මේ ජයග්‍රහණය දෝනි වෙනුවෙන්- අවසන් පන්දු දෙකේ වික්‍රමය කළ ජඩේජා කියයි

927

අවසන් පන්දුවේදී දෝනි හිටියේ ඇස් පියාගෙන

හැත්තෑපන්දහසකට ආසන්න ජනතාවක් සජීවීව නොඉවසිලිමත් දෑසින් යුතුව ද, කෝටි සංඛ්‍යාත ජනතාවක් රූපවාහිනී තිරය මතින් හෝ තම ජංගම දුරකථන මාර්ගයෙන් ද, ඇසිපිය නොහෙළා බලා සිටි අයිපීඑල් ක්‍රිකට් අවසන් මහ ගැටුමේ අවසන් පන්දුව මෝහිත් ෂර්මා විසින් රවීන්ද්‍ර ජඩේජා වෙත යොමු කරන විට එදෙස නොබලා, දෑස් පියාගෙන සිය මුහුණ ඒ මොහොතේ බිමට හරවා සිටි ඉන්දියාව බිහි කළ අසහාය ක්‍රිකට් නායක එම්. එස්. දෝනි තවත් නිමේෂයකින් තම කණ්ඩායමට ජයගෙන ආ රවීන්ද්‍ර ජඩේජාව ඔසවාගෙන ජය සැමරුවේ ය.

ඊයේ (30 වැනිදා) අලුයම චෙන්නායි ලද එම ජයග්‍රහණය 05 ඔවුන්ගේ විශිෂ්ටතම අයිපීඑල් ජයග්‍රහණය බව ඉතිහාසය සාක්ෂි දරයි.

දින 52 කට ඉහතදී ආරම්භ වී ක්‍රිකට් උන්මාදයෙන් පෙළෙන ඉන්දියාවේ දස අත සිසාරා පැවැති උද්වේගකර තරග 74 ක අවසානයේ කිරුළු පැළදීමට මහේන්ද්‍ර සිං දෝනි ප්‍රමුඛ චෙන්නායි ක්‍රීඩකයෝ එසේ සමත් වෙද්දි එහි ගෞරවණීය සාඩම්බර සාමාජිකයන් දෙදෙනෙක් බවට පත්වීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සහ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ දෙදෙනා සමත් වූහ.

මෙම ජයග්‍රහණයත් සමග වැඩිම වරක් අයිපීඑල් කිරුළ දැරූ කණ්ඩායම බවට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග සම තත්ත්වයට (අවස්ථා 5 ක්) පත්වීමට දෝනි ප්‍රමුඛ චෙන්නායි කණ්ඩායමට හැකි විය.

“මේක සුරංගනා කතාවක අවසානයක් වගේ, මට මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. මේක විශ්වාස කළ නොහැක. මට මගේ ඉතිරි ජීවිත කාලය ම සිනහවෙලා ඉන්න පුළුවන්. පසුගිය වසර 30ක් මුළුල්ලේ සිදු කළ සියලු කැප කිරීම් අද රාත්‍රියෙන් නිමා වුණා.”යැයි එම තරඟයට ක්‍රීඩා කර සිය ක්‍රිකට් ජීවිතෙන් සමුගැනීමට සිටින චෙන්නායි කණ්ඩායමේ අම්බති රයිදු ජයග්‍රහණයෙන් අනතුරුව පවසා සිටියේය.

මේ ජයග්‍රහණය දෝනි වෙනුවෙන්- අවසන් පන්දු දෙකේ වික්‍රමය කළ ජඩේජා කියයි

එමෙන්ම මේ තරගයේ අවසන් මොහොතේ නොසිතූ නොපැතූ ජයග්‍රහණයක් චෙන්නායි වෙත ලබා දීමට රවීන්ද්‍ර ජඩේජා සමත් වූයේ අවසන් පන්දු දෙකට 6 පහරක් සහ 4 පහරක් වාර්තා කරමිනි. මේ ඔහුගේ වදන් වේ.

“මේ කුසලානය මගේ ප්‍රදේශයේ ප්‍රේක්ෂකයන් ඉදිරියේ ලබාගැනීමට හැකි වීම විශේෂ හැඟීමක්.

ඒ වගේ ම අපි කැමතියි මේ ජයග්‍රහණය අපේ කණ්ඩායමේ සිටින වඩාත් විශේෂ ම ක්‍රීඩකයා වන දෝනි වෙනුවෙන් වෙන් කරන්න. මේක ඔහු වෙනුවෙන්.”

පන්දු යැවීමේදී මතීෂ පතිරණ කඩුලු 2 ක් දවා ගත් අතර සුදර්සන් හා රෂීඩ් ඛාන් ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේය. මහීෂ් තීක්ෂණ යොමු කළ පන්දුවාර 4 තුළ දී ඔහුට එරෙහිව ලකුණු 36 ක් වාර්තා වුණි.

වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් ජයග්‍රහණය සඳහා පන්දුවාර 15 කදී ලකුණු 171 ක ඉලක්කයක් චෙන්නායි කණ්ඩායමට හිමි විය.

තරගාවලියේ ශූරතාවය වෙනුවෙන් සුපර් කිංග්ස් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 20 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 71 ක පමණ මුදලක් හිමි වූ අතර, අනුශූරයන් වූ ටයිටන්ස් කණ්ඩායමට හිමි වූ ත්‍යාග මුදල ඉන්දීය රුපියල් කෝටි 12.5 කි. එනම්, ශ්‍රී ලංකා රුපියල් කෝටි 45 ක පමණ මුදලකි.

තරගාවලියේ වීරයා සම්මානයට අමතරව තවත් සම්මාන රැසකින් පිදුම් ලැබීමට ෂුබ්මන් ගිල් සමත් වූයේය.

ඒ අනුව තරගාවලියේ වැඩිම ලකුණු ලාභියාට හිමි වන තැඹිලි පැහැති හිස්වැසුම ද ෂුබ්මන් ගිල් හිමි කර ගත් අතර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාට හිමිවන දම් පැහැති හිස්වැසුම ටයිටන්ස් කණ්ඩායමේ මොහමඩ් ෂාමි දිනා ගත්තේය.

තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට සමත් වුණේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කළ යශස්වි ජයිස්වාල්ය.

ලකුණු සාරාංශය

ගුජරාට් ටයිටන්ස් – 214/4යි. (ඕවර 20) සායි සුදර්සන් 96, විරිධිමාන් සහා 54, ශුබ්මන් ගිල් 39, හර්දික් පාන්ඩ්‍යා නොදැවී 21 (මතීෂ පතිරණ 44/2, දීපක් චාහර් 38/1, රවින්ද්‍ර ජඩේජා 38/1)

චෙන්නායි සුපර් කිංග්ස් – 171/5 (ඕවර 15) ඩෙවොන් කොන්වේ 47, ශිවම් ඩුබේ නොදැවී 32, අජින්ක්‍යා රහානේ 27, රුතුරාජ් ගයික්වාඩ් 26, අම්බති රායිදු 19, රවින්ද්‍ර ජඩේජා නොදැවී 15 (මෝහිත් ෂර්මා 36/3, නූර් අහ්මඩ් 17/2)

advertistmentadvertistment
advertistmentadvertistment