මේ අය පාරට වැටුණොත් ලැබෙන ඩොලර් ටිකත් ඉවරයි!

123

රජයේ රැකියාවලට වඩා අපේ රැකියාව සුරක්‍ෂිතයි, ඒත් ගාමන්ට් වෙහැන කතා ඇහෙනකොට බය හිතෙනවා…

මේ අර්බුදයෙන් ගොඩ එන්න සියලු පුරවැසියන් එකා වගේ යුතුකම් ඉටු කරන්නෙ නෑ…

ආර්ථික අර්බුදය නමැති ගින්න මේ රට දවාලමින් තිබේ. මොහොතින්, මොහොත එම ගින්න බිහිසුණු අතට හැරෙමින් පවතින බවද සැබෑය. මේ වන විටත් මෙරට කර්මාන්ත බොහොමයක් එම ගින්නෙන් දැවී අළු වී හමාරය. බේකරි, මස් බිත්තර ඇතුළු සුළු, මධ්‍ය පරිමාණ දේශීය කර්මාන්ත 70% ට වැඩි සංඛ්‍යාවක් වැසී ගොස් අවසානය. තවත් කර්මාන්ත පණ යදිමින් තිබේ. එම කර්මාන්තවලින් යැපුණ පවුල් ලක්‍ෂ ගණනකට ආදායම් මාර්ග අහිමි වී ඇත. එවැනි ඛේදජනක පසුබිමක මෙරට වැඩ කරන ජනතාවගෙන් 15% ක් පමණ රැකියා කරන ඇඟලුම් කර්මාන්තයටත් රතු එළි දැල්වෙමින් තිබෙන බව වාර්තා වේ.

භාණ්ඩ හා සේවා මිල අධික ලෙස ඉහළ යෑමත් සමඟ නිෂ්පාදන වියදම වැඩිවීම නිසා මෙරට ඇඟලුම් කර්මාන්ත පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව වාර්තා වේ. එහෙයින් මෙරට ඇඟලුම් කර්මාන්ත ක්‍ෂේත්‍රයේ 30% ට වැඩි ප්‍රමාණයක් බංගලාදේශය, ඉන්දියාව ඇතුළු විදේශීය රටවලට රැගෙන යෑමේ සූදානමක් පවතින බව ද වාර්තා වේ. පවතින ආර්ථික අර්බුදය තව, තවත් උත්සන්න වී ඇඟලුම් කර්මාන්තයත් මෙරටට අහිමි වී ගියොත් කුමක් වේද? ඒ ගැන විමසා බැලීමට ඇඟලුම් කර්මාන්තශාලාවල රැකියා කරන සේවක, සේවිකාවන් අතරට අපි ගියෙමු. මේ ඔවුන් කියන කතාය.

“පවතින අර්බුදය තුළ හෙට ගැන කිසිම විශ්වාසයක් නෑ. අපේ ජීවිත ගැන හරිම දුකයි. මට තවම අවුරුදු විසිහතරයි. මේ තමයි අපේ හොඳම කාලය. ඒත් මේ ආර්ථික ක්‍රමය තුළ අපේ සිහින සැබෑ කරගන්න හරිම අසීරුයි. මේ සිහින දකින්නවත් හොඳ කාලයක් නෙමෙයි. අපිට තියෙන එකම පිහිට මේ රස්සාව විතරයි. ඒ නිසා රක්‍ෂාව ආරක්‍ෂා කරගෙන ජීවත් වෙනවා හැර වෙන දේවල් ගැන හිතන්නෙ නෑ. ඒ වගේම ඇඟලුම් ආයතනවලට හිඟයකින් තොරව ඉන්ධන ටික ලැබෙනවා. රජයෙන් උපරිම සහයෝගය ලබාදෙනවා. මොන විදිහේ කටකතා පැතිරුණත් අපේ රටේ ඇඟලුම් කර්මාන්තය සුරක්‍ෂිතයි. ඒක අපිට විශ්වාසයි…” ඒ වචනවල තිබෙන විශ්වාසනීයත්වය සිනහවෙන් විකසිත වූ ඇයගේ මුහුණෙන් ද අපි දුටිමු. ඇය චලනි මධුෂිකාය. උසස් පෙළ විභාගයෙන් ඒ 1 යි. බී දෙකක් ලබාගෙන සමත් වී සිටින ඇය දක්‍ෂ තරුණියකි. නුපුහුණු සේවිකාවක් ලෙස වතුපිටිවල බැන්ඩික්ස් ආයතනයට සම්බන්ධ වී වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ වැඩ පරීක්‍ෂකවරියක් බවට පත් වී සිටින්නීය. එමෙන්ම රෝගී මව සහ වියපත් ආච්චි අම්මාව සහ එකම සහෝදරයාව ජීවත් කරනුයේ ද චලනිය.

“අභියෝගවලට මුහුණදීමට මම කැමැතියි. මම මෙතැනින් නතර වෙන්නෙත් නෑ. මේ ආයතනය තුළ යන්න පුළුවන් ඉහළටම යනවා. දක්‍ෂ ළමයින්ට ගාමන්ට් පීල්ඩ් එක ඉනිමඟක්. ඒ එඩිබල හඬ මගේ සිතේ දැනුදු දෝංකාර දෙන්නේය. අපේ රටට ඇවැසි එවැනි දිරිය දියණියන්ය. වතුපිටිවල බැන්ඩික්ස් ඇඟලුම් ආයතනයේදී අප සමඟ කතාබහ කළ ඉනෝකා උදයාංගනී ද දිරිය මවකි. සැමියාගේ රැකවරණය නොමැතිව දියණියන් තිදෙනෙක් සහ මවක් ජීවත් කරවන දිරිය කාන්තාවකි. වයස අවුරුදු හතළිස් හතරක් වන ඇය බැන්ඩික්ස් ආයතනයේ රැකියාවට සම්බන්ධ වී මේ වන විට වසර පහකි.

මේ අය පාරට වැටුණොත් ලැබෙන ඩොලර් ටිකත් ඉවරයි!

“අපේ ගම අයි.ඩී.එව්. මේ ආයතනයේ රැකියාවට ආවට පස්සෙ මෙහෙන් කුලියට ගෙයක් අරගෙන ජීවත් වෙනවා. කොළඹට වඩා ගමේ වියදම අඩුයි. ඒත් දැන් නම් වියදම එකට එකක් වැඩි වෙලා. ගෙදරට අවශ්‍ය බඩු ටික අරගෙන දරුවන්ගේ පන්තිවලට ගෙව්වම පඩිය ඉවරයි. ඒ නිසා දැන් අපි ගමන් බිමන් විශේෂ වැඩ කිසිම දෙයක් පටලවා ගන්නේ නැතිව පිරිස්සමට ජීවත් වෙනවා. එහෙම හරි ජීවත් වෙන්නේ අපේ ආයතනයට පින්සිද්ධ වෙන්න. පැතිරෙන කටකතාවල හැටියට ඇඟලුම් කර්මාන්තයත් වැහිලා ගියොත් රටට වෙන දේ හිතා ගන්නවත් බෑ. ඒත් මේ රටේ ගාමන්ට් වැහෙන්නේ නෑ කියලා අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. අපේ රැකියා සුරක්‍ෂිතයි. කාලා බීලා ජීවත් වෙන්න ලැබෙයි කියන විශ්වාසය තියෙනවා…” දිරිය කාන්තාවක් වන ඉනෝකා තම රැකියාවේ සුරක්‍ෂිතතාවය ගැන එසේ විශ්වාසයෙන් යුක්තව කතා කරන විට අගලවත්ත, පිඹුර බොඩිලයින් ඇඟලුම් ආයතනයේ තරුණ සේවකයෙක් ද පෙළගැසෙන කතාවට මෙසේ ප්‍රවිෂ්ට විය.

“ගාමන්ට් වැහුණොත් අපට වෙන්නේ සාගින්නෙන් මැරෙන්න. ජොබ් එකක් කරලත් කාලා ඇඳලා ජීවත් වෙන්න ලැබෙන පඩිය ප්‍රමාණවත් නෑ. ඒ තරමට ජීවන වියදම වැඩියි. රුපියල් පන්දාහකින් සතියකට කන්න බඩු ටිකක් ගන්න බෑ. ඉස්සර අපි මාසෙ පඩියෙන් කාලා, ඇදලා, දරුවන්ට උගන්වලා කීයක් හරි ඉතුරුත් කරගත්තා. දැන් නම් ඉතුරු කිරීම් ගැන හිතන්නවත් බෑ…” හේ අසංකය. ගම පිඹුරය. වයස අවුරුදු තිස්අටකි. දෙදරු පියෙක් වන ඔහු පිඹුර බොඩිලයින් ආයතනයේ රැකියාව කරන්න පටන්ගෙන වසර එකොළහකි. අසංකගේ බිරිඳ ද එම ආයතනයේම රැකියාව කරන්නීය. සරල දිවි පෙවෙතක් ගත කරන අසංකගේ වැඩිමහල් දරුවා අගලවත්ත ප්‍රසිද්ධ පාසලක දෙවැනි වසර පන්තියේ ඉගෙනුම ලබන්නේය. දෙවැනි දරුවා පෙර පාසල් අධ්‍යාපනය ලබන්නේය.

“අපි දෙන්නම මාසෙකට හොඳ පඩියක් ගන්නවා. ඒ හැර අපිට වෙනත් ආදායම් මාර්ග නෑ. තේ ඉඩම්, වී කුඹුරු නෑ. ඒත් ලැබෙන පඩියෙන් අපි හත්දෙනෙක් ජීවත් වෙනවා. අම්මයි, තාත්තයි ඉන්නවා. නංගි තවම කසාද බැඳලා නෑ. අපි සියලු දෙනා හොඳට කාලා බීලා සතුටින් ජීවත් වුණා. ඒත් දැන් අමාරුයි. මේ අවුරුද්දට දෙපාරකට පඩි වැඩි කරලත් ජීවත් වෙන්න මදි. දැන් කාලෙකින් දරුවො දෙන්නට කිරි පිටි උගුරක් දුන්නේ නෑ. කොහොමහරි ගන්න පුළුවන්කම තිබුණත් වෙළෙඳපොළේ කිරි පිටි නෑ. දැන් නම් කිරි පිටි ඕනෙත් නෑ. දරුවො තේ කහටවලට හුරු වෙලා ඉන්නේ. ඒ වගේම අපි ගොඩක්ම වියදම් අඩු කරගෙන පරිස්සමට ජීවත් වෙනවා. රස්සාව ගැන අපිට බයක් නෑ. මේ වගේ ආයතනයක් කිසිම දවසක වැටෙන්නේ නෑ. රටට ඩොලර් උපයන මෙවැනි ආයතනයක රැකියාව කිරීමට ලැබීම ගැන දැන් අපි සතුටු වෙනවා…” ආත්ම තෘප්තියෙන් යුක්තව තම රැකියාව ගැන අසංක වර්ණනා කරන විට තවත් සේවිකාවක් ඒ කතාවට මෙසේ අඩු, වැඩි එකතු කළාය. ඇය අනෝමා හර්ෂණීය. බදුරලිය මාරගහදෙණිය ප්‍රදේශයේ ජීවත්වන ඇය විවාහකය. එක්දරු මවකි. වයස අවුරුදු තිස්දෙකකි. තම සැමියා ද ඉංගිරිය ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවය කරන බව ඇය අපට කීවාය.

“මම මේ රැකියාවට ආවේ මෑතක. ආර්ථික ප්‍රශ්න වැඩි වෙනකොට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. අපිට වෙන ආදායම් මාර්ගත් නෑ. ගෙයි වැඩ තවම ඉවර නෑ. මහත්තයට ලැබෙන පඩිය පවුල නඩත්තු කරන්නවත් ප්‍රමාණවත් නෑ. පවුලේ සියලුදෙනා රැකියා කළත් පවතින ජීවන වියදමත් එක්ක ඔට්ටු වෙන්න බෑ. දැන් මමත් හොඳ පඩියක් ගන්නවා. ඒත් ජීවත් වෙන්න මදි. ඒ තරම් ජීවන වියදම වැඩියි. ඒ වගේම පවතින ඉන්ධන හිඟය ඇඟලුම් ආයතනවලටත් විශාල ගැටලුවක් වෙලා තියෙනවා. නිෂ්පාදන, අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේදී බරපතළ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. යටිතල පහසුකම් දුර්වල නොවෙන්න අපේ ආයතනවලට මාස ගාණකට ප්‍රමාණවත් ඕඩර් ලැබිලා තියෙනවා. රැකියාව ගැන අපිට කිසිම සැකයක් නෑ. ලංකාවේ ඇඟලුම් ආයතන වැහෙනවා කියන කතාව පිළිගන්න බෑ. මේ කාලෙ තමයි ඇඟලුම් ආයතනවලට හොඳටම ආදායම් තියෙන්නේ. අපිටත් හොඳට සලකනවා. මේ අවට ගම්මානවල දුප්පත් මිනිස්සුන්ටත් උදව් උපකාර කරනවා…” චතුර ලෙස වචන හසුරුවන ඇය ආධුනික සේවිකාවක් වුවද ඇඟලුම් කර්මාන්තය ගැන හොඳ අවබෝධයෙන් සිටින බව පැහැදිළිය. එමෙන්ම රාජ්‍ය ආයතනවල පුටු රත් කර ලබා ගන්න ‘පින්පඩියට’ වඩා මහන්සි වී වැඩ කර ඔවුන් ලබා ගන්නා පඩිය ගැන ඇය ආඩම්බරයෙන් කතා කළාය. එම ආයතනයේ තවත් සේවක, සේවිකාවන් දෙතුන් දෙනෙක් කරුණු ඉදිරිපත් කළහ. ඒ සියලු දෙනා රැකියාවේ සුරක්‍ෂිතතාවය ගැන දැඩි විශ්වාසයෙන් යුක්තව කතා කළහ. අනතුරුව අපි හොරණ ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවක, සේවිකාවන් කිහිපදෙනෙක් සමඟ ද පවතින අර්බුදය ගැන සාකච්ඡා කළෙමු. ඔවුන් අතරින් එක් සේවිකාවකගේ හඬ මෙසේ ඉස්මතු කළෙමු.

“අපේ උපන්ගම මාතර. දැන් පදිංචි වෙලා ඉන්නේ හොරණ. ඉඩම් අරගෙන, ගෙවල් හදාගෙන දරුවොත් හදාගෙන සතුටින් ජීවත් වෙන්නේ බොඩිලයින් ආයතනයට පින්සිද්ධ වෙන්න තමයි. දැන් මට අවුරුදු තිහයි. මේ ආයතනයේ රස්සාව කරන්න පටන්ගෙන අවුරුදු එකොළහක් වෙනවා…” ඇය ශෂිකලා ප්‍රියඋද්දීපනීය. උසස් පෙළ විභාගයෙන් පසු ජීවන වෘත්තීය හැටිය ඇඟලුම් ක්‍ෂේත්‍රය තෝරාගත් ඇය විවාහ වී සිටිනුයේ බන්ධනාගාර නිලධාරියෙක් සමඟය. දරුවන් තිදෙනකුගේ මවක් වන ඇය කාලය කළමනාකරණය කරගෙන ගෙවත්ත කොරටුවක් කරගත් ආදර්ශමත් කතාව අපට මෙසේ විස්තර කළාය.

“හැමදාම වසන්තය නෑ. මේ ලෝකයේ සෑම රටකටම සෞභාග්‍යමත් කාල වගේම නරක කාල එනවා. මේ ගෙවී යන්නෙ මෙරට නපුරු දසාවක්. දේශපාලනඥයන්ගේ වැරැදි ඇති. ඒත් මේ අර්බුදයෙන් ගොඩ එන්න සියලු පුරවැසියන් එකා මෙන්ම යුතුකම් ඉටු කරන්න ඕනෑ. ආහාර අර්බුදයක් ළඟ එනවා කියමින් බයේ තැති ගෙන ඵලක් නෑ. ඒ අර්බුදයට මුහුණ දෙන්න අපි සූදානම් වෙන්න ඕනෑ. තම, තමන්ගේ ගෙවත්තෙ එළවළු, පලා, අල, බතල ටිකක් වගා කරගන්න ඕනෑ. අපිට තියෙන්නෙ පර්චස් පහළොවයි. ගෙට ගිහාම ඉතිරි වෙලා තියෙන්නේ පුංචි ගෙවත්තක්. ඒත් මම ගෙදර කෑමට අවශ්‍ය ප්‍රමාණයට එළවළු, පලා, අල බතල වගා කරගෙන තියෙනවා. ඒ වගේම ගාමන්ට් වැහෙනවා… පිටරටවලට අරගෙන යනවා… විවිධ කට කතා පැතිරෙනවා. ඒවා අමූලික බොරු. රජයේ රැකියාවලට වඩා අපේ රැකියාව සුරක්‍ෂිතයි. දැනටත් මගේ මහත්තෙලාට ලැබෙන භටා, අතිකාල අදාළ මාසෙට ගෙවන්නේ නෑ. පරක්කු වෙනවා. අපිට එහෙම නෑ. අදාළ මාසෙ සම්පූර්ණ පඩිය නියමිත දිනයට ලබාදෙනවා. මහත්තයට වඩා මම පඩියක් ගන්නවා. මම මේ රස්සාව කරන්නෙ හරිම සතුටින්. ඒත් අපි ජීවත් වෙන රට ගැන තියෙන්නෙ දරාගන්න බැරි වේදනාවක්. දරුවන්ගේ අනාගතය ගැන බයක්…” කලා අංශයෙන් උසස් පෙළ ‘උසස්’ ලෙස සමත් වී ඇඟලුම් ආයතනයක සේවය කරන ශෂිකලා සමාජයට පාඩමක් කියා දුන්නාය. ඒ පාඩමට එම ආයතනයේම තවත් සේවිකාවක් මෙසේ අඩු වැඩි එකතු කළාය.

“ප්‍රශ්න, ප්‍රශ්න කියාගෙන ලතවෙලා ඵලක් නෑ. ප්‍රශ්නවලට විසඳුම් සොයන්න වීර්ය ගන්න ඕනෑ. ස්වාමිපුරුෂයො නැතිව දරු පවුල් රැක බලාගෙන සතුටින් ජීවත්වන කාන්තාවන් විශාල සංඛ්‍යාවක් මේ ආයතනයේ වැඩ කරනවා. සමස්ත ඇඟලුම් ක්‍ෂේත්‍රයේ එවැනි කාන්තාවන් අති විශාල සංඛ්‍යාවක් සේවය කරනවා. සමහර අය ආයතනයේ සේවය කරන අතරේ පුංචි ව්‍යාපාර කරගෙන ගිහින් හොඳට දියුණු වෙලා ඉන්නවා. රටේ දුප්පත් පවුල්වල තරුණ, තරුණියන් රටට බරක් නොවී ජීවත් වෙන්නේ ඇඟලුම් කර්මාන්තවලට පින් සිද්ධ වෙන්නයි. මේ කර්මාන්තයත් නැති වෙලා ගියොත් ඒ හෙණය පාත් වෙන්නෙත් රටේ දුප්පත් මිනිසුන්ගේ හිස මතට. අරගල කරන අයවත්, රටේ දේශපාලනඥයන්වත් ඒ ගැන හිතන්නෙ නෑ. මෙහෙම හරි අපේ හඬට කන් දෙන්න ඔයාලා කතා කරපු එක අගය කරන්න ඕනෑ. හෙට ගැන අපිට ලොකු බයක් නෑ. ආයතනය සුරක්‍ෂිතයි…”

ඇය සුරංජි නිරෝෂණීය. ගම අඟුරුවාතොටය. වයස අවුරුදු තිස්නවයක් වන ඇය හොරණ බොඩිලයින් ආයතනයේ සේවයට එකතු වී වසර විස්සකි. දෙදරු මවක් වන ඇයගේ වැඩිමහල් පුතාට අවුරුදු දහඅටකි. දියණියට වයස අවුරුදු නවයකි. එකම බලාපොරොත්තුව දරුවන් දෙදෙනාට හොඳ අධ්‍යාපනයක් ලබාදී රටට වැඩදායී පුරවැසියන් කිරීම බව ඇය අපට කීවාය. මීරිගම වෙළෙඳ කලාපයේ බැන්ඩික්ස් ඇඟලුම් ආයතනයේ සේවයේ නියුතු චම්පිකා ද ඊට සමාන කතාවක් අපට කීවාය. ඇය නුවර හසලක පදිංචිකාරියකි. වයස අවුරුදු හතළිස් එකක් වන ඇය වසර හයකට වැඩි කාලයක සිට මීරිගම බැන්ඩික්ස් ආයතනයේ සේවය කරනුයේ කුලී කාමරයක ජීවත්වෙමිනි.

“ඉස්සර මම සතියකට සැරයක් පුතා බලන්න ගෙදර ගියා. බස් ගාස්තු වැඩිවීමත් එක්ක දැන් මාසෙකින් ගියේ නෑ. දැන් පඩිය ලක්‍ෂයක් ගත්තත් ජීවත් වෙන්න මදි. පහුගිය දවස්වල අපේ පඩිය රුපියල් දහදහකින් වැඩි කළා. ඒ දීමනාව නොලැබෙන්න බෝඩිං වෙලා ඉඳගෙන රස්සාව කරන්න බෑ. පුංචි කාමරවල දර ලිප්වල උයන්න බෑ. ගෑස් ඕනෑ. ඒත් එක වේලක් කෑම උයාගන්න පුංචි ගෑස් ටැංකියක් මිලට ගන්න නෑ. ගෑස් නැතිව අපිට කෑම දෙන එක ආයතනයටත් ලොකු ගැටලුවක් වෙලා. ඇඟලුම් කර්මාන්තයට තියෙන ප්‍රශ්න ඒවා. වෙන කිසිම ගැටලුවක් අපිට නෑ. ලක්‍ෂ තිස්පහක් සේවය කරන අපේ ආයතන කොහෙත්ම වැහෙන්නේ නෑ. ගෑස් ප්‍රශ්න තිබුණත් අදටත් වේල් දෙක කෑම දෙනවා. දෙවේලක් කිරි තේ දෙනවා. ආර්ථික අර්බුදය තව තවත් උත්සන්න වුණත් මේ රැකියාවේ පිහිටෙන් තුන්වේල කාලා ජීවත් වෙන්න ලැබෙයි කියලා අපිට දැඩි විශ්වාසයක් තියෙනවා…” මවුපියන් දෙදෙනා සහ එකම පුතාට කිසිදු අඩුවක් නොකර ජීවත් කරවන බව ද ඇය අප සමඟ සතුටින් ප්‍රකාශ කළාය.

‘මෙයා හරි උත්සාහවන්තයි… ඒ නිසා තමයි චම්පි අක්කා සතුටින් ඉන්නේ…’ ඇය අසළ සිටි යෙහෙළියක් එසේ කියා චම්පිකාගේ කරවට අත දමා තුරුළු කර ගත්තාය. මොහොතකට අප අතර සතුට දොරේ ගලා ගියේය.

“අපේ ගම්වල ස්වයං රැකියා කරපු අයට යන එනමං නැති වෙලා. කුඩා කර්මාන්ත වැහිලා. වෙළෙඳසල් වේලෙනවා. කොස්, දෙල්, පොල්, එළවළු ටික හදාගෙන ඉන්න මිනිස්සු යන්තම් තුන්වේල කාලා ජීවත් වෙනවා. අපිට ලැබෙන වැටුපෙන් පවුලක් නඩත්තු කරන්න පුළුවන්. ආයතනයත් උපරිම උදව් උපකාර කරනවා. ජීවන වියදම තව ඉහළ ගියත් ලොකු හීන දකින්නෙ නැතිව සරළව ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ආයතන ප්‍රධානීන් කියන විදිහට මොන අර්බුද ආවත් අපේ ආයතනය වැහෙන්නේ නෑ. ඉදිරි මාස හතරකට විතර අපිට ඇනවුම් ලැබිලා තියෙනවා. ඒ කාලය වෙනකොට මේ අර්බුදය යම් තත්ත්වයකට පාලනය වෙයි කියලා අපිට හිතෙනවා. ඒත් ගාමන්ට් වැහෙන කතා පැතිරෙනකොට අපිට බය හිතෙනවා…” ඉරේෂා පතිරණට වයස අවුරුදු විසිඅටකි. නාරම්වල පදිංචිකාරිණියක් වන ඇය යුද හමුදා සෙබළෙකුගේ බිරිඳකි. තවමත් දරු සුරතල් නොවිඳින ඇය සිහින පොදි බැඳගෙන ජීවත්වන බව ඇයගේ කතාවෙන් අපට තේරිණි.

පෙළගැසෙන සටහනට අපේ කතා ඇවැසි නැත. ජීවිත අන්දරයන් ගැන මෙන්ම ඇඟලුම් කර්මාන්තයෙන් මෙරට ආර්ථිකයට, ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ලබාදී ඇති සුවිශේෂී දායකත්වය ගැන ඇඟලුම් සේවක, සේවිකාවන් අපූරුවට පැහැදිළි කළහ. එහෙයින් ඩොලර් ගේන ඇඟලුම් කර්මාන්තයත් ඈවර වුණොත් මෙරට වැඩ කරන ජනතාවගෙන් 15% කට වෙන දේ මෙන්ම රටේ ආර්ථිකයට සිදුවන විපත ගැන මන්දබුද්ධික නොවන බලධාරීන් සිහිබුද්ධියෙන් සිතා බැලිය යුතුය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment