මේක කවුරුත් නොහිතන පැත්තක් ගැන හිතපු අයවැයක් – ආචාර්ය පී.බී. ජයසුන්දර

143

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ‘අපේ ණය’ භාරගන්නේ නෑ

දැන් අපට තිබෙන්නේ පරිවර්තනයේ අභියෝග ජය ගැනීමටයි

මේ දුෂ්කරතා කොවිඞ් නිසාම නොවෙයි

රටේ සංචිත ශක්තිමත් කරන මාර්ගයකුත් මෙහි තිබෙනවා

වෙනදා අත නොගහන පැත්තකට අයවැයෙන් අත ගහල තියෙනවා

කාර්යඵල අනුව කාර්තුවෙන් කාර්තුවටයි අමාත්‍යාංශවලට මුදල් දෙන්නේ

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් පසුගිය නොවැම්බර් 12 වැනිදා ලබන වර්ෂය (2022) සඳහා වන රාජ්‍ය අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මේ අයවැය සාම්ප‍්‍රදායික අයවැයක් නොව අලූත්ම අයවැයක් බවත් එය පරිවර්තන අයවැයක් ලෙස හඳුන්වා දිය හැකි බවත් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා අයවැය ඉදිරිපත් කිරීමට පෙර ‘දිවයින’ට කීවේය. දැන් මේ අයවැයෙන් සිදුවීමට නියමිත පරිවර්තනයේ අභියෝග ජයගැනීමට රජයට සිදුව තිබේ. ඒ අනුව 2022 අයවැය ගැන සහ කාලීන ආර්ථික කරුණු කාරණා කිහිපයක් ගැන අපි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සමග සාකච්ජා කළෙමු. පහතින් සටහන් වන්නේ ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ ඇසූ ප‍්‍රශ්නවලට ආචාර්ය ජයසුන්දර මහතා ලබාදුන් පිළිතුරුයි.

ප‍්‍රශ්නය – ඔබ අයවැයට පෙරම අපට කිව්වා මේ සැරේ එන්නේ සාම්ප‍්‍රදායික අයවැයක් නෙවෙයි අලූත්ම අයවැයක් සහ පරිවර්තන අයවැයක් කියල. අප දන්නවා වෙනසක් කරන්න යනවිට අභියෝග රැසකට මුහුණ දීමට සිදුවෙනවා. ඒ පරිවර්තනයේ අභියෝග කොහොම ද ඔබ හඳුනාගන්නේ සහ ඒවා ජය ගැනීමට රජයට තිබෙන ශක්තිය කොහොමද?

පිළිතුර – ඔව්. මුදල් ඇමැතිතුමා ඉතාම කෙටි කාලයක් තුළ විවිධ පාර්ශව සම්බන්ධ කරගෙන තමයි මේ අයවැය සකස් කළේ. ඒ සඳහා කිසියම් දායකත්වයක් දක්වන්නට මටත් අවස්ථාවක් ලැබුණා. විශේෂයෙන් ජනාධිපතිතුමා රජය පිහිටුවට පස්සේ ඒ සෞභාග්‍ය දැක්මෙන් අපේක්ෂිත සමාජ ආර්ථික තත්ත්වය අපේ රටේ ඇති කරගැනීමට එතෙක් ගනු ලැබූ පියවරයන් සහ අත්දැකීම් ඒ වගේම පසුගිය වසර දෙකක කාලයක් පවතින ලෝක වසංගත තත්ත්වයක් තුළ තමයි මේ අයවැය සකස් වෙන්නේ. මම ඔබට අයවැයට පෙර සඳහන් කළා වගේම විශේෂයෙන්ම මුදල් ඇමැතිතුමාට ගෞරව කරන්න ඕන, අගය කරන්න ඕන එතුමා ඒ අභියෝගවලටත් වඩා… ඒ කියන්නේ කොවිඞ් වසංගත තත්ත්වය හරි නැත්නම් රටේ තියෙන ණය බර හරි නැත්නම් අයවැය හිඟය වගේ සාම්ප‍්‍රදායික මට්ටම වඩා ගැඹුරින් අපේ රට වෙනත් දිසාවකට පරිවර්තනය කරන්න විවිධ පැතිවලින් හිතල තියෙන බව අයවැය කතාව කියවන විට මට හැඟී ගියා. මට තේරුණා එය ඇත්තටම පරිවර්තනයක අයවැයක් කියල.

මෙය පරිවර්තනයක අයවැයක් වශයෙන් මම දකින්නේ ඒ අයවැයේ අන්තර්ගත කරලා තියෙනවා කොහොමද රටක, විශේෂයෙන් රජයක ආදායම් වියදම් මෙහෙයවා ගන්න ඕන කියන එකට තිරසාර සමහර විට ජනප‍්‍රියත්වයෙන් අඩු, එසේම ජාතික ආර්ථිකයට හානියක් නොවෙන, ගෝලීය තත්ත්වයන් ද සැලකිල්ලට අරගෙන ඒ ගෝලීය ආර්ථිකයේ වාසිත් ලබාගන්න විදියටත් සකස් කිරීම. අනිත් පැත්තෙන් එතුමා සැලකිල්ලට අරන් තියෙනවා ජාතික වශයෙන් විදේශ විනිමය අයවැය කියන එක. ඔබ සඳහන් කරන ලෙස එක්තරා විදියකට විදේශ විනිමය දුෂ්කරතාවලට රට මුහුණ දීල තියෙනවා. ඒ දුෂ්කරතා කොවිඞ් නිසා වූ දේවල් වශයෙන් පෙනී ගියාට ඊට වඩා ගැඹුරු ආර්ථික ව්‍යුහාත්මක ප‍්‍රශ්නයක් මේක තුළ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ නිසා එතුමා ඒ ගෙවුම් ශේෂය නැත්නම් කොයි විදියට ද රටේ සංචිත රටට ශක්තිමත් වෙන විදියට ගොඩ නගන්නේ කියන මාර්ගයකුත් මෙහි තියෙනවා.

තුන්වෙනි වශයෙන් තියෙනවා මේ අයවැයට එතුමා හොයන පාරයි විදේශ විනිමය කළමනාකරණය මගින් විදේශ සංචිත ගොඩ නැගීමට හදාගන්න මාවතයි ඉදිරි වසර පහ තුළ ජාතික ආර්ථිකයක් ගොඩනගන මාවතකට ගන්න කියන කරුණු තුළ තමයි මේ පරිවර්තනය තියෙන බව මම දකින්නේ. මේ පරිවර්තනයේ අභියෝගයි දැන් ඇත්තටම කතා කරන්න ඕන. හේතුව අයවැය ඉදිරිපත් කරද්දී සාම්ප‍්‍රදායිකව තියෙන අභියෝගයන්වලට වඩා මේ කරන්න හදන පරිවර්තනය කොහොමද විය යුත්තේ කියන එක.

දැන් මේ පරිවර්තනයේ අභියෝග ලෙස මම දකින්නේ ඔබත් දන්නා පරිදි අපට හොඳට පළපුරුදු, රටේ කළමනාකරුවන්ට හොඳට පළපුරුදු, එහෙම නැත්නම් රටේ දේශපාලන නායකයන්ට හොඳට පළපුරුදු, එහෙම නැත්නම් පෞද්ගලික අංශයට පළපුරුදු තම තමන්ගේ අංශයට බලපාන කරුණුවලට වඩා රටක් හැටියට අයවැය දෙස බලන්නේ කොහොමද කියන තත්ත්වය පෙන්නුම් කරන එක. දැන් ඒකෙදී මම දකින්නේ පළමුවෙන්ම එතුමා උත්සාහ ගන්නවා ඒක තුළ මේක සකස් කරන්න. දැන් වසර 70 ක්ම සාම්ප‍්‍රදායිකව අපට පුරුදු හිඟ අයවැය. අපේ පමණක් නොවෙයි හුඟක් දියුණු වෙන රටවල 1930 ස් ගණන්වල ලෝක ආර්ථික අවපාතයෙන් පසුව හිඟ අයවැය තුළ තමයි රටවල් ගමන් කරේ. අපේ රටෙත් හිඟ අයවැය තමයි තිබුණේ. හැම මුදල් ඇමැතිවරයෙක්ම උත්සහ ගත්තේ ඊළඟ වර්ෂයේ විසර්ජන පනතෙන් අයවැය හිඟය පියවන්නේ කොහොම ද කියන කාරණය. ඒක ඒ වර්ෂයේ ක‍්‍රියාවලියක්. එහෙත් සමස්තයක් ලෙස අප දැක්කේ නැහැ අයවැය හිඟය අඩු වෙනවා. මම දකින ලෙස හැම මුදල් ඇමැතිවරයෙක්ම කතා කරන අයවැය කතාවල අයවැය හිඟය ගැන කතා කළත් 50, 60 දශකවල අයවැය හිඟය ජාතික ආදායමෙන් සියයට 5ක් 6ක්ව තිබුණ. ඊට පසුව සියයට 10 ට වැඩි ගණන්වලට ගියා. ඊට පසුව සියයට 7 ට, 8ට ගියා. මෙහෙම වර්ෂ 70 ක් හිඟ අයවැය තමයි ගියේ. මේ හිඟ අයවැය ක‍්‍රමය තුළ ඒ හිඟය නිසාම නිර්මාණය වූ ගැටලූ රාශියක් තියෙනවා.

එකක් දිගුකාලීනව රටේ ප‍්‍රශ්න විසඳීම වෙනුවට ඒ වසරේ ආදායම සකස් කර ගැනීම තමයි කරන්නේ. වියදම් ගැන හිතන්නේ නැහැ. ඒ නිසා දවසින් දවස වියදම් වැඩි වෙනවා. ඒ බර හැම වසරේම කුමක් හෝ බද්දක් මාර්ගයෙන් පියවාගෙන ඉතුරු ටික ණය අරගෙන අයවැය හිඟය වෙනදට වඩා අඩුයි කියන පාරක තමයි ගමන් කළේ. හැබැයි මේ අයවැයේ මම දකින වැදගත්ම දේ තමයි ඇමැතිතුමාට ලොකු විශ්වාසයක් තිබුණ වෙනද අත නොගහන පැත්තකට අත ගහන්න. ඒක තමයි පරිවර්තනය.

අපේ රටේ අයවැය ක‍්‍රියාත්මක වූ මුල් කාලයේ සිට අද වෙනකම් තිබුණේ විවෘත බලපත‍්‍රයක්. විසර්ජන පනතට කථානායකතුමා අත්සන් කරාට පසුව 2022 වසරේ අයවැය තමයි ඒක. ඒක අත්සන් කරලා ආවම මුදල් ඇමැතිතුමා මුළු ඒ වර්ෂයටම වියදම් කරන්න මුදල් ලේකම්තුමාට විවෘත බලපත‍්‍රයක් දෙනවා. ඒ අනුව මුදල් ලේකම්තුමා සියලූ අමාත්‍යාංශවලට දන්වනවා දැන් මෙහෙම ප‍්‍රතිපාදන අනුමත වෙලා තියෙනවා වියදම් කරන්න කියල. හැබැයි මෙවර එතුමා කිව්වා මම එහෙම දෙන්නේ නැහැ කියලා. පාර්ලිමේන්තුව අනුමත කරලා තියෙන වර්ෂයක විසර්ජන පනත මම බොහොම වගකීමෙන් තමයි හසුරුවන්නේ. අවුරුද්දටම එක පාර වොරන්ට් එක දෙන්නේ නැතුව කාර්යඵල දිහා බලල, එහෙම නැත්නම් ක‍්‍රියාකාරකම් දිහා බලල යන පාරට ගැලපෙන විදියට ආදායම් වියදම් හැසිරෙනවා ද කියන මූල්‍යමය පාලනයත් අරගෙන කාර්තුවෙන් කාර්තුවට තමයි මුදල් දෙන්නේ.

දැන් මේ මුදල් ඇමැතිතුමා දෙන වොරන්ට් එක දෙන්නේ කාර්තුමය වශයෙන්. එවිට හැම කෙනෙක්ටම සිදු වෙනවා ඒ කාලය තුළ වැටුප්, අතිකාල දීමනා යනාදිය ගැන කලින් හිතන්න සහ සැලසුම් කරගන්න. අනිත් වියදම්, ප‍්‍රාග්ධන වියදම් සැලසුම් කරගන්න. ඒවාට අදාළ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය කරන්නේ කියන විශාල සැලැස්මකට නිතර නිතර ලේකම්වරයා වග කියන්න වෙනවා. ඒවා පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු මගිනුත් අධීක්ෂණය වෙනවා.

ප‍්‍රශ්නය – ඔබතුමා කියන්නේ ප‍්‍රගතිය පරීක්ෂා කරල ඉදිරි කාර්තුවේ වියදම් කිරීමට මුදල් ලබා දෙන බවයි. එසේම එය දැඩි මූල්‍ය විනයකටත් හේතු වෙනවා?

පිළිතුර – ඔව්. දැඩි මූල්‍ය විනයකටත් ලොකු මාර්ගයක් වෙනවා. ඒක තමයි පළවෙනිම පියවර. එතකොට අයවැය සංස්කෘතිය තුළම අප දකින්නේ අලූත් ලක්ෂණයක් සහ අලූත් පරිවර්තනයක්. පරිවර්තනයේ අභියෝග කියල නිලධාරීන්ට පුරුදුත් නෑ. මුදල් ලේකම්වරයාත් පළමු වතාවටයි මේක කරන්නේ. මේ සඳහා අමාත්‍යාංශවලටත් සූදානම නැහැ. ඔබ දන්නවානේ සාමාන්‍යයෙන් අපේ අත්දැකීම් අනුව පළමු කාර්තුවේ වියදම් කරන්නේ නැහැ. අවසන් කාර්තුව වෙනකම් ඉඳල ප‍්‍රතිපාදන ආපසු මහා භාණ්ඩාගාරයට යන නිසා මොන මොනවට හරි වියදම් කරන සංස්කෘතියකට අපි ආවනේ. මෙහෙම සැලැස්මක් නැති ක‍්‍රමයකට ගියේ. දැන් ඇත්තටම අමාත්‍යාංශයේ ලේකම්වරයා ප‍්‍රධාන ගණන් දීමේ නිලධාරියා ලෙස ලොකු වගකීමක් මේකෙන් ගන්න වෙනවා. දැන් මම ජනාධිපති ලේකම්වරයා ලෙස කියල තියෙනවා කාර්තු හතරේ වියදම් යන හැටි කොහොමද කියල.

නිලධාරීන් ලෙස මේ අලූත් අයවැය සංස්කෘතිය අභියෝගයක් විය හැකියි. මොකද මීට කලින් එහෙම තිබුණේ නැහැ. අන්න අතනට සල්ලි ගිහින් නැහැ කියයි. ප‍්‍රශ්න ගොඩක් හිටියි. ‘කොමිට්මන්ට් කොන්ට්‍රෝල්’ කියල එකක් අපේ මුදල් රෙගුලාසියේ තිබුණට කිසිම කෙනෙක් ඒක කරන්නේ නැහැ. සමහර තැන්වල මොකක් ද කොමිට්මන්ට් එක කියල නිර්වචනයක්වත් නැහැ. ඒ නිසා දැන් මෙන්න මේවයි රජය, මුදල් අමාත්‍යාංශය සලකන කොමිට්මන්ට් කියල චක‍්‍රලේඛයක් යන්න වෙනවා ඒක පාලනය කරන්නේ මෙන්න මෙහෙමයි කියල. දැන් ඒ චක‍්‍රලේඛය සකස් කරමින් සිටිනවා. ගිය සුමානෙත් මුදල් ලේකම්තුමත් එක්ක මම මේ ගැන සාකච්ඡා කළා.

දැන් අපි හිතුවොත් අයවැයේ ආදායම් වියදම් කියල වාර්තා කළාට සමහර ගෙවීම් කරලා නැහැ. දැන් මම දැනගත්ත සමහර රජයේ සේවකයන්ගේ ඉන්ක‍්‍රිමන්ට් එකවත් ගෙවල නැහැ. දැන් මේවා ඇරියස්නේ. ඒ නිසා හිඟ අයවැය තුළත් ගෙවීම්වල හිඟයක් යන ගතියක් තියෙනවා. ඒක රජයත් එක්ක ගනුදෙනු කරන පාර්ශ්වයන්ට ප‍්‍රශ්නයක්. ඒ නිසා මේ කොමිට්මන්ට් කොන්ට්‍රෝල් එක දෙවෙනි ප‍්‍රධානම ලක්ෂණය. දැන් මේකත් කාටවත් පුරුදු නැහැ.

ප‍්‍රශ්නය – ඒ චක‍්‍රලේඛය කවද ද නිකුත් වන්නේ?

පිළිතුර – ඒ චක‍්‍රලේඛය 2022 ජනවාරි පළවෙනිදට පෙර නිකුත් කරන්න ඕන. සමහර විට ඊට කලින් මොකක්ද මේ කරන්නේ කියල මේ චක‍්‍රලේඛය සහ වොරන්ට් එක ගැන කියල දෙන්න සිදු වෙයි. මේකට සූදානම් වෙන්න ඕන. මේක තවත් අභියෝගයක්.

එතකොට මේ පරිවර්තනය අයවැයේ කියල තියෙනවා. පරිවර්තනයේ අභියෝගය කියන්නේ පොළවේ සිදුවෙන දේ. ඒක වෙන්න ඕන.

තවත් රටේ තියෙන ප‍්‍රධාන ගැටලූවක් තමයි… දැන් අපි වියදම් වශයෙන් ගත්තොත් වියදම්වල ප‍්‍රධාන එකනේ රජයේ සේවකයන්ගේ වැටුප්. අපි දකින දේ තමයි එහි ගොඩක් විෂමතාවන් තියෙනවා. ගුරු වැටුප් විෂමතාව විසඳලා දැන් පොදුවේ කියන්නේ සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් විසඳීමට කුමක් ද සුදුසු ජාතික වැටුප් ක‍්‍රමය කියන එකට වැටුප් කොමිසමට බලය පවරනවා. ඒ ඉදිරි මාස 6 තුළ සියලූ අංශ සැලකිල්ලට අරගෙන නව වැටුප් ව්‍යුහයක් සකස් කරන්න. මේ අලූත් පරිවර්තනයේදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කොයි විදියට ද සකස් වෙන්නේ කියන එක තවත් පරිවර්තන ක‍්‍රියාවලියක්.

ඊට පසුව තියෙන දෙයක් තමයි රාජ්‍ය සේවකයන් විශාල ප‍්‍රමාණයක් විශ‍්‍රාම යනවා. අද එය 25,000 කට වැඩි ප‍්‍රමාණයක්. මේ විශ‍්‍රාම යාම තුළ රජයේ සේවයේ විෂමතා තුනක් මතු වෙනවා.

එකක් විශ‍්‍රාම ගන්න යන පුද්ගලයන් සංඛ්‍යාව වැඩි නිසා ඒ තනතුරු හිස් වෙනවා. එවිට ඒ තනතුරුවල කාර්යභාරය අඩාල වෙනවා. බඳවා ගැනීමේ පටිපාටි අනුව ඒ තනතුරුවලට බඳවා ගන්න විට හිඩැසක් ඇති වෙනවා. අපේ ජීවිත අපේක්ෂාව වැඩි වෙලා තියෙන නිසා දැන් විශ‍්‍රාම ගන්නා වයස කල් වැඩියි. අනිත් පැත්තෙන් මේ විශ‍්‍රාම ලබන අයට පාරිතෝෂිත දීමනා යනාදිය ගෙවන්න වෙනවා. ඒවාත් හිඟයි. හේතුව විශ‍්‍රාම ගත්තට පසුව තමයි ඒවා හදන්නේ. එතකොට මේ විශාල අත්දැකීම් සහිත පිරිසක් මේ විශ‍්‍රාම යන්නේ.

ප‍්‍රශ්නය – මේ අයවැයෙන් වෙනදා අතනොගපු වියදම් පැත්තකට අතගහල තියෙන ස්වභාවයක් පේනවා. ඒ පිළිබඳ ඔබගේ දැක්ම කෙසේ ද?

පිළිතුර – අර මම කියපු වැටුප් සහ විශ‍්‍රාම වැටුප්වලට අමතරව රජයේ පැවැත්මට නඩත්තුවට තියෙනවා වියදම් රාශියක්. එකක් ඉන්ධන දීමනා. ඒක විශාල වියදමක්. ඒකට අතගහල තියෙනවා. ලීටර් පහක් කියන්නේ ලොකු ප‍්‍රමාණයක් ලීටර් 30 ක්, 35 ක් ලැබෙන නිලධාරියෙකුට. ඒකට අතගහල තියෙනවා. දැන් මන්ත‍්‍රී විශ‍්‍රාම වැටුප වසර 5 කින් ලැබෙන එක වෙනස් කිරීමට දේශපාලන වශයෙන් මුදල් ඇමැතිවරයෙක් කැමැති නැහැ. තමන්ගේ මන්ත‍්‍රීවරුන්ගේ විශ‍්‍රාම වැටුප් අයිතියට අතගහල තියෙනවා. ජනාධිපතිවරයාට පවා විශ‍්‍රාම වැටුපක් ලබාගන්න නම් වසර 10 කරලා තියෙනවා. ඒකත් විශාල පරිවර්තනයක්. ඒක රටට ඉතිරියක්. එය ලොකු විශ‍්‍රාම වැටුප් විෂමතාවක් ඉවත් කිරීමක්. ඒක ඉතාමත් වැදගත් සංශෝධනයක්.

ආයතනවල විදුලිබිල සියයට ප‍්‍රමාණයකින් කපනවා. ඉන් කියන්නේ ඒ වෙනුවට ඇත්තටම පුනර්ජනනීය බලශක්තියට යන්න. හැම රජයේ කාර්යාලයකටම වගේ සූර්ය බලයෙන් විදුලිය ගන්න පුළුවන්. මේ රාජ්‍ය ආයතන හුඟක් වැඩ කරන්නේ දවල්. එතකොට ආයතනය පරිපාලනය කරන අයගේ වගකීමක් වෙනවා විදුලි බිල අඩු කරගැනීම පමණක් නොවෙයි විදුලි බිල් නැති කරගන්නත් ක‍්‍රම හොයන්න වෙනවා.

ප‍්‍රශ්නය – ඉදිරියේ දී රාජ්‍ය ආයතනවලට සූර්ය බලයෙන් විදුලිය ලබාගන්න ක‍්‍රමවේදයකට යනවා?

පිළිතුර – ඒ සඳහා දිරි ගැන්වීමක් කරනවා. එමගින් රාජ්‍ය වියදම් අඩු කර ගැනීමක් ද කරන්න පුළුවන්. ඒක අර ඞීසල් සමග බද්ද වෙනවා. හේතුව අපි මේ විශාල විදේශ විනිමයක් වැය කරලා ආනයනය කරන තෙල්වලින් දුවන බලාගාරවලින් ජනනය කරන විදුලියෙන් අපි මේක කරන්නේ. ඒ නිසා මෙය ඔබ කියපු විදේශ විනිමය අර්බුදයත් ස්ථිරසාර ලෙස විසඳා ගැනීමක් ලෙස තමයි දකින්නේ.

අද තාක්ෂණය දියුණුයි කිව්වට අපේ කාර්යාලවල දුරකථන වියදම් අධිකයි. ඒ වියදම් අඩු කර ගැනීමෙන් ඉතාමත් කාර්යක්ෂම ලෙස තමන්ගේ වියදම් කළමනාකරණය කර ගැනීම. ඒ පිළිබඳ චක‍්‍රලේඛයත් එනවා. එහි අපි මතක් කරනවා පුනර්ජනනීය බලශක්ති වැඩසටහන සඳහා ඉන්දියානු ආධාර ක‍්‍රමය යටතේ ඩොලර් මිලියන 100 ක් ලැබෙනවා ලංකාවේ රාජ්‍ය ආයතනවල පුනර්ජනනීය බලශක්තිය හදා ගන්න. ඒ අතරම සමහර ආයතනවලට පුළුවන් නම් තමන්ගේ ආයතනයේ වියදමින්ම මේ සූර්යබලය හදා ගන්න, එය විශාල ඉතිරියක් වෙනවා.

තවත් පරිවර්තනයක් තමයි රාජ්‍ය ව්‍යාපාර. අපේ රටේ රාජ්‍ය ව්‍යාපාර 350 ක් විතර තියෙනවා, මේ ආයතනවලින් කොටසක් වාණිජමය වශයෙන් කටයුතු කරන ආයතන. ඒවාට රජයේම තියෙන වැඩ තියෙනවා. ඒවාට පුනරාවර්තන වියදම් වෙනුවට වැඩ තමයි දෙන්නේ. ඒ උපයන එකෙන් තමන්ගේ වර්තන වියදම හොයා ගන්න පුළුවන්. ඒ රාජ්‍ය ව්‍යාපාරවලට කියල තියෙන්නේ තමන්ගේ ශේෂ පත‍්‍රය හදාන්න ස්වාධීන විදියට. ඒවා කළමනාකරණය කර ගන්න කියල.

තවත් වැදගත් ලක්ෂණයක් තමයි මුදල් ඇමැතිතුමා යෝජනා කරලා තියෙනවා කාර්යඵල ඇගයීමේ ක‍්‍රමයක්. එය ප‍්‍රතිඵල පදනම් කරගත්ත කළමනාකරණ ක‍්‍රමයක්. ඒ ක‍්‍රමය හදන්න ඇමැතිතුමා දැනටම කණ්ඩායමකට භාර දීල තියෙනවා. රජයේ ව්‍යාපාරයක් නම් එහි අයිතිය ගැන හිතන්නේ නැතුව ලාභ උපදවන තවත් කෙනෙකුට බරක් නැති ක‍්‍රමවේදයකට යන්න කියල. පසුගිය වසර දෙක තුළ ඒ පරිවර්තනය සිද්ධ වෙමින් පවතින බව අපි දකිනවා.

තවත් රටේ තියෙන විශාල වර්තන වියදමක් තමයි සමෘද්ධිය. එය පවුල් ලක්ෂ 20 කට පමණ ලැබෙනවා. ඒ මත යැපෙනව මිසක් ශක්තිමත් ගෘහ ආර්ථිකයක් නිපදවා ගන්න පුළුවන් වෙන විදියක් එතුමා බලනවා. එනම් ජාතික ග‍්‍රාමීය සංවර්ධන ව්‍යාපාරයක් බවට පත් කරන්න. එක සාර්ථක වෙයි කියල මම හිතනවා. ඒ සඳහා ජනවාරි සිටම ප‍්‍රවේශ වීමක් අපේක්ෂිතයි.

ප‍්‍රශ්නය – මේ දිනවල විනිමය අර්බුදය බොහෝ කතාබහට ලක් වෙනවා. අපේ විදෙස් ණය පියවීමේ අභියෝගය ගැනත් කියවෙනවා. මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පැතිය යුතු බවටත් ඇතැම් අය යෝජනා ඉදිරිපත් කරනවා. එහෙත් අපට පේන්නේ රජය විසින් එම අරමුදල වෙත නොයා ණය වගකීම් පියවාගෙන යන්න සැලසුම් කර ඇති බවයි. ඔබ විශ්වාස කරන පරිදි අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයා අපට ලැබෙන විදෙස් විනිමය ලැබීම් මගින් මේ ප‍්‍රශ්නය ජයගන්න පුළුවන් ද?

පිළිතුර – මේ වගේ අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දුන් විට අපි බලන්න ඕන මේ අර්බුදයේ ස්වභාවය. එය මූලික වශයෙන්ම පාස්කු සිද්ධියත් සමග කඩාවැටුණු සංචාරක කර්මාන්තය මුළුමනින්ම ඒ කියන්නේ කෙටිකාලීනව නැගිටින්න බැරි පසුබෑමකට ලක්වීම සිදුවුණා. එසේම කොවිඞ් වසංගතය නිසා අපේ ආර්ථිකය විශාල පසුබෑමකට ලක් වුණා. ඒකෙන් එළියට එන්න ප‍්‍රධානම ආයෝජනය තමයි එන්නත්කරණය. එසේම සමාජය හැකිතාක් දුරට නව සාමාන්‍යකරණය යටතේ සෞඛ්‍ය නීතිරීතිවලට අනුකූලව හසුරුවා ගැනීම. ඒක ලොකු විනයක් රජයේ අයත් ඒ විනයට පුරුදු වෙන්න ඕන. ඒ සමාජ වගකීම හසුරුවා ගන්න බැරි නම් කොපමණ කළත් මේක පාලනය කරගන්න බෑ. මේ තත්ත්වය තුළ අපේ විදේශ ආදායම් හදා ගන්න එක තමයි ප‍්‍රධාන කාරණය. ඒ සඳහා අපනයන වර්ධනය වෙන්න ඕන. ආනයන අඩු වෙන්න ඕන. ඒවාට අවශ්‍ය නිෂ්පාදන රට තුළ ගොඩ නැගෙන්න ඕන. ඩොලර් බිලියන 5 ක් පමණ උපයගන්න පුළුවන් සංචාරක කර්මාන්තය අඩු වශයෙන් ඩොලර් බිලියන දෙකතුනකට ළඟා කරගන්න ඕන. වරාය, ගුවන් තොටුපොළ වගේ සේවාවලින් ආදායම් උපයගන්න ඕන. විදේශ රැකියාවලින් ආදායම් ලබා ගන්න ඕන. එසේම රටට ලබාගත හැකි ආයෝජන තියෙනවා. මේ මාර්ගවලින් තමයි අපි ශක්තිමත් වෙන්න ඕන. කෙටිකාලය ගැන ගැටලූවක් තියෙන්න පුළුවන්. අපි ගාව තියෙන ඒවායින් ඒ සියල්ල කරන්න බෑ. ඒ නිසා තමයි භාණ්ඩ ආනයනය තහනම් කිරීම වගේ දෙයක් එසේම ප‍්‍රමුඛ නොවන ආනයන සීමා කිරීම වගේ දේවල් කළේ.

ප‍්‍රශ්නය – ඔබ සඳහන් කළ ප‍්‍රමුඛතා නොවන කියන මේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සඳහා හිටපු මහ බැංකු අධිපතිතුමා සියයට සියයක් කෑෂ් මාජින් එකක් දැම්මා. අලූත් අධිපතිතුමා ඇවිත් එය සති තුනෙන් ඉවත් කළා. ඒ සමග අපි වෙළෙඳපොළ තුළ, සුපිරි වෙළෙඳසල් තුළ දකිනවා බොහෝ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ එනම් ඇපල්, තැඹිලි පාට දොඩම්, මිදි, චීස් වර්ග, බටර් වර්ග සහ චොකලට් වර්ග එහෙම තියෙනවා. අප සිතනවා මේ විදේශ විනිමය අර්බුදය හමුවේ රටේ තියෙන සීමිත විදේශ විනිමය මේවාට යොදවන්නේ නැතුව තාවකාලිකව සීමා කිරීම හොඳයි කියලා?

පිළිතුර – මුලින් අපි ඒ තහනම් සීමා ඔක්කොම ගෙන ගිහින් එසේ සම්පූර්ණයෙන්ම තහනම් කරගෙන ඉන්න එකෙන් ක‍්‍රමක‍්‍රමයෙන් අපිට අපේ රටේ නිෂ්පාදන පරිභෝජන ක‍්‍රියාවලියට අවශ්‍ය දේවල් ටික ගෙන්වන්න වෙනවා. උදාහරණයක් ලෙස රට තුළ නිපදවෙන්නේ නැති පලතුරු වගේ දේවල්. එහෙම හිතල තමයි අපි ක‍්‍රමයෙන් මේවා ලිහිල් කරන්නේ. වාහන ආනයනයට නම් විශාල මුදලක් යනවා. ඇපල් සහ මිදි වගේ ඒවාට බද්දක් මගින් රජය ආදායමක් ගන්නවා. ඒවා සම්පූර්ණයෙන්ම තහනම් කළ විට බදුත් නැති වෙනවා.

ප‍්‍රශ්නය – ඒවා නැවැත්තුවොත් බදු අහිමි වෙනවා?

පිළිතුර – ඔව් බදුත් නැති වෙනවා. දෙවෙනි එක ඒවා අපි මෙහෙ නිෂ්පාදනය කරන්නේ නැත්නම් ඒවත් තියෙන්න ඕන. ඊළඟ කාරණය සියයට සියයක් තැන්පත් කරලා ආනයනය කරනවා කියන එකෙන් අදහස් වන්නේ නෑනේ විදේශ විනිමය තැන්පත් කරනවා කියල. ඒ ගනුදෙනු ක‍්‍රියාවලිය තුළ සමහර දේවල් ලිහිල් කරන්න වෙනවා. හේතුව අපි බලන්න ඕන අපේ අපනයන කරන දේවල්වලටත් ඒකම වෙන්න පුළුවන් අනිත් රටේ. එතකොට ඒ වෙළෙඳ තුලනයත් පවතින්න ඕන. රටකට අපනයනය කරලා අපට ආනයනය නොකර ඉන්න බැහැ.

ප‍්‍රශ්නය – විදේශ වෙළෙඳාම දෙපැත්තටම සිදුවන ක‍්‍රියාවලියක්. හැබැයි ඕන රටක් පිළිගන්නවා මේ අර්බුදකාරී තත්ත්වය. දැන් පුනර්ජනනීය බලශක්තියට යනවා කියන එක ඉන්ධන අඩු කිරීමට ගන්න පියවරක්. මම කලින් කියාගෙන ආවේ දැන් අපි මේ පාරට හැරෙනවා ද එහෙම නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් මේ ප‍්‍රශ්නය විසඳනවා ද කියන එක ගැන මගේ පුද්ගලික අදහස එම අරමුදල අපේ ණය ගන්නේ නෑනේ. මෙතන තියෙන අර්බුදය තමයි විදේශ රටවලින් ගත්ත ණය ගෙවන එක. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇවිත් අපේ ණය ගන්නේ නෑ ඒගොල්ලත් අපට ණයක් දෙනවා.

පිළිතුර – මූල්‍ය අරමුදලත් යම් මූල්‍ය පහසුකමක් දෙනවා. ඒ දෙන්නේ වසර දෙකකට හරි තුනකට කියල මුදලක් දෙනවා. ඒක කොටස් වශයෙන් බෙදෙන්නේ. ඒ මුදල දීල ඒ අය අහනවා මේ ණය මුදල ඔබල අපිට ගෙවන්නේ කොහොම ද කියල. එකයි පළවෙනි ප‍්‍රශ්නය. හරි ද? එතකොට ඒ අය තව දේවල් කියනව. ඒක ඒ අයගේ පැත්තෙන් හරි ඒ අය දෙන මුදල විශ්වසනීය ලෙස ආපසු අය කර ගැනීමට. ඒ ක‍්‍රියාවලිය තුළ රටක් පාලනය කරන විට තියෙන්නේ ඕන ආර්ථික කළමනාකරණයට නම්‍යතාවක්. මොකද සමහර දේවල් ජනයාට දරාගත හැකි වෙලාවක් තියෙනවා. රජයක් මැදිහත් විය දේවල් තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා පිළිඅරගෙන තියෙනවා මේ කොවිඞ් තත්ත්වය තුළ ලෝකයේ මූල්‍ය ප‍්‍රතිපත්තිවල සහ මූල්‍ය සම්පත්වල ප‍්‍රමාණවත් නැතිකම. ඒ නිසා මූල්‍ය අරමුදල මේ සියල්ලට විසඳුම් කාරකය ලෙස සිතනවාට වඩා මම මේ අයවැය දකින්නේ මුදල් ඇමැති ලෙස ඇමැතිතුමා ආත්ම විශ්වාසයක් ඇති කර ගන්නවා ‘නෑ එතනට යන තැනට අර්බුදයක් නැහැ’ කියලා. හැබැයි එතනට යාම වැළැක්වෙන පරිවර්තනයක් රටේ සිද්ධ විය යුතුයි. මම ඒක තමයි වැඩියෙන්ම අගය කරන්නේ. ඒ සඳහා විදේශ විනිමය ආදායම් මාර්ග වර්ධනය සහ ඊට ඇති බාධා වළක්වා ගත යුතුයි.

සාකච්ඡා කළේ – ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment