුගේ තෝරාගැනීම් වුවද නිවැරදි නොවූ බව පමණක් සඳහන් කරමු. මක් නිසාද යත් එය දීර්ඝව විමර්ශනය කළ යුතු කරුණකි.

‘මෙහෙම ගියොත් රටම හාන්සියි’ මුළු රටම හරි මඟට  අද සහ හෙට?  

ගෝඨාභය ජනාධිපතිවරයාගේ ශෛලියට ගැළපෙන ප‍්‍රබල ඇමැති මණ්ඩලයක් ඔහුට නොලැබුණු බව ප‍්‍රතික්‍ෂේප කළ නොහැකි කරුණකි. එසේම ඔහු අපේක්‍ෂා කළ සක‍්‍රීය සහාය හෝ සැලැස්මක් ද ඔහු විශ්වාසය තැබූ බොහෝ දෙනකුට නොවූ බව ද කිව යුතුය. වියත් මඟ පිළිබඳව ඔහුට තිබුණේ ඉහළම තක්සේරුවකි. එහෙත් ඒ වියත්මඟ හුදු ආයතනවලට ලබාදුන් ආලෝකයක් තිබේද? හාපුරා කියා දේශපාලනයට පැමිණ ඉතා කෙටි කලකින් මැති ඇමැති සැප වැළඳීමේ භාග්‍යය ලද අයද වෙති. ඔවුන් කෙරෙහි එල්ල වන ඊර්ෂ්‍යාව ස්වභාවිකය. එහෙත් ඔවුන්ට තම භූමිකාව තුළ කැපී පෙනෙන පෙරළියක් කළ නොහැකි විය. බොහෝ දෙනාගේ විවේචනයට ලක්වූ ලක්‍ෂ තිහක් වැනි අධික වැටුප් ද ලබා ගත් අය මේ රට පමණක් නොව ජනතාවගේ අපේක්‍ෂාවන් ද විනාශ නොකළාහුද? වියත්මඟ යනුවෙන් හැඳින්විය හැක්කේ භාෂා, ශාස්ත‍්‍ර, සමය, දර්ශන ආදියෙහි ප‍්‍රාමාණිකයන් හා ජාතික සංස්කෘතික අරගලවල ප‍්‍රමුඛ භූමිකා ඉටු කරමින් ජන ප‍්‍රසාදයට ලක්වූවන්ගේ සංයෝගයකි. එහෙත් මේ කියන වියත්මඟ දේශපාලන ජුන්ටාවක් බවට සමහරු න`ගන උපහාසය ප‍්‍රතික්‍ෂේප කළ හැකිද? වීරවංශ ඇමැතිවරයා විශේෂඥ සහාය, වියතුන්ගේ උපදෙස් ලබා ගත යුතු යැයි යෝජනා කරන්නේ නිකම්ම නොවේ. කාබනික පොහොර එක රැුයකින් නවත්වා කෘෂිකර්මය මෙන්ම වෙනත් වගාවන් ද වනසා දැමූ මුග්ධ උපදෙස් දුන් ඒ වියත් නඩයේ සමහරුන් ගැන කවර කතා ද? චීන කාබනික පොහොර නැව ආපසු යැවූ බවට පුරසාරම් දෙඩූ බලධාරීන්ට අන්තිමට සිදුවූයේ පොදු ජනතාවගේ මුදලින් ඩොලර් මිලියන 6.7 ක් ගෙවා අත පිහදා ගැනීමටය. මේ අමන තකතීරු මෙහෙයුමේ සිටි වෘෂභයෝ කවරහුදැයි රටම දනිති. ඒ මදිවාට ගොවියාට ගෙවන අලාභය, වන්දිය ප‍්‍රධානයක් ලෙස රටට අඟවන දේශපාලන කවටයෝ ද සිටිති. මේ කිසිම දෙයක් තඹයකට නොගන්නා පොහොට්ටු ඇමැතිවරු ද සිටිති.

අතුරලියේ රතන හිමියන් ජාතික ප‍්‍රකාශනය එළිදැක්වූ සභාවේදී සඳහන් කළ පරිදිම මේ ආණ්ඩුවේ ප‍්‍රබල ඇමැතිවරු තිදෙනෙක් ජනතා විරෝධී පියවරකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ද ගොස් සිටිති. එබඳු ප‍්‍රබල විරෝධයක් නැ`ගුණු ප‍්‍රශ්නයකදී වුව ද ආණ්ඩුවේ නායකයෝ එයට සංවේදී නොවෙත් නම් ඒ ගැන කවර කතා ද? ආණ්ඩුව උග‍්‍ර ආර්ථික අර්බුදයක කරවටක් ගිලී සිටියත් ඒ පිළිබඳ විධිමත් හා විද්‍යානුකූල විසඳුමක් ආණ්ඩුවට නැති බව පැහැදිලිය. රජයේ සේවකයාගේ විශ‍්‍රාම පාරිතෝෂිකයට හා භාරකාර අරමුදලටත් විදීමේ වංක දඩයම ජනතාවාදී පාලනයකින් කෙසේ අපේක්‍ෂා කරමුද? විදේශ විනිමය හිඟ වී ආර්ථිකය නන්නත්තාර වී තිබෙන මොහොතක වුවද ආණ්ඩුවේ සමහරුන්ට පිටරටින් එන මිදි, ඇපල් ඇතුළු පලතුරු ද, වෙනත් සුඛෝපභෝගී වුවමනාවන් සඳහා ද ඩොලර් තිබුණු බව පෙනේ. ගම්මන්පිල ඇමැතිවරයා විමසූ පරිදිම මේ පාලකයන්ට ප‍්‍රමුඛතාව ජනතාවගේ මූලික අවශ්‍යතා හඳුනා ගැනීමේ සාමාන්‍ය බුද්ධියවත් නැද්දැයි අපට ද ඇසීමට සිදුව තිබේ.

ගෝලීය ආර්ථිකයේ අභියෝග, කොවිඞ් 19 වැනි දුෂ්කර විපත් හා අර්බුද සමඟ මේ ආණ්ඩුව ද හෙම්බත් වූ බව නිසැකය. එහෙත් ආණ්ඩුවේ දුබලතාව කළමනාකරණ සැලැස්මක් නොමැතිවීම, ඇතැම් අයගේ උද්දච්ඡ අහංකාර මානසිකත්වය අද රට මුහුණ දී සිටින විපතට හේතු ලෙස පක්‍ෂ එකොළහේ පොදු ආකල්පය බව පෙනේ. ඉතා සැකෙවින් ඒ සඳහා ඉදිරිපත් වූ ප‍්‍රධාන යෝජනා කීපයක් ද දක්වමු.

විදේශ විනිමය සංචිත වර්ධනය කිරීම.

පුහුණු ශ‍්‍රමිකයන් සහ වෘත්තිකයන් යොදා ගෙන විදේශ රැකියා වෙළෙඳපොළ ආක‍්‍රමණය.

සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම නැවත ස්ථානගත කිරීම.

විදුලි අර්බුදය විසඳීම සඳහා දීර්ඝකාලීන යෝජනා
යන කරුණු එයට ඇතුළත් විය.

මේවාට අමතරව මේ වන විට ජාත්‍යන්තරය දක්වා ද ගොස් තිබෙන පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීමට ක‍්‍රියාමාර්ග ගැනීමට ද වසර 3 ක් සඳහා පොහොර සහනාධාරය මුදලින් ගෙවීමට හා එය රජයේ පොහොර සමාගම්වල මැදිහත් වීමකින් කළ යුතු බවට ද යෝජනා කර ඇත.

ආණ්ඩුවට ළං වී සිටින බව කියන බොරු පූචානම්කාරයන්, වචීපරම වියතුන් වෙනුවට මේ මහපොළව හඳුනන කෙතක, ගහක, ඇළක, දොළක සුවය දන්නා සැබෑ මිත‍්‍රයෝ අද ආණ්ඩුවට අවශ්‍ය වෙති. වීරවංශ ඇමැතිවරයා කී පරිදිම අද රටේ ප‍්‍රමුඛතාව ලැබිය යුත්තේ අධිවේගී මාර්ගවලට හෝ කාපට් පාරවල් ඉදිකිරීමට නොවේ. ඒ කතාව මීට පෙර මහාචාර්ය තිස්ස විතාරණ මහතා ද සවිස්තරව පවසා තිබුණි. කුමක් වුවත් අධිවේගී මාර්ගවලට කා ගන්නා ඇමැතිවරු ද ආණ්ඩුවේම සිටිති. වැව්තාවුල්වල මංතීරු තැනීමට ද සමහරු පොළොවේ හැපෙති. ඒ කොයි දේවල් වුණත් ඇඟට පතට දැනෙන, සාක්කුවට ද සුවදායක මහජන සේවාවන් බව රටම දනිති.

අස්වැන්න පාළු වී ගිය ගොවියන්, එදිනෙදා සුළු වෙළෙඳාමකට මඟ අහිමි වී ගිය සුළු වෙළෙඳුන්, ඞීසල් නැතුව, මුහුදු රස්සාවත්, ගමනාගමනයත් එපා වූ මිනිසුන්, මෙන්ම කිරිපිටි හා ගෑස් පෝලිම්වල කඹුරන සියල්ලන් ඇතුළු ජන කොටස් මේ ආණ්ඩුවට ශාප කරතියි නොදන්නා මැති ඇමැතිවරුන් සිටිති ද? කුමක් වුවත් ආණ්ඩුව රුවල් බිඳී ගිය නෞකාවක් වැන්න. ගමනාන්තයක් නොදන්න තවලමක් වැන්න. ඒ අල්ල පනල්ලේ ආණ්ඩුවට සුදුලූනු පොඩි කරන, සීනි කවන අලූත් වෙළෙඳ පැළැන්තියක් ද මතු වී සිටියි. ඒ සියලූම අණ, වින, අපල, ග‍්‍රහ දෝෂ යන්නේ

ගෝඨාභය ජනාධිපතිගේ පිටින් ය. ගුණ ගායනා කරන්නේ පොහොට්ටු නායකයන්ගේය. ඇනුම්පද අපහාස උපහාස දේශපාලනයක ආවේණික දේවල් ය. එහෙත් අනියමාර්තේ එබඳු අධිචෝදනාවලට ලක්විය යුතු නැත.

ආණ්ඩුවට ඩොලර් අර්බුදයක් තිබුණත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සියල්ලෝම ඒවායින් පීඩාවට පත්ව සිටිතියි ද අපි නොසිතමු. ඇතැම් ඇමැතිවරුන්ට මෙන්ම ඇතැම් පසු පෙළ මන්ත‍්‍රීවරුන්ට තිබෙන්නේ මහජන ප‍්‍රශ්න විසඳීමට වඩා වෙනත් දේශපාලන අරමුණුය. එකෙක් විරෝධතාකරුවන්ට පොලූ සංග‍්‍රහයක් අපේක්‍ෂා කරති. තවකෙක් පොදුජන සම්පත් කොල්ලකති. තවකෙක් වොයිස් කට් සමඟ බයිලා ගයමින් රට හිනස්සති. අරමුණක් නැති ගමනක් නැති දේශපාලන රස්තියාදුකාරයන්ට නම් ඕනෑම දේකට උත්තර තිබේ. එහෙත් මොන වර්ගයේ වාචාලයකුට වුව ද තවදුරටත් කොවිඞ් වසංගතය ගැන හෝ දැන් කඩාපාත්වී තිබෙන රුසියානු – යුක්රේන් ගැටුම ගැන හෝ කියා ජනතාව රැවටීමට ද ඉඩක් නැත.

ආණ්ඩුවේම පක්‍ෂ එකොළහක් එක වේදිකාවක සිට පාලනයේ නොහැකියාව, අහංකාරයෙන් පිම්බී ගිය හිතුවක්කාර තීරණ ගැන ලූණු ඇඹුල් ඇතුව ජනතාවට කියද්දී විලි ලැජ්ජාවක්, සදාචාරයක් හඳුනන්නේ නම් බිහිරන් ගොළුවන් සේ සිටිය හැකිද යන්න නම් අපි නොදනිමු. අවසන් වශයෙන් තවත් දෙයක් කිව යුතුව තිබේ. එනම් පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුවීමේ අවශ්‍යතාවයි. මැල්කම් කාදිනල් රංජිත් පියතුමා ඒ ප‍්‍රශ්නය ජිනීවාවට ද රැුගෙන ගොස් තිබේ. මෙරටේ නීතිය සාධාරණව ක‍්‍රියාත්මක නොවන බවත්, ආණ්ඩුවට මිනිස් ජීවිතවල වටිනාකම නොදැනෙන බවත් කාදිනල්තුමා ලංකාවේදී ප‍්‍රසිද්ධියේම කියා තිබේ. මේ බරපතළ චෝදනා පත‍්‍රය ජිනීවාවලට නොදීමට හේතුවක් නැත. කුමක් වුවත් ‘මුළු රටම හරිමඟට ගැනීමේ’ යෝජනා මාලාවේදීත් ඒ අනතුර පෙන්වා දී තිබේ. එහෙත් ඇපල්, මිදි කමින් මී පැණි වළඳමින්, කළු සල්ලි සුදු කරමින් මේ ඩොලර් අර්බුදයට උඩින් පැන අපට කා බී සුවසේ සිටිය හැකි වෙතැයි සිතන කාටත් කිව යුත්තේ මෙහෙම ගියොත් රටම හාන්සි බව පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment