මේ ඩඩ්ලි වගේද ඒ ඩඩ්ලිගේ හාල් කතාව!

170

● “බත් පතට ජනතාව පාවා නොදෙමි” ඩී. එස්. සේනානායක කියයි.

● යූ. ඇන්. පී. ආණ්ඩුව තිබෙනතුරු හාල් සේරුව ශත 25ට ඩඩ්ලි සේනානායක කීවේ එහෙමය.

● රබර් – සහල් ගිවිසුම් මිස ණයට හාල් ගෙනාවේ නැත

● ශත 25 හාල් සේරුව ශත 70 වනවිට හර්තාලයක්

● ‘අපේ අම්මා ළඟ එනවා හාල් සේරු දෙක දෙනවා’ මැතිනියගේ හාල් සේරුවේ පොරොන්දුව

● එජාපයට හයෙන් පහක් ලැබුණෙත් හාල් ප්‍රශ්නය නිසාය.

සහල් ප්‍රශ්නය මේ රටේ ඇතිවුණේ අද ඊයේක නොවේ. ඊට දිගු අතීතයක් තිබේ. සහලින් ස්වයංපෝෂිත වුවද, පෙරදිග ධාන්‍යාගාරය යැයි කීවද මේ හාල් අර්බුදය පැවති ආණ්ඩු කිහිපයකම පෙරළියක් කරන්නට සමත් විය. මේ කතාව ඒ ගැනය.

වර්තමානයේ පවතින දේශපාලන වාතාවරණය අනුව අප රට සහල් මිල පිළිබඳව විශාල ප්‍රශ්නයකට මුහුණදී ඇත. වර්තමානයේ වෙළෙඳපොළේ සහල් මිල සලකා බලන විට කිලෝවක් රු. 260 දක්වා ඉහළ නැග ඇත. මින් විශාල අසහනයකට පත්ව ඇත්තේ මේ රටේ සාමාන්‍ය ජනතාවයි. දිනකට වේල් තුනකින් සප්පායම් වූ ජනතාවට අද සිදුවී ඇත්තේ එක් වේලකින් පමණක් යැපීමටය. මේ නිසා කුසගින්න දරාගත නොහැකි වූ සමහර මව්වරු දරුවන් පවා ඝාතනය කර සියදිවි හානිකර ගැනීමට තැත් කරති.

පෙරදිග ධාන්‍යාගාරය වශයෙන් හැඳින්වුණු ශ්‍රී ලංකාවේ සිංහල රජ දවස කාලයේ විදේශීය රටවලට පවා සහල් අපනයනය කළ බවද අප අසා ඇත. මහා පරාක්‍රමබාහු යුගයේ කෘෂිකර්මාන්තය අතින් ඉහළම කත්ත්වයක තිබූ අප රට තුළ පසුබෑමක් ඇතිවූයේ බටහිර ජාතීන් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුවය. එම ජාතීහු වැඩි වශයෙන් අවධානය යොමු කළේ තේ, කෝපි වැනි වැවිලිවලට මිස වී ගොවිතැන නගාසිටුවීමට නොවේ.

නමුත් 1931 සිට ඇතිවුණු රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ කෘෂිකර්ම අමාත්‍ය ධුරයට පත්වූ මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායක මැතිතුමා නැවත වරක් මේ රටේ ස්වයංපෝෂිත ආර්ථික තත්ත්වයක් ඇතිකිරීමට කටයුතු කළේය. පැරණි වැව් ප්‍රතිසංස්කරණය කරමින් නව ගොවි ජනපද බිහිකරමින් ගමක් ගමක් පාසා කළ සේවය ඉතා විශිෂ්ටය. එතුමාගේ මෙම ගොවි ජනපද ව්‍යාපාරය දියුණු නොවන්නට තවමත් වියළි කලාපය ගන වනාත්තර වනවාට සැක නැත. මින්නේරිය, කාගම, ඇළහැර, බකමූණ ආදී පෙදෙස්වල ගොවිජනපද පිහිටුවීමට මෙතුමා ඉටුකළ මෙහෙය අති ශ්‍රේෂ්ඨ ක්‍රියාවකි. නැඟෙනහිර පළාතේ, ඇතිකළ මහා පරිමාණ බහුකාර්ය ව්‍යාපාරයක් වූ ගල්ඔය ව්‍යාපාරය ඩී. ඇස්. සේනානායක මහතාගේ වටිනා සේවකි. මේ නිසාම නැඟෙනහිර පළාතේ අම්පාර නමින් ගොවි ජනතාව නිසා ඇතිවුණු ආසනයක් බිහිවිය. සිංහල මන්ත්‍රීවරයකු පත්වූ අම්පාර ආසනයට 1977 වන තුරු එතුමාගේ පක්‍ෂයේ නියෝජිතයකු පත් නොවීම පුදුමයට කරුණකි. ඩී. ඇස්. සේනානායක යුගය සඳහන් කරන විට අපට කෙටියෙන් කිව හැක්කේ බොහෝ දුරට ශ්‍රී ලංකාව සහලින් පෝෂණය වුණු යුගයක් ලෙසය.

මේ ඩඩ්ලි වගේද ඒ ඩඩ්ලිගේ හාල් කතාව!

දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමත් සමග පැවතුණු 1934 සිට තිබුණු යුගය තුළ ශ්‍රී ලංකාව තුළත් සහල් අර්බුදයක් ඇතිවීමට හේතු වූ නමුත් එතුමා එම අභියෝගය භාරගත්තේය. ඒ අවස්ථාවේ ඉන්දියාව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ වෙසෙන ද්‍රවිඩ වතු කම්කරු ජනතාවට පුරවැසිකම දෙනවා නම් නොමිලේ හාල් ලබාදෙන බවය. නමුත් එතුමා ප්‍රකාශ කළේ “බත් පතට ජනතාව පාවා නොදෙමියි” කියාය. එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කොට ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නගාසිටුවීමට අප්‍රතිහත ධෛර්යයෙන් නැගී සිටීයේය.

1952 මාර්තු 22 වැනිදා එතුමා මියයෑමෙන් පසු ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ ඩඩ්ලි සේනානායක මහතාය. එම වකවානුව තුළ එතුමාගේ දේශපාලන පක්‍ෂය වන එක්සත් ජාතික පක්‍ෂයේ නිල පුවත්පත වූ ‘සියරට’ පත්‍රය ලොකු අකුරෙන් පළකර තිබුණේ යූ. ඇන්. පී. ආණ්ඩුව තිබෙනතුරු හාල් සේරුව ශත විසිපහට දෙන බවය.

මේ අතර කොරියන් යුද්ධය අවසන් වීමත් සමග ලෝක වෙළෙඳපොළේ රබර් මිල ශීඝ්‍රයෙන් පහත වැටෙන්නට විය. 1940 දශකයේ අගභාගයේ සිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය වඩ වඩාත් යහපත් අතට හැරී තිබුණ ද 50 දශකය ආරම්භ වීමත් සමග ආර්ථිකයේ අර්බුදකාරී තත්ත්වය වඩ වඩාත් මතුවන්නට විය. මෙම අර්බුදයෙන් ගොඩඒම සඳහා එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුව චීනය සමග ගිවිසුමක් ඇතිකර ගැනීමට අවධානය යොමු කරන්නට විය. ඒ අනුව 1952 සැප්තැම්බර් 14 වන දින එවකට වෙළෙඳ සහ වාණිජ කටයුතු පිළිබඳ ඇමැති ලෙස සිටි ආර්. ජී. සේනානායක මහතා ඇතුළු පිරිසක් චීනය බලා පිටත් වූහ. ඒ අනුව 1952 ඔක්තෝබර් මස 4 වැනිදා චීනය සහ ශ්‍රී ලංකාව අතර එකඟතාවක් ඇතිවිය. එනම් චීනයෙන් සහල් ආනයනය කර ශ්‍රී ලංකාවෙන් රබර් අපනයනය කිරීමේ ගිවිසුම අත්සන් කිරීමයි.

1953 වර්ෂය වන විට ලෝක ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ද බලපෑම් ඇතිවිය. ඒ අනුව එකල මුදල් අමාත්‍ය ලෙස සිටි ජේ. ආර්. ජයවර්ධන අමාත්‍යතුමා 1953 ජූලි 23 වැනිදා ඉදිරිපත් කළ අයවැය ලේඛනය අනුව ශත විසිපහට තිබුණු හාල් සේරුවේ මිල ශත හැත්තෑව දක්වා මිල වැඩි කළේය. සීනි මිල ශත 15කින් වැඩි විය. තැපැල් මුද්දර සහ දුම්රිය ගාස්තුව ද මිල වැඩිවිය. පාසල් ළමුන්ගේ දිවා ආහාරය කපාහැරීමට යෙදුණි. සියරට පත්‍රය තුළින් ප්‍රකාශ කර තිබුණේ එ.ජා.ප. රජයක් තිබෙනතුරු හාල් සේරුව ශත විසිපහකට දෙන බවය. මේ නිසා බලවත් ලෙස අසහනයට පත් වූ ශ්‍රී ලාංකීය ජනතාව හර්තාල් ව්‍යාපාරයකට යොමු විය.

ඒ අනුව 1953 අගෝස්තු 12 වැනිදා මහා හර්තාලයක් ඇතිවිය. හර්තාලයට ප්‍රබල මහජන සහායක් ලැබුණු අතර බස් හා දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර විය. උතුරු පළාතේ ජනතාව ද සිය කඩ සාප්පු වසා හර්තාලයට සහයෝගය දැක්වීය. හර්තාලයට මුහුණ දීමට අපහසු වූ ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය රැස්වීම පැවැත්වූයේ වරායේ නවතා තිබූ ‘නිව්පවුන්ඩන්ඩ්’ නමැති යුද නෞකාවේ සිටය. එහිදී හදිසි නීතිය ප්‍රකාශ කළ අතර හර්තාලය මැඩපැවැත්වීමට කටයුතු කළේය. ඒ අනුව එවකට අග්‍රාමාත්‍යව සිටි ඩඩ්ලි සේනානායක මහතාට සිදුවූයේ අකමැත්තෙන් හෝ වෙඩි තැබීමට අවසර දීමටය. ඒ නිසාම විශේෂ කරුණක් වූ හාල් මිල වැඩි කිරීමේ අර්බුදය නිසා වෙඩි පහරට ලක්වූ නවදෙනෙක් ඝාතනය වූහ.

මේ තත්ත්වය නිසා 1953 ඔක්තෝබර් 12 වැනිදා ඩඩ්ලි සේනානායක මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය. එදිනම නව අග්‍රාමාත්‍ය ලෙස සර් ජෝන් කොතලාවල මහතා පත්විය. ඔහු පත්වීමෙන් පසුව 1953 ඔක්තෝබර් 19 වැනිදා හාල් සේරුවේ මිල ශත පනස් පහ දක්වා අඩු කරන්නට යෙදුනි. මුදල් අමාත්‍ය ලෙස සර් ඔලිවර් ගුණතිලක මහතා පත් කළ අතර පසුව ඔහු අග්‍රාණ්ඩුකාර ධුරයට පත්වීම නිසා මුදල් අමාත්‍ය ධුරයට පත් කළේ ඇම්. ඩී. එච්. ජයවර්ධන මහතාය. ඉන් පසුව සර් ජෝන් කොතලාවලගේ ආණ්ඩුව තුළ භාෂා ප්‍රශ්නය ඇතුළු වෙනත් ප්‍රශ්න තිබුණත් සහල් මිල පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවූයේ නැත.

මේ ඩඩ්ලි වගේද ඒ ඩඩ්ලිගේ හාල් කතාව!

1960 මාර්තු මැතිවරණයේදී දේශපාලන පක්‍ෂ දහඅටක් පමණ ඉදිරිපත් වී තිබුණි. එම පක්‍ෂ අතරින් කෙළින්ම ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා ඉදිරිපත් වී තිබුණේ පක්‍ෂ පහකි. නමුත් මේ කිසිම පක්‍ෂයකින් හාල් මිල පිළිබඳ ස්ථිර ප්‍රකාශයක් කර තිබුණේ නැත. නමුත් ලංකා සමසමාජ පක්‍ෂය පමණක් ස්ථිර වශයෙන්ම ප්‍රකාශ කර තිබුණේ තමන් බලයට පැමිණීමෙන් පසුව හාල් සේරුව ශත විසිපහට දෙන බවය.

1960 මාර්තු මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල අනුව ලංකා සම සමාජ පක්‍ෂය පරාජයට පත්වී තිබිණි. එම පක්‍ෂයට ලැබුණේ ආසන 10ක් පමණි. කිසිම දේශපාලන පක්‍ෂයකට ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා නියමිත ආසන ගණන හිමි වී තිබුණේ නැත. එක්සත් ජාතික පක්‍ෂයට අනිත් පක්‍ෂවලට වඩා වැඩිපුර ආසන ගණනක් හිමිවී තිබිණි. එනම් ආසන පහකි. ඒ අනුව එකල අග්‍රාණ්ඩුකාරතුමා වශයෙන් සිටි සර් ඔලිවර් ගුණතිලක මැතිතුමා එ.ජා.ප. නායක ලෙස සිටි ඩඩ්ලි සේනානායක මහතාට ආණ්ඩුවක් පිහිටුවන ලෙස ආරාධනා කළේය.

එ.ජා.ප. නායක ඩඩ්ලි සේනානායක මහතා එ.ජා.ප. රජය පිහිටුවා හාල් සේරුවේ මිල ශත විසිපහ දක්වා අඩු කළේය. කෙසේ වුවත් 1960 අප්‍රේල් 22 වැනිදා පවත්වන ලද රාජාසන කතාවෙන් පසු ඡන්දයෙන් එ.ජා.ප. රජය පරාජය වීම නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදුවිය.

ඒ අනුව 1960 ජූලි 20 වැනිදා තවත් මැතිවරණයක් පැවැත්වීමට තීරණය විය. එ.ජා.ප. ආණ්ඩුව කල්පනා කළේ හාල් සේරුව ශත විසිපහට දුන් නිසා නැවත වරක් එ.ජා.ප. රජයක් ඇතිවේය යන බලාපොරොත්තුවයි. එම මැතිවරණයේදී එ.ජා.ප.යට තරගයක් තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමගය. ශ්‍රී.ල.නි.ප. කථිකයන් ඡන්ද රැස්වීම්වලදී කියා සිටියේ හාල් සේරුව ශත විසිපහට දීම ඡන්ද ගුණ්ඩුවක් ලෙසය. සමහර ශ්‍රී.ල.නි.ප. කථිකයන් වේදිකාවල ‘යූ. ඇන්. පී. හාල් හුණ්ඩු ඕවා පුතේ ඡන්ද ගුණ්ඩු’ යනුවෙන් දරු නැළවිලි ලෙස ගායනා කිරීමට යෙදුනි. කෙසේ වුවත් 1960 ජූලි මැතිවරණ ප්‍රතිඵල අනුව එ.ජා.ප. ආණ්ඩුව හාල් සේරුව ශත විසිපහට දුන් නමුත් ජයග්‍රහණය ලබාගත්තේ නැත. ජයග්‍රහණය ලබා ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවට ද හාල් සේරුව ශත විසිපහට දීම ප්‍රශ්නයක් විය. එම තත්ත්වය අනුව එකී ආණ්ඩුවට හාල් මිල වැඩි කිරීමට ද නුපුළුවන් වූයේ එ.ජා.ප. ආණ්ඩුව හාල් මිල අඩුකර තිබීම නිසාය. මේ නිසාම 1962 එකල මුදල් ඇමැති වශයෙන් සිටි ෆීලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක මහතා සහල් සලාකය සේරු භාගයකින් අඩු කිරීමට අයවැය යෝජනාව තුළින් යෝජනා කිරීමට යෙදුනි.

මෙම කාරණය නිසා ශ්‍රී. ල. නි. ප. ආණ්ඩුවේ මන්ත්‍රීවරු ද අයවැය යෝජනාවට විරුද්ධ වූහ. ඉන් ප්‍රධාන තැනක් ගත්තේ එකල ශ්‍රී. ල. නි. ප. ආණ්ඩුවේ මුදල් උප ඇමැතිව සිටි ජෝර්ජ් රාජපක්‍ෂ මහතාය. අවසානයේදී සිදුවූයේ අයවැය ලේඛනය ඉදිරිපත් කළ මුදල් අමාත්‍යව සිටි ෆීලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක මහතාට ඉල්ලා අස්වීමටය. ඒ අනුව ඔහු 1962 අගෝස්තු 24 වන දින මුදල් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්විය. ඉන්පසු අගෝස්තු 28 වැනි දින මුදල් ඇමැති ලෙස පත්වුණේ සී. පී. ද සිල්වා මහතාය.

1965 මාර්තු මැතිවරණයෙන් පසු බලයට පත්වූයේ එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ ජාතික ආණ්ඩුවකි. එම ආණ්ඩුව යටතේ හාල් සේරුව පිළිබඳ තීරණයක් ඇතිවිය. එනම් 1966 සිට කූපන් ක්‍රමයට හාල් සේරු දෙකක් දෙන අතර එක සේරුවක් නොමිලේ දීමට යෝජනා වුණි. ඒ අනුව 1966 සිට මේ රටේ ජනතාවට නොමිලේ හාල් සේරුවක් ලැබුණු අතර අනෙක් සේරුව මිලයට ගැනීමට සිදුවිය. කෙසේ වුවත් ඩඩ්ලි සේනානායක රජය තුළ සහල් අර්බුදයක් තිබුණේ නැත. 1970 මහා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රධාන සමගි පෙරමුණේ නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පොරොන්දු වූයේ තවත් හාල් සේරුවක් දෙන බවය. ජනතාව විශ්වාස කළේ යූ. ඇන්. පී. රජයෙන් දුන් නොමිලේ හාල් සේරුවට අමතරව තවත් හාල් සේරුවක් නොමිලේ දෙන බවටය. එවිට එ.ජා.ප. ආණ්ඩුව ප්‍රශ්න කළේ තවත් සේරුවක් නොමිලේ දෙන්නේ කෙසේද යනුවෙනි. එවිට සමගි පෙරමුණේ නායකයන් කියා සිටියේ හඳෙන් හරි සොයා හාල් සේරුවක් ගෙනත් දෙන බවය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඡන්ද රැස්වීම්වලට යනවිට ජනතාව ඇය පිළිගත්තේ ‘අපේ අම්මා ළඟ එනවා, හාල් සේරු දෙක දෙනවා’ යනුවෙනි. කෙසේ වුවත් මැතිවරණයෙන් එ. ජා. ප. රජය පැරදී ශ්‍රී.ල.නි.ප. රජයක් ඇතිවීමට බලපෑම වූයේ හාල් සේරුව පිළිබඳ ප්‍රශ්නය බව කිව හැක.

සිරිමාවෝ බණ්ඩාරනායක රජය තුළ ද හාල් අර්බුදය තිබුණි. අඟහරුවාදා සිකුරාදා යන දෙදින තුළ ආපනශාලාවල බත් දීම තහනම් විය. හාල් ප්‍රවාහනය ද තහනම් විය. වන්දනා ගමන් යෑමේදී පවා වැඩිපුර හාල් ගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදාවුණි. මේනිසා විශාල වශයෙන් ජනතාව සාගින්නෙන් පෙළුනි.

ඒ අනුව 1977 මැතිවරණයේදී ශ්‍රී.ල.නි.ප. ප්‍රමුඛ සමගි පෙරමුණේ රජය බිඳවැටී එක්සත් ජාතික පක්‍ෂයට හයෙන් පහක ජනවරමක් ලැබීමට හේතු වූයේ එම ආණ්ඩුවේ තිබුණු සහල් සහ ආර්ථික ප්‍රශ්න බව ප්‍රකාශ කළ හැක.

වර්තමානයේදී ජනතාව වැඩි වශයෙන් පීඩා විඳින එක කාරණයක් වන්නේ සහල් ප්‍රශ්නයයි. මේ තත්ත්වය උදාවීමට හේතු වූයේ රජය විසින් කෘෂිකර්මාන්තයට කළ හානිය නිසාය. විශේෂයෙන් පොහොර ප්‍රශ්නය බව සඳහන් කළ හැක. රසායනික පොහොර තහනම් කර බලෙන් කාබනික පොහොර හුරුකරවීමට දැරූ අසාර්ථක ප්‍රයත්නය නිසා ගොවි ජනතාව විශාල වශයෙන් උද්ඝෝෂණ රැළි පවත්වා රජයට අප්‍රසාදය පළ කළහ. නමුත් බීරි අලින්ට වීණා ගායනා කළාසේ රජය

අනුගමනය කළේ නිහඬ පිළිවෙතකි. අද රජයට සිදුවී ඇත්තේ හාල් මාෆියාව තුළ සිටින තිදෙනකුගේ අණසක පිට හාල් මිල පාලනය කිරීමයි. එමනිසා රජය කළ යුත්තේ සහල් මිලේ සාධාරණ මිල පාලනයක් ඇතිකර ජනතාවට සාධාරණය ඉටුකිරීමය. එසේ සිදු නොවුණොත් ජනතාව ඊළඟ මැතිවරණයේදී නියම පිළිතුරු දෙනු ඇත.

නන්දලාල් වාකිස්ට

advertistmentadvertistment
advertistmentadvertistment