මේ ඉන්දන හිඟයත් විපක්ෂයේ වැඩක්!

281

2022 වසර සඳහා වත්මන් රජය ඉදිරිපත් කළ අයවැය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේ කියවීමෙන් පසුව දේශපාලන කරළිය කඩිගුලක් සේ ඇවිස්සී ගියේය. අයවැය තුළින් ඉදිරිපත් කර තිබූ සමහර යෝජනා සම්බන්ධයෙන් බොහෝ ක්ෂේත‍්‍ර වලට ගැටලූ තිබෙන බව හෙළිදරව් විය.

පසුගිය සතිය පාර්ලිමේන්තු සතියක් වූ බැවින් අය-වැය සම්බන්ධයෙන් පැවැති විවාදය දෙස රටම බලා සිටියේ වාද විවාද සංවාද තුළින් ජනතාවගේ ප‍්‍රශ්නවලට ලැබෙන සැබෑ විසඳුම කුමක්ද කියා අසා දැන ගැනීමට ය. මෙබඳු දුෂ්කර පරිවර්තනීය යුගයකට රට පත්ව සිටියදී මේ තරමින් හෝ ආර්ථිකය කළමනාකරණය කළ හැකි අයවැයක් ඉදිරිපත් කිරීම ගැන සමහරු නම් ඇමැති බැසිල්ට ප‍්‍රශංසා මුඛයෙන් කතා කළහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඇගමැති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු මැති ඇමැතිවරු පසුගිය සතියේ වැඩි අවධානයක් යොමු කරමින් වෙහෙස වූ කාරණා අතර ප‍්‍රමුඛස්ථානය ලැබුණේ අයවැය සම්බන්ධ ගැටලූවලට ය. විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂට මෙම සතිය තුළ අයවැය සම්බන්ධයෙන් බොහෝ අභියෝග වලට මුහුණ පාන්නට සිදු වූ අයුරු අපට දැකගත හැකි විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සිකුරාදා උදේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමඟ විශේෂයෙන් කතාබහ කළේ අයවැය සම්බන්ධයෙන් ඒ වන විට මතුව තිබූ ගැටලූ ගැනය. මෙබඳු භාරදූර කටයුත්තකදී රාජපක්ෂවරු තිදෙනා එකතු වී ඒ ගැන ගැඹුරින් සාකච්ඡා කිරීම සහ වන සිරිතයි.

අයවැය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර එහි පූර්ණ අනුමැතිය ලබාගත යුතු නිසා ජනාධිපතිවරයා විසින් සිකුරාදා උදේ විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් ද කැඳවනු ලැබුවේය.

එහිදී අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කළ අයවැයට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිවිය. මෙම සාකච්ඡාවට ආණ්ඩුවේ පක්ෂ 11ක විශේෂ එකමුතුවේ නියෝජිත පක්ෂ නායකයෝද සහභාගි වී සිටියත් එය සම්බන්ධයෙන් නම් ඔවුන්ට වෙනත් ගැටලූවක් මතු වූයේ නැත.

එදින දහවල් පාර්ලිමේන්තුවේ අයවැය ඉදිරිපත් කරන අවස්ථාවට සහභාගි වන්නට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව බලා පිටත්ව ගියේය.

  • සංචාරකයන් පැමිණීම ගැන
    අලූත් ශුභාරංචියක්….

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇති බව දැනගත් ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු ඔහු හමුවන්නට පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණ සිටියහ. ජනාධිපති ගෝඨාභය ඔවුන් සමග කතාබහ කරමින් අලූත් තොරතුරු විමසමින් ටිකවේලාවක් කාලය ගත කළේය.

‘‘ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් ප‍්‍රශ්නයට උත්තරයක් දීලා ඔබතුමා ප‍්‍රශ්න විසඳන්න මැදිහත් වුණාට පස්සේ වර්ජනකාරයෝ ඔක්කොම පස්ස ගැහුවා…”

‘‘මම නෙවෙයි අගමැතිතුමා නේ මැදිහත් වෙලා ඒ ප‍්‍රශ්නය සාකච්ඡා කළේ…”

‘‘ඔව් සර්… අපේ ආණ්ඩුව ඒ විදිහට උත්තර දීමත් එක්ක අනිත් වර්ජන කාරයෝ ඔක්කොම ටික පහු බැහැල ගියා.. ඔය විදියට අනිත් මිනිසුන්ගේ ප‍්‍රශ්න වලටත් උත්තර දීලා දැම්මොත් ප‍්‍රශ්න නැතිවන එක ගැන බයවෙන්න ඇති….”

ඒ කියූ කතාව ජනාධිපතිවරයාට එකපාර තේරුණේ නැත…

‘‘හිඟන්නාගේ තුවාලය සනීප කරාම ආයෙ හිඟන්නා ට හිඟා ගන්ඩ බැරි වෙනවනේ සර්…”

‘‘එක තුවාලයක් සනීප කරාම තව තුවාලයක් හදාගන්න එක එයාලට අමාරු නෑ..”

‘‘සමහර බේත් විද්දාම සර් තුවාල හැදෙන්නේ නෑලූ…”

‘‘මෙතන තියෙන බරපතළම ප‍්‍රශ්නය උද්ඝෝෂණ කරන්න මේ වෘත්තිකයෝ පාරට බහින එක නෙවෙයි… මුළු ලෝකෙම දැන් නැවත වතාවක් කොරෝනා රැල්ලක් එන ප‍්‍රවණතාවක් තියෙනවා. අපේ මිනිස්සු උද්ඝෝෂණ කරන්න පාරට බැහැලා එක්රොක් වුණාම ඒකෙන් වෙන්නේ එයාලගේ ප‍්‍රශ්න විසඳෙන්නේ නෑ. රටේ ප‍්‍රශ්න තව වැඩි වෙනවා. සෞඛ්‍ය අංශවල සමහර ඉහළම එක්ස්පර්ට්ලා මට පෙන්නලා දුන්නා කොවිඞ් වර්ධනය වෙන හැටි. එහෙම තත්ත්වයක් රටේ ඇටි නොවන්න වැඩ කරන්න අපි කාටත් වගකීමක් තියෙනවා. බැරිවෙලාවත් තව කොවිඞ් රැල්ලක් ඇවිල්ලා රට වහන්න වුණොත් නම් මේ පාර ගොඩ එන්න ලේසි වෙන්නේ නෑ…

‘‘ඔව් සර්… දැන් ආයෙත් රට වැහුවොත් අපි අමාරුවෙන් ගොඩන`ගාගන්න ආර්ථිකය නැවත බිඳවැටෙනවා. සංචාරක ව්‍යාපාරයේ විතරක් ලොකු ප‍්‍රගතියක් පෙන්නුම් කරනවා… කොවිඞ් නැති වුණොත් නම් ඒ ඔක්කොම ඉවරයි…” ප‍්‍රසන්න රණතුංග විස්තර කළේය.

‘‘යුරෝපයට සීතල කාලය එනකොට තමයි සංචාරකයෝ අපේ රටවල්වලට එන්නෙ. දැන් මේ වෙනකොට කොහොමද සංචාරකයන්ගේ පැමිණීම…”

‘‘මේ පහුගිය සති දෙක ඇතුළත විතරක් සංචාරකයෝ 19 දාහක් කටුනායකින් මත්තලින් රටට ඇවිල්ලා තියෙනවා. මේගොල්ලෝ එන්නේ අපේ රටට ඩොලර් අරගෙන. මේක ඉදිරියටත් වර්ධනය වෙනවා. මොකක් හරි ප‍්‍රශ්නයක් වෙලා කොවිඞ් වැඩිවෙලා මේ තත්ත්වය ඇනහිටියොත් ආයි ගොඩ ගන්න බෑ…” ප‍්‍රසන්න අවධාරණය කළ කාරණාව ගැන ජනාධිපතිවරයා එකක් කල්පනාකාරීව අවධානය යොමු කළේය.

‘‘මේ තත්ත්වය දැන දැනම රටේ ඉදිරි වැඩකටයුතු කඩාකප්පල් කරන්න රටපුරා කොවිඞ් පතුරවන්නන් විපක්ෂය කටයුතු කරන බවයි පේන්නේ…”

‘‘ඒගොල්ලන්ට ඕන රට අස්ථාවර කරන්න…”

‘‘ඡන්දයක්වත් පේන තෙක් මානෙක නැතුව මේ විදිහට කරනවාද මන්දා….” එතැන සිටි මන්ත‍්‍රීවරයෙක් කීවේය.

එදින දහවල් අයවැය ඉදිරිපත් කිරීමේ වැඩකටයුතු පටන් ගැනිණ. ජනාධිපතිවරයා ද මෙම අවස්ථාවට ඉතා වුවමනාවෙන් සහභාගි වීම විශේෂත්වයක් විය.

පසුගිය සති අන්තයේ සෙනසුරාදා දිනයේ ජනාධිපතිවරයා මද විවේකයක් ගත්තේය. හුඟක් දවසකට පසු කොළඹින් බැහැරව නොගොස් පවුලේ අය සමග විවේකීව ඔහු එම දවස ගෙවා දැම්මේය.

ඉරිදා වැහිබර දවසක් විය. එහෙත් ජනාධිපතිවරයාට ගුවන් මගින් විශේෂ වැඩකටයුත්තකට කොළඹින් බැහැරව යන්නට සිදුව තිබිණි.

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරගේ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මෙවර කඨින පිංකම පිළිබඳ රාජ්‍ය මහෝත්සවය සංවිධානය කර තිබුණේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයට අයත් කොළඹගම ශ‍්‍රී මියුගුණාරාම රජමහා විහාරස්ථානයේ ය. කඨින පිංකම් මහෝත්සවය රජය විසින් පවත්වන්නට භාර ගත්තාට පසු යෙදුණු දෙවන උත්සවය මෙය වූ බැවින් රාජ්‍ය නායකයා සහභාගි විය යුතුම උත්සවයක් විය. එහෙත් අයහපත් කාලගුණික තත්ත්වය එම ගමනට හරස් විය. ජනාධිපතිවරයා නැගෙන හෙලිකොප්ටරයෙන් කුරුණෑගල ප‍්‍රදේශයට යෑම ගුවන් හමුදාවේ ඉහත නිලධාරීන් සැලකුවේ අනතුරුදායක ගමනක් ලෙසය. ජනාධිපතිවරයා කෙසේ හෝ උදේ 11.00 ට උත්සවයට සහභාගි විය යුතුව තිබිණි…

‘‘උඩින් යන්න බැරිනම් පාර දිගේ හරි යන්න ලෑස්ති කරන්න… උත්සවයට මම කොහොම හරි යන්නම ඕන…” ජනාධිපතිවරයා තම ආරක්ෂක ප‍්‍රධානීන්ට දැනුම් දුන්නේය. ඒ අනුව ජනාධිපතිවරයා එම ස්ථානයට ළඟා වන විට නියමිත වේලාවට වඩා බොහෝ වේලාවක් ප‍්‍රමාද වී තිබිණි….

‘‘සර් කොහොමහරි අයහපත් කාලගුණ තත්ත්වය නොබලා මේ වැඬේට ආපු එක මට කරපු ලොකු ගෞරවයක්…’’ දයාසිරි ජනාධිපතිවරයාව පිළිගන්නා ගමන් කීවේය. අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ද මෙම අවස්ථාවට පැමිණ සිටියේය. කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ සෙසු මැති ඇමැතිවරු ද උත්සවයට පැමිණ සිටියහ. වයඹ හා උතුරු පළාත් දෙකෙහි ආණ්ඩුකාරවරු ද මෙම උත්සවයට පැමිණ සිටියහ.

මංගලගම මියුගුණාරාම රජමහා විහාරස්ථානය ප‍්‍රදේශයේ තිබෙන බොහෝ ඓතිහාසික විහාරස්ථානයක් විය. විහාරස්ථානයේ විහාරාධිකාරී ගල්ලැහැපිටියේ පේ‍්‍රමරතන හිමියෝ විහාරස්ථානයේ අතීත උරුමය ගැන ජනාධිපතිවරයාට විශේෂ කරුණු සැලකර සිටියහ.

‘‘කඨින චීවරය පඬු පොවන්නෙ මේ විහාරස්ථානයේමද අපේ හාමුදුරුවනේ…”

‘‘ඔව් මේ පන්සලේ ඒ සඳහා වෙනම නියමිත ස්ථානයක් තියෙනවා… ඉපැරණිම චාරිත‍්‍ර වාරිත‍්‍ර හා සම්ප‍්‍රදායන්වලට ගරු කරමින් තමයි අපි ඒ කටයුත්ත ඉටු කරන්නේ. කඨින චීවරය පඬුපෙවීම ගැන විශේෂ විස්තරයක් කිරීම රතන හිමියෝ චීවරයේ ජනාධිපතිවරයාට භාර කළේ එතුමාගේ දෑතින් පූජා කිරීම සඳහාය.

ජනාධිපතිවරයා චීවරය රැගෙන මහ සෙනඟ අතරට ගොස් ඔවුන්ට කියා කඨනෙට අතගස්වා ගත්තේය…

මෙහිදී පොදු ජනතාවට ජනාධිපතිවරයාට සමීප වී කතාබහ කරන්නට හොඳ අවස්ථාවක් ලැබිණි…

ඔබතුමා තමයි අපේ ජීවිත බේර ගත්තේ… අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදිහට එන්නත නොදුන්න නම් අපි පස්යට… ජනතාව ජනාධිපතිවරයාට කීවේය.

‘‘ඉස්සරහටත් පරිස්සම් වෙන්න ඕන. ආගමික උත්සව වලට සහභාගි වෙන එක වුණත් ආරක්ෂිත උපායමාර්ග අනුගමනය කරමින් කරන්න ඕන… ” ජනාධිපතිවරයා කීවේය…

යුද්ධයෙන් විනාශ වෙච්ච රට බේරගෙන අපිව ගලවා ගත්තා වගේ ඔබතුමා මේ පාර කොරෝනා වසංගතයෙනුත් අපිව බේර ගත්තා. ඔබතුමා ඉන්න තුරු අපි බය නැහැ…”

ජනතාව බොහෝ දේ කියන්නට වූහ. ජනාධිපතිවරයා තව තවත් සෙනඟ අතරට යනවාට ආරක්ෂක අංශ ඒ තරම් කැමැත්ත පළ කළේ නැත.

‘‘ඔබතුමා ගැන විතරයි අපිට විශ්වාස… වෙන කා ගැනවත් අපට විශ්වාසයක් නෑ…” ජනතාවගේ මෙම අදහස් පල කිරීම ගැන ජනාධිපතිවරයා තරමක් විමතියට පත්විය.

කඨින චීවරය පූජා කිරීමෙන් පසුව මහා සංඝරත්නය වෙනුවෙන් සූදානම් කර තිබූ දානමය පුණ්‍යකර්මය සඳහා මහා සංඝරත්නයට ආරාධනා කළහ.

මහ සඟරුවනට දන් පිළිගන්වන අතරතුර ජනාධිපතිවරයා එම විහාරස්ථානයේ සුවිශේෂී තැන් නරඹන්නට ගියේය.

ඓතිහාසික බෝධි රාජයාණන්ට මල් පූජා කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා තවත් විශේෂ පුණ්‍යකර්මයට සහභාගි වූයේ දුලබ සුවිශේෂී පලතුරු වර්ගයක් වන ගිනි වරකා පැලයක් සිටුවමිනි. දිවයින පුරා කොස් පැළ දස ලක්ෂයක් රෝපණය කිරීමේ වැඩසටහනේ එක් අංගයක් ලෙස එය පැවැත්විණි. විහාරස්ථාන බිමේ පිහිටා තිබුණු ඓතිහාසික පුරාණ විෂ්ණු දේවාලය ද ජනාධිපතිවරයා ගේ නිරීක්ෂණයට ලක්විය.

මහා සංඝරත්නය විෂයෙහි පැවැත්වුණු දානමය පිංකමට අනතුරුව මෙම විහාරස්ථානය පූජා භූමියක් බවට නිල වශයෙන් පත්කිරීම සඳහා විශේෂ උත්සව සභාවක් පැවති අතතර ඒ සඳහා කරන ලද විශේෂ අක්තපත‍්‍ර කියවීම සිදුකෙරුණේ බුද්ධශාසන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා විසිනි.

  • විපක්‍ෂයේ වැඩ ගැන කණස්සල්ලෙන්

අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා පසුගිය සතියේදී දැඩිව සිය අවධානය යොමු කර සිටියේය. විශේෂයෙන්ම විපතට පත්වූවන් සඳහා සහන සැලසීම අදාළ අමාත්‍යාංශවලට බරපතළ ගැටලූවක් විය. ජනාධිපතිවරයා මේ සඳහා දායක වන්න යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගෙන් ඉල්ලීමක් කර තිබිණි.

ඉන්ධන ප‍්‍රශ්නය ගෑස් හිඟය ගැන පමණක් නොව, ගල් අඟුරු හිඟයක් ගැන ද සමහරු කතාබහ කරන්නට වූහ. විපක්ෂයෙන් නැෙඟන මෙකී චෝදනා ගැන ජනාධිපතිවරයා දැඩි ලෙස අවධානය යොමු කරමින් බලා සිටියේය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමෙන් රට තුළ ඉන්ධන හිඟයක් ඇති වේ ද යන කරුණු ගැන ජනාධිපතිවරයා විශේෂ අවධානයක් යොමු කරමින් අදාළ ඇමැතිවරු හා නිලධාරීන් ගෙන්වා සාකච්ඡා කළේය.

කිසිදු අඩුපාඩුවකින් තොරව ඉන්ධන සැපයීමට රජය මේ වන විට අවධානය යොමු කර ඇති බැවින් රටේ ඉන්ධන හිඟයක් ගැන බියක් තබා ගත යුතු නැතැයි නිලධාරීහු පෙන්වා දුන්හ.

එහෙනම් ඉතින් මේ මොකද හැමතැනම පෙට‍්‍රල් ෂෙඞ් වල පෝලිම් ගැහිලා මිනිස්සු ඉන්ධන ගෙනියන්නේ…

විපක්ෂයයි විපක්ෂයේ අයගේ හඬ ජනතාව අතරට අරන් යන ඇතැම් මාධ්‍යයයි ජනතාව කුලප්පු කරනවා… හෙට ඉඳලා ඉන්ධන හිඟයක් කියලා අනවශ්‍ය විදිහට පුවත් පළ කළාම, සෝෂල් මීඩියා එකෙන් මතයක් ගෙනිච්චම ජනතාව බය වෙලා දරුවන්ට කන්න දෙන්න තියෙන මිල මුදල් පවා ගෙනල්ලා ෂෙඞ්වල තියෙන පෙට‍්‍රල් ඞීසල් ටික කෑන්වල පවා පුරවන් ගෙවල්වල ගෙනියනවා. මේක තනිකරම ජනතාව නොමඟ යැවීමක්…”

‘‘විපක්ෂය ඉතිං හැමදාම කරන්නේ ඕවනේ… කවද්ද මේගොල්ලෝ හැදෙන්නේ…”

‘‘හැබැයි සර් ලාෆ් ගෑස් එක අකර්මණ්‍ය වුණ නිසා ගෑස්වල නම් ලොකු ප‍්‍රමාදයක් තියනවා. ඒත් අපි ඒ ප‍්‍රශ්නය ජය ගන්නවා.”

‘‘මට කවුද කිව්වා කවදාවත් ගෑස් ලිප් පාවිච්චි කරපු නැති අයත් දැන් ගෑස් පාවිච්චි කරනවා කියලා. දර ලිප් වල කෑම ඉව්වම කොච්චර රසද. ඒව ගැන දන්න අය දන්නවා. එහෙම තියෙද්දිත් දැන් ඔය මොනරාගල කතරගම අම්පාර පොළොන්නරුව අනුරාධපුර වගේ දර හොඳට තියන පැතිවල පවා ජනතාව ගෑස්වලට හුරු වෙලා…”

‘‘ඒ වුණාට සර් අපි සමහර තැන්වලදී ගම්වල අයට එහෙම උපදෙස් දුන්නම එයාලා අපෙන් අහනවා… කොළඹට කිරි අපට කැකිරි ද… කියලා.”

ඔව් ඔව්… ඒ වගේ දේවල් අපි පරිස්සමින් ජනතාවට කියන්න ඕන. කොළඹ මිනිස්සු මැටි වළංවල දර ලිප් වල උයන කෑම වැඩිපුර සල්ලි දීල අරන් කනවා. දර පෝරණු පාන් හොයනවා. ගම්වල මිනිස්සු එකෙ අනිත් පැත්ත. කොහොමටත් මේවා ගැන කතා කරනකොට ටිකක් පරිස්සම් වෙන්න වෙනවා…

ඇති තරම් වතුර තියන නිසා ජල විදුලි බලයෙන් කරන්ට් එක නිපදවනවා. ඒක නිසා ගල් අඟුරු ඞීසල් ප‍්‍රශ්න විදුලි බල උත්පාදනයට ආවෙ නෑ…” ඇමැතිවරයෙක් කීවේය.

ඔව්… ඔය හැම ප‍්‍රශ්නයක්ම තව ටික කාලයයි… අපි එතෙක් ඔක්කොම එකතුවෙලා ටිකක් ඉවසිල්ලෙන් බලා ඉමු… ජනාධිපතිවරයා කිව්වේය.

  • ජනාධිපති මුණගැසෙන්න
    ආ අමුත්තන් තුන්දෙනෙක්….
මේ ඉන්දන හිඟයත් විපක්ෂයේ වැඩක්!

පසුගිය 16 වන අඟහරුවාදා ජනාධිපතිවරයා මුණ ගැසෙන්නට අමුත්තන් තිදෙනකු පැමිණියේය. දෙදෙනකු තානාපතිවරුය. එක් අයකු මහකොමසාරිස්වරයෙකි. දකුණු අප‍්‍රිකානු මහ කොමසාරිස්වරයා හා තායිලන්ත, ජපන් තානාපතිවරු මෙසේ ජනාධිපතිවරයා හමුවන්නට පැමිණ නව අක්තපත‍්‍ර භාර දී නිල කටයුතු අවසන බොහෝ වේලාවක් සතුටු සාමිචියේ යෙදී සිටියහ.

මෙම සාකච්ඡාව අතරතුර ජයිකා ආයතනයේ දකුණු ආසියා කලාපය භාර නිලධාරීන් පිරිසක් ද ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළහ.

මෙම සතිය රාජපක්ෂ පවුලේ දේශපාලනඥයන්ට ඉතා වැදගත් සතියක් විය. ඊට හේතු දෙකක් තිබිණි. එකක් හිටපු ජනාධිපති අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ 76 වන උපන්දිනය මේ සතියේ 18 වන දාට යෙදී තිබීමය. එම දිනයේම අනුරාධපුර ඉදිකරන ලද සඳහිරු සෑය මහා ස්ථූපය මහජන වන්දනාමාන කටයුතු සඳහා සසුනට පූජා කර ජනගත කිරීමේ උත්සවයක් ද පවත්වන්නට යොදාගෙන තිබිණි.

සඳහිරු සෑය යනු උතුරු නැගෙනහිර යුද්ධය ජය ගැනීමෙන් පසු ඊට දිවිපිදූ රණවිරුවන්ට හා සහභාගි වූ රණවිරුවන්ට සෙත්පතා ඉදිකිරීම් ආරම්භ කළ මහා ස්ථූපයයි. එම ස්ථූපය ජනගත කිරීමේ දිනය හිටපු ජනාධිපතිවරයාගේ ජන්ම දිනය දවසට යොදා ගැනීම මෙන්ම එදින පුරා පුන් පොහොය දිනයක් වීම ද විශේෂත්වයක් විය.

එම උත්සවය 18 වෙනි බ‍්‍රහස්පතින්දා පවත්වන්නට යෙදී තිබුණත් ජනාධිපතිවරයා 17 වැනිදා උදයේම කොළඹ තිබූ සියලූ රාජකාරි වැඩ අවසන් කොට උදෙන්ම අනුරාධපුර බලා පිටත්ව ගියේ තවත් විශේෂ වැඩකටයුතු ද කිහිපයක් යොදාගෙන තිබුණු නිසාය.

දාහත් වෙනිදා හවස ජනාධිපතිවරයා ඔයාමඩුව ප‍්‍රදේශයටත් අනුරාධපුර ඞී. එස්. සේනානායක වීදියටත් ගියේ එකම කාරණාවකට ය.

එම ස්ථාන දෙකේම ශ‍්‍රී ලංකා ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් ඉතා සාර්ථකව පවත්වාගෙන යන කාබනික පොහොර නිෂ්පාදනාගාරයක් තිබිණි. එම නිෂ්පාදනාගාර දෙකම ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට හසු විය. දුමින්ද දිසානායක, එස්. එම්. චන්ද්‍රසේන, ෂෙහාන් සේමසිංහ ඇතුළු අනුරාධපුරයේ දේශපාලනඥයෝ ගණනාවක්ද ජනාධිපතිවරයා සම්බන්ධ ඉතා නිදහසේ මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියහ.

‘‘මම බැලූවේ මේ වගේ නිෂ්පාදනාගාර දැන් රට පුරාම කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරනවා. යම් යම් තැන්වල මේ කන්නවලට මේ වගේ පොහොර හිඟයක් තිබුණාත් තව ටික කාලයකින් පුහුණුව සම්බන්ධයෙන් කිසිම ප‍්‍රශ්නයක් අපිට ඇති වෙන එකක් නෑ…

මීට කලින් කහ ගැන ලොකු ප‍්‍රශ්නයක් තිබුණා. විශාල මුදලක් පිටරටවල කහ ගෙනාවෙ පිටරටින්. මුං ඇට කව්පි උ`දු වගේ ඇට වර්ග දාසයක් මම පිටරටින් ගෙන එන එක තහනම් කරල ලංකාවේ වවන්න යෝජනා කළා. අද කහ ඕනතරම් ලංකාවෙ තියෙනවා. මුං ඇට කව්පි ඕන තරම් ලංකාවේ තියෙනවා.

ඒකයි මම කියන්නේ… හිඟයක් තිබුනට මිල ඉහළ ගියාට එකපාර කලබල වෙන්න හොඳ නෑ. ටික කලක් යනකොට ගොවියෝ තමන්ගේ අතමිට සරු කර ගෙන ප‍්‍රශ්නයට උත්තරය හොයාගනීවි.” ජනාධිපතිවරයා ඉතා සතුටින් කීවේය.

  • ජනපතිගෙන් ප‍්‍රසන්නට
    ගුවන්තොට ගැන පැමිණිලි…

යහපාලන රජය සමයේ බස්නාහිර පළාත් සභා මහ ඇමැතිවරයාව සිටි වත්මන් සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතාට එරෙහිව නඩුවක් ගොනුකර තිබුණේ ඉඩමක් සම්බන්ධ කර ගනිමිනි. ඊට අදාළ නඩුව ඉකුත් සඳුදා අළුත්කඬේ උසාවියේ විභාගයට ගැනිණි. ඉඩමක් විකිණීමේදී මහ ඇමැතිවරයා ලෙස සිය බලය අයුතු ලෙස යොදාගැනීමක් සම්බන්ධයෙන් මෙම නඩුව යොදා තිබිණි.

අධිකරණය හමුවේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඉකුත් රජය සමයේ මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙන ඒම සඳහා කැප වූ පිරිස එරෙහිව බොරු නඩු දැමීමක් සිදු වූ බව ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වීමත් සමග දිගින් දිගටම මෙම පලිගැනීම සිදු වූ බවත් එකල මහින්ද සුළඟ රැස්වීම් මාලාව සංවිධානය කිරීම සඳහා මුල් වූ අය අතර ධූරයක් දැරූ එකම තැනැත්තා තමන් බවත් එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අවස්ථාවේ අමාත්‍යවරයාගේ බිරිඳ ද අධිකරණය හමුවේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් සඳහන් කළේ තමන් මින් පෙර උසාවියකට හෝ පොලිසියකට ගොස් නොමැති බවයි. කිසිදු හේතුවකට මින් පෙර අධිකරණයක් ඉදිරියේ පෙනී නොසිටි තමන්ව ස්වාමි පුරුෂයා ගේ දේශපාලනය නිසා මෙම නඩුවට පටලවා ගෙන ඇතැයි ඇය විත්තිකූඩුවේ සිට කියන විට ඇයගේ ඇසින් ක`දුළු ඇද වැටිණි.

ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ පහසුව සඳහා කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය ප‍්‍රකාශ භාරගැනීමේ කවුළු කිහිපයක් හඳුන්වා දී තිබේ. ලංකාවට පැමිණෙන සංචාරකයන් ඇතුළු ශ‍්‍රී ලාංකිකයන්ගේ එන්නත් කරන වාර්තා රැස්කර ඉදිරි පියවර ගැනීම මෙම කවුළු මගින් සිදු කෙරිණි. මේ වන විට 12,000 ක පමණ සංචාරකයන් පිරිසක් දෛනිකව කටුනායක ගුවන් තොටුපළින් සේවය ලබා ගනී. ඒ නිසා සමහර වෙලාවලදී තදබදයක් ඇති වේ. තදබදය නිසා ලංකාවට පැමිණෙන සංචාරකයන්ට තරමක වේලාවක් ගුවන්තොටුපළ පරිශ‍්‍රය තුළ රැඳී සිටීමට සිදුවන අවස්ථා විය. කෙසේ වෙතත් මේ පිළිබඳව ජනාධිපතිවරයාට පැමිණිලි ඉදිරිපත්ව තිබේ. එම පැමිණිලි සම්බන්ධයෙන් දැනුම් දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සංචාරක අමාත්‍යවරයාට දුරකථනයෙන් ඇමතීය.

‘‘එයාපෝට් එකේ මිනිස්සු රස්තියාදු වෙන්න බැහැ. ප‍්‍රසන්න අදම මේකට විසඳුමක් දෙන්න”

‘‘හරි ජනාධිපතිතුමා. මම දැන්ම මේ ගැන සොයා බලන්නම්” කී අමාත්‍යවරයා ඒ මොහොතේම කටුනායක ගුවන්තොටුපළ පරිශ‍්‍රය වෙත පැමිණියේ අදාළ නිලධාරීන්ට ද වහාම ගුවන්තොටුපළ පරිශ‍්‍රයට පැමිණෙන ලෙස දුරකථනයෙන් දැනුම් දෙමිනි.

මේ සම්බන්ධයෙන් ගුවන්තොටුපළ පරිශ‍්‍රයේ පැවැති සාකච්ඡාවේ දී අනාවරණය වූයේ එහි අවශ්‍යතාවයට සරිලන පරිදි සෞඛ්‍ය අංශ සේවකයන්ව සේවයට යොදවා නොමැති බවයි.

‘‘ගුවන්තොටුපළ බලධාරියා විදිහට ගුවන් තොටුපළ සභාපතිතුමාගේ අධීක්ෂණය යටතේ කාර්ය මණ්ඩලය යොදවලා ප‍්‍රමාදය මගහරවාගන්න කටයුතු කරන්න” ඇමැතිවරයා ඊට උපදෙස් දුන්නේය.

‘‘අපි වෛද්‍යවරු. අපිට එහෙම කරන්න බැහැ” බොහෝ වෛද්‍යවරුන්ගේ එකඟතාවය ලැබුණත් එක් වෛද්‍යවරයෙක් ඊට එරෙහිව කතා කළේය.

‘‘මෙතන කෙරෙන්නේ මෙහෙයුමක්. වෛද්‍යවරුන්ගේ කාර්යභාරය ගුවන්තොටුපළ සේවකයන්ට දෙන්න කියලා අපි කියන්නේ නැහැ. ඔයාලට සහායට අවශ්‍ය සේවකයන් දෙන්නම් කියන කාරණයයි අපි පැහැදිලි කරන්නේ. ඔක්කොම එකතුවෙලා තීරණ ගන්න ඕන වෙලාවක ඔයවගේ කතා කරන්න ගියාම අපි කොහොමද රටක් විදිහට ඉදිරියට යන්නේ” අමාත්‍යවරයා එහිදී විමසීය.

සාකච්ඡාව අවසානයේ ගුවන්තොටුපළ පරිශ‍්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක් වූ අමාත්‍යවරයා ගුවන් මගින් පැමිණෙන මගීන්ගේ ගැටලූ විමසමින් ඒ අවස්ථාවේදීම ඊට අදාළ පියවර ගැනීමට කටයුතු කළේය.

ඉකුත් 16 වැනිදා විපක්ෂය සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයක් සංවිධානය කර තිබිණි. එදින පාර්ලිමේන්තු ලොබියේ දී මේ සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරු අතර සාකච්ඡාවක් ඇති විය.

‘‘යහපාලනයට එරෙහිව ඒ කාලේ අපි කරපු උද්ඝෝෂණ වගේ ඒවා තමයි ඒ අයත් කරන්නෙ කියලා සමහරු කියන්න උත්සහ කරනවා. මම නම් හිතන්නෑ ඒ කාලයේ අද කාලේ සමාන කරන්න පුළුවන් කියලා” සහන් ප‍්‍රදීප් මන්ත‍්‍රීවරයා කීවේය.

‘‘අපි උද්ඝෝෂණ කරන කොට ලෝකෙ කොහෙවත් වසංගතයක් තිබුණෙ නැහැ. බැරිවෙලා හරි ඒ කාලේ වසංගතයක් තිබුණනම් ආණ්ඩුවට විරුද්ධව අපි කරපු වැඩපිළිවෙල ඊට වඩා වෙනස් වෙන්න තිබුණා. කවදාවත් මිනිස්සු ඇපයට තියලා, අවදානමට යොදලා විරෝධතාවයක් කරයි කියලා මම නම් හිතන්නෙ නැහැ” මිලාන් ජයතිලක මන්ත‍්‍රීවරයා කීවේය.

‘‘ඔව් එහෙම වුණානම්, මීට වඩා වෙනස් විරෝධතා ව්‍යාපාරයක් අපි එදා කරනවා. වසංගතයක් එක්ක සාම්ප‍්‍රදායික විරෝධතා වෙනුවට, විරෝධතා දැක්වීමේ ක‍්‍රමය වෙනස් වෙන්න ඕනේ” ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා කීවේය.

‘‘මේ වෙලාවේ වසංගතයෙන් ගොඩයන්න, මිනිස්සුන්ට සෞඛ්‍ය පිලිවෙත් අනුගමනය කරන්න කියලා, රටේ ආර්ථිකය ගොඩගන්න යෝජනා ඉදිරිපත් කළානම් විපක්ෂය ගොඩයන්න තිබුණා” කෝකිලා ගුණවර්ධන මන්ත‍්‍රීවරිය කීවාය.

‘‘ඔව්. මේ විපක්ෂයේ අයට ඒ වගේ සිතුවිලි පහළ නොවෙන එකම අපිට වාසියි” නිමල් ලාන්සා මන්ත‍්‍රීවරයා ද කතාවට එක් වූවේය.

‘‘යන්තම් දරුවෝ පාසල් යන්න ගත්තා විතරයි. ඊළඟට පටන් ගන්නෙ සජිත්ගෙ ගොන් රැල්ල.” ප‍්‍රසන්න රණතුංග මන්ත‍්‍රීවරයා කී විට එතැන සිටි සැවොම එය අනුමත කළේය.

  • බැසිල් ඇසූ ප‍්‍රශ්නයට රාජිත හොඳින්ලූ…

වෛද්‍ය උපාංග නිෂ්පාදනය කර ඇමෙරිකාව සහ යුරෝපා කලාපයට අපනයනය කරන දැවැන්ත නිෂ්පාදනායතනයක් විවෘත කිරීමේ උත්සවයක් පසුගිය අඟහරුවාදා බණ්ඩාරගම දී පැවැත්විණි. මුදල් ඇමැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මේ උත්සවයට බි‍්‍රතාන්‍ය මහකොමසාරිස්තුමිය සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, රෝහිත අබේගුණවර්ධන හා හිටපු සෞඛ්‍ය ඇමැතිවරයකු වූ රාජිත සේනාරත්න ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් සහභාගි වූහ.

රාජිත සේනාරත්න මන්ත‍්‍රීවරයා අසලින් යන විට බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා ‘‘කොහොමද රාජිත” යැයි ඇසීය.

‘‘හොඳින්.. හොඳින්” රාජිත සේනාරත්න ඇමැතිවරයා කීවේය.

‘‘මම ඉක්මනින් යන්නත් ඕන… තේ එකක් බොන්න විනාඩි පහකට චේම්බර් එකෙන් එළියට ගියත් ඔයාලගෙ පැත්තෙ අය කෝ මුදල් ඇමැති කියල කෑගහනවනෙ” යි නැවතත් බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා සිනාමුසුව පැවසීය.

රාජිත සේනාරත්න මන්ත‍්‍රීවරයට ඊට පිලිතුරක් දී ගත නොහැකි විය.

තව තවත් මෙවැනි ආයෝජන දිරිගැන්වීම මුදල් ඇමැති ලෙස තමන්ගේ ප‍්‍රමුඛ කාර්යක් බව මුදල් ඇමැතිවරයා සභාව අමතමින් කීවේය. තව නොබෝ දිනකින් ලෝකයේ ප‍්‍රමුඛතම තොරතුරු තාක්ෂණ සමාගමක් ඔවුන්ගේ ක‍්‍රියාකරකම් සඳහා මෙරට නව ආයතනයක් විවෘත කරන බවත් එමගින් තරුණ දරුවන් 2000 කට වැඩි පිරිසකට රැකියා ලබාදීමට බවත් මුදල් ඇමැතිතුමා සඳහන් කළේය.

පවතින ආපදා තත්ත්වය සහ ආපදා කළමනාකරණ මෙහෙයුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අඟහරුවාදා උදේ අගමැතිතුමාගේ පාර්ලිමේන්තු කමිටු කාමර අංක 2 දී පැවැත්විණි.

ඒ අවස්ථාවේ ආපදාවන්ට මුහුණ දෙන දිස්ත‍්‍රික් කිහිපයක් ගැන එහිදී විශේෂයෙන් සාකච්ඡා විය.

‘‘සර්… බදුල්ලේ නාය යෑමේ අනතුරු හ`දුනාගෙන තියෙන තැන්වල ඉන්න පදිංචිකරුවන් තවත් පිරිසක් ඉන්නව පදිංචි කරවන්න. ඒකට ආණ්ඩුවෙ ඉඩම් ටිකක් නිදහස් කර ගන්න ඕනි” ඇමැති නිමල් සිරිපාලගේ යෝජනාව ඉක්මනින් ඉටු කරන ලෙස අගමැතිතුමා උපදෙස් ලබා දෙන විට ‘‘සර්.. මේවා මෙහෙම කරන්න බෑ. බදුල්ලේ ආණ්ඩුවෙ ඉඩම් කොළඹ සමහරු ඇවිත් බලලා යනවා. බදුල්ලේ ඉඩම් කොළඹ අයට දෙන්න බෑ” යි චාමර සම්පත් දසනායක මන්ත‍්‍රීවරයා තමන්ගේ සුපුරුදු උස් හඬින් කීවේය.

‘‘නෑ නෑ සර්.. අපි කාටවත් අවිධිමත් විදිහට ඉඩම් දීල නෑ” ඉඩම් ඇමැති එස්. එම්. චන්ද්‍රසේන ඒ මොහොතේම පිලිතුරු දුන්නේය.

බුලත්සිංහල ගංවතුර ප‍්‍රශ්නෙට සංජීව එදිරිමාන්න ඉදිරිපත් කළේ අමුතුම පිලිතුරකි.

‘‘සර්.. කුකුලේගඟ ප්‍රොජෙක්ට් එකේ දොරවල් ඇරපු ගමන් මෝල්කාව, පරගොඩ වටේම විනාඩි කීපයෙන් යටවෙනව.. ගමේ අය කැමතියි සර් ගෙටම එකතු කරල උස් තැනක් ඉදිකරගන්න. එතකොට එකපාරටම වතුරට යටවෙන අසරණකමෙන් ටිකක් නිදහස්.. මේකට නිවාස අධිකාරියෙන් අඩු පොලියකට විශේෂ ණයක් හදල දෙන්න”

‘‘ගම්පහ දිස්ත‍්‍රික්කයේ ඇලවේලි ටික හරියට සුද්ද කර ගත්ත නම් පිටාරෙට යට වෙන එක ගොඩාක් අඩු

කරගන්න පුළුවන්” කවුද ගම්පහ දිස්ත‍්‍රික්කය වෙනුවෙන් කතාකරන ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා කීවේය.

ඒ අවස්ථාවේදී ඊට අදාළ දීර්ඝකාලීන වැඩපිළිවෙළක් පිලිබඳව වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරියෙක් කරුණු පැහැදිලි කළේය.

එය අසා සිටි මුදල් අමාත්‍යවරයා ‘‘දීර්ඝකාලීන වැඩපිළිවෙළක් කරන්න. ඒත් ඔක්කොටම ඉස්සෙල්ලා වැහි කාලෙ එන්න ඉස්සෙල්ලා මේ ඇලවල් ටික අ`දුරගෙන ඒව සුද්ද කරන්න” කීවේය.

‘‘ඔව් සර්.. මම කියන්නෙත් ඒක. ගම්පහ මිනිස්සුන්ට මේ වෙලාවෙ අවශ්‍ය ඉක්මන් උත්තරයක්.” කී ප‍්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ගම්පහ දිස්ත‍්‍රික්කයේ ඇලෙන් ඇලට විස්තර සියල්ල පැහැදිලි කළේය.

‘‘ගොඩාක් ස්තුතියි සර්.. බුලත්සිංහල ප‍්‍රශ්නෙට සහන ණයක් දෙන්නම් කියල නිවාස අධිකාරියෙන් දැන් මට කෝල් කරල කිව්වා” අගමැතිතුමාගේ කඩිනම් විස`දුම සංජීව එදිරිමාන්න පිළිබඳ සභාව දැනුවත් කර ස්තුතියි කියද්දී සභාවේ හැමෝම අගමැතිවරයා දෙස බැලූයේ ගෞරවපූර්වකවය.

  • රාජිත හා ෆොනී කී අනාවැකි සැබෑ වෙලා
මේ ඉන්දන හිඟයත් විපක්ෂයේ වැඩක්!

සජිත්ගේ නායකත්වයෙන් යුතු සමගි ජනබලවේගය පසුගිය දිනවල දිගින් දිගටම මහන්සි වූයේ රජයට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් කොළඹ සංවිධානය කිරීමටය. වර්තමානයේ ජනතාව පීඩා විඳින රටේ දැවෙන ප‍්‍රශ්න ගණනාවකට විසඳුම් ඉල්ලා මෙම උද්ඝෝෂණය සංවිධානය කරන්නට විපක්‍ෂයේ අවධානය යොමුවිය.

මේ උද්ඝෝෂණ මාලාව රට වටෙන්ම සජබයේ ආධාරකරුවන් එක දිනකදී කොළඹට කැඳවා කොළඹ වටලෑමේ ව්‍යාපෘතියක් ලෙස පවත්වන්නට සජිත් කතාබහ කර ගත්තේය.

මේකට අපි ‘සාපයට එරෙහි ජනතා විරෝධය’ කියල නම යොදමු. පක්‍ෂය අභ්‍යන්තරයෙන් යෝජනාව පැමිණියේය.

මේ වැඬේ ජාතික වශයෙන් සංවිධානය කරන්න මනුෂ හොඳයි. සභාවෙන් පැමිණි යෝජනාවට සජිත් තවත් අදහසක් එක් කළේය.

හරින්ටයි මරික්කාර්ටයි පුළුවන්නේ මනුෂට සහාය වෙන්න.

මේ පසුගිය සතියේ පැවති සජබේ අභ්‍යන්තර සාකච්ඡාවකදී යෝජනා ස්ථිර වූ කරුණු කිහිපයකි.

කෙසේ වෙතත් අවසානයේ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරු මේ උද්ඝෝෂණයේ තිබෙන අවදානම් තත්ත්වය ගැන ද කරුණු නොකීවා නොවේ.

මේ වෙලාවේ ලොකු උද්ඝෝෂණයක් කරන්න ගියොත් ලොකු ප‍්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන්. බුද්ධි අංශ එහෙමත් කලබල වෙයි. සරත් ෆොන්සේකා කීවේය.

කොරෝනා චෝදනා එහෙමත් නගන්න බැරි නැහැ. තවත් මන්තී‍්‍රවරයෙක් කීවේය.

හරියට හරි. දැන් ඔන්න ආණ්ඩුවට මේ ගැන ඉව වැටිල වෙන්න ඇති. සෞඛ්‍ය රෙගුලාසි යාවත්කාලීන කරමින් අලූත් ගැසට් එකක් ගහලා.

ඔව්… ඕක මම දන්නවා. ආණ්ඩුව නව සෞඛ්‍ය රෙගුලාසි ඉස්සරහට දාලා රටේ පවතින උද්ඝෝෂණ නතර කරන්න සැලසුම් කරනවා. මට ඇතුළෙන්ම ආරංචි වුණා…” රාජිත සේනාරතන කීවේය.

” ඕකට අපි බය වෙන්න ඕන නැහැ. අපි ඕකට යටත් වුණොත් මීට පස්සේ උන් අපිට ඔළුව උස්සන්න දෙන එකක්ම නෑ… හරින් හා මනුෂ එක්ව පැහැදිලි කළහ.

මේ සාකච්ඡාව සිදුවී දින කිහිපයකට පසුව රාජිත කී කතාව සනාථ කරමින් නව රෙගුලාසි අඩංගු ගැසට් පත‍්‍රයක් නිකුත් විය.

සමගි ජනබලවේගයේ මන්තී‍්‍රවරු මේ පිළිබඳ කරුණු සාකච්ඡා කරමින් සිදුවන දේ කලින්ම අනාවැකි කීම ගැන සරත් ෆොන්සේකාට හා රාජිත සේනාරත්නට ප‍්‍රශංසා කළහ. මේ ඇතිවී තිබෙන අලූත් තත්ත්වය ගැන සාකච්ඡා කරන්නට සජබේ කි‍්‍රයාකාරිකයන් සූම් සාකච්ඡාවක් කැඳවූයේය.

එක රටයි එක නීතියයි කියල කිව්වාට මේ රටේ එක එක්කෙනාට එක එක නීති තියන බව අපට දැන් ඔප්පු වෙනවා… අපි මොනව හරි උද්ඝෝෂණයක් ගේනකොට අපට සෞඛ්‍ය රෙගුලාසි දානවා. ආණ්ඩුවේ සම්මේලන තියනකොට ජෝගි නටනකොට කිසිම ගානක් නෑ. සෞඛ්‍ය අණ පනත් ඒවාට බලපාන්නේ නෑ. නලින් බණ්ඩාර කීවේය.

හැබැයි මේ කිසිම හේතුවක් නිසා විරෝධතාව නම් ආපස්සට හරවන්නට මම සූදානම් නැහැ.” පක්‍ෂයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සිටියේ එවන් දැඩි ස්ථාවරයකය. ඒ අනුව සංවිධානය කරගත් පරිදි කිසිදු විරෝධතාවක් අඩු නැතිව පවත්වන්නට පක්‍ෂය තීන්දු කළේය. විරෝධතාව 16 වැනිදාට කල්තියා සූදානම් කරගත් පරිදිම පවත්වන්න සියල්ල සූදානම් කරන්නට සජිත් සිය දෙවන පෙළ නායකයන්ට බාර කළේය.

  • ඕනම දෙයකට පොලිසියත් ඔට්ටුයි

මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් එළඹෙන තත්ත්වයට පිළියම් සොයන්නට ද පොලිසිය අමතක කළේ නැත. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රැස්වීම් පැවැත්වීම, උත්සව පැවැත්වීම, දේශපාලන පෙළපාලි හා උද්ඝෝෂණ පැවැත්වීම ආදී සියලූ මහජන ඒකරාශී කිරීම් නීතියෙන් තහනම් කර තිබිණි. නීතියෙන් එබඳු තහනම් පනවා තිබියදී එම තහනම් උපදේශ නොතකමින් යමෙක් කි‍්‍රයාකරන්නේ නම් ඊට එරෙහිව පියවර ගන්නට ද රජය සූදානම්ව සිටියේය.

ඒ ඒ පළාත්වලින් සෙනඟ රැගෙන කොළඹ පැමිණෙන්නට සූදානම් කර තිබූ බස්රථවලට එරෙහිව තහනම් නියෝග හා වාරණ නියෝග ගන්නට ඒ ඒ පළාත් මට්ටමින් පොලිසිය පියවර ගෙන තිබිණි.

පොලිසියේ ඇතැම් උත්සාහයන් සාර්ථක විය. ඇතැම් උත්සාහයන් අසාර්ථක විය. මහජන ඒකරාශී කිරීම් වළකන ලෙස පොලිසිය ඉදිරිපත් කර තිබූ ඇතැම් යෝජනා අධිකරණ ප‍්‍රතික්‍ෂේප කර සිටියහ. කෙසේ වෙතත් මෙම උද්ඝෝෂණය සඳහා පිට පළාත්වලින් බස්රථ භාවිත කරමින් සෙනඟ ඇදීම අකුරටම තහනම් කරන්නට පොලිසිය පියවර ගත්තේය. හයිවේ දොරටු වලදී නීතිය අකුරටම කි‍්‍රයාත්මක විය. විරෝධතාව පැවැත්වෙන දිනයේ උදෙන්ම රංජිත් මද්දුම බණ්ඩාර එරාන්, මරික්කාර්, මනුෂ ඇතුළු විපක්‍ෂයේ නායකයෝ කිහිප දෙනෙක් පිටකෝට්ටේ පිහිටි සජබේ කාර්යාලයට පැමිණියහ. ඔවුන් තොරතුරු මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් පිට පළාත් වලින් කොළඹ පැමිණෙන උද්ඝෝෂණකරුවන්ට මග පෙන්වන්නට වැඩපිළිවෙළක් සංවිධානය කළහ. හයිවේ දොරටුවලින් හරවා යවන බස්රථ විකල්ප මාර්ග ඔස්සේ කොළඹ ගෙන එන ක‍්‍රමවේද ඔවුන් සැලසුම් කළහ.

අවශ්‍ය කුමන හෝ ක‍්‍රමයකින් කොළඹට පැමිණීම ඉලක්කය කර ගන්නැයි අදාළ අංශවලට උපදෙස් සැපයිනි. කොහොම හරි කොළඹට එන්න. හවස 2.00 ට අපි පිටකෝට්ටේ විපක්‍ෂ නායක කාර්යාලය ළඟින් පෙළපාලිය පටන් ගන්නවා. සජිත්ගේ පණිවිඩය ප‍්‍රාදේශීය නායකයන් වෙත ඒ මොහොතේම සම්පේ‍්‍රෂණය විය.

කෙසේ වෙතත් සෙනඟ කළහකාරී ලෙස හා විශාල ලෙස සංවිධානාත්මකව කොළඹට ගෙන ඒම මුළුමනින්ම තහනම් විය. පොලිසිය තහනම ඉහළින්ම කි‍්‍රයාත්මක කරමින් සිටියහ.

පිට පළාත්වල සෙනඟ එනතුරු අපි කොළඹ අපේ සෙනඟ දාලා පෙළපාලි ආරම්භ කරමු. මුජිබර් රහුමාන්ලා සහ මරික්කාර්ලා පෙරමුණ ගත්හ.

මරදාන, මාලිගාවත්ත, කොළොන්නාව, මැද කොළඹ, කොටහේන, බොරැල්ල ප‍්‍රදේශවල සෙනඟ එක්රොක් වූ විට පිටකෝට්ටේ කෝට්ටේ පාර එකම හිස් ගොඩක් බවට පත්විය. වාහන ගමනා ගමනය අඩාල විය.

දැන් අපි මෙතන නිකන් හිටගෙන ඉඳල හරියන්නේ නැහැ. පෙළපාලියක් වගේ ඉදිරියට යමු. රාජිත කීවේය.

ඒ අනුව සජිත්, චම්පික, රාජිත, රංජිත්, දිගම්බරන්, ඇතුළු මන්තී‍්‍රවරු එක පෙළට අත් අල්ලාගෙන පෙළපාලිය ඉදිරියෙන් ගමන් කළ අතර සෙසු ජනකාය ඔවුන්ගේ පසුපස පෙළපාලියක් සේ සෑදී ඉදිරියට එන්නට වූහ.

පෙළපාලිය ලිබර්ටි වටරවුම දක්වා ගෙන යන්නට සංවිධායකයන්ට අවශ්‍ය විය. ලිබර්ටි වටරවුම අසල පාරේ රැස්වීම පැවැත්වීම සජබයේ ඉලක්කය විය.

එහෙත් පොලිසිය යොදා ඇති විරෝධතාව හා බාධක හමුවේ ලිබර්ටි වටරවුම වෙත යෑම දුෂ්කර විය. වහාම නායකයෝ දුරකථන වලින් අදහස් හුවමාරු කරගෙන සැලසුම් වෙනස් කළහ.

අපි සැලසුම වෙනස් කළා. ලිබර්ටි වටරවුමට නොවෙයි, අපි අරලියගහ මන්දිරය පැත්තට යන්න උත්සාහ කරමු.

ඒ අනුව කොල්ලූපිටිය මංසන්ධියේ සිට ඊළඟට පෙළපාලිය අරලියගහ මන්දිරය පැත්තට යන්නට ගමන් මග වෙනස් විය. ඒ යන අතරවාරයේ මහ වර්ෂාවක්ද කඩා හැලෙන්නට විය.

අපි තෙමුනට කමක් නෑ. ඔබතුමා තෙමෙන්න එපා. ඉදිරි වැඩවලදී ඔබ අවශ්‍යයි. කියමින් ආරක්‍ෂක නිලධාරියෙක් සජිත්ට කුඩයක් ලබාදුන් අතර සජිත් ඒ කුඩය ගෙන ඇල්ලූවේ චම්පිකටය.

වැස්ස තුරන් වනතුරුම සජිත් කුඩය අත දරාගෙන සිටියේය. විරෝධතා පෙළපාලියට සජිත් අණ දුන්නේ පෙළපාලිය ගාලූ පාරේ අරලියගහ මන්දිරය ද පසුකරගෙන ගාලූමුවදොරපිටිය වෙත පැමිණිය යුතු බවටය.

කෙසේවෙතත් උද්ඝෝෂණය රජයට අවශ්‍ය පරිදි පවත්වාගෙන යන්නට නොහැකි විය. ඔවුන් සැලසුම් කර තිබූ පරිදි මහ සෙනඟක් කොළඹට ගෙන්වාගත නොහැකි වුවත් කොළඹට ඒ වන විට එක්ව සිටි සෙනඟ සුළු පටු නොවීය.

පෙළපාලිය අතරතුර කොළඹ මහාමාර්ගවලදී පෙළපාලිකරුවෝ මහජනතාව සමඟ ද යම් යම් ගැටුම් ඇති කර ගත්හ. ඇතැම්හු මහ මගේ ගමන් ගත් වාහනවලට ද පදිකයින්ටද බයිසිකල්කරුවන්ටද ප‍්‍රශ්න ඇති කර සිටියහ. පාරේ ගිය යතුරුපැදි කරුවෙකුට උද්ඝෝෂකයන් වටකරගෙන පහර දෙන අන්දම සීසීටීවී කැමරාවල ද දැකගත හැකි විය.

පොලිසියේ දැඩි විරෝධතාව මැදත් අයහපත් කාලගුණික තත්ත්වය මැදත් පෙළපාලිය හා විරෝධතාව ඉතා ඉක්මනින් අවසන් කරන්නට සංවිධායකයන්ට සිදුවිය.

විරෝධතාව අවසන් කර සෙනඟ විසුරුවා හල මන්ත‍්‍රීවරු එදා රාත‍්‍රියේ යළිත් වතාවක් කොළඹ එකක ඒකරාශි වූයේ විරෝධතා පෙළපාලිවල ප‍්‍රගතිය ගැන සමාලෝචනයක යෙදෙන්නට ය.

සැබැවින්ම පෙළපාලිය සංවිධානය කරගත් පරිදි පවත්වන්නට සජබයට නොහැකි විය. එහෙත් පවත්වන ලද විරෝධතාව ගැන ඔවුන් සෑහීමකට පත්ව සිටියහ.

‘‘මිනිස්සු බය නැතුව කොළඹට ආවා. ආණ්ඩුව අපිව බය කරන්න හැදුවාට මේ රටේ මිනිස්සු රජයට බය නැති බව ආණ්ඩුව තේරුම් ගත්තා. අන්න ඒක තමයි අපේ ජයග‍්‍රහණය…” මනුෂ විස්තර කළේය.

  • පනාමුරේ මරණයට මැතිසබයත් රත්වෙලා….

පසුගිය සතියම පාර්ලිමේන්තු සතියක් විය. සමගි ජන බලවේගයේ විරෝධතා පෙළපාලිය ගැන පාර්ලිමේන්තුව ඇතුළේ ද කතාබස් ඇතිවිය. රජය පැත්තෙන් එය ඉතා සාර්ථක විරෝධතා පෙළපාළියක් බව කිව්වද ආණ්ඩුවේ නියෝජිතයෝ නිතරම කළේ එම විරෝධතා ව්‍යාපාරවල අඩුපාඩු හා වැරදි පෙන්වමින් ඔවුන්ගේ ව්‍යායාමය අවතක්සේරු කිරීමයි.

පාර්ලිමේන්තුව ඇතුළේ අය වැය විවාදය මේ දිනවල මේ අතර ක‍්‍රියාත්මක විය. ආණ්ඩු පක්ෂයෙන් විවිධ කථිකයෝ මෙවර අයවැය ගැන මහත් උනන්දුවෙන් කතා කළේ මෙවන් දුෂ්කර අවස්ථාවක වුව එබඳු සංවර්ධනාත්මක අයවැයක් ඉදිරිපත් කිරීම තුළ එක්කරා අන්දමකින් බැසිල් අභියෝගය ජයගෙන ඇති බව පෙන්වා දෙමිනි. ඒ අතර බැසිල් රාජපක්ෂ පසුගිය සතිය පුරාම විවිධ රූපවාහිනි හා ගුවන් විදුලි සංවාද වලට ද සහභාගි වූයේ ය. ඔහු ඒවායෙහිදී ඉතා හොඳින් තම අයවැය යෝජනා විග‍්‍රහ කර පෙන්වන්නට සමත් විය. අයවැය අතරවාරයේ වුවත් පාර්ලිමේන්තුවේ පසුගිය සතියේ කතාබහට ලක්වූ තවත් කරුණු රාශියක් තිබිණි. ඒ අතර පසුගිය සතියේ නම් රටේ දක්නට ලැබුණු විවිධ පෝලිම් ගැනද කතා බහක් ඇති විය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩකටයුතු බොරතෙල් නොමැතිකම හේතුවෙන් අතරමඟ නතර වීමත් සමගම රටේ ලොකු ඉන්ධන හිඟයක් ඇති වේ යැයි කතාබහක් ද පැතිරිණි. මේ නිසා කලබල වූ ඇතැම් පිරිස් ඉන්ධන පිරවුම්හල් අද්දර පෝලිම් ගැසී තම තමන්ගේ වාහනවලට ඉන්ධන පුරවා ගන්නා අයුරු දක්නට ලැබිණ. තෙල් සංස්ථාවේ නිලධාරීන් හා ඇමැතිවරයා රටේ රටේ තෙල් ඉඟියක් නැතැයි කොතරම් කීවත් ජනතාව එය විශ්වාස කළේ ද නැත. ජනතාව විශ්වාස කළේ විපක්ෂය පාර්ලිමේන්තුවේ දී යම් යම් අවස්ථාවල රට තුළ මහත් ඉන්ධන හිඟයක් ඇති වෙනු ඇතැයි කියමින් පෙන්නුම් කළ දේශපාලන අනාවැකි ය. එබැවින් රට පුරා තෙල් පෝලිම් බහුල විය. තැන් තැන්වල දක්නට ලැබුණු භූමි තෙල් පෝලිම් ගෑස් පෝලීම් ද කිසි ලෙසකත් ඊට දෙවැනි වූයේ නැත. මේවා සම්බන්ධයෙන් ඇතිවූ කතා බස් වලින් පාර්ලිමේන්තුව වඩාත් උණුසුම් විය. මේ අතර තවත් කැපී පෙනෙන කාරණාවක් විය. පවුල් ආරවුලක් නිසා ඇඹිලිපිටිය පනාමුරේ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් සැකකටයුතු ලෙස ගෙල වැලලාගෙන මිය ගියේ පසුගිය සතිය මැද යි. පොලිසිය කීවේ දරුවන් තිදෙනකුගේ පියකු වන මේ පුද්ගලයා සිරමැදිරියේ සිටියදී තම කමිසයෙන් ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බවයි.

එහෙත් පනාමුර ප‍්‍රදේශවාසීන් හා ඔහුගේ ඥාතීන් එම කතාව විශ්වාස කළේ නැත. ඔවුන් කිව්වේ මෙම මරණයට සෘජුවම පොලිසිය වග කිව යුතු බවකි.

ප‍්‍රශ්නය පනාමුර ප‍්‍රදේශයට පමණක් සීමා වූයේ නැත. එම ප‍්‍රදේශයේ සජබයේ මහජන නියෝජිතයා වන හේෂා විතාරණ මෙම කාරණාව ඇහින් දුටු සාක්ෂි කාරයෙකු මෙන් පාර්ලිමේන්තුව ඇතුළටද ගෙන ආවේය. අවසානයේ වීරයකු බවට පත්වූ එම තරුණයා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් මැති සබයේ උද්ඝෝෂණ පවා කරන්නට වූයේ පොලිසිය භාර ඇමැති සරත් වීරසේකරට එරෙහිවය.

විපක්ෂයේ ඇතැම් පුද්ගලයෝ මෙම කතාවට අමුතු අර්ථකතනයක් දී තිබිණි.

ඇතැම්හු අර්ථ දැක්වූයේ මෙම පුද්ගලයා පසුගිය 16 වැනිදා සමගි ජන බලවේගයේ පෙළපාලි වලට සහභාගි වන්නට ගිය නිසා අත්අඩංගුවට ගෙන මෙසේ අවාසනාවන්ත ලෙස මරණයට පත්වන්නට ඉඩ හැර ඇති බවකි.

බුලිත ප‍්‍රදීප් කුමාර

advertistmentadvertistment