මේ අහන්නේ රට කරවන අයගෙනි, මහමඟ මැරෙන්න අප කළ වරද කුමක්ද?…

209

මගේ මල්ලිට කිසිම ලෙඩක් තිබුණේ නෑ… භූමිතෙල් පෝලිමේදී ඇද වැටී මිය ගිය හනීෆාගේ සහෝදරයා

වැටුණු හැටියේ ඉස්පිරිතාලයකට ගෙනිච්චා නම් එයාව බේරගන්න තිබුණා. ඒත් හිතක් පපුවක් තියෙන කෙනෙක් පෝලිමේ ඉඳලා නෑ…

ඉන්ධන පෝලිමේදී ඇද වැටී මිය ගිය රිචඞ්ගේ බිරිඳ

පෝලිම පනිනවට විරුද්ධ වූ තාජුඩින්ගේ හදවත පසාරු කරයි…

මිනිසුන්ට ජීවත් වෙන්න නොසෑහෙන්න දුක්විඳින්න වෙලා තියෙනවා…

දවසින්, දවස පෝලිම් දිගු වෙයි. ඒ පෝලිම්වල මහ මඟ පිච්චෙන මිනිස්සු එකා දෙන්නා මැරී වැටෙති. අව්වට රත් වෙමින් කෝපයෙන් ගිනියම් වී සිටින මිනිස්සු පෝලිම්වල ඇන කොටාගෙන මැරෙති. දිගු වාහන පෝලිම් නිසා මාර්ග ඇහිරී මහ මඟ ‘ජෑම්’ වී ඇති අයුරු දකින විට මගී ජනතාවගේ ලේ නහර රත් වී කෝපය ඉහ වහා යන බව ද සැබෑය. එහෙත් කළ හැකි කිසිවක් නැත. රටේ ජනතාව වැපිරූ බීජවලට සරුසාර අස්වැන්නක් ලැබෙමින් තිබේ. ඒ අස්වැන්න භුක්ති විඳිමින් සිටි හනීෆා මොහොමඞ් ඉල්ලියාස් භූමිතෙල් ලබාගැනීමට පෝලිමේ සිටියදී ඇද වැටී මිය ගියේය.

”මගේ මල්ලිට කිසිම ලෙඩක් තිබුණේ නෑ. එයා මැරුණේ මේ රජයේ වරදින්…’’ එසේ කීවේ හනීෆාගේ වැඩිමහල් සහෝදරයා ය.

ආදරණීය බිරිඳ කෑම උයන්න මහන්සි වෙන අයුරු දැක හනීෆා නොසෑහෙන්න දුක් විය.

‘හැමදාම ඔය දුක විඳින්න බෑ. ඉන්න මම කොහෙන්හරි භූමිතෙල් ගැලූමක් අරගෙන එන්නම්…’ ආදරණීය බිරිඳට එසේ කියමින් මහනුවර, යටිනුවර වීදියේ ඉන්ධන පිරවුම්හලකට පැමිණි හනීෆා භූමිතෙල් ලබාගැනීමට තම වාරය පැමිණෙන තෙක් දිගු පෝලිමේ බොහෝ වේලාවක් ගත කළේය. වියරු හිරුගේ රශ්මියෙන් පිච්චෙමින් සිටි හනීෆා නොසිතූ මොහොතක සිහිසුන්ව ඇද වැටිණි. මහනුවර ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි හනීෆාගේ මරණ පරීක්‍ෂණයේදී තහවුරු වී තිබුණේ මහා ධමනිය පුපුරා යෑමෙන් මරණයට පත් වී ඇති බවය. එසේ අවාසනාවන්ත ලෙස මියගිය හනීෆාට වයස අවුරුදු හැත්තෑ එකකි. කටුගස්තොට, උඩතලවින්න ප‍්‍රදේශයේ ජීවත් වූ හනීෆා මොහොමඞ් ඉල්ලියාස් වසර කිහිපයක්

ශ‍්‍රී ලංකා පොලිසියේ රාජකාරි කළ සිවිල් සේවකයෙකි. චාම් දිවි පෙවෙතක් ගත කරමින් සිටි හනීෆාට බරපතල රෝගී තත්ත්වයක් නොතිබූ බව ඔහුගේ ඥාතීහු අප සමඟ පැවසූහ. එහෙත් තමන් ගෙනා ආයුෂ අවසාන වූ පසු හනීෆා පමණක් නොව සියලූ සත්වයා යා යුතුය. ගැටලූව වී ඇත්තේ හනීෆා මියගිය ආකාරය ගැනය.

මේ අහන්නේ රට කරවන අයගෙනි, මහමඟ මැරෙන්න අප කළ වරද කුමක්ද?…

භූමිතෙල් පෝලිමක සිටියදී හනීෆා මොහොමඞ් ඇද වැටී මිය ගියේ පසුගිය 19 වැනිදා දවල් 11 ට පමණය. 20 වැනිදා දවල් 11.30 ට පමණ එවැනි තවත් අවාසනාවන්ත මරණයක් ගැන අසන්නට ලැබිණි. ඒ මාකොළ දකුණ සිරිමංගල පාර, හයවැනි පටුමගේ පදිංචිව සිටි රිචඞ් පෙරේරා සිය ත‍්‍රිරෝද රථයට ඉන්ධන පිරවීමට පෝලිමේ සිටියදී සිහිසුන්ව ඇද වැටී මිය යෑමය. හැත්තෑ වැනි වියේ පසු වූ හේ දෙදරු පියෙකි. වෘත්තීයෙන් කුලී ත‍්‍රිරෝද රථ රියැදුරෙකි. එදින උදෑසන මාකොළ සිට මගියකු කැටුව කුලී ගමනක් පැමිණි ඔහු ත‍්‍රිරෝද රථයට ඉන්ධන පිරවීමට කඩවත පොලිසිය ආසන්නයේ ඉන්ධන පිරවුම්හලක් වෙත ගොස් තිබේ. දිගු පෝලිමක බොහෝ වේලාවක් රැඳී සිටි රිචඞ් හිටි හැටියේ සිහිසුන්ව ඇද වැටී රාගම පොලිසියට රැගෙන යන විටත් මිය ගොස් සිටි බව ඔහුගේ බිරිඳ පැවසුවාය.

‘‘ෂෙඞ් එකෙන් මට කෝල් කළා ‘මහත්තයා පාරේ වැටිලා… ඉක්මනට එන්න’ කියලා කිව්වා. මම එතැනට යනකම් රිචඞ්ව ඉස්පිරිතාලෙට ගෙනියන්න කවුරුවත් ඉදිරිපත් වෙලා හිටියේ නෑ. අන්තිමේ පොලිසියේ ත‍්‍රිරෝද රථයක රාගම ඉස්පිරිතාලෙට අරගෙන යනකොට එයා නැති වෙලා. වැටුණු හැටියේ ඉස්පිරිතාලයකට ගෙනිච්චා නම් එයාව බේරගන්න තිබුණා. ඒත් ඒ ඉන්ධන පෝලිමේ හිතක්, පපුවක් තියෙන කවුරුවත් ඉඳලා නෑ… ඒ නිසා තමයි රිචඞ් අපිව දාලා ගියේ…’’ මිනිස් ජීවිතයක වටිනාකමක් නොදන්නා මිනිසුන් සහිත සමාජයකදී මාකොළ රිචඞ් පමණක් නොව සියලූ රටවැසියන් අසරණය. මේ වන විට රටේ ජනතාව පෝලිම්වල දුක්විඳින්නේ ද මෙරට නායකයන් රටවැසියන්ගේ ජීවිතවල වටිනාකම පයිසෙකට මායිම් නොකරන නිසාය. එමෙන්ම දැහැමි පාලනයක් නොමැති රටක අමනුස්ස මිනිසුන් සහිත තිරිසන් සමාජයක් නිර්මාණයවීම ද අරුමයක් නොවේ. ඒ තිරිසන් සමාජයේ ම්ලේච්ඡුත්වය පසුගිය 20 වැනිදා රාත‍්‍රියේදී නිට්ටඹුව තෙල් පෝලිමකදී ලෝකයාට නිරුවත් කළේය. ඒ ඉන්ධන ලබාගැනීමට නිට්ටඹුව හොරගොල්ල ප‍්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට ගිය ත‍්‍රිරෝද රථ රියැදුරකු එහි සිටි යතුරුපැදිකරුවකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමය.

අමානුෂික ලෙස පිහියෙන් ඇන මරා දමා තිබුණේ ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වූ තුවාන් මිල්ෂාන් තාජුඩින්ය. ඔහුට වයස අවුරුදු විසිඅටකි. අවිවාහකය. ඉන්ධන ලබාගැනීමට පෝලිම් ගැසී සිටියදී, පෝලිම මගහැර ඉන්ධන ලබාගැනීමට සූදානම් වූ ත‍්‍රිරෝද රථ රියැදුරෙක් සමඟ තාජුඩින් ඇති කරගත් බහින්බස්වීම ගුටි කෙළියක් දක්වා දුරදිග ගොස් තිබිණි. අනතුරුව සඟවා තබාගෙන සිටි උල් පිහියක් අතට ගත් ත‍්‍රිරෝද රථ රියැදුරු තාජුඩින්ගේ පපුවේ වම් පැත්තේ දෙතුන් පළකට ඇන තිබිණි. පිහි ඇනුමෙන් බරපතල තුවාල ලැබූ තාජුඩින්ව වතුපිටිවල රෝහලට ඇතුළත් කර සුළු මොහොතකට පසු මිය ගොස් තිබිණි.

සුළු සිද්ධියක් මුල් කරගෙන තරුණ හදවතක් සිදුරු කිරීමට තරම් තිරිසෙනක් වූ ඝාතකයාව පසුගිය 21 වැනිදා නිට්ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. නිට්ටඹුව පනාවල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු ඇඳුම් බෑගයක් ද රැගෙන පලා යෑමට සූදානම් වී සිටියදී පොලිසියට කොටු වී ඇත. එමෙන්ම හතළිස්අට හැවිරිදි එම සැකකරු මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහිවූවෙක් බව ද හඳුනාගෙන තිබේ. මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ හෝ පාතාල උණ වැළඳුණු මැටි මෝල් කාලකණ්ණියෙක් හැර සිහිබුද්ධියෙන් සිතන කෙනෙක් යන හැම තැනම පිහි කෑලි රැගෙන නොයන්නේය. ඒ මොහොතේ පිහියක් නොතිබුණේ නම් තාජුඩින් අදටත් ජීවතුන් අතරය.

එමෙන්ම ඉහත පෙළගැසුණේ උද්ගතව ඇති නව පෝලිම් සංස්කෘතිය තුළ වාර්තා වූ මරණ තුනක් ගැනය. එම මරණ අතරට පසුගිය 21 වැනිදා උදෑසන තවත් මරණයක් එකතු විය. ඒ ඉන්ධන ලබාගැනීම සඳහා මීරිගම සමුපකාර ඉන්ධන පිරවුම්හලට පැමිණි කේ. ජේ. වික‍්‍රමපාල සිහිසුන්ව ඇද වැටී මිය යෑමය. මීරිගම ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු හැත්තෑහය වැනි වියේ පසු වූ හදවත් රෝගියෙකි. එම මරණ හතරට අමතරව රට පුරා ඉන්ධන, භූමිතෙල්, ගෑස් පෝලිම් අතර සිහිසුන්ව ඇද වැටී රෝහල්ගත කෙරුණු සංඛ්‍යාව අති විශාලය. පෝලිම් අතර ඇවිළී ගිය ආරවුල් ද එමටය. එමෙන්ම රට පුරා පවතින ඉන්ධන පෝලිම් අතර මත්ද්‍රව්‍ය, මත්පැන් ජාවාරම් පමණක් නොව ගණිකා ජාවාරම ද ජයටම කෙරෙන බව වාර්තා වෙමින් තිබේ. නගරයේ මෙන්ම ගමේ ඉන්ධන පෝලිම්වල ද කුණු කය මුදලට විකුණන කාන්තාවන් පෝලිමේ නතර කර තිබෙන වාහනවලට ගොඩ වන බව වාර්තා වේ. උද්ගතව ඇති තත්ත්වය අතිශය දරුණුය. කොරෝනා වසංගතය දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් තිබුණු කාලයේ ද අපේ රටේ මිනිස්සු මහ මඟ වැටී මිය ගියේ නැත. එහෙත් පවතින ආර්ථික අහේනිය තුළ මිනිස්සු මහ මඟ මැරෙති. පෝලිම්වල සිටින කාමතුරයන්ට ගෑනු ශරීරය විකුණති. හෙට අනිද්දා වන විට තත්ත්වය මීට වඩා දරුණු අතට හැරෙන ලකුණු පහළ වෙමින් තිබේ. අදට වඩා ඉදිරිය අඳුරුය. එහෙයින් උද්ගතව ඇති ආර්ථික, සමාජීය අර්බුදය ගැන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥානදාස පෙරේරා මහතාගෙන් අපි කරුණු විමසා බැලූවෙමු. මේ මහාචාර්යවරයා කියන කතාව ය.

මේ අහන්නේ රට කරවන අයගෙනි, මහමඟ මැරෙන්න අප කළ වරද කුමක්ද?…

”මේ වෙනකොට රටේ ජනතාවට ජීවත්වීමට මහ සටනක් කරන්න වෙලා. නැති බැරි මිනිහටත්, තියෙන මිනිහටත් ඒ ආර්ථික පීඩනය පොදුයි. රටේ බහුතරයකට ජීවත්වීමට අවශ්‍ය අවම පහසුකම්වත් නැති වෙලා තියෙනවා. ආර්ථික, සෞඛ්‍ය, අධ්‍යාපනික සහ වෘත්තීමය මේ සියලූම ජීවන රටාවලට විශාල තර්ජනයක් වෙලා තියෙනවා. බොහෝ මිනිසුන්ට ජීවත් වෙන්න සටන් කරනවා විනා අනාගත සැලසුම් ගැන සිතන්නටවත් බැරි වෙලා තියෙනවා. ඒ ජීවන සටනේදී ගෑස්, භූමිතෙල් ටික ලබාගන්න පෝලිම්වල ඉන්න වෙලා. වාහනයට ඉන්ධන පිරවීමට පෝලිමේ ඉන්න වෙලා. ඒ පෝලිම්වල ඉන්න බහුතරය මධ්‍යම පාන්තික සහ අසරණ දුප්පත් මිනිස්සු. ඒ වගේම ඔය පෝලිම්වල විවිධාකාර බෝ නොවන, බෝ වන රෝග තියෙන මිනිස්සු ඉන්නවා. එවැනි රෝග සහිත මිනිස්සු ගිනි මද්දහනේ පෝලිම්වල ඉන්න සුදුසු නෑ. ඒත් ඒ මිනිසුන්ට පෝලිමේ ඉන්න වෙලා…’’

‘‘මිනිසුන්ට ජීවත් වෙන්න නොසෑහෙන්න දුක්විඳින්න වෙලා තියෙනවා. මේ වන විට මානසික සෞඛ්‍ය දරුණු ලෙස පිරිහිලා තියෙනවා. සරලව කියනවා නම් මිනිසුන් නොමරා මරන තත්ත්වයකට පත් කරලා තියෙනවා. එහි ප‍්‍රතිඵලයක් විදිහට මිනිසුන් ප‍්‍රචණ්ඩත්වයට පත් වෙනවා. මිනිසා ප‍්‍රචණ්ඩත්වයට ඇද දමන ප‍්‍රධාන සාධකයක් තමයි ආර්ථික හා සමාජීය පරිසරය. මිනිසුන්ගේ ජන විඥානය පෝෂණය වෙන්නේ ආර්ථික, සමාජීය දේශපාලන පරිසරය තුළින්. මිනිසකුගේ දර්ශනය, චින්තනය වර්ධනය වෙන්නේ ඔවුන් ජීවත්වන වටපිටාව තුළ බව මහා දාර්ශනික බර්ට‍්‍රම් රසල් පවා පවසා තියෙනවා. අද පවතින ආර්ථික, සමාජීය, දේශපාලනය තුළ චින්තකයෝ බඩවියත රැකගන්න, තනතුරු ආරක්‍ෂා කරගන්න, අලූත් තනතුරුවලට යන්න බොරු බේගල් කියමින් ජනතාව රැවටීමකට පත් කරනවා. මේ තත්ත්වය ගැන බොහෝ බුද්ධිමතුන් දැඩි කලකිරීමකින් පසු වෙනවා. ඒත් බහුතරය අදටත් ඉවසනවා. තව ටික කාලයක් රටේ ජනතාවට ඉවසන්න වෙනවා. ඒ වගේම මෙවැනි දුෂ්කර කාලයක ද්වේෂය, වෛරය වැපිරීම නෙමෙයි වඩා වැදගත් වෙන්නේ, බුද්ධියෙන් ගැටලූවලට මුහුණදීමයි. ඒත් රටේ ජනතාවත්, නායකයොත් බුද්ධියෙන් ගැටලූවලට විසඳුම් සොයන බවක් පේන්න නෑ…’’

‘‘පෝලිම්වල ළතවෙන බහුතරය ආවේගශීලීව හැසිරෙන ස්වභාවයක් පේනවා. මේ වෙනකොට පෝලිම්වල මනුස්ස ඝාතන සිදුවෙන තැනට පත් වෙලා. පවතින ආර්ථික අවපාතයට මුහුණදීමට රජයට තවම සාර්ථක වැඩපිළිවෙළක් නෑ. රටේ ජනතාව ජීවත් කරවීමටවත් රජයට තවම වැඩපිළිවෙළක් නෑ. මේ මොහොතේ වැදගත් දේශපාලනය නෙමෙයි. මනුෂ්‍යත්වයයි. දේශපාලකයා
රැදෙන්නේ මනුෂ්‍යත්වය මත. ඒ වගේම දේශපාලනය කරන්නත් රටක් තියෙන්න ඕනෑ. රටක් පවත්වාගෙන යෑමට මිනිසුන්ට සහනය, සාමය ඕනෑ. මේ වෙනකොට මිනිසුන්ට සහනයත් නෑ. සාමයත් නෑ. ජාවාරම්කාරයෝ ඉස්මතු වෙලා වෙළෙඳපොළේ භාණ්ඩවල මිල ගණන් හිතුමතේ වැඩි කරනවා. භාණ්ඩ තොග සඟවාගෙන හිඟයක් මවලා මිල වැඩි කරනවා. මේ සෑම ක‍්‍රියාකාරකමක් තුළම පීඩාවට පත් වන්නේ රටේ ජනතාව. මේ වෙනකොටත් රටේ මිනිසුන් ජීවත් වෙන්නේ දැඩි මානසික අසහනයකින්. එවැනි තත්ත්වයක වෛරය, ද්වේෂය, පළිගැනීම් වැඩි වෙනවා. එය රටේ පැවැත්මට අතිශය හානිදායකයි. ඒ නිසා පවතින ආර්ථික පරිහානියට කඩිනමින් විසඳුම් සෙවිය යුතුයි. ඒ සඳහා පක්‍ෂ පාට නොබලා සියලූදෙනා එකතු විය යුතුයි. විවේචන කිරීම් නතර කර අර්බුදයට විසඳුම් සෙවිය යුතුය. රටේ ජනතාවත් ලද දෙයින් සතුටු වෙන්න පුරුදු වෙන්න ඕනෑ. ගමන් බිමන් කළමනාකරණය කර ගන්න ඕනෑ. දරුවන්ටත් එය පුරුදු කරන්න ඕනෑ. ජීවිතය කළමනාකරණය කරගැනීමට මේ හොඳම කාලයයි. ඒ වගේම රජයත් අවශ්‍යතා, අනවශ්‍යතා හඳුනාගෙන අත්‍යවශ්‍යම කටයුතුවලට ප‍්‍රමුඛතාවය ලබාදිය යුතුයි. අත්‍යවශ්‍ය දේ නොලැබෙන කොට උපදින්නේ වෛරය, පළිගැනීම, ජීවිතය පිළිබඳ අර්ථ ශූන්‍ය භාවය. එවැනි පසුබිමක සමාජය ගැටුම් ඇතිවීම සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. මේ වෙනකොට ඒ අවාසනාවන්ත තත්ත්වයට රට පත් වෙලා තියෙනවා. මේ තත්ත්වය තවදුරටත් ඔඩු දුවන්න නොදී පාලනය කරගත යුතුයි…’’ මහාචාර්ය ඥානදාස පෙරේරාගේ හරවත් දේශනය ද අවසානය. ඒ කතාවට මේ පුංචි චචන කිහිපයත් එකතු කර අපි කතාව අවසාන කරන්නෙමු.

මේ රට මෙවැනි අභාග්‍යසම්පන්න තත්ත්වයකට පත් විය යුතු නැත. එහෙත් රටේ කරුමයකට පෝලිම්වල මිනිසුන් මැරී වැටෙන තැනට රට පත් වී තිබේ. එමෙන්ම මිනිස් ජීවිතයක වටිනාකම බින්දුවට වැටී තිබේ. එහෙත් ජීවිතය තරම් වටිනා දෙයක් විශ්වයේ නැත. එසේ නම් ජීවිතය නමැති සම්පත රැකගැනීම සමස්ත මනුෂ්‍යයාගේ පරම යුතුකම ය. එහෙයින් නිල්, කොළ, රතු පක්‍ෂ පාට පසෙකලා සහයෝගීතාවයෙන් අර්බුදයට විසඳුම් සෙවීමට සියලූදෙනා එකතු විය යුතුය. අද ජීවත්වන සෑම කෙනෙක්ම හෙට ජීවත් වන මිනිසුන් ගැන සිතිය යුතුය. එහෙයින් අනාගතය වෙනුවෙන් රට ආරක්‍ෂා කරගැනීම පුරවැසියන් විදිහට අපේ යුතුකමකි.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment