මේ දිනවල නිතර ඇහෙන දෝෂාභියෝගයේ – විශ්වාසභංගයේ ඔබ නොදත් කතාව

263

මුල්ව විශ්වාසභංගය ඩඩ්ලි. සේනානායක ආණ්ඩුවට එරෙහිව

වැඩිම විශ්වාසභංග ගෙනවිත් තියෙන්නේ යහපාලන ආණ්ඩුවට එරෙහිව

ජනතාවගේ පරමාධිපත්‍ය බලය විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය වශයෙන් තෙවදෑරුම් ය. මෙම බල කුලුනු 3 මත පිහිටා රාජ්‍යයක පාලන තන්ත්‍රය ක්‍රියාත්මක වේ. නමුදු එක් බලාධිකාරියකට තවත් බලාධිකාරයක් අභිබවා ක්‍රියාත්මක කිරීමට නොහැකිය. එමෙන්ම එක් බලාධිකාරියකට අසීමිතව බලය හසුරුවමින් ක්‍රියා කිරීමටද නොහැක. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ව්‍යුහයක දී එවැනි අසීමාන්තික බලය යොදා ගැනීම පාලනය කෙරේ. එම ක්‍රියාවලිය සංවරණය සහ තුලනය (Check and balances) ලෙස හැඳින්වේ.

● ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයෙක් ගෙදර යවන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේදී ද මෙම සංවරණ හා තුලන ක්‍රියාවලිය යොදවාලීම සඳහා භාවිතා කෙරෙන ප්‍රධානතම මෙවලම වන්නේ දෝෂාභියෝගය සහ විශ්වාසභංග යෝජනාවන් ය. එනම් දෝෂාභියෝගයක් මගින් ජනාධිපතිවරයා ඉවත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සලසා ඇත. එය තරමක දීර්ඝ වූත් වෙහෙසකර වූත් ක්‍රියාවලියකි. එනිසාම ශ්‍රී ලංකාව තුළ දෝෂාභියෝගයක් මගින් ජනාධිපතිවරයකු ඉවත් කළ අවස්ථාවක් ඉතිහාසය තුළ පෙන්නුම් නොකෙරේ. නමුදු දෝෂාභියෝග යෝජනාවක් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් විය.

ජනාධිපතිවරයකුට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට හැකි අවස්ථාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කොට ඇත. එනම් ජනාධිපතිවරයා මානසික සහ ශාරීරික දුබලතා හේතුකොට ගෙන හෝ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 38(2) උප වගන්තිය සඳහන් ආකාරයට එනම් චේතනාන්විතවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, රාජ්‍ය ද්‍රෝහී වීම, අල්ලස් ගැනීම, ස්වකීය ධුරයේ බලතල අයුතු අන්දමින් භාවිතා කිරීම, යම් නීතියක් යටතේ චරිත දූෂණය හා සම්බන්ධ වරදක් සිදුකිරීම යනාදී වූ කරුණුය. යම් ජනාධිපතිවරයෙක් මෙවැනි වරදක් සිදු කර ඇති විට පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 2/3 කට නොඅඩු පිරිසක් අත්සන් කොට එම යෝජනාව කථානායකවරයා වෙත භාරදිය යුතුය. එවැනි විටෙක දී කථානායකවරයා එකී යෝජනාව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම අනිවාර්ය වේ. එවන් ආකාරයේ චෝදනා සඳහා පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් සරල බහුතරයක් අත්සන් කර ඇති විටක දී නම් කථානායකවරයාට යම් අභිමතයක් පවතී. එනම් එකී චෝදනා සඳහා පදනමක් පවතීද යන්න පිළිබඳව කථානායකවරයාට සලකා බැලීමේ අවකාශය උදා වේ. කවරාකාරයකින් වුවද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම යෝජනාව ඉදිරිපත් වූ විට නඩු විභාගයක් පැවැත්වෙයි. යම් හෙයකින් ජනාධිපතිවරයාට තවදුරටත් ධුරය දැරිය නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ විට ඒ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබේ. පාර්ලිමේන්තුව විසින් නැවත 2/3ක ඡන්දයකින් එම යෝජනාව සම්මත කර ගත යුතුය. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ දෝෂාභියෝග යෝජනාවක් කථානායකවරයා භාරගනු ලැබූ විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට අහිමි වෙයි. නමුදු පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමේ බලය නම් ජනාධිපතිවරයා වෙත පවතී.

● ප්‍රේමදාසට එරෙහි දෝෂාභියෝගය

මෙවැනි ආකාරයෙන් පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමක් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ දෝෂාභියෝගය ඉදිරිපත් වූ අවස්ථාවේදී ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් භාවිතා කරනු ලැබිණි. ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මුල්වී කටයුතු කළේ ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක යන අයය. එය එක්තරා ආකාරයක දේශපාලන කෝන්තරයක් පිරිමසා ගැනීමක්ද විය. එනම් ප්‍රේමදාස ජනාධිපතිවරයා වශයෙන් පත්වූ විගස ඔහු සිය අග්‍රාමාත්‍යවරයා ලෙස තෝරාපත් කර ගනු ලැබුවේ ඩී. බී. විජේතුංගය. ඒ වන විට අමාත්‍ය මණ්ඩලයේ වඩා ජ්‍යෙෂ්ඨයන් වූ ලලිත් සහ ගාමිණී ද එම තනතුරු අපේක්ෂාවෙන් සිටියේ ය. ඩී. බී. විජේතුංග අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වනවාත් සමගම ඔහුන්ගේ අපේක්ෂාවන් බිඳ වැටුණි. පසුකාලීනව මෙම දේශපාලන කෝන්තරය ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ගෙන ඒමේ ක්‍රියාවලිය දක්වා දීර්ඝ විය. එනම් ලලිත් සහ ගාමිණීගේ අපේක්ෂාව වූයේ දෝෂාභියෝග යෝජනාව සඳහා සිය මන්ත්‍රී කණ්ඩායමෙන් අත්සන් 38 ක ප්‍රමාණයක් ලබා ගැනීමය. සිරිමාවෝ බණ්ඩාරනායක එවකට විපක්ෂ විපක්ෂනායිකාව ලෙස කටයුතු කළේය. ඇය සිය මන්ත්‍රී කණ්ඩායමේ සියලු දෙනාගේම අත්සන් මෙම යෝජනාව සඳහා ලබා ගැනීමට සමත් විය. නමුදු ස්ටැන්ලී තිලකරත්න මෙම දෝෂාභියෝගය සඳහා අත්සන් නොකෙරිණි. ඔහු දක්වා සිටියේ එහි පිටපත් කියවීමට තමාට අවශ්‍ය බවය. මෙම යෝජනාව සඳහා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ද අත්සන් තැබුණි. එවකට කථානායකවරයා ලෙස කටයුතු කළේ එම්. එච්. මොහොමඩ් ය. කෙසේ හෝ ප්‍රේමදාස ජනාධිපතිවරයා කථානායකව සිය ග්‍රහණයට නතු කර ගත්තේ ය. එහිදී අදාළ දෝෂාභියෝගය සඳහා නියමිත අත්සන් ප්‍රමාණය ප්‍රමාණවත් නොවූ බව දක්වමින් කථානායකවරයා එකී දෝෂාභියෝගය භාරගැනීම ප්‍රතික්ෂේප කළේය. අවසානයේ දී සිදු වූ එකම ප්‍රතිඵලය වූයේ ලලිත්ට සහ ගාමිණීට එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සාමාජිකත්වය අහිමි වීම පමණි. ප්‍රේමදාස ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සැසිවාරයද වාරාවසාන කරන ලදී.

● ශිරාණි බණ්ඩාරනායක ධුරයෙන් පහකිරීම

මේ දිනවල නිතර ඇහෙන දෝෂාභියෝගයේ - විශ්වාසභංගයේ ඔබ නොදත් කතාව

මෑතකාලීනව දෝෂාභියෝගයක් පිළිබඳව වඩාත් ආන්දෝලනාත්මක කතාබහක් ඇති වූයේ හිටපු අගවිනිසුරුවරිය වන ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීම සඳහා ගෙන එනු ලැබූ දෝෂාභියෝග යෝජනාවේදීය. එහිදී පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් අත්සන් කොට එය ඉදිරිපත් කළ යුතු විය. එහිදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු එකසිය 113 දෙනකු අත්සන් කොට අග්‍ර විනිශ්චයකාරවරියට එරෙහිව චෝදනා 14ක් ඇතුළත් කොට දෝෂාභියෝගයක් ඉදිරිපත් කෙරුණි. ඒ සඳහා ක්‍රියා කිරීම සඳහා ස්ථාවර නියෝග 78(අ) (2) යටතේ අනුර ප්‍රියදර්ශන යාපාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කාරක සභාවක් පත් කෙරුණි. එම කාරක සභාව සඳහා ආණ්ඩු පක්ෂයෙන් නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, රාජිත සේනාරත්න, ඩිලාන් පෙරේරා, විමල් වීරවංශ, නියෝමාල් පෙරේරා යන අයද විපක්ෂයෙන් ජෝන් අමරතුංග, ලක්ෂ්මන් කිරිඇල්ල, විජිත හේරත් සහ ආර්. සම්පන්දන් යන මන්ත්‍රීවරු අයත් විණි. මෙම විශේෂ කාරක සභාව විසින් චෝදනා 14 න් චෝදනා 3ක් සඳහා අග්‍රවිනිශ්චයකාරවරිය වැරදිකාරිය බවට ප්‍රකාශයට පත් කෙරුණි. මෙම තීරණය දෙනු ලැබූ දිනයේ දී විපක්ෂයේ කිසිදු නියෝජිතයෙක් ඊට සහභාගි නොවීය. එහිදී ඔවුන් කියා සිටියේ මෙම චෝදනා විභාග කරන ආකාරය පිළිබඳව ඔහුනට සෑහීමකට පත්විය නොහැකි බවය. මෙම ක්‍රියාවලියේ පැවති දේශපාලනමය ස්වරූපය නිසා දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද මෙම ඉවත් කිරීම පුළුල් ලෙස දෝෂ දර්ශනයට ලක් විය.

● ගෝඨාභයට එරෙහිව විශ්වසභංගයක් ගෙන ආ හැකිද?

අද වන විට රට පුරා Gota go home යනුවෙන් දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක වේ. එහිදී ජනාධිපතිවරයාට ජනතාව කියා සිටින්නේ ධුරයෙන් ඉවත්ව යන ලෙසය. ඒ අනුව සමගි ජන බලවේගය ද මේ වන විටත් ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කථානායකවරයාට භාර දී ඇත. නමුදු ජ්‍යෙෂ්ඨ නීතිඥ ප්‍රතිභා මහනාම ප්‍රකාශ කර සිටිනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නම් ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුට ඉදිරිපත් කිරීමේ හැකියාවක නොමැති බවය. එහිදී විශ්වාසභංග යෝජනාව ගෙන ඒමේ දේශපාලනික අරමුණ කුමක් වුවද එකී විශ්වාසභංග යෝජනාව ගෙන ඒම පාර්ලිමේන්තුවේ දී මෙන්ම උපරිමාධිකරණයේ දී ද අභියෝගයට ලක්විය හැකිය. යම් හෙයකින් එකී විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණය වුවහොත් එහි වාසිය යන්නේද ආණ්ඩුවටමය. එනම් එවන් අවදානමක් විපක්ෂය විසින් දරන්නේ කුමන අරමුණක් ඇතිව ද යන්න පිළිබඳව උභතෝකෝටික ප්‍රශ්නයකි. එහිදී ජනාධිපතිවරයා සහ ආණ්ඩුව රැක ගැනීම සඳහා විපක්ෂය ද අන්‍යාකාරයකින් සහය වේ. එයද තවත් දේශපාලන ඩීල් එකක වෙනත් ස්වරූපයක පැතිකඩක් ද යන්න පිළිබඳව සමාජය තුළ පවතින්නේ බරපතළ වූ සැකයකි.

● මුල්ම විශ්වාසභංගය

විපක්ෂය විසින් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ද කථානායකවරයා වෙත භාරදී ඇත. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය තුළ මුල්වරට ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් 1967 වර්ෂයේ දී ඩඩ්ලි සේනානායක රජයට එරෙහිව ඉදිරිපත් වුණි. එනම් රජයේ ඉඩම් විශේෂ කල්බදු යටතේ ආණ්ඩුවේ හිතවතුන්ට ලබා දීම එයට මූලිකම හේතුවයි. නමුදු මෙම විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් වී ඒ පිළිබඳව පැවැති ඡන්ද විමසීමේ දී විශ්වාසභංග යෝජනාව ඡන්දය 33 කින් පරාජයට පත්විය.

● මැතිණිය මුහුණ දුන් ඛේදනීය ඉරණම

ඕනෑම විශ්වාසභංගයක දේශපාලන භාවිතාවක් ඇත. විශේෂයෙන් විශ්වාසභංගයක ජය පරාජය තීරණය වන්නේ එකී විශ්වාසභංගය සඳහා පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරන මන්ත්‍රීවරුන් ලබාදෙන ඡන්ද සංඛ්‍යා මත නොවේ. ඉන් ඔබ්බට ගොස් සමාජය තුළ කරන සංවාදය ගැඹුරු දේශපාලනික ප්‍රතිඵල අත්කරලිය හැකිය. මෙවැනි වටපිටාවක් 1975 දී බණ්ඩාරනායක මැතිනියට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාසභංගයේ දී දැකගත හැකි විය. මෙලෙස විශ්වාසභංගයෙන් මැතිනිය ජයග්‍රහණය ලැබුවද 1977 දී පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී මැතිනියට අත්වූයේ අන්ත පරාජයකි. ඊට ප්‍රධානතම හේතුවක් ලෙස දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දුන්නේ එම පරාජය සඳහා ප්‍රධානතම හේතුවක් ලෙස විශ්වාසභංග යෝජනාව ගෙන ඒම තුළින් එකී චෝදනාවන් ප්‍රබල ලෙස සමාජගත වීම බවය. එවිට ගොඩනැඟෙන සමාජ ප්‍රකියන්ට අවාසනාවන්ත ලෙස බලපාන දේශපාලඥයන්ට නරක ප්‍රතිඵල අත්පත් කර දෙනු ලැබේ.

● යුද ජයෙන් ඔද වැටුණු ආණ්ඩුවටත් විශ්වාසභංගයක්

යුද ජයග්‍රහණයෙන් පසුව පිහිටුවූ මහින්ද රාජපක්ෂ රජයට එරෙහිව ද විශ්වාසභංග යෝජනාවන් තුනක් ඉදිරිපත් කෙරුණි. එනම් වර්ෂ 2010 දී විදේශ අමාත්‍යවරයාව සිටි ජී. ඇල්. පීරිස්ට එරෙහිව මුල්ම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් විය. එමෙන්ම එවකට විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යවරයා වූ ඩිලාන් පෙරේරාට එරෙහිව ද වර්ෂ 2014දී ආණ්ඩුවට එරෙහිවද විශ්වාසභංග යෝජනාවන් ඉදිරිපත් වූ අතර එකී විශ්වාසභංග යෝජනා තුළම න්‍යාය පුස්තකයට ඇතුළත් වී විවාදයට ගෙන ඡන්ද විමසීමක් සිදු කළ අතර එකී සියලුම ඡන්ද විමසීම්වල දී ජයග්‍රහණය ලැබීමට ආණ්ඩුවට හැකියාව ලැබුණි.

● යහපාලනයේ විශ්වාසය පළුදු වීම

නිදහසින් පසු පාර්ලිමේන්තු ඉතිහාසය තුළ ආණ්ඩුවකට එරෙහිව වැඩිම විශ්වාසභංග යෝජනා ඉදිරිපත් වූයේ වර්ෂ 2015 – 2020 අතර කාලය තුළ පැවති යහපාලන ආණ්ඩුවට එරෙහිව ය. එනම් එම ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනා 11ක් ඉදිරිපත් වී ඇත. එහිදී යහපාලන රජයේ මහජන සාමය පිළිබඳ අමාත්‍යවරයා වූ ජෝන් අමරතුංගට එරෙහිව මුල්ම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් විය. එනම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා සභාපතිවරයකු ඇතුළු පිරිසකට තදබල ලෙස පහර දී ප්‍රසිද්ධියේ සාමය කඩ කිරීමට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන එනු ලැබිණි. නමුදු ඔහු අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්විය. එබැවින් එකී විශ්වාසභංග යෝජනාව සඳහා ඡන්ද විමසීමක් සිදු නොවුණි. එමෙන්ම යහපාලන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිවද විශ්වාසභංග යෝජනා දෙකක් ගෙන එනු ලැබිණි. ඉන් පළමු විශ්වාසභංග යෝජනාව න්‍යාය පුස්තකයට ඇතුළත් නොවූ අතර දෙවෙනි විශ්වාසභංග යෝජනාව සඳහා විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 76 කුත් ඊට විපක්ෂව ඡන්ද 122 කුත් ලැබුණි. ඒ අනුව වික්‍රමසිංහ ඔහුට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයෙන් ජයගනු ලැබිණි. තවද යහපාලන ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා වූ රවි කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාවන් 3ක් ඉදිරිපත් කෙරුණි. එහි මුල් විශ්වාසභංගයට හේතු වූයේ අයවැය සකස් කිරීමේදී යම් කිසි අක්‍රමිකතාවයක් සිදුකර ඇති බවට වන කාරණාවය. නමුදු ඒ වනවිටත් අයවැය යෝජනා පාර්ලිමේන්තුවේ සම්මත කර ගෙන අවසාන වී පැවතිණි. එබැවින් විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමක් හෝ ඡන්ද විමසීමක් සිදු නොවුණි. වර්ෂ 2016 දී රටේ අයහපත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් ඇති වූ ආර්ථික බිඳවැටීම හේතුවෙන් නැවත වරක් රවීට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූ අතර එකී විශ්වාසභංග යෝජනාවේදී ආණ්ඩුව ජයග්‍රහණය කරන ලදී. එමෙන්ම රවි කරුණානායකට එරෙහිව වර්ෂ 2017 වර්ෂයේදී ද මහ බැංකුවේ සිදුවූ සුප්‍රකට මූල්‍යමය වංචාව මුල් කරගනිමින් විශ්වාසභංග යෝජනාවක් ගෙන එනු ලැබූවද එයද ජයගැනීමට විපක්ෂයේ කණ්ඩායම්වලට හැකියාවක් වූයේ නැත. මෙලෙස යම් ආණ්ඩු කාලයක් තුළ වැඩිම විශ්වාසභංග යෝජනා ගණනාවකට මුහුණදුන් අමාත්‍යවරයා ලෙස රවි කරුණානායක හඳුන්වා දිය හැකිය. එම විශ්වාසභංග යෝජනා සියල්ල ජයග්‍රහණය කිරීමට රවි කරුණානායකට හැකියාව ලැබුණි. එවන් විශ්වාසභංග යෝජනාවක ජය පරාජය තීරණය වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඔළු ගෙඩි සංඛ්‍යාව මත නොවන බව ඊළඟ මැතිවරණයේදී රවි කරුණානායකට අත් වූ ඉරණම් පිළිබඳව සලකා බැලීමේදී අපට සිතාගත හැකිය. එනම් 2020 පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී රවිට අත්වූයේ අන්ත පරාජයකි. බොහෝවිට විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුව තුළ ගෙන ආ විට එකී විශ්වාස විශ්වාසභංග යෝජනාවට ලක්වන තැනැත්තා සම්බන්ධයෙන් පවතින චෝදනා කවරක් ද යන්න පිළිබඳව සමාජය තුළ පුළුල් කථිකාවතක් ඇති වේ. එබැවින් පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනාවෙන් ජයග්‍රහණය කරගැනීමට හැකියාව ලැබුණ ද අවසාන විනිශ්චකරුවන් වන්නේ ජනතාව බව සියලු දේශපාලනඥයන් මතක තබා ගත යුතුව ඇත.

යහපාලන ආණ්ඩු කාලය කාලසීමාව තුළ සිදුවූ සුවිශේෂී විශ්වාසභංග යෝජනාවක් වූයේ පාර්ලිමේන්තු මහලේකම්වරයා වන ධම්මික දසනායකට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ය. එලෙස විශ්වාසභංග යෝජනාවක් ගෙන එනු ලැබුවේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ රුපියල් මිලියන 50 ක් සඳහා පරිපූරක ඇස්තමේන්තුවට අදාළ ඡන්ද විමසීමේ දී ඡන්දය ගණන් කිරීමේදී වරදක් සිදු කළ බවට චෝදනා නඟමින්ය. මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ආවද එකී විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනුණේ නැත. මෙහිදී කථානායකවරයා එම කරුණු කෙරෙහි මැදිහත්ව එම ඡන්ද විමසීමේ දී එවන් ආකාරයක වරදක් සිදු නොවූ බව ප්‍රකාශයට පත් කරමින් එකී කරුණු පිළිබඳව විවාදයක් නොපැවැත්විණි. තවද යහපාලන ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව 2017 වර්ෂයේ දී විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුවද ඒ වන විටත් ඒ කාරණා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාගයට ගැනෙමින් තිබූ බැවින් ඒ චෝදනා සම්බන්ධයෙන් විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනුනේ නැත. එමෙන්ම යහපාලන ආණ්ඩු කාල සමය තුළ දී නස්රුදීන් අමාත්‍යවරයාට එරෙහිව ද විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් විය. එකී විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වීමට මූලිකම හේතුව වූයේ පාස්කු ප්‍රහාරයේ දී ඔහු විසින් අන්තවාදීන්ට සහය පළකරන ලද බවට වන කාරණාව මුල් කරගෙනය. එය විවාදයට ගැනීමට පෙර ඔහු සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය. එහි උසස් භංග යෝජනාව සඳහා ඡන්ද විමසීමක් සිදු නොවුණි.

යහපාලන ආණ්ඩු කාලසීමාව තුළදී ආණ්ඩුව විසින් ජනතාව කෙරෙහි වූ විශ්වාසය පලුදු කළ බවට දක්වමින් ආණ්ඩුවට එරෙහිව චෝදනා කිහිපයක් ඉදිරිපත් කරමින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවේදී නම් ආණ්ඩුව පරාජයට පත්විය. එකී ආණ්ඩුව දින 52 කට සීමා විය. එම අවස්ථාවේදී පිහිටුවනු ලැබුවේ සුළුතර ආණ්ඩුවකි. එකී සුළුතර ආණ්ඩුවට එරෙහිව ද ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාවේ දී එම ආණ්ඩුවද පරාජයට පත්විය. ඒ සඳහා වන ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තුව එකම කාලගෝට්ටියක් බවට පත්විය. එම සිදුවීම පාර්ලිමේන්තු ඉතිහාසයට කළු පැල්ලමක් ලෙස එකතු වූවා පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද අප රටට මහත් වූ අපකීර්තියක් එක්කළ දිනයක් බවට පත්වුණි.

● ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට සහය දෙන්නේ කවුද?

විශ්වාස අප රටේ පවතින්නේ ජනාධිපති පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයෙකි. එනිසා බොහෝ විට රජ්‍යය ව්‍යුහය විධායකය සහ ව්‍යවස්ථාදායකය වෙතින් සැදුම් ලද්දකි. ඇතැම් කරුණු සම්බන්ධයෙන් විධායක ද ඇතැම් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ද ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාවට නඟයි. එලෙස ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාවට නැංවීමේදී විධායකයේ එක් පක්ෂයකින් තේරී පත්වී ව්‍යවස්ථාදායකය බහුතරය වෙනත් පක්ෂයකින් තේරී පත්වූ විට යම් යම් ගැටලුකාරී අවස්ථාවන් නිර්මාණය වේ. මෙම ගැටලු බොහෝවිට ප්‍රතිපත්තිමය ඒවාට වඩා බලය පිළිබඳ වන ගැටලුය. එනම් යහපාලන ආණ්ඩු කාලසීමාව තුළදී මෙම බල අර්බුදය බෙහෙවින්ම දක්නට ලැබිණි. පාලකයන්ගේ මෙම වියරු වැටුණු බල අර්බුද හමුවේ වඩාත් අසරණභාවයට පත්ව ඇත්තේ රටේ ජනතාවය. එනම් අප රටට අත් වූ මෙම ඛේදනීය ඉරණම සඳහා රට පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙක ඇතුළු ඊට සම්බන්ධ වූ සියලු පක්ෂ අඩු වැඩි වශයෙන් වගකිව යුතු වේ. මෙවැනි වටපිටාවක් හමුවේ ජනතාවට අද ප්‍රධාන පක්ෂ දෙක කෙරෙහිම පවතින විශ්වාසය පළුදු වී ඇත. ඔවුන් අලුත් විකල්ප ධාරාවක් සොයමින් සිටින අවධියකි. විශේෂයෙන් තරුණ ප්‍රජාවට නම් ප්‍රධාන පක්ෂ කෙරෙහි පවතින්නේ දැඩි විවේචනයකි. එබැවින් ඔවුන් තෙවන බලවේගය වශයෙන් ජනතා විමුක්ති පෙරමුණට වැඩි නැඹුරුවක් ඇත. මෙම සමාජ විචලනය කෙරෙහි ජනතා විමුක්ති පෙරමුණ ඉවෙන් මෙන් කරුණු අවබෝධ කරගෙන ඇති බව පෙනේ. අන් දේශපාලන පක්ෂ මෙන් ජනතා විමුක්ති පෙරමුණේ ද මූලික අරමුණ දේශපාලන බලය අත්පත් කර ගැනීමය. ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලන බලය අත්පත් කර ගැනීමට වෙන විකල්ප
මාර්ගයක් ද නැත.

එබැවින් එම අරමුණේ වරදක් නැත. එබැවින් ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයකදී ඔවුනට ආණ්ඩු බලයක් හිමි නොවූවද වැඩි ආසන සංඛ්‍යාවක් හිමිවන බව ඔවුන් හොඳාකාරයෙන් දනී. එබැවින් ඔහුන්ගේ දේශපාලන උපායමාර්ගය වන්නේ වහ වහා මහා මැතිවරණයක් ලබාගැනීමය. ඒ සඳහා පවතින ආණ්ඩුව පෙරළිය යුතුය. එබැවින් ඔවුන් ද සමගි ජන බලවේගය මෙන් විශ්වාසභංග යෝජනාවට සහාය පළ කරති. යම් හෙයකින් එකී විශ්වාස විශ්වාසභංග යෝජනාව සාර්ථක වුවහොත් ආණ්ඩුව විසුරුවා හැරේ. එවිට පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක් ඇති පක්ෂය විසින් ආණ්ඩු බලය අත්පත් කරගත යුතුය. නමුත් වර්තමාන පාර්ලිමේන්තුව සංයුතිය අනුව සලකා බැලීමේදී කිසිදු පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් හිමි නොවේ. ඔහුන් ආණ්ඩුවක් පිහිටුවනවා නම් පිහිටු විය යුත්තේ පක්ෂ කීපයකින් සැදුම්ලත් කණ්ඩායමක් ලෙසිනි. මෙවන් වටපිටාවක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පසුගියදා ආණ්ඩුවෙන් ස්වාධීන වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කණ්ඩායම් ප්‍රකාශ කර සිටිනුයේ සියලුම පක්ෂවලින් සැදුම්ලත් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම වඩාත් යෝග්‍ය වන බවය. මෙම කණ්ඩායම් දෙක අද දෙතැනක සිටියද එකම දේශපාලන දහරාවක් පැවැත එන පිරිසකි. එනම් විමල්, ගම්මන්පිල සහ වාසුද එම දේශපාලන දහරාවේම තවත් පැතිකඩකි. එබැවින් ඔවුන් එකිනෙකාට ස්වාධීන ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගත්තද ඔවුහු එකිනෙකාට සැබැවින්ම පරායත්ත වේ. පැරණි සාම්ප්‍රදායික දේශපාලන දහරාව නියෝජනය කරන මෙම පිරිස මෙම අවස්ථාවේදී මැතිවරණයකට යෑමේදී ඔවුන් අති බහුතරයකට අත්වන දරුණු ඉරණම කෙරෙහි හොඳාකාරයෙන්ම දනී. එවන් තත්ත්වයකදී කණ්ඩායම්හි සිටින ජ්‍යෙෂ්ඨයන්ට ඇමැතිධුර පමණක් නොව සිය පාර්ලිමේන්තු අසුන් ද අහිමි වනු ඇත. ඔවුන් බොහෝ පිරිසක් මේ ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර, රාජ්‍ය අමාත්‍ය ධුර සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර දැරූ පිරිස් වෙති. එබැවින් මොහොතකට ආණ්ඩුවෙන් විතැන් වුවද ඔවුන්ද මෙම ප්‍රශ්නය කෙරෙහි සෘජුවම දායක වූ බව ඔහුන්ගේ හෘද සාක්ෂිය පමණක් නොව ජනතාව ද හොඳ ආකාරයෙන්ම දන්නා බව ඔවුහු දනිති. එබැවින් ඔවුන්ගෙන් වැඩි පිරිසක් ප්‍රකාශ කර සිටිනුයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය දැරිය යුතු බවය. නමුදු මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වී ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවස්ථාවක් සලසා දිය යුතු බවත්ය. ඔහුන්ට මෙම අවස්ථාවේ දී මහ මැතිවරණයක අවශ්‍යතාවයක් නොමැත. එබැවින් ඔහුනට අවශ්‍යව ඇත්තේ සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටු වීමය.

● විශ්වාසයෙන් පසු රට ස්ථාවර වේද?

යම් හෙයකින් විශ්වාසභංග යෝජනාවේ දී ආණ්ඩුව පරාජයට පත්ව වෙනත් දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට ද ආණ්ඩුවක් පිහිටුවීමට අවකාශ නොලැබුණහොත් ව්‍යවස්ථාවේ විධිවිධාන කවරාකාරයකින් පවතීද යන්න පිළිබඳව සලකා බැලිය යුත්තකි. වාසුදේව නානායක්කාර පසුගිය මැයි දිනයදා ප්‍රකාශ කරනු ලැබුවේ ජනාධිපතිවරයාට ආණ්ඩුව විසුරුවා හැරීම සඳහා තව මාස 06 පමණ කාලයක් පවතින බවය. එබැවින් එම මාස 6ක කාලය එළඹෙන තෙක් විශ්වාසභංගයෙන් රජය පරාජයට පත්ව කිසිදු දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට බලය පිහිටුවා ගැනීමට හැකියාව නොලැබුණහොත් දේශපාලන වශයෙන් රට අස්ථාවර වන බවය. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) ව්‍යවස්ථාව ප්‍රකාරව වසර 21/2 කාල සීමාවක් යනතෙක් ජනාධිපතිවරයාටය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි බවය. එහිදී පාර්ලිමේන්තුවට යම් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා බහුතරය සංඛ්‍යාවක් නොමැති නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට සිදු වන බවය. එබැවින් එවන් අවස්ථාවකදී පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යෑමට ව්‍යවස්ථාවෙන් බාධාවක් නොවන බවත්ය.

නීතිඥ
සංජීව බෝපෙආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment