ජනපතිවරණ සමය එළඹී ඇත. රටේ නායකයා තේරීම ට ජනතා රැළි ගොඩනන්වමින් තිබේ. ඉන් විශාලතම ව ඉහළට එසැවුණු රැල්ලෙන් නව ජනපතිවරයා පත් විය හැකිය. මේ රැළි බිහි කරනුයේ මුදල් යහමින් විසි කරමිනි. රැළිවලට එකතු වන ජනතාවට නිශ්චිත අරමුණක් ඇතැයි සිතිය හැකි නොවේ. රැළි බිහි කරන්නේ පක්ෂ විසින් බැවින් ඇතැම් විට පක්ෂයේ අරමුණ ජනතාවට ඇතැයි සිතිය හැකිය. නමුත් දැන් එයද වෙනස් වෙමින් පවතී. පොහොට්ටු පක්ෂ මානසිකත්වයේ සිටි බොහෝ පිරිසක් රනිල් ගේ බෝට්ටුවට එකතු වී සිටිති. පක්ෂයක් ගොඩ නැගෙනුයේ ප්‍රතිපත්ති සහ අරමුණු අනුව වුවද මෙතනදී ප්‍රතිපත්ති පසෙකින් තබා බලය පැවැත්ම සහ මුදල් වෙනුවෙන් එක පිලකට ගොනු වී සිටිති.
1917 දී ලංකා ජාතික සංගමය පිහිටුවා ප්‍රතිසංස්කරණවාදී දේශපාලනයට නැඹුරු වුවද ලංකාවේ ප්‍රථම පක්ෂය වශයෙන් පිළිගනු ලබනුයේ 1935 දී බිහිවූ ලංකා සම සමාජ පක්ෂයයි. එවකට ඉන්දියාවේ බිහිවූ ස්වාධීනතා සහයෝගිතා ව්‍යාපාරයෙන් ද රුසියාවේ ට්‍රොස්කි ප්‍රමුඛ සතරවන ජාත්‍යන්තරයේ ආශ්වාදයෙන් මෙරටට පැමිණි පිලිප් ගුණවර්ධන සහ කොල්වින් ආර්. ද සිල්වා වැනි විදෙස් ආයතනවල ඉගෙනුම ලැබූ විද්වතුන්ගේ නායකත්වයෙන් ද මේ පක්ෂය බිහි විය. 1934 දී වැල්ලවත්ත රෙදිමෝල තුළ සිදු වූ වැඩ වර්ජනයට මූලිකත්වය දෙමින් වෘත්තීය සමිති නායකයෙකු වූ ඒ. ඊ. ගුණසිංහ මහතාට අභියෝගයක් එල්ල කිරීමට සමසමාජ නායකයන්ට හැකි විය.
ලංකාවේ පක්ෂ දේශපාලනයේ ආරම්භයේම ඇත්තේ විදෙස් ආභාෂයෙන් ලැබූ ප්‍රතිපත්ති සහ අරමුණු බව මෙයින් පැහැදිලි වනු ඇත. 1947 දී මුල්ම මැතිවරණයට ඉදිරිපත් වූ එක්සත් ජාතික පක්ෂය ට අයත් වූවෝ නම් මිනිරන්, අරක්කු රේන්ද සහ රජයේ තානාන්තර සහ ඉඩම් හිමියන්ගෙන් සමන්විත ජන බලවේගයකි. ඒ පක්ෂය මෙහෙයවීමට මුල් තැන් ගත් ඩී. එස්. මිනිරන් වෙළෙඳාමෙන් ඉදිරියට පැමිණ අමද්‍යප ජාතික සටන මෙහෙය වූ එෆ්. ආර්. ගේ අනුප්‍රාප්තිකයා විය. විදෙස් අධ්‍යාපනය නිසාවෙන්ද බි්‍රතාන්‍යයන් සමග කළ ගනුදෙනු නිසාවෙන් ද ඔවුන්ගේ පක්ෂ ප්‍රතිපත්ති සහ අරමුණු ද පෙළ ගැසුණේ අනතුරුව බිහිවූ වාමාංශික පක්ෂ ද එ. ජා. ප. ය වෙනුවට ඉදිරියට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද මෙහෙයවූවන් බොහෝ පිරිසක් විදෙස් අධ්‍යාපනයෙන් පෝෂණය වී ඒ මත අදහන්නන් වූහ.
1815 වසරේ ලංකාව ගිවිසුමකින් බි්‍රතාන්‍යයන්ට රට පාවා දුන් පසු 1818 දී සිදු වූ පරාජය නිසා ද 1848 අසාර්ථක කැරැල්ල නිසාවෙන්ද ලංකාවට යටත් විජිතයක් බවට පත් වන්නට සිදු විය. මෙයට එරෙහිව පැන නැගුණු පානදුරාවාදය සහ අමද්‍යප ව්‍යාපාරය නියෝජනය කරන ලද්දේ මෙරට ග්‍රාමීය ප්‍රභූ පන්තියයි. අනගාරික ධර්මපාලයන් විසින් කුළුගන්වනු ලැබූ මේ පිරිස ඔහුගේ අභාවයෙන් පසුව ක්‍රමානුකූලව යට කී පක්ෂ තුන මත ගොනු විය. මේ පක්ෂ විසින් වරින් වර රාජ්‍ය බලය ලබා ගනිමින් සිය පාක්ෂිකයන් සැනසීමට උත්සාහ දරා ඇත. අනගාරික ධර්මපාල තුමා අනුදත් මතවාදී ප්‍රවේශය හෝ වසර දෙදහස් පන්සීයයක ඉතිහාසයෙන් ලැබුණු පන්නරය මේ පක්ෂවලට ඇතුළත් කර ගන්නා ලද්දේ යම් කිසි පමණකින් හෝ සිරිමා බණ්ඩාරනායක යුගයේ දී පමණකි. නූතන යුගයේ තාක්ෂණික දියුණුව සංනිවේදන මාර්ගවල දියුණුව නිසා ඇති වූ ගෝලීය ප්‍රවණතා මීට හේතු වන්නට ඇති නමුත් දේශපාලන ප්‍රගමනයට හෝ සමාජ ප්‍රගමනයට මේ පක්ෂ කිසිසේත්ම උපයෝගි නොවීය. මූලික පක්ෂ තුන බිහි වීමෙන් පසු සෑම මැතිවරණ අවස්ථාවකදීම නව පක්ෂ බිහි වීම නිසා පුද්ගලවාදී කල්ලි කණ්ඩායම්වල ග්‍රහණයට දේශපාලනය නතු විය. නූතන ප්‍රජාතන්ත්‍රවාදී ධාරාව තුළ මෙම පක්ෂ ක්‍රමය නිසි ලෙස හැඩ ගස්වා ගැනීමටවත් සංවාදයක් ඇති නොවීම ඛේදවාචකයකි. ඒ වෙනුවට විධායක ජනපති ක්‍රමයේ අඩුපාඩු පිළිබඳව සිදුවන නිරන්තර සාකච්ඡාවල ප්‍රතිඵලය වූයේ සියලු ප්‍රශ්නවලට මුල එම ක්‍රමයේ ආඥාදායකත්වයයි මතයක් සමාජය තුළ පැතිර වීමයි. මෙරට අතීත සමාජය කුල වශයෙන් බෙදී සිටියහ. ගම්වසම් යටතේ ශිල්ප ශ්‍රේණිවලට සිය සේවා රාජකාරි ඉටු කිරීමට සිදු විය. ඒ සමාජ බෙදීම රාජ්‍ය ඒකීයත්වයට සහ සමාජ ඒකාග්‍රතාවට බාධාවක් නොවීය. සමාජයේ ජීවත් වූ කොයි තරාතිරමකම කණ්ඩායමක් හෝ අනෙක් ජන කොටස් සමග සමගියෙන් විසීමට අවශ්‍ය සංහිඳියාව බිහි කරන ලද්දේ බුදු දහම විසිනි. බුදුදහමේ ඉගැන්වීම් පදනම් කරගෙන රජු විසින් නීති පනවන ලදහ. සතර වැනි මිහිඳු රජු කළ අනුරාධපුර ශිලා ලේඛනය මගින් ගම්වාසීන් බෙදා හදාගෙන ජීවත් විය යුතු යැයි ආඥා පනවා තිබුණි. වර්තමාන පක්ෂ දේශපාලනය තුළ පෙර පැවැති කුල ක්‍රමය පදනම්ව සහ විවිධ ජන කොටස් පදනම්ව බෙදීම් වර්ධනය විය. පක්ෂයේ අනුගාමිකයන් විශ්වාස කරන ප්‍රතිපත්ති වෙනත් කණ්ඩායමක් අනුගමනය නොකරන්නේ නම් එතැන ගැටීමක් වර්ධනය විය. වාමාංශික පක්ෂවල පවතින මාක්ස්වාදී මූල ධර්මයන් තුළ හැඩ ගැසෙන්නවුන් ඇතැම් විට සමාජ වෛරක්කාරයන් බවට පත් විය. ඔවුහු ධනවාදයට එරෙහි වුවද යම් කිසි අවස්ථාවක දී තමන් වෙත ධනය එක් රැස් වූ විගස ධනවාදියෙකු බවට පත් විය. ඉඩම් හිමි ධනවතුන් සහ විවිධ ව්‍යාපාර පන්තීන් අනුගමනය කරන පක්ෂ තුළ වර්ධනය වූයේ වංචනික බලාපොරොත්තු පුද්ගල කේන්ද්‍රීය බල ආධිපත්‍ය සහ තක්කඩිකමයි. මෙවැනි තත්ත්වයක් යටතේ පක්ෂ සාමාජිකත්වය දරන මතය ද එයම විය. කොමිස් දේශපාලනය අල්ලස් ගැනීම් වෙළෙඳ පළ ක්‍රමයේ අයථා ගනුදෙනු තුළ ඇති වූ තරගය නිසා රටේ සාමයට විශාල බාධාවක් ජනිත වී ඇත. ජාතියක් වශයෙන් රට දියුණට ගෙන යෑමට තිබුණ ප්‍රධාන බාධාව වශයෙන් මේ පක්ෂ දේශපාලනය හඳුනාගන්නට හැකි වනුයේ ඒ නිසාය.
වසර අනූවකට ආසන්න කාලයක් තුළ පක්ෂ විසින් රටේ බිහි කළ චින්තන දරිද්‍රතාවය සුළුපටු නොවේ. මේ වන විට ප්‍රධාන පක්ෂ සියල්ල යැපෙනුයේ විදෙස් මුදල්වලිනි. මහා පරිමාණ රැස්වීම් පැවැත්වීමට එවැනි මුදල් ගලා යෑමක් නැතිව කළ නොහැකිය. පක්ෂවල අනුගාමිකයන්ගේ රැළි බිහිවන්නේ මේ මුදල් පොම්ප කිරීමේ ශීඝ්‍රතාව අනුවයි. රටේ මුදල් වංචනික ලෙසට අත්පත් කර ගැනීම මුදල් විශුද්ධිකරණය පාතාල සාමාජිකයන් විසින් ඩුබායි වැනි ආර්ථික කලාපවල පවත්වාගෙන යන මාෆියා ව්‍යාපාර ආදී බෝහෝ දේවලින් රට ආපස්සට ගොස් තිබේ. එහි අවසාන ප්‍රතිඵලය නම් ස්වදේශීය දේශපාලකයන්ට රට කරවීමට හැකියාවක් නැතැයි යන ආකල්ප වර්ධනය වීමයි. ඉන්දීය දේශපාලනය සහ ඇමරිකන් යටත් විජිත දේශපාලනය රටේ අරක්ගෙන තිබෙන්නේ මේ නිසාය. මෙවර ජනපතිවරණයේ දී වෙනසක් ඇති කරන්නේ යැයි පාරම්බාන සියලුම පක්ෂ මේ ඛේදවාචකයට ගොදුරුවී අවසන්ය. ජනතාවට පක්ෂ ක්‍රමය තිත්ත වී ඇත. රනිල් වික්‍රමසිංහ මහතා ඒ අවිනිශ්චිත මානසික තත්ත්වය සිය බල දේශපාලනයට යොදා ගනිමින් සිටී. ප්‍රජාතන්ත්‍රවාදයේ සියලුම යහපාලන මූලධර්මයන් උල්ලංඝනය කරමින් ඔහු යෙදී සිටින රංගනය කුමන විපතකින් කෙළවර වන්නේ දැයි කිසිවෙකුත් නොදනිති. වසර දෙදහස් පන්සීයක ඉතිහාසයක් තිබෙන ප්‍රෞඪ ජාතියකට මෙවැනි අභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදයකට මුහුණ දීමට සිදු වීම සම කළ හැක්කේ සීතාවක යුගයේ සිදු වූ සිදුවීම්වලට පමණකි. නමුත් මේ අවසානය නොවේ. බුදුදහමේ චිර පැවැත්ම උදෙසා රට වෙනස් විය යුතුය. පක්ෂ දේශපාලනය ද ඒ නිසාම අවසන් විය යුතුය. පක්ෂවල අනුගාමිකයන් නොවී මේ පිළිබඳව සබුද්ධිකව කල්පනා කරන පිරිසක් රට තුළ බිහි විය යුතුය.
මතුගම සෙනෙවිරුවන්