ගිය නුවණ

අනුවණ මිනිහෙක් මං. නුවණැති එක දෙයක්වත් කරලා තියෙනවාද මං? මට මතක නෑ. මතක නැති එකත් හොඳයි. ඒත් අමතක කරන්න හදන තරමට මං කරපු අනුවණකම් මතක් වෙනවා මට. ඒත් ඇයි මෙච්චර මං අනුවණ මිනිහෙක් වුණේ? බිරිඳ කියන්නෙ මං මිනිස්සු විශ්වාස කරනවා වැඩියි කියල. මිනිස්සු විශ්වාස කරන්න එපා ද? මිනිස්සු විශ්වාස නොකර කොහොමද මිනිහෙක් ජීවත් වෙන්නෙ? දැන් බස් එකක යද්දි ඩ්‍රැයිවර්ව, කොන්දොස්තරව විශ්වාස නොකර කොහොමද? අපි හිතනවාද නිකමටවත් මූ ඉතිරි සල්ලි නොදී මාරු වෙයි කියල? උඩු ගුවනේ අත්දැකීම් ලබන්න ඉගිල්ලෙයි කියල ඩ්‍රැයිවර්? ඒත් මොවුන් විශ්වාස කළොත් ඇතිවන සංගදිය තමයි බිරිඳ පෙන්නලා දෙන්නෙ. ඇත්ත, ඒක තමයි කාරණය. ඕනම දේක දෙපැත්තක් තියෙනවා. මේක කළොත් අරක වෙනවා. අරක කළොත් මේක වෙනවා. මාක්ස් මේකට කියන්නෙ දෛලෙක්තිකය කියල. මාක්ස් කියවලා නෑ මං. මං කියවලා තියෙන්නෙ ‘ජනාධිපති තාත්තා’. ගෝඨාගෙ පොතත් මට බැරි වුණා කියවන්න, කපුටු කාක්ට වගේම.

අනුවණකම් මං කරපු ගොඩක් තියෙනවා. අර කිව්වා වගේ විශ්වාස කරනවා මං මිනිසුන්ව හරියට. මිනිස්සු විතරක් නෙවෙයි, ඇහැට පේන දේත් පිළිගන්නවා ඉතසිතින්. දැන් අහසේ දේදුන්නක් පායලා තියෙනවා දැක්කාම මං හිතන්නෙ ඇත්තටම අහසෙ කවුරුහරි පාට පාටින් රැස් වළල්ලක් ගෙනත් තියල කියල. මං 2015 විශ්වාස කළා හිටන්ව. හිටන් ඇඬුවා පුවත්පත් සාකච්ඡාවෙදි චතුරිකා ගැනයි දහම් ගැනයි කිය කියා. ඒක දැකලා මාත් ඇඬුවා දවස් ගාණක් එක දිගට. කෑවෙත් නෑ සෑහෙන දවසක් මං. හිටන් ඉන්දියාවට ගිහින් අලුත් ඇඳුමක් ඇඳගෙන එද්දි මාත් ඉන්දියානු ඕවර්කෝට් එකකට මාරු වුණා. ඒත් වැඩි දොහක් යන්න කලින් මට තේරුණා මං රැවටිලා කියල. පුදුමෙ කියන්නෙ හිටන්ට පස්සෙත් රැවටුණා මං. ඒ, ගෝඨාගෝ ට. ඒ පාර නම් ගොඩ එන්න බැරි වෙන්නම වළට වැටුණා. තවමත් මං ඒ වැටුණු වළේ. ගෝඨාගෝ ට කරන්න බෑ කියල කිව්වෙ බිරිඳ විතරයි. ඒත් ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ හින්දා මං බිරිඳ විශ්වාස කළේ නෑ. අන්න වැරදුණු තැන. බිරින්දෑවරු කියන දේ ඇහුවා නම් පිරිමින්ට මේ කල උදා වෙන්නෙ නෑ. සුඛිත මුදිත ජීවිතයක් ගෙවන්න තිබුණා එහෙනම් ආත්මයක්, හෘද සාක්ෂියක් නැති වුණත්.

ඔව්, ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දන්න බෑ. ඒත් මට එන නුවණක් නෙවෙයි, යන නුවණක්ම තියෙන්නෙ ඇයි? දැන් හන්දියට යන්න බෑ අහනවා හැමෝම “කොහොමද ඒ පැත්තෙ රැල්ල?” කියල. නුවණ නැති හින්දා මං කියන්නෙ“ටෙලිපෝනය තවම වැඩ කරනවා” කියල. සමහර වෙලාවට කියනවා “පොහොට්ටුව පිපෙනවා” කියල. ඇයි මගේ කටින් “පෙරදිග සුළං වමෙන් හමනවා” කියල නොකියවෙන්නෙ? ප්‍රශ්නෙ අහන මිනිහා අරගලකාරයෙක් කියල තේරෙන්නෙ, මට අර උත්තරේ මගෙ කටින් එළියට පැන්නාට පස්සෙ. ඉතින් හන්දිය ගෝට්ටියක් වෙලා, බාග වෙලාවට අරගලකාරයාගෙන් ඔ`එවට හෙල්මට් පාරකුත් කාලා ආපහු ගෙදර එද්දි මට හිතෙනවා මං දුන්නෙ කොච්චර අනුවණ උත්තරයක්ද කියල.

පහුගිය දවසක අහම්බෙන් හම්බුණා මට ජේබී සර්. සර් ඇහුවා මගෙන් “අපේ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමාව හදාරන ළමයින්ට ආරාධිත දේශකයෙක් විදියට එන්න බැරිද?” කියල. මං කිව්වා “පු`එවන් සර්” කියල. ගතමනාවක් ලැබෙන තරම් දෙයක් තියෙනවාද මේ කාලෙ. ඒත් මට තියෙන මෝඩචූන් එකට මං කිව්වා “අන්තිමේ විශ්වවිද්‍යාලෙටත් අපිව ඕන වුණා නේද?” කියල. ජේබී සර් ඇහුවා “මොකක්ද මෝඩචූන් එක?” කියල. මං කිව්වා “අපි උපාධිකාරයො නෙවෙයිනෙ” කියල. ඒ ගමන වෙච්ච දේ දුකයි. “උපාධියක් නැත්නම් විශ්වවිද්‍යාලෙ විසිටින් ලෙක්චර්ස් කරන්න බෑ” කියල ජේබී සර් යන්න ගියා. ආපහු හැරිලා එන ගමන් මං මටම කියාගත්තා “ඇත්තු නැත්නම් අලිවත් නැද්ද ගිය නුවණ ආපහු ඇද්දගන්න?” කියල.

මෝඩචූන් ගැන කියද්දි මට මතක් වෙන්නෙ චමුදිත. මං හුඟක් අගයන මාධ්‍යවේදියෙක් එයා. පානුකත් එහෙමයි. බානුක නෙවෙයි, පානුක. පානුකගෙ ජොබ් එක මොකක්ද? හුඟක්ම ආස ඒ අය වංගෙඩිය අල්ලලා පොළේ ගහලා ගහන මලක්කම්වලට. බත් පිඟාන අල්ලලා පැත්තක තියල බලන් ඉන්න හිතෙනවා චමුදිතලගේ සලකුණ. ඒත් චාමර සම්පත් එදා ඔවුන්ට කලින් අල්ලලා පොළේ ගැහුවා තුන්දෙනාවම. යකෝ, මේ අපි කරන්නෙ පොඩි කොන්ත්‍රාත්තුවක්, ඊටත් වඩා ගතමනාවට පොඩි ජොබ් එකක් කියල තේරුම්ගන්න බැරි වුණා එතන එක ටීවී කාරයෙකුටවත්. අඩු තරමේ කිව්වෙ නැද්ද කවුරුවත් පිස්සු බල්ලො මේච්චල් කරන්න යන්න එපා කියලවත්? ඒත් ගිය නුවණ ගියා, සායමත් ගියා, අසූචිත් ගෑවුණා හතරමුලුක්කාදියේ චමුදිතගෙ. යන්න සායමක් නැති හින්දා චාමර නම් ගියා සරමත් උස්සගෙන රා කළ හතක් බීපු නාලාගිරියා වගේ.

මෙතනදි අපට ඉගෙනගන්න දෙයක් තියෙනවා මාලිංගගෙන්. ඔව්, යෝකර් කිංගෙන්. මතක නේද අර මාලි කිව්ව රිලා කතන්දරේ? ඒත් පුදුමෙ ගිය නුවණක් ගැන වධ වුණේම නෑ මාලිංග. අන්තිමේ බෝලෙ පාස් කරපු දයාසිරි අද වාඩි වෙන්න පුටුවක් නැතිව එකල මෙකල වෙවී බලා ඉද්දි, මාලි ඉන්දියාවේ මුම්බායි ඉන්ඩියන්ස්ලා එක්ක හොඳට ගරනවා. අරුම පුදුම කාරණේ ගිය නුවණක් ගැන මාලි අදෝසංසාරයක් නොදැන සිටීම. ඉතින් නුවණක් නැති මොට්ටයෙක් වගේ ඉන්න ඕන නම් ඔන්න මාලිගෙන් ඉගෙනගන්න. ඇයි? සංගා, මයියා එයාලාගෙනුත් ඉගෙනගන්න පු`එවන් මඩ නොගෑවී මඩේ ඉන්න. හැබැයි නිකන්වත් ඉගෙනගන්න යන්න එපා අර්ජුනගෙන් නම්. එයාගෙන් ඉගෙනගත්තොත් සරමත් නැතිව තමයි යන්න වෙන්නෙ.

වෙලාවකට හිතෙනවා මං කිසිම නුවණැති වැඩක් කරලා නැද්ද කියල. ඇත්තටම එහෙම කියන එක වැරදියි. මං කරපු හුඟක් නුවණක්කාර දේ තියෙනවා. දැන් පහුගිය කාලෙ මං අරගලේට සම්බන්ධ වුණා. ඒක මං කරපු නුවණක්කාරම වැඩේ. මං එදා අරගලේ හිටියේ දමිතා එක්ක. අදත් දමිතා එක්ක ඉන්නෙ. දමිතාගේ මහත්තයා මට එදා ඒකට හොඳට ගෙව්වා. මං දැනගෙන හිටියේ නෑ මිනිහා ගෙව්වෙ කොරියන් යන කට්ටියගේ සල්ලිවලින් කියල. ඒත් එහෙම වුණත් මොකෝ චංගුමීලා ඉන්න රටට යන්න බැරි නම්, චංගුමීලා ගැන හීනයක්වත් පෙන්නන එක වටින්නෙ නැද්ද? අරගලේ හින්දා මට හුඟක් යා`එවොත් ඇසුරු කරන්න ලැබුණා. මෝටිවේෂන් අප්පච්චි, රාජාංගනේ හාමුදුරුවෝ, රැට්ටා, සන්නා, ඩිලාන්, සේපාල, අභිශේකා, සුදා…. මේ අරුම පුදුම තරුණ ජවය එක්ක ගනුදෙනු කරන්න කවදාවත් හම්බෙන්නෙ නෑ මට මං

ගෝඨාගෝ ගමට නොගියා නම්. බස් ගිනි තියන්න, බේරෙ වැවේ බස් පා කරන්න, රනිල්ගේ පුස්තකාලෙ ගිනි තියන්න, ඉරාජ්ගේ ගෙට මළ – මුත්‍රා කරන්න නොගියා නම්. හැබැයි රජෝ එදා හිටිය තැනිනුත් යටට වැටිලා දැන් මං.

මොනවා වුණත් මං කැපුවත් කොළ, කැපුවත් නිල් මිනිහෙක් නෙවෙයි. මට ඕන වෙලාවක පාට මාරු කරන්න පුඑවන්. කටුස්සො, ගෙම්බො, සමහර සර්පයො පවා පාට මාරු කරන එකේ මිනිස්සුන්ට බැරිද පාට මාරු කරන්න? හැබැයි පාට මාරු කරලා මට ලැබුණු දෙයක් නෑ. මට වැරදුණේ මං පාට මාරු කළේ මට ඕන විධියට නෙවෙයි, මගේ බොස්ලාට ඕන විධියට හින්දා. දැන් මහ බැංකු ලොක්කා කිව්වා තව ටිකක් කල් ඉවසන්න කියල. මං ඉවසුවා. ඒත් මට එහෙම කියන ගමන් එයා එයාට හැන්දෙන් ලොකු ලොකුවට බෙදා ගන්නවා දැක්කා මං. ලොකු සර් ගැන නම් දුකයි මට. ගේ ගිනි ගත්තත් මිනිහා හිනා වෙවී කතා කරනවා. හිනා වෙවී පොත් කියවනවා පේනවා. යාපනේ ගිහින් තරුණ තරුණයො එක්කත් එයා දොඩමලු වෙනවා. මොනවාද දොඩමලු වෙන්නෙ? ඊළඟ සහස්‍රයේ පරිගණක ඥානය ගැන එයා කියනවා. කෘත්‍රිම බුද්ධිය ගැන, 22 වැනි සියවසේ ගෝලීය සමාජය ගැන, නව ව්‍යවසායන් ගැන කියනවා එයා ඉංගිරිසියෙන් - සිංහලෙන් දෙබසින්ම. ඒවා කියන එක හරිද? මං හිතන්නෙ හරි. එළැඹි සිහියෙන් සිටියොත් දේශපාලනය නෙවෙයි, ජීවත් වෙන්නවත් බෑ. අනික් අතට ජීවත් වෙන්න ඕන මිනිහෙක් දේශපාලනය කරනවා ද. මොනවා වුණත් ජීවත් වෙන ගමන් ලොක්කා දේශපාලනේ කරනවා. කොච්චර කල් කරනවාද? ඒක දැනගන්න පුඑවන් ඉස්සරහට. හැබැයි එකක් කියන්න ඇහැකි. ඕක දැනගත්තත් ඇති වැඩක් නෑ. නුවණ පෑදෙන්නෙ නෑ ඒක තියා මොක දැනගත්තත්.

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment