මේ අයටත් සිරගෙවල් ඇරිය යුතුය

507

තවත් ජාත්‍යන්තර කම්කරු දිනයක් අප අභිමුවේ ඇත. ඒ අනුව ලබන මැයි මස 1 වැනිදා අප රට ද ඊට සමගාමීව ජාත්‍යන්තර කම්කරු දිනය සමරන්නේය. එළැඹෙන කම්කරු දිනයේදී සාමාන්‍ය වැරදිවලට සිරදඬුවම් විඳ ඇති සිරකරුවන් සඳහා සිර සහන කාලයක් ලබා දෙන්නැයි අන්තර්ජාතික මහද්වීපික මානව හිමිකම් කොමිසම, ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

මෙම සහනය ලබාදීමේදී ස්ත්‍රී දූෂකයන්, ළමා අපචාර සිද්ධීන්වලට සම්බන්ධ අය, මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම බරපතළ ගණයේ අපරාධවලට සම්බන්ධ සිරකරුවන්ට අදාළ සහනය ලබා නොදෙන ලෙස ද මෙම කොමිසම අවධාරණය කර තිබේ. ඔවුන් ඉල්ලා සිටිනු ලබන්නේ සාමාන්‍ය වැරදිවලට සම්බන්ධ අයට අදාළ සහනය ලබාදෙන ලෙසයි. එය අතිශය සාධාරණ ඉල්ලීමකි.

දැනටමත් සිරගෙවල්වල ඇත්තේ දැඩි තදබදයකි. අප රටේ පවතින සිරගෙවල්වල ප්‍රමාණය ඉක්මවා සිරකරුවන් දැමීම නිසා විවිධ ප්‍රශ්න මතුවී තිබේ. මෙම සිරකරුවන් අතර සුළු දඩ මුදල් ගෙවාගත නොහැකි අය මෙන්ම සුළු වැරදිවලට දඬුවම් ලබා ඇප ලබාදීමට කෙනෙක් නොමැති නිසා දඬුවම් විඳින අය ද වෙති. සිරකරුවන්ට යම් සහනයක් ලබාදීමේදී මෙම පිරිස් ගැන වැඩි අවධානයක් යොමුවිය යුතුය.

යම් පුද්ගලයකු වරදක් සිදුකළ විට ඊට අනිවාර්යයෙන්ම දඬුවම් ලබාදිය යුතුය. එහෙත් දඬුවමේ අවසන් පරමාර්ථය විය යුත්තේ වරදක් කළ පුද්ගලයා නිවැරදිව යළි සමාජගත කිරීමේ අවශ්‍යතාවයි. නමුත් අප රටේ බලධාරීන් ඒ ගැන කොතෙක් අවධානය යොමු කර ඇති ප්‍රමාණය පිළිබඳ සෑහීමකට පත්විය නොහැක. ඇතැම් අවස්ථාවන්හිදී වැරදි කළ පුද්ගලයන් යළි යළිත් සිරගත වන්නේ මෙම තත්ත්වය නිසාවෙනි. අප රටක් ලෙස සිරකරුවන්ගේ ප්‍රශ්නය දෙස මානුෂිකව බලන්නේ නම් දිනෙන් දින සිරගෙවල්වල තදබදය වැඩිවිය නොහැක. සිදුවිය යුත්තේ සිරගෙවල් දිනෙන් දින වැසීමය.

යමකු සිරගත වන්නේ යම්කිසි වැරැද්දකට චූදිතයකු වීම නිසාවෙනි. එහෙත් අප රටේ චූදිතයන් නොවී වැරදි කරන පුද්ගලයෝ අනන්තවත් වෙති. එහි පළමු තැන හිමිවනුයේ අප රටේ දේශපාලනඥයන්ටය. අද අප රට හිඟන රටක් බවට පත්ව ඇත්තේ දේශපාලනඥයන් නිසාය. ඔවූහු අප රටේ දේපළ, සම්පත් කොල්ලකෑහ. රටට ලැබෙන විදෙස් ව්‍යාපෘතිවලින් කොමිස් ගැසූහ. ගමේ හදන පාලමෙන්, බෝක්කුවෙන් පවා ගසාකෑහ. තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් මහජනතාවට හිමිවිය යතු බොහෝ දේ මොවුහු අහිමි කළහ. වැරදි කරන අයට දඬුවම් දෙනවා නම් මේ අය ද සිටිය යුත්තේ සිරගෙවල්වලය. මහජනතාවගේ දේපළ මහ දවල් කොල්ලකන මෙම අයට දඬුවම් ලබාදෙන බවට පොරොන්දු දෙන්නේ දේශපාලන වේදිකාවල පමණි. සත්‍ය වශයෙන්ම අප රටේ භයානකම අපරාධකරුවන් සිටින්නේ සිරගෙවල්වල නොව ඉන් මෙපිටය. අප රට කවදා හෝ නිසි පීල්ලට ගැනීමට නම් දේශපාලනයට මුවාවී අප රට කොල්ලකන හොරු රැළට අනිවාර්යයෙන්ම දඬුවම් ලබාදිය යුතුය.

මේ දිනවල පාස්කු ප්‍රහාරය පිළිබඳව සමාජයේ යළි කතාබහක් ඇතිවී තිබේ. ඊට හේතු වී ඇත්තේ පසුගිය 21 වැනිදාට පාස්කු ප්‍රහාරයට අවුරුදු පහක් පිරීම නිසාවෙනි. පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් අල්ලන බවටත් ඔවුන්ට දඬුවම් ලබාදෙන බවටත් දේශපාලන වේදිකාවල කෑමොර දුන් අය අද නිහඬය. මිනිසුන්ගේ දුක් කඳුළුවලින් බලය ලබාගත් පිරිස අද සිටිනුයේ අඳ ගොළු බිහිරන් සේය. පාස්කු ප්‍රහාරයේ සැබෑ චූදිතයන්ට දඬුවම් ලබාදෙන තුරු කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් පියතුමා ප්‍රමුඛ කතෝලික ජනතාව අදටත් බලා සිටිති. නමුත් අදාළ චූදිතයන් නිදැල්ලේය. එම තත්ත්වය හමුවේ ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍ය බව අලුතින් නැඟෙන හඬකි. පාස්කු ප්‍රහාරයේ චූදිතයන් සොයා දඬුවම් ලබාදීමට පසුගිය අවුරුදු පහක කාලය හොඳටම ප්‍රමාණවත්ය. නමුත් එවැන්නක් සිදුවූයේ නැත. එසේ වූවානම් අප රටේ ප්‍රශ්නයකට විසඳුම් සොයා ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඉල්ලීමට අදාළ පාර්ශ්වයන්ට සිදුවන්නේ නැත.

අප රටේ සිදුවන ආර්ථික ඝාතන ඇතුළු අපරාධවලට දේශපාලනඥයන් පමණක් නොව ඊට අනුබල දෙන නිලධාරීන් ද වගකිව යුතුය. ඊට හොඳම නිදසුන අප රටේ සිදුවන ඖෂධ මාෆියාවයි. අප රටට බාල බෙහෙත් ගෙන්වීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා පමණක් නොව නිලධාරීන් ද මේ වන විට සිටිනුයේ සිරගතවය. සිවිල් ක්‍රියාකාරීන් පිරිසකගේ කැපවීම නොවන්නට අදටත් මෙම ජාවාරම යටගැසීමට ඉඩ තිබුණි. සුළු වැරදිවලට දඬුවම් ලබා සිරගතව සිටින චූදිතයන් පමණක් නොව මහා පරිමාණයෙන් රටේ සම්පත් දේපළ කොල්ලකන සියලු පාර්ශ්වවලට නඩු පවරා සිරගත කළ යුතුය. ඔවුන් සිරගත කිරීමට බන්ධනාගාර රෝහල් නොව තව සිරගෙවල් කීපයක් ඉදි කළ ද වරදක් නැත.

advertistmentadvertistment
advertistmentadvertistment