මේක පෞද්ගලික හාරා ඇවිස්සීමක් – අනෝමා රාජකරුණා

486

අගමැතිනියක් ඇතුළෙ ජීවත් වූ මවක්, මිත්තනියක් මේ නිර්මාණය හරහා මතුපිටට එනවා….

ලොව ප්‍රථම අගමැතිනිය මෙන්ම මෙරට තෙවරක් අග්‍රාමාත්‍ය ධුරය හොබවන ලද සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ දිගු දිවි ගමන අළලා නිර්මාණය කරන ලද OUR MOTHER, GRAND MOTHER, PRIME MINISTER: SIRIMAVO වාර්තා චිත්‍රපටය ඉදිරියේදී ප්‍රදර්ශනය වීමට නියමිතය. බණ්ඩාරනායක පවුලේ සාමාජිකයන් සහ තවත් සුවිශේෂී චරිත කීපයක් සමග සිදු කළ දීර්ඝ සම්මුඛ සාකච්ඡා, ශ්‍රව්‍ය දෘෂ්‍ය පට, බණ්ඩාරනායක පවුලේ ඡායාරූප එකතුව ඇසුරෙන් මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත. එය අධ්‍යක්‍ෂණය කරනු ලබන්නේ ප්‍රවීණ ලේඛිකාවක් මෙන්ම කාන්තාවන් හා ඔවුන්ගේ දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන්නියක් මෙන්ම සමාජ පර්යේෂිකාවක් වන අනෝමා රාජකරුණා විසින් ය. දීර්ඝ පර්යේෂණ කටයුත්තකින් අනතුරුව නිර්මාණය කරන ලද එම වාර්තා චිත්‍රපටය පිළිබඳ එහි අධ්‍යක්‍ෂිකා අනෝමා රාජකරුණා සමග සිදුකළ සාකච්ඡාවක් පහත පළවේ.

● සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ජීවිතය අළලා මෙවැනි වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කිරීම පිණිස යොමුවන්න බලපාන ලද ආසන්නතම කාරණා මොනවාද?

කාන්තාවන්ගේ දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන්නියක් ලෙස තමයි මම මේ කටයුත්ත සඳහා යොමු වන්නෙ. ලෝකයේ පළමු අගමැතිනිය බිහිකළේ අපේ රට. ඇය තමයි සිරිමාවෝ බණ්ඩාරනායක. ඇගේ අගමැති භූමිකාවෙන් මදක් එපිටට ගිහින් ඇය කෙබඳු කාන්තාවක් ද කියන කාරණය සම්බන්ධව පැති කීපයක් ඔස්සේ කරන ලද දීර්ඝ අධ්‍යයනයකින් අනතුරුව තමයි මා මේ කටයුත්ත සඳහා යොමු වුණේ. ඒ සඳහා ආසන්නතම හේතුව කුමක්ද යනුවෙන් ඔබ විසින් අසන ලද පැනයට තවදුරටත් උත්තර දෙනව නම් සිරිමාවෝ මැතිනියගේ ජන්ම ශත සංවත්සරය යෙදිල තිබුණේ 2016 වසරට. ඒ වෙනුවෙන් සැමරුම් උළෙලක් සංවිධානය කරනව. ඊට සමගාමීව මේ වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න තමයි මට අවශ්‍යවෙලා තිබුණේ. ඒ අරමුණ සහිතව 2015 වසරේ අග භාගයේදී පමණ මම මේ කටයුත්ත සඳහා යොමු වුණා.

● එසේ නම් අප මේ කතාබහ කරන්නෙ අදින් වසර 06ට එපිට කරන ලද නිර්මාණ කටයුත්තක් පිළිබඳවද?

නැහැ. ඒ වනවිට මේ නිර්මාණ කටයුත්ත සම්පූර්ණ කර ගන්න පුළුවන්කමක් ලැබිල තිබුණෙ නැහැ. නමුත් එම වර්ෂයට යෙදී තිබුණ එතුමියගෙ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් මේ වාර්තා චිත්‍රපටයේ පැය භාගයක කොටසක් ප්‍රදර්ශනය කළා. එය දීර්ඝ වාර්තා චිත්‍රපටයක එක කොටසක් පමණයි. මොකද මේ වගේ දිග පළල චරිතයක් පිළිබඳ වාර්තා චිත්‍රපටයක් සැකසීමේදී සංස්කරණය කියන කටයුත්තට විශාල කාලයක් වැය වෙනව. මැතිනිය සම්බන්ධව කරන ලද මේ චිත්‍රපටය ගත්විට පැය 40ක 50ක කාලයක් රූපගත කරන ලද කොටස් විශාල ප්‍රමාණයක් පැය 1 1/2ට අඩුකර ගැනීමේ ක්‍රියාවලිය තමයි සංස්කරණය කියන්නෙ. මා සමග නිතර වැඩ කරන දක්‍ෂ සංස්කරණ ශිල්පියෙක් වන සමන් ඇල්විටිගල ඒ කටයුත්ත සාර්ථකව නිම කළා. අන්න ඒ දීර්ඝ සංස්කරණ කටයුත්තෙන් පසුව තමයි එළඹෙන වසර මුල OUR MOTHER, GRAND MOTHER, PRIME MINISTER: SIRIMAVO නමින් නම් කර තිබෙන මේ වාර්තා චිත්‍රපටය නරඹන්න ජනතාවට අවස්ථාව ලැබෙන්නෙ.

මේක පෞද්ගලික හාරා ඇවිස්සීමක් - අනෝමා රාජකරුණා

● ඔබ ඉහත සඳහන් කළ ආකාරයට මෙම නිර්මාණයෙන් කොටසක් මීට පෙර ප්‍රදර්ශනය කර තිබෙනව. එම සුවිශේෂී අවස්ථාව නියෝජනය කළේ මොන වගේ පිරිසක් ද?

බණ්ඩාරනායක පවුලේ සාමාජිකයන් ඇතුළු දහසකට අධික පිරිසක් ඒ සඳහා සහභාගි වුණා. එතනදිත් අපි විසින් සඳහන් කර සිටිය මෙය දීර්ඝ වාර්තා චිත්‍රපටයක එක කොටසක් පමණයි කියල. ඉන් පසුව එදා චිත්‍රපටය නැරඹූ පිරිස තුළත් ලොකු උනන්දුවක් ඇතිවෙන්න ගත්ත මේ සම්පූර්ණ චිත්‍රපටය නරඹන්න. නිතර නිතර ඒ අය මගෙන් විමසන්න ගත්ත. විශේෂයෙන්ම චන්ද්‍රිකා මැතිනිය පවා මේ පිළිබඳව වරින් වර මගෙන් ඒ පිළිබඳව විමසා සිටිය.

● වසර කීපයක් පුරා ගත් වෙහෙසකර වෑයමක ප්‍රතිඵලයක් ලෙස එළියට එන වාර්තා චිත්‍රපටයක් ලෙස ඒ සඳහා ගත් වෙහෙස මොන වගේද?

එතනදි ප්‍රේක්‍ෂකාගාරයට අසාධාරණයක් නොවන්න ංම නිතරම වගබලා ගත්ත. අපි හුඟක් වෙලාවට රාජ්‍ය නායකයෙක් පිළිබඳ මේ වගේ වැඩක් කරද්දි ස්වයං වාරණයක් සහිතව තමයි බොහෝ දෙනෙක් ඒ සඳහා යොමුවෙන්නෙ. ඊට හේතුව තමයි තමන් විසින් කරන නිර්මාණ කටයුත්ත තුළ ඇයට හෝ ඔහුට යම් අසාධාරණයක් වෙයිද යනුවෙන් නිර්මාණකරුවා තුළ හට ගන්නා සැකය. නමුත් රාජ්‍ය නායකයෙක් හෝ නායිකාවක් කියන්නෙත් මනුෂ්‍යයෙක්. හැකිතාක් දුරට ස්වයං වාරණයන්ගෙන් මිදිල අන්න ඒ මනුෂ්‍ය ජීවිතය විවරණය කරන්න පුළුවන් නම් ඒක තමයි සාර්ථක නිර්මාණයක් ලෙසින් මතුපිටට පැමිණෙන්නෙ. සිරිමාවෝ මැතිනිය සම්බන්ධයෙන් කතා කළොත් ඇය ශක්තිමත් පෞරුෂයක් සහිත අගමැතිනියක් ලෙස අපට ප්‍රක්ෂේපනය වෙන්නෙ එතනදියි. එතකොට මට අවශ්‍ය වුණා කාන්තාවක් ලෙස ඇය පිරිමි ලෝකයක් තුළ රාජ්‍ය නායිකාව වෙන්නේ කොහොමද? ඒක භාර ගත්තෙ කොහොමද කියන කාරණා ගැන ගැඹුරින් සිතා බලන්න. ඒ වගේම ඇයගේ පෞද්ගලික ජීවිතය ඇතුළෙ කාටවත් නොකියන ලද වේදනාවක්, පසුතැවීමක් තිබුණ ද යම් තැනකදි ඇයටත් වෙනත් කාන්තාවට මෙන් වැරදීමක් වුණාද ඒ වගේම ජයග්‍රහණය කරන්න බැරි දේවල් තිබුණද අගමැතිනිය ලෙස කටයුතු කරද්දි අම්ම කෙනෙක් ලෙස තමන්ගෙ දරුවන්ගෙන් දුරස් වුණාද ආදී කරුණු පිළිබඳවත් පෞද්ගලික හාරා ඇවිස්සීමක් කරන්නත් මට සිද්ධ වුණා. මොකද මෙතෙක් කලක් ඒ පිළිබඳව කතා කිරීමේදී යම් අඩුවක් මම දැක්ක. ඒකට හේතුව තමයි රටක් ලෙස අපේ විවෘතභාවයේ පවතින සීමාසහිත බව. මේ නිර්මාණය හරහා සියයට සීයයක් නොවූවත් ඒ පැතිකඩවල් පුළුවන් තරම් විවෘත කරන්න මම යම් උත්සාහයක් ගත්ත. එය සාර්ථක කර ගැනීම පිණිස දීර්ඝ කාලයක් සහ වෙහෙසක් දරන්න සිදුවුණා.

● ඒ සඳහා බණ්ඩාරනායක පවුලෙන් ලැබුණ සහයෝගය මොන වගේද?

පවුලේ ඡායාරූප එකතුව ලබා දීම මගින් සහ තවත් අංශ කීපයකින්ම ඔවුන්ගේ සහයෝගය හිමි වුණා. විශේෂයෙන්ම පවුලේ සාමාජිකයන් සමග සිදු කළ සාකච්ඡා මගින් බොහෝ දේ අනාවරණය කරගත්ත. මම කලින් සඳහන් කළ ආකාරයට පැය හතළිහකට පනහකට ආසන්න කාලයක් ඔවුන් සමග වරින් වර සාකච්ඡා කරන්න සිද්ධ වුණා. ඒ අයගෙ මතකය යළි යළි අවදි කිරීම තුළ තමයි මේ වාර්තා චිත්‍රපටයේ සාර්ථකත්වය රඳා පැවතීම තීරණය වන්නෙ. එතනදි මට සිද්ධවුණා මැතිනියගෙ දියණියන් දෙදෙනා වන චන්ද්‍රිකා මැතිනිය හා සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය කියන දෙදෙනා සමග කතා කරමින් ඔවුන්ගේ අම්මා පිළිබඳ මතකයන් මතුපිටට ගන්න. ඒ වගේම ඔවුන් දෙදෙනා සමග වෙන් වෙන්ව මැතිනිය පිළිබඳ කතා කරන්න. විශේෂයෙන් විමුක්ති සහ යශෝදරා කියන මැතිනියගෙ මුණුපුරා සහ මිණිපිරිය සමග ඔවුන්ගේ මිත්තනිය පිළිබඳව කතා කරන්න. එතනදි විමුක්ති සහ යශෝදරා චිත්‍රපටයකට අදාළව මුල් වරට තමයි එවැනි සම්මුඛ සාකච්ඡා ලබා දෙන්නෙ. එයත් විශේෂත්වයක්. විමුක්ති සමග කරන ලද පළමු සම්මුඛ සාකච්ඡාව සිද්ධ කළේ එංගලන්තයෙදි. මෙන්න මේ කාරණා හරහා සිරිමාවෝ මැතිනිය කියන්නෙ තමන්ගෙ ගෙදර බිත්ති හතර මැද්දෙ මොනවගේ අම්මා කෙනෙක්ද මොන වගේ මිත්තනියන් කෙනෙක්ද කියන එක පිළිබඳව හොඳින් කතාබහ කරගන්න පුළුවන් වෙනව.

● බණ්ඩාරනායක පවුල හැරුණකොට මෙම සුවිශේෂී නිර්මාණ කටයුත්ත සාර්ථක කර ගැනීම පිණිස අවධානය යොමු කළ වෙනත් ක්‍ෂේත්‍රයන් මොනවද?

ඒ පිළිබඳව කතා කිරීමට පෙර තවත් සුවිශේෂී පුද්ගලයන් දෙදෙනෙක් පිළිබඳ සඳහන් කළ යුතුයි. මැතිනිය තුන් වරක් මෙරට අගමැති තනතුර හොබවන ලද කාන්තාවක් ලෙස ඇය එම භූමිකාවට පණ දුන්නෙ කොහොමද කියන කාරණය පිළිබඳව ප්‍රමාණවත් හැදෑරීමක් කරන්න මට සිද්ධ වුණා. එතනදි එතුමිය සමග ඉතා සමීපව වැඩ කළ පරිපාලන නිලධාරීන් දෙදෙනෙක් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඉන් එක් අයෙක් තමයි 1971 වසර වන විට මැතිනිය සමග ළඟින්ම වැඩ කළ නිහාල් ජයවික්‍රම මහත්මය. ඊළඟට අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ස්ථිර ලේකම් ධර්මසිරි පීරිස් මහත්මය. ඔවුන් දෙදෙනා සතුව මැතිනිය සම්බන්ධයෙන් පවතින රාජකාරි මතකයන් පිළිබඳවත් මේ චිත්‍රපටය තුළ කතාබහ වෙනව. ඊට අමතරව අවධානය යොමු කළ වෙනත් ක්‍ෂේත්‍රයන් විශාල ප්‍රමාණයක් පවතිනව. මොකද මේ වගේ වාර්තා චිත්‍රපටයක් සඳහා ඉතිහාසය කියන සාධකය බොහෝ සෙයින් වැදගත් වෙනව. නමුත් ඒ සඳහා අවශ්‍ය ශ්‍රව්‍ය දෘෂ්‍ය පට ටිකවත් අපේ රටේ හොයා ගන්න එක හරිම අමාරු කටයුත්තක් බවට පත් වුණා. මට මතකයි මැතිනියගෙ සමහර හඬපට සොයා ගන්න ලොකු උත්සාහයක් ගන්න සිද්ධ වූ අවස්ථා තිබුණ. ඒ විතරක් නොවෙයි සමහර ඡායාරූප තිබුණ පුවත්පතක පළ කරන්න පුළුවන්. නමුත් පුළුල් තිරයකට ඒව ගන්නකොට පැවතිය යුතු තත්ත්වයේ ඒවා තිබුණෙ නැහැ. විශාල පින්තූර එකතුවක් තිබුණත් ඒව චිත්‍රපටයක් සඳහා නැවත පාවිච්චි කරන්න පුළුවන්ද කියන ගැටලුව අපට තිබුණ. විශේෂයෙන් මම ඉහත විස්තර කළ සම්මුඛ සාකච්ඡාවලින් හෙළිදරව් වූ කරුණු තහවුරු කිරීමේදී ඊට අදාළ හඬපට සහ දෘෂ්‍ය පට සොයා ගැනීම මහත් අසීරු කටයුත්තක් බවට පත් වූ අවස්ථා ගණනාවක් පැවතුන. ඔය ආදී වශයෙන් හඬපට දෘෂ්‍ය පට, ප්‍රවෘත්ති, වාර්තා චිත්‍රපට ඒ වගේම විශාල වශයෙන් ඡායාරූප මේ නිර්මාණ කටයුත්ත වඩාත් සාර්ථක කර ගැනීම පිණිස භාවිතා කළා.

● ඔබ යම් චෝදනාත්මක ස්වරයකින් තමයි ඉහත පැනයට පිළිතුරු ලබා දුන්නෙ. ඉන් ගම්‍ය වෙන්නෙ අපේ රටේ නිසි සංරක්‍ෂණ ක්‍රමවේදයක් නැහැ කියන දෙයද?

අපට හරි හමන් සංරක්‍ෂණ වැඩපිළිවෙළක් නැහැ. සංරක්‍ෂණාගාරයක් නැහැ. දැන් අපි මේ කතා කරන වාර්තා චිත්‍රපටය නිර්මාණය කරද්දිත් ඒ බව හොඳින්ම අවබෝධ වුණා. අපි තාමත් කතා කරන්නෙ සංරක්‍ෂණය කරන්න උත්සාහ කරන්නෙ ගල් කණු ගැන. ඡායාරූපයක් වෙන්න පුළුවන්. වාර්තා චිත්‍රපටයක් වෙන්න පුළුවන් සමහර වෙලාවට ප්‍රවෘත්තියක් වෙන්නත් පුළුවන් මේ හැම දේකම කාලීන වටිනාකමක් පවතිනව. ඒවත් ඉතිහාසයට අයත් වෙනව. නමුත් අපි තාමත් කතා කරන්නෙ වසර දහස් ගණනක් පැරණි ඉතිහාසයක් ගැන පමණයි. නමුත් අදින් වසර පනහකට හැටකට එපිට අපේ ඉතිහාසය කෝ. ඒ ගැන කතා කරන්නෙත් නැහැ. ඒ ඉතිහාසය අතුරුදන්. එහෙමත් නැත්නම් සංරක්ෂණයක් නැතිකමින් විනාශයට පත්වෙලා. ඒ හැරුණු කොට රටින් පිට වෙනත් තැනක සංරක්ෂණාගාරයක ඉතුරුවෙලා තිබෙන දෙයක් හැරුණු කොට අපේ කියල පෙන්වන්න පුළුවන් මෑතකාලීන ඉතිහාසයක් අපට දැන් නැහැ. ලෝකයේ පළමු අගමැතිනිය බිහි කළ රට ලෙස එතුමිය සම්බන්ධයෙන් වාර්තා චිත්‍රපටයක් සකස් කිරීමට තරම් ප්‍රමාණවත් සංරක්‍ෂිත දර්ශන, ඡායාරූප, හඬපට සොයා ගන්න ගත්ත වෙහෙස ඊට උදාහරණයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්.

● මෙම වාර්තා චිත්‍රපටය මගින් සිරිමාවෝ බණ්ඩාරනායක චරිතයට සාධාරණයක් ඉටු වූ බවට ඔබ තුළ විශ්වාසයක් පවතිනවද?

මගේ පර්යේෂණ කාලය තුළ මා විසින් සොයා ගත් දෙය සහ වෙනත් පිරිසක් ලවා මැතිනිය සම්බන්ධව කියවා ගැනීම තුළ මා විසින් සාර්ථක නිර්මාණයක් කළා යැයි කියන විශ්වාසය මා තුළ පවතිනව. මා විසින් කරන ලද අධ්‍යයනයකට අනුව වෙනත් පිරිසක් ලවා හඬ කවල කරන නිර්මාණයක් හා මේ නිර්මාණය අතර පවතින වෙනස තුළම ඒ බව ඔප්පු වෙනව. එය තීරණය කිරීමේ අයිතිය මා විසින් ප්‍රේක්‍ෂකාගාරයට භාර කරනව. ඒත් එක්කම මේ සඳහා කැමරාවෙන් සහය වූ කුලරුවන් ගමගේ, සමන්ත දසනායක, සංජය දළුගොඩ කියන කැමරා ශිල්පීන්ට ඒ වගේම සංගීතයෙන් හා ශබ්ද සංකලනය සිදුකරමින් මේ නිර්මාණය සාර්ථක කර ගන්න දායකත්වය දුන් චින්තක ජයකොඩි, සංස්කරණ කටයුත්ත ඉතා ඉහළින් සිදුකළ සමන් ඇල්විටිගල සහ හඬ පටිගත කිරීමෙන් සහය දුන් අරුණ සංජය හා කැරොලිනා මොරිකෝන් බොහොම ආදරයෙන් මේ වෙලාවෙ මතක් කර සිටිනව.

රුවන් ජයවර්ධන

මේක පෞද්ගලික හාරා ඇවිස්සීමක් - අනෝමා රාජකරුණා
advertistmentadvertistment
advertistmentadvertistment