මේ පාතාලය වෙනස් නොකොළොත් පාතාලයේ

145

අද අපි යුරෝපයේ දකිමින් සිටින යුද්ධය, තවත් බියකරු ලෝක යුද්ධයක මූලාරම්භය වේද යන අවදානම ගැන කතාබහ ඇරඹී ඇත. යුද්ධයක් යනු ජීවිත විනාශයකි. ජනජීවිත වියවුල් කරන්නකි. වාසස්ථාන, දේපළ අළු දූවිලි කරන්නකි. කිසිවිටෙක, කිසිවකුට යුද්ධය නම් සාධාරණීයකරණය කළ නොහැක. එය ශිෂ්ට ලෝකය තුළ ”තහනම් වචනයක්” විය යුතුමය.

ඒ යුද්ධය ඇමෙරිකාව විසින් වියට්නාමයේ කළද, ඉරාකයේ කළද, ලිබියාවේ කළද, මිනිස් ජීවිත මායිම් නොකරන ඒ ප‍්‍රයත්නයන්වල අවසානයක් දැකීම සඳහා නැඟී සිටිය යුතුව ඇත. ඒ යුද්ධයන් රුසියාව කළද, චීනය කළද, ඉන්දියාව කළද ඒ අයුරින්ම ඒ යුද්ධයන්හි නිමාවන් දැකීම සඳහා ශිෂ්ට ලෝකය නැඟී සිටිය යුතුව ඇත.

මේ යුද්ධයන්හි විපාකවලට රටක් ලෙස අපටද මුහුණ දෙන්නට සිදුවීම අනිවාර්යය.

නිදහසින් පසු ශ‍්‍රී ලංකාව කිසිවිටෙක මුහුණ නොදුන් ආකාරයේ මූල්‍ය අර්බුදයකට දැනටමත් මුහුණදී සිටී. මුළු රටම ඉබාගාතේ යමින් පවතී. නායකත්වයක් නැති තරම්ය. මඟ පෙන්වීමක් නැති තරම්ය.

ලීක්වාන්යූලා, මහතීර් මොහමඞ්ලා බලයට ගෙන ඒමට බෙරිහන් දුන් උදවිය දැන්, ඒ මහතීර්ලාට, ලීක්වාන්යූලාට විරුද්ධව අවි අමෝරාගෙන සිටී. මේ කිසිවක් ලියැවෙන්නේ ද්වේෂයකින් නොවේ.

ලීක්වාන්යූලාට තම මාතෘභූමියේ අනාගතය වෙනුවෙන් පැහැදිලි අරමුණක් සහ ඉලක්කයක් තිබිණ. රට එකතු කරන පළල්, අනාගතවාදී දැක්මක් තිබිණ. ඒ සඳහාවූ වැඩපිළිවෙළක් තිබිණ. දැන උගත් කණ්ඩායම් සමීපකරගෙන සිටියහ. ඒ ගමනේදී සොරකමට, වංචාවනට, දූෂණයට ලිහිලක් නොතිබිණ.

අද අපේ රට වැටී ඇති තත්ත්වය ඛේදජනකය. එහෙත් තවමත් ”මම හපනා” කතාවන්ගෙන් නම් අඩුවක් නැත. සියල්ලට හේතුව කොවිඞ් බව පැවසූ අයුරින්ම, දැන් යුක්රේන් අර්බුදයද තවත් හේතුවක් කරගනු නියතය.

ජනපති පුටින් සමඟ කළ සාකච්ඡා කිහිපයකින් අනතුරුව, පසුගිය බ‍්‍රහස්පතින්දා ප‍්‍රංශ ජනපති මැක්රෝන් කළ සඳහන මට සිහියට නැෙඟ්.

(Worse is yet to come) ”නරකම තත්ත්වය එන්නේ ඉදිරියටයි”. මේ ඔහුගේ අනාගත වාක්‍යය විය.

අද අපේ රටම දවසින් අඩක් අඳුරේය. ගමනක් යා නොහැක. ගමන ගියොත් නැවත ඒමට නොහැක. එක් පැත්තකින් විදුලිය ප‍්‍රශ්නයකි. තවත් පැත්තකින් ඉන්ධන ප‍්‍රශ්නයකි. අනෙක් පැත්තකින් ගෑස් ප‍්‍රශ්නයකි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම, දස අතින් දකින පෝලිම්, මේ සියල්ල මැද මිනිසුන්ගේ ජීවිත කඩා වැටී ඇත. හාල් මිල ඉහළ ගොස්ය. එළවළු ගිනි ගණන්ය. කිරි පැකට්ටුවක් සොයා ගැන්ම අසීරු කරුණකි. මේවායේ මිල ගණන් දරාගත නොහැකි තරම්ය. දැන් අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍යයන්ද හිඟවන්නට පටන් ගෙනය.

බුරුතුපිටින් මුදල් අච්චු ගැසීම් නිසා රුපියල අව ප‍්‍රමාණයවීම හේතුවෙන් ඉදිරියේදී භාණ්ඩවල සීමාවන් පැන ඉහළට යෑම, ජනතාවට දරාගත නොහැකි තත්ත්වයක් වනු අත.

තම දරුවන්ගේ බඩගින්න නිවා දැමීමට මඟක් නොමැතිව සියදිවි නසා ගත් පියවරුන් පිළිබඳ තොරතුරු දැන් දැන් මාධ්‍ය විසින් හෙළිවන්නට පටන්ගෙනය. බියකරු ඉරණමකට රට ගමන් කරමින් සිටින වගනම් පැහැදිලිව පෙනෙන්නට ඇත.

ඒත් සුරංගනා කථාවල නම් අවසානයක් නොමැත.

”ආණ්ඩුවට මුදල් ප‍්‍රශ්නයක් නැහැ. අපි සංවර්ධනය නතර කරන්නේ නැහැ. අපි ගමේ මන්ත‍්‍රීවරුන්ට සල්ලි දෙනවා. පාරවල් හදනවා”. මේ කතා දොඩවන මැති ඇමැතිවරු මෙන්ම මහ බැංකු ප‍්‍රධානීන් සිහින ලෝකවලින් අවදිවිය යුතුව ඇත. මහපොළොවට බැසිය යුතුව ඇත.

මුදල් නොමැතිකම නිසා වරායට පැමිණ ඇති ඞීසල් සහ තෙල් නැව්වලින් ඒවා බාගත නොහැකි තත්ත්වයන්ට රට මුහුණදී ඇත. තෙල් නොමැති කම හේතුවෙන් බස්රථ ගමනාගමනය අඩාල වීමට පටන්ගෙන ඇත. වාහන ගමනාගමනය අඩාලවීම හේතුවෙන් සේවක ප‍්‍රවාහනය ඇතුළු කර්මාන්ත ශාලාවන්හි කටයුතු ඇන හිටිණ තත්ත්වයකට රට වැටී ඇත.

රට මුහුණදී ඇති සැබෑ තත්ත්වය ජනතාවට වසන් කරමින්, එදා වේල සොයන ගමනක රජය නිරතව සිටී. වගකිවයුතු පාලනයක් ලෙසින් රට මුහුණදී ඇති සැබෑ තත්ත්වය සහ එයට මුහුණදීමට රජයට ඇති සූදානම මෙන්ම සැලැස්ම ගැන ජනතාවට හෙළිදරව් කිරීම පාලකයන්ගේ යුතුකම වේ.

අද අර්බුදය බියකරු තැනකට ඇවිත් ඇත. සිදුකරමින් ආ මුළාව රජයේම කොටස් තේරුම් ගනිමින් සිටින බවක් පෙනේ.

අද අපේ රට මුහුණදී ඇති ප‍්‍රශ්න බොහොමයක් දැක්මකින් තොරව ගමනක ප‍්‍රතිඵල වේ. කෘෂිකාර්මික අර්බුදය සහ ඒ තුළින් සිදුවූ නිෂ්පාදනවල කඩාවැටීම, අපනයන ආදායම් නැන්වීම, ඒ ඒ ක්ෂේත‍්‍රයේ අයවලූන්ගේ ආදායම් අහිමිවීම වැනි අත්වූ විපාක සියල්ල වැරදි තීරණ තීන්දුවල ප‍්‍රතිඵලයන්ය. විදේශ ශ‍්‍රමිකයන් වෙතින් රටට ලැබෙමින් තිබුණු ආදායම් මහා පරිමාණයෙන් අහිමිකර ගැන්මද වැරදි තීරණ සහ ප‍්‍රතිපත්තීන්හි ප‍්‍රතිඵලයන්ය. මේ හැරෙන්නට ස්වෛරී බැඳුම්කර සඳහා වූ ගෙවීම්වලට කඩිමුඩියේ නොගොස් ප‍්‍රතිව්‍යුහගතකරණයකට යන ලෙස ලැබුණු සහ ඒ තුළින් අත්‍යවශ්‍ය දෑ ගෙන්වා ගැන්ම සම්බන්ධව ඇති ප‍්‍රශ්නය සඳහා විසඳුමක් ඇති කරගන්නා ලෙස ලැබුණු උපදෙස් මායිම් නොකර ඒවා ගෙවීමට යෑම වැනි කරුණු ගැන අද මාධ්‍යයන් රටට හෙළි කරමින් සිටීම අපි දකින්නෙමු. ගජ මිතුරු ධනවාදයක ප‍්‍රතිඵල හැම අතින්ම රටට විඳින්නට සිදුව ඇත.

මේ අතර රජයේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, අධිපතිවාදී ක‍්‍රියාදාමයන් නිසා රටක් හැටියට අප ලෝකයෙන් කොන් වෙමින් සිටී. හුදෙකලා වෙමින් සිටී. විශ්වාසනීය භාවය නැතිකර ගනිමින් සිටී. එදා වේල සොයන ගමනක් මිසෙක, සමස්ත පින්තූරය තේරුම් ගනිමින්, වැරදි නිවැරදි කරගැනීමේ සූදානමක් දකින්නට නැත. ආගාධයෙන් ගොඩ ඒමට දැක්මක් හෝ සැලැස්මක් පෙනෙන තෙක්මානයක නැත.

මේ විනාශකාරී ගමන දිගටම යන්නට ඉඩදීමෙන් ගිලෙන්නට යන්නේ ආණ්ඩුව නොව රටේ අනාගතය බව තේරුම් ගත යුතුව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment