කෙටිකතාව!
මට හිතුණා කතාවක් ලියන්න. නවකතා ලියන්න අමාරුයි මට. එච්චර කාලයක් බෑ මට අවධානය යොමු කරන්න. මං බැලුවා කෙටිකතාවක් ලියන්න. පළ කිරීම ගැන හිතන්නෙ නෑ මං. පළ කරන්න අද ප්‍රකාශකයො සොයා ගන්න අමාරුයි. ප්‍රකාශකයො පළ කරන්නෙ නමගිය ලේඛකයන්ගෙ විතරයි. මට නමක් නෑ. නමගිය මිනිහෙක් නෙවෙයි මං. නමගිය මිනිස්සු ඉන්නවා සාහිත්‍යයේ, විශ්වවිද්‍යලෙ, සෝෂල් මීඩියාවල, මාධ්‍යවල. නමගිහින් ගිහින් හම යවාගන්නෙ මොකටද!
මං කල්පනා කළා ලියන්නෙ මොකක්ද කියල. හුඟක් කල්පනා කළා. කල්පනා කළාට ඔළුවට ආවෙ නෑ වස්තු බීජයක්. වස්තු බීජයක් නැතුවද මනුස්සයෝ කෙටි කතාවක් ලියන්නෙ? ඔව්, බැරිද වස්තුවක් නැතුව කතාවක් ලියන්න? වස්තු නැති කතා නැද්ද සාහිත්‍යයේ? වස්තුව තිබුණා නම් අනික කතා ලියනවාද! වස්තුවත් කතාවත් අතර සම්බන්ධයක් නෑ.
කතා වස්තුවක් නැති නිසා මං හිතුවා මේ මොහොත ගැන ලියන්න. මේ මොහොතට වස්තුවක් නෑ. මේ මොහොතට වස්තුවක් තියෙන්නත් බැරි නෑ. ඒත් කතා වස්තුවක් නැතුව පුළුවන් මේ මොහොත ගැන ලියන්න. මේ මොහොත කෙටිකතාවකට හරවගන්න. ඉතිං මෙන්න මගේ මේ මොහොත. කතා වස්තුවක් නැති මේ මොහොතේ කතාව:
මේ මොහොතෙ මං ඉන්නෙ ගේ ඇතුළේ. ගෙයින් එළියට ගියේ නෑ මං දවස් ගාණක්. ගෙයින් නොබැහැ අවුරුදු කෑවෙ මේ වතාවේ විතරද මං? නෑ, මීට කලින් අවුරුදු කාලා තියෙනවා ගේ ඇතුළෙ ඉඳන්. පාස්කු බෝම්බ අවුරුද්දෙ අවුරුදු කාවෙම නෑ. ඒත් මේ පාර අවුරුදු කෑවාද මං? කෑවා කියල මතක නෑ මට. පුංචි කාලෙ නම් කෑවා කියල මතකයි. ඒත් ලොකු වුණාම කෑවේ නෑ. දැනුත් කාලා නෙවෙයි මං ඉන්නෙ. කෑම ගැන හිතන්න බෑ එළවළු කඩේට ගියාම. බිත්තර කෑවාද 36ට? කන්න ඇති ඒ කියපු කෙනා. ඒත් අපි කෑවේ නෑ.
මේ මොහොත හරි රස්නෙයි. අහස බලන්න බැරි තරම් එළියයි. පරිසරය කාෂ්ටකයි. ඇතුළෙ ඉන්නත් බෑ. එළියේ ඉන්නත් බෑ. ඇතුළත් ගිනි. පිටත් ගිනි. මාළු කාරයා මාළු විකුණන සද්දෙ ඇහෙනවා පාරෙන්. මාළුකාරයා ලාභයි මාලෝ! කියනවා ඇහෙනවා හුඟ වෙලාවක ඉඳන්.
“කෙළවල්ලො අටසීයයි, අලගොඩුවො හයසීයයි, බලයො පන්සීයයි…. දවසේ මාලො… දවසේ මාලො… දවසේ මාලො…!”
“කට රිදෙනවා ඇති මාළුකාරයාගෙ. ඔන්න ඔහේ මොනවාහරි මාළු ටිකක් අරගෙන එන්න!” අම්මා කියනවා ඇහෙනවා. “නෑ අම්මේ, මාළු විකුණන්නෙ රෙකෝඩින් එකක් දාලා ඔය!” අම්මලා හිතන්නෙ ඉස්සර විධියට. ඉස්සර විධියට නෑ අද වැඩ. ඉස්සර හිටියේ කාක්කො. දැන් ඉන්නෙ මාරයො. මරු සිටින දිශාව ලේසියි සොයාගන්න අද. හැම දිශාවේම මරු. මරු නැති තැන හොරු.
අවුරුදු උත්සවයක හඬ ඇහෙනවා ටීවී එකේ. නළු නිළියො, දේශපාලනඥයො, කලාකාරයො අවුරුදු කනවා ගජරාමෙට. ටීවී එකේ ඔවුන් බනිස් කනවා. ඔංචිලි පදිනවා. කණාමුට්ටිය බිඳිනවා. කොට්ටපොර ගහනවා. අලියාට ඇහැ තියනවා. ලිස්සන ගහේ යනවා. ලාඕජී තේ බොනවා. නටනවා. සිංදු කියනවා. කොහෙන්ද එන්නෙ අර අයිපීඑල් එකේ සද්දයක්? කොල්ලා ෆෝන් එකේ එල්ලිලාද? නෑ, බිරිඳ ෆේස්බුක් එකේ එල්ලිලා. එයා ආදර කතාවක් කියවනවා. ආදර කතා සමාජ මාධ්‍යවල වැහිවැහැලා. බිරිඳ එක ආදර කතා ජාලයක සාමාජිකයෙක්. පූර්ණකාලීන නෙවෙයි, පැය 24 කාලීන.
පාරේ බයිසිකල් රේස් එකක් යනවා. නෑ, කාර් රේස් එකක්? අවුරුදු උත්සවයක්ද කොහෙ හරි? නැත්නම් බිග් මැච් එකක්? එහෙමත් නැත්නම් නාමයෝජනා දීලාද කවුරුවත්? පාරේ මහ සද්දයක්. සද්ද දාන මිනිස්සු හැම තැනම. ඒ එක්කම ඇහෙනවා රතිඤ්ඤා සද්දෙකුත්. අවුරුදු ඉවරයි නේද? තවම රතිඤ්ඤා සද්දෙ කොහොමද එන්නෙ? ඇයි බැරි? අවුරුද්ද පහු වීමත් සමරන්න බැරිද රතිඤ්ඤා දාලා! ඒත් අලුත් අවුරුද්දට වැඩට යෑම නම් සමරන්න බෑ රතිඤ්ඤා දාලා. වැඩ වැරීමක්නෙ කරන්නෙ වැඩ ඇල්ලීම කියල.
ගේ ඇතුළෙන් මං ආවා එළියට. මට හිතුණා හන්දියට යන්න. ඒත් අතේ සල්ලි නැතුව යන්න හිතෙන්නෙ නෑ හන්දියට. සල්ලි ඉල්ලන්න බෑ බිරිඳගෙන්. ගනුදෙනු කළේත් නෑ නේද මේ සැරේ අවුරුද්දට. ඕවා වැඩක් ඇති දේයැ! ගනුදෙනු කළා ඉස්සර ළිඳ එක්ක. ඒ චාරිත්‍ර දැන් නෑ. මිථ්‍යා පස්සෙ ගිහින් 2048 සංවර්ධන ඉලක්ක ජයගන්න බෑ. ළිං එක්ක ගනුදෙනු කළාට ආපිට ලැබෙන දේකුත් නෑනෙ. නව සඳ බැලුවත් එච්චර තමයි. නව සඳක් තියෙන්න බෑ එක හඳක් තියෙද්දි ලෝකෙට. ඉර – හඳ දෙන දෙයක් නෑ මිනිස්සුන්ට.
බල්ලා උඩු බුරලනවා ඇහෙනවා පිළිකන්න පැත්තෙන්. බල්ලාට කෑම දුන්නාද අද? බිරිඳ දෙන්න ඇති බාග විට. මං විතරක් නෙවෙයිනෙ මේ ගෙදර ඉන්නෙ. මංම දෙන්න ඕනද බල්ලාට, පූසාට? බල්ලන්ට, පූසන්ට කලින් මිනිස්සු කන්න ඕන නේද? පූසො නම් කනවා සිකනල්ලු. කටුස්සො. හූනො. පළඟැටියො. පූසො නෙවෙයි, බල්ලො වුණත් මංශභක්ෂක. උන්ට කන්න දෙන්න ඕන නෑ. උන් කෑම සොයා ගන්නවා. ඇරත් මිනිසා පස්සෙන් බල්ලො, පූසො ආවා මිසක මිනිසා බල්ලො, පූසො පස්සෙන් ගියාද! අද සමහර විට බල්ලො පස්සෙන් යන්න වුණාට මිනිස්සුන්ට ඇත්ත කතාව බල්ලො පස්සෙ මිනිස්සු ගියේ නෑ.
මට හිතුණා දුරකථන ඇමතුමක් ගන්න යාළුවෙකුට. අවුරුද්දට කවුරුවත් විෂ් කළේ නෑ. මංවත් විෂ් කරන්න එපායැ යාළුවන්ට. ඒත් මොබයිල් ෆෝන් නෑ මට. ටෙලිකොම් දුරකථනයේ රිසීවරය ඉස්සුවාට එන්නෙ එකම සද්දයක්. බොත්තම් එබුවාට හඬ ඇහෙන්නෙ නෑ. දුරකථන සංඥාවල ප්‍රශ්නයක්ද? නෑ, මේ තියෙන්නෙ බිල. රතු බිලක්! තවත් රතු බිලක් තියෙනවා. ංආ… ලයිට් බිල! කථා කරන්න හොඳ නෑ මේවා ගැන. ඇත්ත වශයෙන් අල්ලන්නවත් හොඳ නෑ මේවා බිරිඳට පෙනි පෙනී.
සද්දයක් නැත්තෙ ඇයි පොඩි එකාගේ කාමරෙන්? නෑ. අර ඉන්නෙ කොම්පියුටරේ ළඟ වාඩි වෙලා. මොනවාද කරන්නෙ මේකා? කිව්වා නේද විභාගෙ ළඟයි කියල? මොනවාද අර බලන්නෙ? අපොයි! ගේම් එකක් ප්ලේ කරනවා! මොකක්ද කරන්නෙ? මට බෑ ඕවාට මැදිහත් වෙන්න. මැදිහත් වුණත් කියන දේ අහන්නෙ නෑ දැන් කොල්ලො. ඇරත් මංද මේවා බලන්න ඕන! ගෙදර ගෑනියෙක් ඉන්නවා නේද!
“හිරු බැලුවත් දිනුම්. හිරු නොබැලුවත් දිනුම්!”
ටීවී එකෙන් ආයෙ සද්දයක්. මළ කරදරයක් මේ ටීවී එක! අයින් කරන්න බැරිද මේක? කියවන්න පුළුවන්ද පොතක් පතක් මේවා තියෙද්දි? එක්කො තිබුණාවේ ඔන්න ඔහේ. පොත්පත් බැලුවාට ලැබෙන දෙයක් තියෙනවායැ. සල්ලි හම්බෙනවාද පොත් කියෙව්වා කියල? ඇරත් සාහිත්‍යය කන්නද? පොත් ගන්නත් බෑ දැන් මිල ගණන්වලට. පොත් කියවන්න පුළුවන්ද ප්‍රශ්න මැද්දෙ ගෙවල්වල? අනික, නොකියවපු පොත් කොච්චර තියෙනවාද මේ ගේ ඇතුළෙ? පොත් නෙවෙයි, පත්තරයක් කියවන්නවත් පුළුවන්ද අද කාලෙ? පත්තරයක කීයද මිල! පත්තරයක් ගත්තත් කියවන්න දෙයක් තියෙනවාද!
“හැම මොහොතක්ම මුදල්!” කවුද කිව්වෙ එහෙම? ඒකත් ටීවි එකේ සද්දයක්. පහුගිය ලයිට් ගිය කාලෙ නම් ඇහුණා ඔය කතාව නිතරම. හුඟක් කිව්වෙ බිස්නස්කාරයො එහෙම. ඔව්, මුදල් තමයි හැම මොහොතක්ම. මුදල් නැත්නම් ගෙදරක් නෑ. ඇත්තද ඒක? මුදල් නැතිකොට බිරිඳ නෑ. බිරිඳ නැතිකොට ගෙයක් නෑ. ඔව්. ඒක සහතික ඇත්ත. ඒත් බිරිඳ ඉන්නකොට ගෙයක් තියෙනවාද!
අසනීප ගතියක් දැනෙනවා මට. ඔළුව කැරකෙනවා. හිස කැක්කුමයි. පපුවේ හුස්ම වැටෙන්නෙ නෑ වගේ දැනෙනවා. ඉස්පිරිතාලෙ යන්න වෙයිද? බෑ. ඉස්පිරිතාලෙ බේත් නෑ. තියෙන බේතුත් දෙන්න කෙනෙක් නෑ කියනවා ඇහෙනවා. රෝහල් සේවකයො අවුරුදු නිවාඩු දාලා තවම වැඩට ඇවිත් නෑලු. දොස්තරලාත් අඩුයිලු. දොස්තර ඉන්නවා චැනල් සෙන්ටර් එකේ හවස. තියෙන බේතුත් ගත්තාට ගුණයක් ලැබෙයිද? පහුගිය කාලෙ දුන්නු බේත්වල තිබුණෙ මොනවාද කියල දැක්කානෙ. සමහර බේත් ගබඩා කරලා තිබුණෙ අව්වේ තියපු කන්ටේනර්වල මාස අවුරුදු ගණන්.
පාරේ ලවුඩ්ස්පීකරයක් බැඳගත්තු භාග ලොරියක් යනවා මහ සද්දයක් දාගෙන.
“ඔබ පුල පුලා බලා සිටි මහා සංගීත ප්‍රසංගය ‘ටෙම්ප්ටේෂන් නයිට්’ අද ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේදී!”
ෆ්ලෑෂ් බෑක් එනවාලු සංගීතෙට. යොහානි, භාතිය, සන්තුෂ්, දමිත් අසංක, සඳුන්, විරාජ්, ඉඳුනිල්, මනේජ්, උදාර කෞෂල්‍ය, කාංචනා, හානා, බේබි ශානිකා… මහ ගොඩක් නම් වැළක්. යනවාද සංගීතෙ බලන්න? ටිකට් එක රුපියල් දාහක්! දාහක් තියෙනවා නම් සංගීත බලනවාද? දුම්වැටියක් උරපු කාලයක් මතක නෑ නේද? ඒත් බලන්න ආසයි යොහානිව. කාංචනාත් ලස්සනයි හරියට.
හීන් සුළඟක් හමනවා. හුළඟට ගස්වල කොළ සෙලවෙනවා සිලි සිලි ගාලා. කුරුලු කිචිබිචිත් ඇහෙනවා ගස්කොළන්වලින්. අවුරුද්දක් ගෙවිලා තව අවුරුද්දක් ලබලා! ඇත්තටම එහෙම වෙලාද? මේ සුළඟ හෙටත් හමයිද? ඊයේ හැමුවේත් මේ සුළඟමද? ඊයේ පෑව්වෙත් මේ ඉරමද? ඉරට මහන්සි වෙන්න ඕන දැන්. මීන රාශියෙන් මේෂ රාශියට ඇවිල්ලා මහන්සි තියෙන්න එපැයි. මටත් මහන්සියි හරියට. සුළං හැමුවාට පපුව ඇතුළෙ මහන්සිය ඇරෙන්නෙ නෑ. හිත නිවෙන්නෙ නෑ කිචිබිචිවලට. වළාකුළු දිහා බැලුවාට හිතේ සැහැල්ලුවක් නෑ. ඉර, හඳ, තාරකා, අහස, පොළොව, සුළඟ, ගහකොළ ඔක්කොම එහෙමමයි. අවුරුද්දක් ලබලා නෑ. ඔව්. මොන අලුත් අවුරුද්දක්වත් නෑ!
මගේ කෙටිකතාව එච්චරයි.
● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]