මුදල් අච්චු ගැසීමේ ඇත්ත නැත්ත 02
මහ බැංකුව විසින් දේශීය වත්කම් රැස් කිරීම
පෙර සඳහන් කළ පරිදි, මහ බැංකුවට දේශීය වත්කම් රැස් කිරීමට ද හැකිය. එලෙස දේශීය වත්කම් රැස් කළ හැකි ක්‍රම කිහිපයක් පවතී. බැංකුවල බැංකුකරුවා ලෙස මහ බැංකුවට බැංකු සඳහා ණය පහසුකම් ලබා දිය හැකි අතර, යම් බැංකුවකට ණය මුදලක් ලබා ගැනීමට අවශ්‍ය වුවහොත් එවන් අවස්ථාවකදී බැංකුවලට ණය ලබා දීම තුළින් මහ බැංකුව තම දේශීය වත්කම් ඉහළ නංවා ගනී. එමගින් ආර්ථිකයට අලුතින් මුදල් මුදා හැරීමක් සිදු වේ.
එසේම, රජයේ බැංකුකරුවා ලෙස මහ බැංකුවට රජය වෙත ද ණය ලබා දීමට හැකිය. මුදල් නීති පනතට අනුව, වර්තමානයේදී, මහ බැංකුවට රජය වෙත ණය ලබාදිය හැකි ක්‍රම දෙකක් තිබේ. රජය ඉදිරි වසර සඳහා අනුමත කරගනු ලබන අයවැය ප්‍රකාශනයට අනුව ඇස්තමේන්තුගත රජයේ ආදායමෙන් උපරිම වශයෙන් සියයට 10ක් දක්වා රජය වෙත අත්තිකාරම් ප්‍රදානය කිරීමට මහ බැංකුවට හැකිය. ඒ අනුව, රජය සිය වාර්ෂික අයවැය ප්‍රකාශය තුළින් ඇස්තමේන්තුගත ආදායම වැඩි කර ගන්නා ඕනෑම අවස්ථාවක, රජය විසින් ඉල්ලා සිටින පරිදි රජයේ ආදායමෙන් උපරිම වශයෙන් සියයට 10ක් දක්වා ණය ලබා දීමට ද, ඒ යටතේ අලුතින් මුදල් නිකුත් කිරීමට මහ බැංකුව නීතියෙන් බැඳී සිටී.
එසේම මුදල් නීති පනතට අනුව, ප්‍රාථමික වෙළෙඳපොළ තුළින් මහ බැංකුවට කෙටිකාලීන රාජ්‍ය සුරැකුම්පත් එනම් භාණ්ඩාගාර බිල්පත් පමණක් මිලදීගත හැකි අතර එමගින් ද රජයට ණය ලබා දීමට මහ බැංකුවට හැකියාව පවතී. ආර්ථිකයට අලුතින් මුදල් සැපයීමේ එක් ප්‍රධාන මාර්ගයක් වන්නේ මහ බැංකුව විසින් ප්‍රාථමික වෙළඳපොළෙන් එලෙස කෙටි කාලීන රාජ්‍ය සුරැකුම්පත් මිලදී ගැනීම වන අතර, එමගින් මහ බැංකුව සතු රාජ්‍ය සුරැකුම්පත් තොගය වර්ධනය වේ. එවැනි මිලදී ගැනීම් මහ බැංකුවේ දේශීය වත්කම් ඉහළ නංවන බැවින්, එමගින් ආර්ථිකයට අලුතින් මුදල් නිකුත් කිරීමක් සිදු වේ.
මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී රාජ්‍ය සුරැකුම්පත්වල වටිනාකමට සමාන මුදල් තොගයක් රජයේ ගිණුමට බැර කෙරේ. එම මුදල රජය විසින් සිය වියදම් මූල්‍යනය සඳහා යොදා ගැනේ. ඇතැම් ආර්ථික විශ්ලේෂකයන් මෙම ක්‍රියාවලිය පමණක් මුදල් අච්චු ගැසීම යැයි හඳුන්වාදෙනු ලබන්නේ අනෙකුත් වැදගත් කිසිදු සාධකයක වෙනස්වීම් සලකා නොබලමිනි. අනෙක් අතට, මහ බැංකුව සතු රාජ්‍ය සුරැකුම්පත් කල් පිරෙන විට, රජය විසින් එම රාජ්‍ය සුරැකුම්පත්වල වටිනාකමට සමාන මුදල් තොගයක් මහ බැංකුවට ආපසු ගෙවිය යුතු අතර එහි ප්‍රතිඵලයක් ලෙස මුදල් තොගය අඩු වේ. මේ ආකාරයටම, වාණිජ බැංකු මහ බැංකුවෙන් ලබාගෙන ඇති යම් ණයක් ආපසු ගෙවීමේදී මහ බැංකුවේ දේශීය වත්කම් අඩු වේ. එමගින් මහ බැංකුව ආර්ථිකයට නිකුත් කර තිබූ මුදල් තොගය අඩු කරයි.
මීට අමතරව, මහ බැංකුව මුදල් වෙළෙඳපොළ තුළ පවතින ද්‍රවශීලතාව හෙවත් මුදල් සැපයුම සුදුසු මට්ටමක පවත්වා ගැනීමට මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති උපකරණයක් වන විවිට වෙළෙඳපොළ කටයුතු සිදු කරනු ලබයි. මේ හරහා දේශීය මුදල් වෙළෙඳපොළේ පවතින ද්‍රවශීලතා අතිරික්තය හෝ හිඟය මත බලපෑම් කිරීමේ ක්‍රියාවලිය තුළින් රටෙහි මුදල් තොගයට බලපෑම් කරනු ලබයි. ඒ අනුව, මුදල් වෙළඳපොළ තුළ බැංකු පද්ධතියේ ගනුදෙනු සුමටව සිදුකර ගැනීමට ප්‍රමාණවත් මුදල් තොගයක් නොමැති අවස්ථාවලදී එම හිඟ මුදල් ප්‍රමාණය බැංකු වෙත ලබාදීම සඳහා මහ බැංකුව ද්විතියීක වෙළෙඳපොළ වෙතින භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කරවලින් සමන්විත රාජ්‍ය සුරැකුම්පත් මිලදී ගැනීම සිදු කරනු ලබයි. එම ක්‍රියාවලිය තුළින් මහ බැංකුවේ දේශීය වත්කම් ඉහළ නංවා ආර්ථිකයට නව මුදල් නිකුත් කිරීම සිදු වන අතර එමගින් රටේ රුපියල් මුදල් තොගය ඉහළ යයි. එසේම, දේශීය මුදල් වෙළඳපොළ තුළ අතිරික්ත මුදල් හෙවත් අතිරික්ත ද්‍රවශීලතාවක් පවතින අවස්ථාවලදී, එම අතිරික්ත ද්‍රවශීලතාව බැංකු පද්ධතියෙන් ඉවත් කිරීම තුළින් රටෙහි පවතින මුදල් තොගය අඩු කර ගැනීම සඳහා මහ බැංකුවට සිය රාජ්‍ය සුරැකුම්පත් තොගයෙන් යම් කොටසක් විකුණා දැමීමේ හැකියාව පවතී.
මේ අතර, මුදල් නීති පනතෙහි 39වන වගන්තියට අනුව, මහ බැංකුව විසින් නීත්‍යානුකූලව නියම කර ඇති ලාභ බෙදා හැරීමේ ක්‍රියාවලිය අනුගමනය කිරීමෙන් පසු සෑම මුදල් වර්ෂයක් ම අවසන් වී දින 60ක් ඇතුළත මහ බැංකුව පසුගිය වසර තුළදී තමන් විසින් උපයාගත් ලාභයෙන් බෙදා හැරිය හැකි ලාභය රජයට ලබාදිය යුතු වේ. එවැනි ලාභ බෙදාහැරීම් තුළින් ද ආර්ථිකයට අලුතින් මුදල් මුදා හැරීම සිදු වේ.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ මෙවැනි දේශීය වත්කම් හෝ විදේශීය වත්කම් හෝ එම වත්කම් දෙකම යම් වැඩි වීමක් වුවහොත් සංචිත මුදල් වැඩි වන අතර, වත්කම් එකක් හෝ දෙකම අඩු වුවහොත් සංචිත මුදල් අඩු වීමක් සිදු වේ. මහ බැංකුව විසින් මුදල් අච්චු ගැසීම ලෙස නිවැරදිව හඳුනාගත යුත්තේ සංචිත මුදල් තොගයේ වැඩිවීමකි. ඒ අනුව, සංචිත මුදල් යන සංකල්පය පිළිබඳ යම් එක් අංශයක් පමණක් සලකා, මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් පළ කරන මත වඩා පරිපූර්ණ අර්ථකථන ලෙස කිසිසේත්ම සැලකිය හැකි නොවේ. එබැවින්, මුදල් අච්චු ගැසීම මැන බැලීම සඳහා වඩාත් සාර්ථක දර්ශකය ලෙස සැලකිය හැක්කේ සංචිත මුදල්වල වෙනස් වීම ය. මෙයට අදාළ දත්ත සංඛ්‍යා සටහන 1හි දක්වා ඇත.
මුදල් අච්චු ගැසීම පිළිබඳ මෑත කාලීන තත්ත්වය
2020 වසරේදී කොවිඩ්-19 වසංගතය පැතිරීම සහ එය පාලනය කිරීමට ගත් ක්‍රියාමාර්ග ආශ්‍රිතව ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය විය. ඒ අනුව උද්ධමනය පහළ මට්ටමක පවතිද්දී මහ බැංකුව විසින් 2020 වසරේදී ඉතා ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් ක්‍රියාත්මක කරන ලදී. මෙම වසංගත කාලපරිච්ඡේදය තුළදී, රජය වෙත නව විදේශ විනිමය ලැබීම් ඉතා අවම තත්ත්වයක පැවතුණි. එවැනි තත්ත්වයක් මත, විදේශ විනිමය සම්බන්ධ සියලුම ගෙවීම් සඳහා රටේ විදේශ විනිමය සංචිතය උපයෝගී කර ගන්නා ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් විශාල වශයෙන් පහත වැටුණු අතර 2021 වසරේ අගෝස්තු මාසයේ සිට මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් සෘණ අගයකට පත් වීමට එය ප්‍රධාන හේතුවක් බවට පත් විය.
මේ අතර, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා දේශීය විදේශ විනිමය වෙළඳපොළ වෙතින් විදේශ විනිමය සොයා ගැනීම දුෂ්කර වූ බැවින් ශ්‍රී ලංකා මහ බැංකුව රජයේ ඉල්ලීම පරිදි සිය සීමිත ද්‍රවශීල සංචිත යොදා ගනිමින් වෙළෙඳපොළ වෙත විදේශ විනිමය නිකුත් කරන ලදී. ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම් පහත දැමීම මධ්‍යයේ රජයට විදේශීය මූලාශ්‍ර වෙතින් විදේශ විනිමය ලබා ගැනීමේ හැකියාව මුළුමනින්ම පාහේ සීමාසහිත විය. ඒ අනුව කල් පිරෙන විදේශ විනිමය රාජ්‍ය ණය වගකීම් පියවීම සඳහා මහ බැංකුව වෙතින් රජය අඛණ්ඩව විදේශ විනිමය ලබා ගැනීම හේතුවෙන් දළ නිල සංචිත පහත වැටීම වේගවත් විය.
මේ අතර, 2019 වසරේ අග භාගයේදී සහ 2020 වසරේ මුල් භාගයේදී රජය විසින් හඳුන්වා දුන් බදු අඩු කිරීම් හේතුවෙන් රාජ්‍ය ආදායම කැපී පෙනෙන ලෙස පහත වැටුණු අතර වසංගතයේ බලපෑම් හේතුවෙන් රාජ්‍ය වියදම් විශාල ලෙස වැඩිවීමක් පෙන්නුම් කළේය. රාජ්‍ය සිදු කළ යුතු අනිවාර්ය ගෙවීම් සිදු කිරීම සඳහා, විශේෂයෙන්ම විදේශ ණය මූල්‍යනය ඇතුළු ණය සේවාකරණ ගෙවීම් සඳහා විදේශ විනිමය මිලදී ගැනීමට අවශ්‍ය ශ්‍රී ලංකා රුපියල් ද මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම හරහා රජයේ ඉල්ලීම පරිදි රජයට ලබා දෙන ලදී. මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් නිර්මාණය කරන ලද එම නව මුදල් රජයේ ණය වගකීම් ගෙවීම සඳහා අවශ්‍ය විදේශ විනිමය මිලදී ගැනීම සඳහා රජය විසින් භාවිත කරන ලද අතර එය සංචිත මුදල්වල ගුණාත්මකභාවයට බලපෑම් කරමින් මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් අඩු කරන ලදී. එනම්, මහ බැංකුව සතුව ඉතා ඉහළ ශුද්ධ දේශීය වත්කම් ප්‍රමාණයක් සහ සෘණ ශුද්ධ විදේශීය වත්කම් පවතින තත්ත්වයකි.
ජානක එදිරිසිංහ
අංශ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ අර්ථශාස්ත්‍රඥ
මුදල් සහ බැංකු අංශය
ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව