ගේ බිඳුම!

අමාරුවෙන් බලන් ඉඳලා බලන් ඉඳලා නොනගතය ඉවර වුණා විතරයි බිරිඳ ඇවිත් කිව්වා තව පැයකින් ඊළඟ නොනගතය පටන් ගන්නවා කියල. කරකවලා අතෑරියා වගේ වුණා මං. “මොන සිංහල අවුරුද්දෙද නොනගත දෙකක් තියෙන්නෙ?” “ඇයි දන්නෙ නැද්ද මේ සැරේ නැකැත් චාරිත්‍ර වෙනස් කියල,” බිරිඳ නෝක්කාඩුවෙන් කිව්වා මට. එහෙමත් වෙලා තියෙනවා කියල මතක් වුණේ එතකොට. ඒත් එහෙම වෙන්න පුළුවන්ද! රාජ්‍ය නැකැත් කමිටුවකුත් තියෙනවා නේද! නෑ, එහෙම වෙන්න බැරි නෑ. මොන කමිටු තිබුණත් කාටද කියන්න පුළුවන් අහසේ තියෙන්නෙ එක ඉරයිම කියල. ඉර දෙකක් තියෙන්න බැරිද අහසෙ! එතකොට එක ඉරක් මීන රාශියෙන් මේෂ රාශියට එද්දි අනික් ඉර පිටිපස්සෙන් එන්නෙ නැද්ද? එහෙම වෙලා නේද එක් කෙනෙක් ඡන්දෙන් ඇවිත් තව කෙනෙක් පුටුවේ වාඩි වුණේ? හැබැයි විදුර ගුරුන්නාන්සේ නම් කිව්වෙ මොන නැකැත් සාස්තරේ අනුව බැලුවත් එක උත්තරයයිලු එන්න ඕන කියල. ඒත් එහෙම වෙලා නෑ කියන්නෙ නැකැත් කියන එක බොරුවක් නිසාලු. අහන්න හිතෙනවා ගුරුන්නාන්සේ නැකැත් බැලුවෙ නැද්ද කියල මඟුල් කද්දිවත්. අහන්න එයාගේ තාත්තා නැකැත් ගත්තාද නැද්ද කියල මඟුල් කද්දි. මඟුල් කෑම කිරි කජු වගේනෙ එතුමාට. කමක් නෑ, එයාට ඕන නම් පැත්තක දමපුවාවේ නැකත. ඒත් එයාට බෑ සිංහල අවුරුද්ද කුරුවල් කරන්න. ඒත් දැන් වැඩේ කුරුවල් වෙලා ඉවරයි. ඉතින් එක වරක් වෙනුවට දෙවරක් වැඩ අල්ලලා, එක වරකට දෙතුන් වරක් ලිපි ගිනි මොලවලා, තව දෙතුන් වරක් අලුත් අවුරුදු කෑම මේසෙට වාඩි වෙලා එපාම වුණාම මං ගියා හන්දිය දිහාට.

හන්දියට ගියාම දැක්කෙ මහා බක්මහ උළෙලක් එතන. නෑ, බක්මහ උළෙලක් නෙවෙයි, ඒ වගේ එකක්. කැටපොළක්. මැණිකාගේ ආප්ප කඩේ ගජ රාමෙට කැට ගහනවා. ආප්ප දාන අතරේ කැට ව්‍යාපාරෙත් නැඟලා යනවා ගින්දර වගේ. සල්ලිවලට වගේම බඩුමූට්ටුවලටත් කැට ගහනවා. පරදින උන් පෙරහැරේ ආපහු හැරිලා යනවා. තව පෙරහරකින් කට්ටිය එනවා කැටපොළට. ඒ අතර ඔට්ටු අල්ලන්නෙ නැති උන් බලා ඉන්නවා බඩු වෙන්දේසි වෙන දිහා අතන මෙතන වාඩි වෙලා. සමහර බඩු ලොකු ගණන්වලට වෙන්දේසි වෙද්දි සමහර බඩු ලාබෙට වෙන්දේසි වෙනවා. ඕවා මොනවාද! බලන්නකො තව මාස හය හතකින් වෙන්දේසි වෙන හැටි මන්තිරිලා. ඉල්ලුම වැඩි එකා වැඩිම මිලට වෙන්දේසි වෙයි, ඉල්ලුම නැති එකා පිම්පි වැඩේ කරයි. එහෙම කරන කට්ටිය ඉන්නවානෙ ඕන තරම්.

“මෙතන මේ පෙරහැරක්ද මල්ලි?” කැටපොළට ආපු කෙනෙක් විමසනවා ඇහුණෙ මගෙ පිටිපස්සෙන්.

“මං හිතන්නෙ කැටපොළක් වගේ” ඒ කටහඬ වෙන කෙනෙක්ගෙ.

“මෙතන ඉඳලා වැඩක් නෑ දයාසිරි මල්ලි. අපි යමු.”

ආයේ කන ළඟින් ඇහුණාම මං බැලුවා පස්සහැරිලා කවුද කියල. ජාතික ඇඳුම ඇඳලා නිල් පාට තොප්පි දාගත්තු දෙන්නෙක් පිටිපස්සෙන්. එක් කෙනෙක් පෙනුම තරුණ මැදි වියේ. අනෙකා කෙළින්ම මහලු වියේ. මහලු විය හංගන්න හැදුවාට නාකියි මිනිහා.

“රටේ ලෝකෙ වෙන දේවත් මිනිස්සුන්ට ගානක් නැති හැටි හැබෑට!” නිල් තොප්පිය දැමූ පොඩි තැන අනෙකාට කියනවා මං දැක්කා.

“ඇයි මොකක්ද වෙලා තියෙන්නෙ?” මං ඇහුවා කුතුහලය ඇවිස්සුණු හින්දා දෙන්නාගෙන්.

“ඇයි මල්ලි දන්නෙ නැද්ද? ඩාර්ලි පාරේ අපේ ගේ කඩලා!” මං දිහා හැරුණු තරුණ හඬ කියා පෑවා. මොනවද මේ කියන්නෙ? ඩාර්ලි නෙවෙයි, ඩාලින් නම් දන්නවා මං. ඒත් ඩාර්ලිලා ඉන්න බැරිද ඩාලින්ලා ඉන්නවා නම්?

“ඒ කිව්වෙ?” මං ආයෙ විමසුවා. මං දිහා රවා බලපු මැදි වයසේ ඉලන්දාරියා මෙහෙම කිව්වා:

“ඕක තමයි මල්ලි රටටම වෙලා තියෙන්නෙ. රටම නිදිවැදිලා, අපි යනඑනමං නැති වෙලා!”

ඉලන්දාරි හඬ එහෙම කිව්වාට මං ගණන් ගත්තෙ නෑ. ඒත් මං හොල්මන් වුණේ ඉලන්දාරි පෙනුමැති මිනිසා මඳකට තොප්පිය ගැලෙව්වාම. දෙයියනේ! මේ දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා නේද? “අපොයි! මට අඳුනගන්න බැරි වුණානෙ!” කමාව භජනය කළා මං එතුමාට. අන්න එතකොට මතක් වුණේ මට එයා කියපු කතාව. ඉතිං මං ඇහුන්කම් දුන්නා දයාට.

“මං කියන්නෙ මෙච්චරයි. මේක නීති විරෝධී වැඩක්. ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව තියෙනවා මධ්‍යම කාරක සභාවේ නැති කිසි කෙනෙකුට දේශපාලන මණ්ඩලයේ වාඩි වෙන්න බෑ කියල. මේක ලංකාවේ මහගෙදර වගේ. මේක කඩලා තව ගෙයක් හදන්න හිතනවා නම් කවුරුහරි වැරදිලා එයාට. ඉස්සර මං වෙන ගේක හිටියා වෙන්න පුළුවන්. ඒත් දැන් ඒ ගෙයින් අයින් වෙලා හුඟක් කල්. දැන් මේ ගේ මගේ. මගේ විතරක් නෙවෙයි, මෙන්න මෙයාගෙත්.”

දයා මාස්ටර් මෙයාගේ කියල පෙන්නුව කෙනා කථා කළා ඊළඟට. තොප්පිය ගැලෙව්වෙ නෑ එයා. තොප්පිය හරි හින්දා දාගෙන හිටියා. ඒත් කථා කරන්න ඉස්සරහට ආවාම එයා කවුද කියල මං දැක්කා. දෙයියෝ සාක්කි! හිටපු උතුමාණන් ඒ. මං නවන් හිටිය සරම පාත් කළා. හිටපු තැනම හිටන් කන් දුන්නා:

“මං දැනුත් මහගෙදර සභාපති. ඉස්සරහටත් සභාපති. මාව අයින් කරන්න ඕන නම් ඒක කරන්න ඕන විධායක සභාවෙන්. ඉතිං මං කෙළින්ම කියනවා, සභාපතිවරයා නැතුව කිසිම වෙලාවක දේශපාලන මණ්ඩලය කැඳවන්න බෑ. ඒවගේම මගේ කැමැත්තකින් තොරව කටහැකර අනුශාසකවරියො කැඳවලා රැස්වීම් තියන්නත් බෑ! එහෙම කරන්න බලයක් නෑ කාටවත්. ව්‍යවස්ථාවෙන් බලය දීලා තියෙන්නෙ මට. මට හැරුණාම චතුරිකාටත් දහම්ටත් බලය දීලා තියෙනවා මගෙන් පස්සෙ ඒකට. එච්චරයි!”

තේරුණේ නෑ මට කිසි දෙයක් එයා කියපුවා. ඒත් දෙකක් තේරුණා. එකක් මෙයාලගේ ඩාර්ලි පාරේ ගෙට කවුරුහරි රොබරියක් දීලා. දෙක චතුරිකා තවත් පොතක් ලියන්න ලෑස්ති වෙනවා. ඒත් මාව අන්දුන්කුන්දුන් කරපු ප්‍රශ්නෙ එහෙමම තිබුණු හින්දා මං බලාගෙන හිටියා වෙලාව එනකන් මට කථා කරන්න. ඒත් දයා මාස්ටර් වගේම හිටන් මාස්ටර්ත් නොනැවතී කථා කළා. සභාවේ සෙනඟ කතාවට ඇහුන්කන් දෙන්නෙ නැති බව හැඟුණු හින්දාද කොහෙද වෙලාව ආවා මට. මං කල්පනා කළා ඉංගිරිසියෙන් අහනවාද සිංහලෙන් අහනවාද කියල ප්‍රශ්නෙ. ඉංගිරිසියෙන් අහලා හිනා වුණු පත්තර බබා මතක් වුණා මට. ඒත් මං සිංහලෙන්ම ඇහුවා:

“ඉතිං හැබෑට අපේ ගමේ හන්දියට ආවේ ඇයි ඔබතුමන්ලා දෙන්නා?”

මගෙ ප්‍රශ්නෙට තක්කු මුක්කු වෙලා වගේ බැලුවෙ ඉලන්දාරි දයා. පස්සෙ මෙහෙම උත්තර දුන්නා එයා:

“අපි මේ සීනිගම යන ගමන් මල්ලි. අපි හිතුවා කට්ටිය රැස්වෙලා ඉද්දි මෙතන පෙරහැරක්ද කියල. සීනිගම පෙරහැර වෙන්නත් පුළුවන්නෙ.”

“පෙරහැරක් තිබුණා නම් මෙතන මොකද කරන්නෙ?” මගෙ කට කථා කළා. දයාගේ කට උත්තර දුන්නා ඒකට මෙහෙම:

“මොනවා අහනවාද මල්ලි, මං හොඳ කසකාරයෙක් පෙරහැරේ. ඉස්සර අංගම්පොරත් ගැහුවා. මලක්කමුත් නැටුවා. දැන් අත්හැරලා ඒවා. ඒත් මට හුඟක්ම ඕන සීනිගම ගිහින් පෙරහැරටත් සම්මාදන් වෙලා දෙවොල් දෙවියො වැඳලා අපලෙ දුරු කරගන්න.”

ඊට පස්සෙ හිටපු තැන කථා කළේ. එයා ගොරෝසු කටහඬින් වගේම තරහෙන් කථා කළේ:

“මොකෙක් හරි අපේ ගෙට කොඩිවිනයක් කරලා තියෙනවා. ඒක කරපු එකා හැඳිගාවන්න ඕන ඉක්මනටම. මොකද මොකෙක්හරි ගෙට රිංගුවොත් ආයෙ ඉන්න හිටින්න තැනක් නෑ අපි දෙන්නාටම!”

දුක හිතුණා මට දෙන්නා ගැනම. ඒත් කරන්න දෙයක් තිබුණෙ නෑ මට දුක හිතුණාට. දුක්ගන්නා රාලලා වෙලා බෑ දැන්. පවුලක් තියෙනවා රකින්න. ඊටත් මේ අවුරුදු කටේ දුක්ගන්න පුළුවන්ද කාගෙවත්! ඒත් දුක්ගන්න හිතනකොටත් දෙන්නාම මාරුවෙලා අසුරු සැණින්. ආප්පත් කාලද මාරු වෙලා තියෙන්නෙ? නෑ. ආප්ප නෑ මෙතන. මෙතන කැට ගහනවා විතරයි.

“මහත්තයා, ගහමුකො කැට අතක්. දින්නොත් බුලත් කොළේකුයි පුටුවකුයි හම්බෙනවා!”

කැටපොළ කරන මැණිකා මගේ ළඟට ඇවිත්. බුලත් – පුටු හොඳ නැද්ද? නෑ, දෙකම වැඩක් නෑ. ඒවා නෙවෙයි, ටෙලිෆෝන් එකක් දින්නත් වැඩක් නෑ. කොයිකෙ තියෙන්නෙත් එක මදේ. මාලිමා? තණකොළ කන්නෙ නෑ මල්ලි මං.

“වැඩක් නෑ මැණිකා. ගෙදර පුටුත් තියෙනවා බුලතුත් තියෙනවා!” මං කිව්වා මං දිහා බලා ඉන්න මැණිකාට.

● රවීන්ද්‍ර විජේවර්ධන
ravi7761@gmail.com

advertistmentadvertistment
advertistmentadvertistment