මේ දිනවල සමාජයේ වැඩි කතාබහට ලක්ව ඇති මාතෘකාවක් වන්නේ ටින් (TIN) අංකයයි. බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය ලබා නොගන්නා අවුරුදු 18ට වැඩි සෑම දෙනාම රුපියල් 50000ක දඩයකට යටත් වන බවද රජය මගින් වරෙක ප්‍රකාශයට පත් කළේය.
රජයක පැවැත්මට ප්‍රමාණවත් බදු ආදායමක් අවශ්‍යය. එහෙත් ඒ බදු අයකර ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව ජනතාවට පැහැදිලි චිත්‍රයක් අවශ්‍ය වේ. අවුරුදු 18ට වැඩි සෑම අයකුටම ටින් අංකයක් ලබාගත්ත ද ඇත්ත වශයෙන්ම මේ සෑම අයකුටම බදු ගෙවිය නොහැකිය. බදු ගෙවිය නොහැකි මුත් මේ ටින් අංකය ලබාගත යුතු බව රජයේ ස්ථාවරය වී ඇත. රජයට අවශ්‍ය අවුරුදු 18ට වැඩි අයගේ තොරතුරු එක්රැස් කිරීම නම් ඒ සඳහා තවත් විකල්ප ක්‍රියාමාර්ග රැසක් තිබේ. එහෙත් රජය අපේක්ෂා කරනුයේ බදු ආදායම වැඩිකර ගැනීම නම් ඒ සඳහා බදු දැල ශක්තිමත් කිරීම සඳහා ගත හැකි බොහෝ පියවර තිබේ. විශේෂයෙන් කෝටි ගණන් බදු පැහැර හරින මත්පැන් සමාගම් ඇතුළු විවිධ පාර්ශ්වවල අය නොකළ බදු එකතුකර ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් රජය සකස් කළ යුතුය. එසේම සැබෑ ආදායම සඟවා බදු දැලෙන් රිංගන වංචනිකයන් හඳුනා ගැනීම සඳහා රජය ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කළ යුතුව තිබේ.
ඔබ අප දන්නා පරිදි මේ වනවිට ජනතාවගේ ආථික තත්ත්වය ඇත්තේ ඉතාමත් පහළ අඩියකය. අද බඩු මිල අහස උසට නැග තිබේ. වෙළෙඳපොළේ එළවළු මිල ඇසූ විට එළවළු කෑම අමතක කර දැමීමට සිදුවී ඇත. මාළු මිලද එසේමය. බිත්තර මිල ගැන තීන්දු ගන්නේ වෙළෙන්දන්ය. එදිනෙදා ඉහළ ගිය භාණ්ඩ මිලට වැඩි වූ ලයිට් බිල් සහ වතුර බිල් එක්වූ විට ජනතාවට හුස්ම ගැනීමටත් අමතකව යන තරම් පීඩනය වැඩිය. දරුවන්ගේ අධ්‍යාපන උපකරණවල මිල ඇසූ විට දෙමාපියන්ගේ නෙත්වලට එකතු වන්නේ කඳුළු බිඳුය. මෙවන් ආර්ථික වටපිටාවක ජනතාවගේ සාක්කු හිස්ව ඇත. කොටින්ම අප රටේ බහුතර ජනතාවගේ ජීවිත හිස් ටින් එකක් බඳුය. එවැනි ජීවිතවලට ටින් අංකයක් ලැබීම පමණක් ප්‍රමාණවත් නොවන බව අදාළ බලධාරීන් තේරුම් ගත යුතුව ඇත. අවුරුදු 18ට වැඩි අයට ටින් අංකයක් ලබාදීමට පෙර ජනතාවගේ හිස් වූ ආර්ථික ජීවිතය ශක්තිමත් කිරීම සඳහා වහා පියවර ගත යුතුව තිබේ.
විශේෂයෙන් අප රටේ තරුණ ප්‍රජාව අප රටේ ආර්ථිකයට දායක කර ගැනීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් අදාළ බලධාරීන්ට ඇති බවක් අප නම් දකින්නේ නැත. හැකි සෑම විටම විදේශ රටකට පැන ගැනීමට තරුණ තරුණියන් උත්සාහ කරන්නේ එබැවිනි. මේ රටේ ජීවත් වුවහොත් තමන්ගේ අනාගත අපේක්ෂා සිහින මෙන් බොඳව යනු ඇතැයි සිතන තරුණ තරුණියන් සෑම විටම සිටිනුයේ කනස්සල්ලෙනි. අපේක්ෂා බැඳවැටුණු මෙම තරුණ තරුණියන්ගේ ශ්‍රමයෙන්, දැනුමෙන්, බුද්ධියෙන් සහ කුසලතාවයෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කරගැනීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් ආරම්භ කිරීම තවත් ප්‍රමාද කළ යුතු නැත.
තරුණ තරුණියන්ගේ ආර්ථිකය ශක්තිමත් වුවහොත් ඔවුනට බලෙන් ටින් අංකයක් කරේ ගැසිය යුතු නැත. ආර්ථික අතින් ශක්තිමත් වූ විට තරුණ තරුණියන්ට බදු ගෙවීම ප්‍රශ්නයක් නොවනු ඇත. ඒ නිසා වහ වහා සිදුකළ යුතුව ඇත්තේ අවුරුදු 18ට වැඩි අයට ටින් අංක ලබාදීමට පෙර ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම බව ඉතා නිරවුල් කාරණයකි. අනෙක් අතට බදු ගෙවීමේ පදනම ශක්තිමත් කර ගැනීමට වයස නොව ආදායම් ඉපයීමේ ක්‍රියාවලිය පදනම් කරගත යුතුය. බදු ගෙවීමේ මූලික පදනම වයස කරගත හොත් අවුරුදු 18ට වැඩි මේ රටේ විවිධ ආබාධවලින් පෙළෙන අසරණයන්ද, යාචකයන් ද ටින් අංක ලබාගත යුතු ප්රශ්නය ද මතුවනු ඇත.
මේ වනවිටත් අවුරුදු 18ට වැඩි සියලු දෙනාට බදු ගෙවීම සඳහා ටින් අංකයක් නොගත්තත් ඒ සියලු දෙනාටම ඇති තරම් බදු බර පැටවී ඇත. මේ වසරේ ජනවාරි මාසයේ සිට වැට් බද්ද 18% දක්වා වැඩි කළ විට දැනටමත් එහි බරද පැටවී ඇති බව අදාළ බලධාරීන් කල්පනා කළ යුතුව ඇත. අපි කලින් සඳහන් කළා සේම රජයක පැවැත්මට බදු වශයෙන් යම් මුදලක් අයකර ගත යුතුව ඇත. එහෙත් බදු අයකර ගැනීම ජනතාවට නොරිදෙන සේ ක්‍රියාත්මක කිරීම අදාළ බලධාරීන්ගේ වගකීමකි.