කොමා!

හරිම රස්නයක් තියෙන්නෙ. ගේ ඇතුළෙ ඉන්න බෑ. එළියෙ ඉන්නත් බෑ. ඉඩෝර කාල පහු කරලා තියෙනවා හුඟක්. ඒත් ඉඩෝර කාලයක් මේ තරම් ඇවිත් නෑ කවදාවත්. බලාගෙන හිටියාට වැහි වැටෙයි කියල වැටෙන්නෙ බිංදුවයි දෙකයි. බිංදුවක් දෙකක් දීලා මහ ලොකුවට ඔරවනවා අහසත්. එහෙම තමයි අහස. අහසට නඟිනකන් විතරයි ඔක්කොම. පස්සෙ අමතකයි කොහොමද නැග්ගෙ කියල අහසට. ඒත් වැහි වැටෙනකොටත් කෑගහනවා මිනිස්සු. උදේ ඉඳලම චුරු චුරු ගානවා, මහ මුස්පේන්තු වැස්සක් කියල කියනවා. මිනිස්සු එහෙම තමයි. මිනිස්සු මනින්න බෑ. සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා!

සූර්ය සංක්‍රාන්තියේ වැරැද්දකුත් තියෙනවාලු මෙදා පාර. නැකැත් වැරදිලු අවුරුද්දට දීලා තියෙන. නැකැත් ලොක්කොත් කෑකෝ ගහනවා අතන මෙතන. මතක් වෙනවා මට රජ ගෙදර නැකැතියා. ප්‍රතිඵල ආවාම දුවන්න පාර මදි වුණු නැකැතියා. හැබෑට කොහේ ඉන්නවා ඇද්ද සුමනදාස ලොක්කා? ඒත් නැකැතෙන් ඔක්කොම තීරණය වෙනවාද? නැකැත් කියන්නෙ ඇත්තද? ග්‍රහ ලෝකවල පිහිටීම මිනිසුන්ට බලපානවාද? ඒත් බලපාන්න බැරි ඇයි? සමහර ග්‍රහයො කරපු හරිය පේන්නෙ නැද්ද අපට? පේනවා තමයි. ඒත් ඡන්දෙ ළං වෙනකොට අමතකයි ඔක්කොම. ඊට පස්සෙ සිල් රෙදි බෙදපු එකාටත් දෙනවා ඡන්දෙ. යුද්දෙ දිනා දුන්නෙ කවුද? ගහනවා ඌට කතිරෙ. පාරවල් හදපු එකා කවුද දන්නෑ. පාරවල් ගසා කාපු එකාත් කවුද දන්නෑ. ඒත් ඌටත් දෙනවා ඉල්ලන දෙයක් ඡන්දෙ වෙලාවේ. ද්විත්ව පුරවැසියෙක් වුණත් මොකෝ ඉතිං! මොකෝ පේන්න ගන්නෙ ග්‍රහයා බලයට ඇවිත් කරන කියන දෙයින්. ඊට පස්සෙ ඉස්තාලය හිස්. අශ්වයා ගිහින් සිංගප්පූරුවේ. අන්න සූර්ය සංක්‍රාන්තියේ අවුල. මට හිතෙනවා කවදාවත් හරි ගිහින් නෑ කියල අපට අවුරුදු නැකැත්. නැකතේ ප්‍රශ්නයක්ද ඒක? නැත්නම් මිනිස්සුන්ගේ ප්‍රශ්නයක්ද? තෝරබේරගන්න බෑ මොකක්ද ප්‍රශ්නෙ කියල. ඒත් නැකැතෙ අවුලක් තියෙනවා ෂුවර්. නැකත ගැන වැඩිය කියන්න කැමති නෑ මං. කුණුහරුපත් කියවෙයි එතකොට.

ලොකු මහත්තයා නම් කියන්නෙ 2048 දී ප්‍රශ්න ඉවරයි කියල. ආස නැද්ද අහන්න ප්‍රශ්න ඉවර වෙන දවසක්? කොච්චර සතුටුදායී ආරංචියක්ද! ඒත් ගණන් ගන්නෑ මං ඡන්ද පොරොන්දු. පොරොන්දු කියන්නෙ පොරොන්දු. පොරොන්දු කියන්නෙ ඉටු නොවන ජාතියක්. පොරොන්දුවලට සීමා වෙන ජාතියක්. ඒත් එකක් හිතෙනවා මට. ඇයි මිනිස්සු කටට එන දේ කියන්නෙ? වගකීමක් නැති ප්‍රකාශ කරන්න පුළුවන්ද ලොක්කෙකුට? හැබෑට නැද්ද කවුරුවත් වගකිව යුත්තෙක්? වග වන්නෙක්වත්? වග වීමත් ඉවර වුණා යහපාලනෙන් පස්සෙ. වගකීම්, වගවීම් මෝඩ කතා. කට ඇත්නම් පත කුඩාද! ඕන දෙයක් කියන්න පුළුවන් කට ඇත්නම්. ඒක නෙවෙයි ප්‍රශ්නය. කටට එන දේ කිව්වාම ඒක අහන මිනිස්සු ඉන්න එක. ගොබෙල්ස්ලාට හැමදාම බලය තියෙනවා. ගොබෙල්ස්ලාට ප්‍රේක්ෂකාගාරයක් තියෙනවා හැමදාමත්. ප්‍රබුද්ධ ප්‍රේක්ෂකාගාරයක් නෑ කොහෙවත්. එදා සිටියාද ප්‍රබුද්ධ ප්‍රේක්ෂක පිරිසක්? මං හිතන්නෑ සිටියා කියල. එදත් නෑ. අදත් නෑ. අද ඉවර වුණාම හෙට. අදත් හෙටත් දෙකම එකයි. ඉතිං හොඳ වෙන්නෑ 2048. 3048 වුණත් වෙනසක් වෙන්නෑ මෙවුන් ඉන්නකන්. ඒත් ප්‍රේක්ෂකාගාරයේද තියෙන වරද මෙතන? නෑ, ජීවිතයෙම අවුලක් තියෙනවා. එහෙම හිතෙනවා මට. අන්තෝ ජටා බහි ජටා! ජටාපි ජහිතා ජටා!

පිදුරු ගහක්වත් තිබුණා නම් එල්ලෙන්න! ඉස්සර මිනිස්සු පිදුරු ගහේ එල්ලුණාලු. මෝඩද මිනිස්සු එදා? නෑ, පිදුරු ගහ ගහක් නෙවෙයි කියල දැනගෙන සිටියා ඔවුන්. ඒත් දැන දැන එල්ලුණා. එල්ලෙන්න වැල් නෑ දැන්. දැන් තත්ත්වය භයානකයි. එහෙම වුණත් ජීවත් වෙනවා මිනිස්සු. රස්සා කරනවා මිනිස්සු. ඔව්, රස්සා කරනවා. රස්සාවක්ද කරන්නෙ? රස්සාව වැදගත්ද? ඇයි රස්සාව වැදගත් නෑ කියන්නෙ? ළමයින්ට, බිරිඳට කන්න අඳින්න දෙන්නෙ රස්සාවෙන් නෙවෙයිද? ඒත් රස්සා කියල කරන දේ ගැන ප්‍රශ්නයක් තියෙනවා. කන්තෝරු යන්නෙ ඇයි මිනිස්සු? කන්තෝරුවේ පැය අටක් ඉන්නවා සේවකයො. රජයේ වගේම පෞද්ගලික අංශයේ සේවකයොත්. අට පැයක් මොනවාද කරන්නෙ ඔවුන් එතන? ඒ ගැන කියන්න යන්නෙ නෑ මං. ඒත් ඒක රස්සාවක් නම් නෙවෙයි. අර්ථකථනයම නිවැරදි වෙන්න ඕන රස්සාවේ. නැත්නම් ප්‍රායෝගික භාවිතය නිවැරදි කරන්න ඕන. ඒත් රස්සාවේ මොන බලු වැඩක් කළත් රස්සාව නැතුව බෑ. ඒත් රස්සා දෙන මිනිස්සු ඒක දන්නෙ නෑ. සේවකයො පාලනය කරන මිනිස්සු ඒක දන්නෙ නෑ. දවසක් දෙකක් පඩි පරක්කු වෙන එක ප්‍රශ්නයක්ද? එහෙම තමයි අහන්නෙ. ඒත් ඒක ප්‍රශ්නයක්. පොඩි නෙවෙයි, ලොකු. ඒත් ඒක දන්නෙ පඩි ගන්න මිනිස්සු විතරයි. පඩි දෙන මිනිස්සු දන්නෙ නෑ. හැබැයි හැන්ද තියෙන්නෙ ඔවුන්ගේ අතේ. ඉතින් බලන් ඉන්න වෙනවා බෙදනකන් හැන්දෙන්. අද නැත්නම් හෙට බෙදයි කියල බලන් ඉන්න වෙනවා. හෙටත් නැතොත් අනිද්දා බෙදයි කියල. අනිද්දා නැතොත්…..? මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට සමාජවාදය ආවොත් හොඳ වෙයිද තත්ත්වෙ? හොඳ වෙයි කියල තමයි කියන්නෙ. ඒත් කවුරුවත් ඉඳලා නෑ සමාජවාදී සමාජෙක. අනුර කුමාරවත් ඉඳලා තියෙනවාද? නෑ, අනුර හිටියේ කුරුණෑගල. කුරුණෑගල ඕන එකෙක් ඉන්නවා. රටේම කුණු බේරුවල බොක්කයට නෙවෙයි, කුරුණෑගලටද? විජේවීර හිටියාද සමාජවාදී රටක? ඔව්. රුසියාවෙ ලුමුම්බාවල හිටියෙ මිනිහා. ඔරුවල බන්දුත් හිටියාලු එයා එක්ක. ඒත් ඔරුවල තරම් සුන්දර නෑ මිනිහා. ඔව්, මේ කවුරුවත් සමාජවාදී සමාජෙක ඉඳලා නෑ. ඉඳලා නැතුව කියනවා ඒගොල්ලාටත් දීලා බලන්න කියල. ලුනු ලුනු රහයි කියල දැනගන්න ලුනු කන්නම ඕනද? අසූචිවල රහ බලන්න ඕනද තොල ගාලා? සමාජවාදෙ ලුනු රහ බලන්න පොල්කට්ටට දිව දාලා.

ඊයේ අල්ලපු ගෙදර ලොකු ගෝට්ටියක් දැක්කා මං. ගෑනියි මිනිහයි ගහගන්නවා. සල්ලි තමයි මුල. සල්ලිවලට මිනිස්සු නරුමයො කරන්න බැරිද? ආර්ථිකය කියන්නෙ පුදුම දෙයක්. මාක්සුත් ආර්ථිකය පෙරට ගත්තා නේද? අපේ මාක්ස්ලාත් ගත්තා ඒක එළියට. ඒත් ආර්ථිකයට බලය හිමි වෙන්නෙ මිනිහෙක්ගෙ කරේ ගෑනියෙක් ඉන්නකන්. ගෑනි හැලුණා නම් ආර්ථිකයෙ ඇති කෙහෙම්මලක් නෑ. එහෙමද කියන්නෙ? වැරදිද එහෙම කිව්වොත්? මට හිතෙනවා රටේම ගෙවල්වල අද අඬදබර කියල. ගෙවල්වල ගෑනු ඉන්නවා නම් අඬදබර. නොහිටියත් හැබැයි අඬදබර. අරුම පුදුම රෝද හතර වගේ. රෝද හතරක් ගැන සිහිනයක් තිබුණා ඉස්සර. දැන් සිහින නෑ. සිහින පේන්න නිදාගන්න ඕන. ඒත් දැන් නින්දක් නෑ. නින්ද හොරු අරන්. සිහිනත් හොරු අරන්. හොරු අරගෙන ජීවිතේම. ජීවිතයක් නැති ජීවිතයක්!

හරි පාළුවක් දැනෙනවා ජීවිතේට. යාළුවො කාලයක් හිටියා මට. දැන් යාළුවො නෑ. යාළුවො මාළුවො වෙලා. හැම එකාම පීනලා ඈතට ගිහින්. ආර්ථික කඩාවැටීම් අස්සෙ යාළුවො නැති වීම අහන්න දෙයක්ද? ඒත් යාළුවෙක් හිටියා නම් බෙදාගන්න තිබුණා දුක. අහන් ඉන්න තිබුණා උගෙත් දුක. දුක ඇරෙන්න කතාවක් නෑ කාටවත්. විශාලා මහනුවර තුන් බිය වගේ. රතන සූත්‍රයටවත් බැරිද දුක්බිය නැති කරන්න මේ? ඒත් පිරිත් කියන්නත් හාමුදුරුවරු ඉන්න ඕන. දැන් හාමුදුරුවො ඉන්නවාද? නඩුකාර හාමුදුරුවො නම් ඉන්නවා පේනවා බැලු බැලූ අත. ඒත් පන්සලේ හාමුදුරුවො පේන්න නෑ කොහෙවත්. පන්සල්වල ඉන්නෙ මුදලාලි හාමුදුරුවො. බුදු හාමුදුරුවො නම් ඉන්නවා බුදු මැඳුරෙ. බුදු හාමුදුරුවොත් බලන් ඉන්නවා ඇස් අඩවන් කරගෙන වෙලා තියෙන නස්පැත්තිය බුද්ධ සාසනේට. බුදු, පසේබුදු, මහහරතුනේ, බැරිද ටිකක් වඩින්න මහපොළොවට!

කාලය ගෙවෙන්නෙ හෙමින් වගේ දැනෙන්නෙ. කාලය ඉක්මන් කරන්න. ළතැවෙවී ඉන්න වෙලා නෑ. දුවන්න කාලය විගහින්. කාලය කෙතරම් නපුරුද සොඳුරිය! නෑ. සොඳුරියන් නැහැ දැන්. සොඳුරිය ඉන්නෙ ප්‍රේම කරන කාලෙ. විවාහෙන් පස්සෙ යකා වෙනවා සොඳුරිය. යක්කු බැඳගන්නෙ මිනිස්සු විවාහ වෙලා. ඒත් මිනිස්සු වළක්වන්න බෑ ඒකෙන්. යක්කුම ඕන කියනවා පිරිමි. ගෑනුත් යක්දෙස්සෙක් ඉල්ලනවා. ඒක තමයි දුක. බව දුක. බව කර්ම. ඒකා අධිපති. ට්‍රෝජන්. තිත වැටෙන්න ඕන මේ ඔක්කොටම. ඒත් තිත වෙනුවට වැටෙන්නෙ කොමාවක්. කොමාව කියන්නෙ තිත නෙවෙයි. කොමා තියන්න ලේසියි. ඒත් තිත. තිත අමාරුයි. තිතට පස්සෙන් ගොඩ දෙනෙක් ඉන්නවා තව. තිත තිබ්බොත් මං විතරක් නෙවෙයි, හැමෝටම නවතින්න වෙනවා. ඉතිං තිත තියන්න අමාරුයි. ඒත් යන්න පුළුවන්ද කොමා දදා මේ විධියට? මට හිතෙනවා බෑ කියල. ඔව්, කොමා එක්ක බෑ. ඒත් තිත ඇත්තෙම නෑ. තියෙන්නෙ කොමා. කොමා, කොමා, කොමා……

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment