මේ කාල විපත්තියේ ඉදිරිය තවත් බරපතළයි

793

මේ කාල විපත්ති යුගය ඉදිරියට පවතින ආකාරය පිළිබඳව සොයා බැලීම කාලෝචිතය. මෙසේ සිදුවන්නේ අධර්මිෂ්ඨ රජවරු සහ අධර්මිෂ්ඨ රටවැසියන් රටකට වැඩි වෙන්න වෙන්න කාලවිපත්ති යුගය සකස් වන බව බුද්ධ දේශනාවයි. පාලකයෝ මහජනයා පිළිබඳ සොයා නොබලමින් තමන්ගේ නිලය බලය යොදාගනිමින් තමන් උදෙසා අසීමිත සම්පත් ගොඩගසා ගැනීමේ කාර්ය සිදුකර ගත්තෝය. දැනුත් එසේමය. වසර හැට හැත්තෑවක් මේ අධර්මිෂ්ඨ පාලකයෝ රට පාලනය කළහ.

 විපක්‍ෂයේ සිටින විට කියන දේ බලය ගත්පසු අමතක කළෝය. ඒසා කාලයක් රටේ පාලනයට දායක වූ පිරිස් අදත් විපක්‍ෂයේ සිට රඟපාන්නේ ඒ භූමිකාවමය. එසේම රටවැසියෝ ද මිනිස් ගුණාංග වලින් තොරව අධර්මිෂ්ඨ වී සිටී. දේශපාලකයන්ගේ දේපළ විනාශ කිරීමට රට පුරා ලක්‍ෂ ගණන් මිනිසුන් උනන්දුව උත්සාහය ක්‍රියාශීලී බව ධෛර්ය වික්‍රමාන්විත බව දැක්වූ අයුරු පෙන්නුවේ අධර්මිෂ්ඨ බවේ බරපතළ ක්‍රියාකාරීත්වයයි.

 එසේම විශාල පිරිසක් තෙල් පෝලිම්වල දුක් විඳිද්දී ඒ අතරට එක්වී පෝලිම්වල දුක කියමින් සිටි තවත් විශාල පිරිසක් දිනපතා ලබාගන්නා තෙල් එකතු කරමින් ලීටරයක් රුපියල් නමසීය දාහ වැනි ගණන්වලට විකුණමින් තවත් විශේෂ ලාබ උපද්දවන්නට පෙළඹුනහ. එයද අධර්මිෂ්ඨභාවයයි. එසේම අනෙක් අතින් ඇතුවාට වැඩියෙන් ලාබ උපදින පරිදි වෙළහෙළදාම් ද සකස්වී තිබේ.

 මේ කාලවිපත්ති යුගයක ස්වභාවයයි. මෙම තත්ත්වයන් විමසන විට අපට ග්‍රහබලයද අවශ්‍යම සාධකයකි. අපේ රටේ කේන්ද්‍රය කුම්භ ලග්නයයි. මේ ලග්නයේ අධිපති සෙනසුරුය. රාජරාජ මහා අමාත්‍යවරුන්ට වඩා සෙනසුරු නියෝජනය කරන්නේ සාමාන්‍ය වැඩකරන ජනතාවය.

 2020 කුම්භ ලග්නයේ 12 වැන්න වූ මකර රාශියට සෙනසුරු පැමිණීම ලග්න ඒරාෂ්ඨක තත්ත්වයකි. රජවරුන්ට විරුද්ධව මහජන ගැටුම් නිර්මාණය වන්නට පටන්ගත්තේ එතැන් සිටය. 2022 අප්‍රේල් 29 දා සෙනසුරු ලග්නය වූ කුම්භ රාශියට පැමිණියේය. පාලකයන්ගෙන් මහත් අවැඩ සිදුවීමත් රටේ ජනතාවගේ නැගිටීමටද මේ කාලය හේතු විය.

 සෙනසුරුට කුම්භ රාශිය තමාට අයත් මූල ත්‍රිකෝණ රාශියයි. මෙහිදී සෙනසුරුගෙන් යම් සුබ තත්ත්වයක් ඇතිවෙන බව ජ්‍යෙතිෂයමය නියමය වෙයි. මෙසේ තිබියදී ජුනි මස 05 වැනි දින සෙනසුරු ආපස්සට හෙවත් මකර රාශිය දෙසට යළි ගමන් ඇරඹුනි. එය සෙනසුරු වක්‍රවීම ලෙස හැඳින්වෙයි.

 මේ වක්‍රවීම අසුබ වෙයි. සෙනසුරු ලග්නයට පැමිණීම යම් සුබ තත්ත්වයක් ඇතිවන දෙයක් නමුත් වක්‍රයෙන් එසේ නොවී අසුබ මතු කරයි. සෙනසුරුට අයත් ඛනිජ සම්පත් අතර අප රටට අවශ්‍ය ඛනිජ තෙල් සම්බන්ධ අර්බුදය ජන ජීවිතයේ අස්සක් මුල්ලක් නෑර කාලවිපත්තිය ගොඩනැගුනේ මේ අතර තුරය. එසේම අප රටේ සියලු තැන්පත් ධනයට අධිපති ගුරු ග්‍රහයාද අප්‍රේල් 13 වැනි දින ලංකා කේන්ද්‍රයේ ධනස්ථානය වූ මීන රාශියට පැමිණියේය. එය ඉතා සුබ පිහිටීමකි. නමුත් ලබන ජූලි 29 වැනිදා ඔහුද වක්‍ර වෙයි. මේ වක්‍රයද අප රටට මහත් ආර්ථික පීඩා ඇති කරන බලයක් වෙයි.

 ජූලි 12 වැනි දින වනවිට සෙනසුරුගේ වක්‍ර ගමනින් ඔහු යළි මකර රාශිගත වෙයි. යළිත් ඔහු කුම්භ රාශියට පිවිසෙන්නේ 2023 ජනවාරි 17 වැනිදාය. මේ අතර අප රටේ ධනස්ථානය හිමි ගුරු ග්‍රහයා ජූලි 29 දා වක්‍ර වෙමින් යළි මීනය කරා පැමිණෙන්නේ 2023 අප්‍රේල් 4 වැනිදාය.

 මේ කාල පරාසය තුළ අප රටට උග්‍ර ලෙස මේ කාලවිපත්තිය ක්‍රියාත්මක වෙයි. ඩොලර් සම්බන්ධ ගැටලුව උග්‍ර වෙයි. ඛනිජ තෙල් සම්බන්ධයෙන් ඉතා බරපතළ තත්ත්වයන්ට රට පත්වෙයි. රාජ්‍ය සේවා, සෞඛ්‍ය, පළාත් පාලන, අධ්‍යාපන ආදී වැදගත් රාජ්‍ය සේවා අකර්මන්‍ය තත්ත්වයට පත්වෙයි. ජන ජීවිතයට අවශ්‍ය දේවල් තෙල් ප්‍රශ්නය නිසා ප්‍රවාහනය කිරීමට නොහැකිව ආහාර ද්‍රව්‍ය පවා හිඟ වෙයි.

 සෑම භාණ්ඩයක්ම මිල තව තවත් වැඩි වෙයි. එදිනෙදා යමක් කර ජීවත්වන ජනතාව දැඩි පීඩාවන්ට ලක්වෙයි. රජයෙන් ණය ගත් රාජ්‍ය සේවකයන්ගේ ණය වාරික වෙනදාට වඩා වැඩිපුර කපයි. එවිට ඔවුන්ගේ ජීවන දරිද්‍රතාව ඉහළ යයි. පඩි වැඩිවීම් නොමැති වෙයි. රට අවුලෙන් අවුලට පත්ව මේ කාල විපත්තිය ක්‍රියාත්මක වෙයි.

 රජයේ උසස් අයට මහත් ප්‍රශ්නකාරී තත්ත්වයන් ඇතිකරයි. කිසිම ප්‍රශ්නයකට විසඳුමක් නොලැබෙයි. ලෝක බැංකුව, ඉන්දියාව, ඇමරිකාව ආදී රටවලින් ලැබෙන සහය ප්‍රමාණවත් නොවී යයි. මැති ඇමැතිවරුන්ට කරකියා ගත නොහැකි තත්ත්වයක් ඇති වෙයි.

 2023 අප්‍රේල් වලින් පසු යම්කිසි මට්ටමකට මේ තත්ත්වයෙන් මිදෙන මාර්ග ඇතිවෙයි. විශේෂයෙන්ම රජකමට වරම් හෙවත් රාජ යෝග ඇති කෙනකු රටේ නායකත්වයට පත්විය යුතුයි. 2023-24 අතරතුර මහජන ඡන්දයක් ඇතිවන ඉඩකඩ තිබේ. එහිදී දේශපාලනය ගැන දන්නා උගත් සාධාරණීයත්වය හඳුනන ප්‍රඥාවන්ත කෙනෙක් නායකත්වයට පත්වීමේ ඉඩකඩ තිබේ.

 අවුරුදු පනස් ගණන් හැට ගණන් දේශපාලනය කර පළපුරුද්ද ඇති බුද්ධිමත් දේශපාලනඥයෝ සිටී. ඔවුන්ගේ බුද්ධිය ඇදී ගියේ අර ව්‍යාපෘතියෙන් මේ ව්‍යාපෘතියෙන් කොමිස් හදාගන්නේ කෙසේද යන්න හා සෑම දෙයකින්ම තමන්ට වාසි ගන්නේ කෙසේද යන්න ගැනය. උදාහරණ ගතහොත් කොරෝනා මර්දනයට උගත් නැණවත් ආයුර්වේද වෛiවරු නිවැරැදි ඖෂධ පෙන්වා දුන්නත් ඒ ජාතික සම්පතට පයින්ගසා පිටරටින් එන්නත් ගෙන්වා කෝටි ගණන් කොමිස් ගසාගත් දේශපාලකයන් අදටත් සිටී.

 ජනතා සුබසිද්ධියට ඔවුන් බුද්ධිය මෙහෙයැව්වානම් ඒ ජනතාව මුලාකර ගෙන තමන්ට යම් යම් වාසි ඇතිවන කටයුතු කිරීමටය. ජනතාවට යම් යම් දේවල් දී රවටා ඔවුන්ගේ ඡන්ද කොල්ලකෑමය. කෝටි ගණන් වැය කරගෙන මිනී මරාගෙන පාර්ලිමේන්තුවට යන්න පොරකන්නේ ජනතා සුබසිද්ධිය පිණිස නොව කෝටි ගණන් බිලියන ගණන් පහසුවෙන් ගසා කෑමටය. විරුද්ධ පක්‍ෂයේ සිට සුන්දර ලෙස තනාගත් බුද්ධිමත් කපටි සූත්තර අනුව කතාකරමින් බලය ගන්න උත්සාහ කරන්නේත් ඒ සඳහාමය. අදත් විපක්‍ෂය කරන්නේ ඒ දේමය. මේ නිසාම අප රටට මේ කාල විපත්තිය ගොඩනැගිනි. 2023 අග හෝ 2024 මුල හෝ මෙයින් මිදීමට හැකියාව ලැබෙනු ඇත.

 එහිදී මෙවන් කෝටි ගණන් බිලියන ගණන් ගසා කමින් රාජ්‍ය පාලනයේ යෙදෙන ‘සිස්ටම් එක’ වෙනස් කළ හැකි රාජ්‍ය නායකත්වයක් අවශ්‍ය වේ. මෙහිදී සෙනසුරු – ගුරු – රවි යන ග්‍රහයන්ගේ බලය තීරණාත්මක වේ. රවි මේෂ රාශියට පැමිණෙන්නේ 2023 අප්‍රේල් 14 දාය. එසේ පැමිණ මැයි 14 දක්වා සිටී. මේ කාලය තුළ මේෂ රාශියට ගුරුගේ පැමිණීමක් නැත. එයද එවැනි නායකත්වයකට ඉඩ විවරවීමක් නොවේ.

 අප්‍රේල් 04 ගුරු යළි මීන රාශියට එනවිට සෙනසුරු ද කුම්භ රාශියේ සිටී. මේ කාලය ඉතා සුබ නමුත් ගුරු අප්‍රේල් 20 මේෂ රාශිගත වෙමින් අසුබයෙක් බවට පත්වෙයි. මේ නිසා රටට නායකත්වයක් මේ දේශපාලනයේම සිටින මෙයට විකල්ප මත දරන කෙනෙක් නායකත්වයට පත්වීමේ ඉඩකඩ තිබේ.

මේ කාල විපත්තියේ ඉදිරිය තවත් බරපතළයි

ජ්‍යොතිෂවේදී  අගලවත්තේ බී. හේරත්
 මහජන ක්‍රීඩාංගණය අසල
 අගලවත්ත
 දු.අංකය – 0772 154 253

advertistmentadvertistment
advertistmentadvertistment