පිස්සු ඕයි!

යුද්ධයක් ගෙදර. කොල්ලා ටියුෂන් පන්ති යන්න සල්ලි ඉල්ලනවා.

“ඇයි ටියුෂන් පන්ති? ඉස්කෝලෙ යවන්න බැරිද?”

මගෙ ප්‍රශ්නෙට බිරිඳ බැලුවේ පරහට මං දිහා.

“මේ රටේ නෙවෙයිද ඔහේ ජීවත් වෙන්නෙ?”

ඇයි එහෙම අහන්නෙ? මේ ලස්සන රටේ තමයි ජීවත් වෙන්නෙ මං. සුද්දියන්ගෙ බෑග් උස්සන, සුද්දන්ට වඩෙයක් රුපියල් එක්දහස් පන්සීයට විකුණන ලස්සන රටක් මේ.

“දන්නෙ නැද්ද මේ දවස්වල ස්ට්‍රයික් කියල ඉස්කෝල?” බිරිඳ ආයෙත් නෝක්කාඩුවෙන් කියනවා.

මොනවද මේ කියන්නෙ? මාස එකහමාරකට පස්සෙනෙ මේ ඉස්කෝල පටන්ගත්තෙ? ඇරත් කොරෝනා පාඩුව තවමත් ළමයින්ට අල්ලගන්න බෑ. තවත් ඉස්කෝල වහලා දාන්න පුළුවන්ද වගකිවයුත්තෙකුට?

“බලන්න දෙයක් නෑ, ඉස්කෝලෙ වහලා. හැබැයි ටියුෂන් පන්ති ඇරලා ඒ වෙනුවට!”

එතකොට ඒකද මේ ටියුෂන්වලට සල්ලි ඉල්ලන්නෙ?

“කීයද ඔය පන්ති ගාස්තුව?” මොන විධියෙන් හරි ළමයින්ට උගන්වන්නත් එපැයි.

“රුපියල් හයදාහක් පන්ති ගාස්තුව.”

“මොකක්!” වෙන්න පුළුවන්ද ඒක!

“ඒ ලෙවල් පන්ති ගාස්තු එහෙම තමයි හැම තැනම.”

“එතකොට කවුද ඔය ස්ට්‍රයික් එක කරවන්නෙ?”

මට එහෙම ඇහුණේ දරාගන්න බැරිව කේන්තිය. ඒත් එතකොටම තමයි විශේෂ ප්‍රවෘත්ති ගියේ ටීවී එකේ.

“අපි ඉල්ලන්නෙ ලොකු පඩි වැඩි වීමක් නෙවෙයි. තුනෙන් දෙකක්. තුනෙන් එකක් දුන්නා කලින්. ඉතිරි තුනෙන් දෙක දෙන එකයි දැන් තියෙන්නෙ. දුන්නෙ නැති වුණොත් අපේ වැඩවර්ජනය දින නියමයක් නැතිව දිග් ගැස්සෙයි…. මතක තියාගන්න, අපි හොඳ මිනිස්සු නෙවෙයි. අපේ මාරයා ඇවිස්සුණොත් බොහොම දරුණු වෙයි. දන්නවානෙ හිටපු එක්කෙනාට මොකක්ද වුණේ කියල!”

කවුද මේ තර්ජනය කරන අණ දෙන නිලධාරියා? තර්ජකයො, අණ දෙන්නො කණ්ඩායමක්ම ඉන්නවා පේනවා. ගුරුවරු කියල නම් පේන්නෙ නෑ. ඉස්සරහින්ම ඉන්නෙ ජෝසප් ස්ටාලින් කියල කෙනෙක්. ඒත් මේ ජෝසප් ස්ටාලින්මද? වෙන්න බෑ. ස්ටාලින් කාළගෝලයෙක් නෙවෙයිනෙ! ංආ අර මහින්ද කියල කෙනෙකුත් ඉන්නෙ. මාලිමාවක්ද මොකක්ද තියෙනවා සාක්කුවේ! කොහෙන්ද අල්ලගත්තු හාමුදුරු කෙනෙකුත් ඉන්නවා පේනවා. පඩි වැඩි කරන්න ඩෙඩ් ලයින් දෙන්න පුළුවන්ද වෘත්තීය සමිතිකාරයන්ට? ඩෙඩ් ලයින් දෙන්න පුළුවන් මුදල් ඇමැතිට. මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට. මහබැංකු අධිපතිට. වෘත්තීය සමිතිකාරයන්ට ඩෙඩ් ලයින් දෙන්න බලයක් කොයින්ද එච්චර! ඒත් එහෙම කියන්නත් බෑ. දැන් පහුගිය කාලෙ දොස්තරලා, නර්ස්ලා දුන්නෙ නැද්ද අණ, නියෝග? පෞද්ගලික වෛද්‍ය විද්‍යාලත් හකුළගන්න වුණානෙ මැර තර්ජන හින්දා ජීඑම්ඕ එකේ.

ඔද්දල් වෙලා හිත. තුවාලයක් වගේ. ඕන වුණා මට වෙනසක්. වෙනස සැප නෑ. මොන සැපක්ද වෙනසෙ! මං මෝටර් සයිකලෙත් අරන් පාරට බැස්සා. ආදායම් බලපත්‍රය හදාගන්න ඕන වුණේ කාලෙක ඉඳලා. ඒජී ඔෆිස් එක දිහාට මං බයිසිකලේ පැද්දා. මඟදි දැක්කෙ එතකොට ඩීඕ මිසුයි ග්‍රාම නිලධාරිතුමායි යනවා පයින් ටවුම දිහාට. “ජීඑස් මහත්තයා පයින්ම මොකද මේ?” මට ඇහුණේ නිකමට.

“මොනවා අහනවාද මේ, පයින් යනවා ඇරෙන්න වෙන විධියක් තියෙනවාද අතට ලැබෙන සොච්චමෙන්!”

“පුළුවන්නෙ වැඩවර්ජනයක් එහෙම කරන්න පඩි වැඩි වීමක් ඉල්ලලා?”

ජීඑස්ගේ උත්තරේට මං ඇහුවේ ඇයිද මන්දා ඒ විධියට. ජීඑසුත් ඩීඕ මිසුත් මං දිහා රවලා බලලා කිව්වා මෙහෙම:

“අපට ප්‍රාණ ඇපයට තියන්න දෙයක් නෑ මහත්තයෝ!”

මං පසු නොබලා ඇක්සලේටර් කළා ඒජී ඔෆිස් එකට බයිසිකලේ. අලුත් ආදායම් බලපත්තරේ ගත්තු ගමන් අනෙක් පැත්තට හැරුණා. ඒත් ඉස්පිරිතාල හන්දිය පහු කළා විතරයි බයිසිකලේට අත දැම්මා පොලිස් රාලහාමි කෙනෙක්. රාලහාමි කෙනෙක් නෙවෙයි, රාලහාමිනේ කෙනෙක්. මං පෙන්නුවා අලුතින්ම ගත්තු ආදායම් බලපත්‍රය හාලරාමිනේට. හැබැයි බලපත්තරේ මගේ නමට නෙවෙයි, බිරින්දෑගෙ නමට තිබුණෙ. ඊළඟට කිව්වා මට හාලරාමිනේ ඉන්ෂුවරන්ස් එක පෙන්නන්න කියල. මං ඉන්ෂුවරන්ස් එක පෙන්නුවා. ඒක හැබැයි නුවර බිරින්දෑගෙ මල්ලිගේ නමට. මල්ලිගෙන් ගත්තු බයිසිකලයක්නෙ. අන්තිමේ මට කිව්වා ලයිසන් එක පෙන්වන්න කියල මගේ. ඒක නම් තිබුණා මගේ නමට. ඒත් හාමිනේට කේන්ති ගිහින්.

“කෝ බයිසිකලේ පොත?” විමසුවා ඈ තොප්පිය ගලවලා. අන්දුන්කුන්දුන් වුණා මං. කවදාවත් කවුරුවත් මගෙන් පොත අහලා නෑ මෙතුවක් කල්.

“පොත ඕනමද රාලහාමිනේ?” මට ආතභූත හොයාගන්න බැරි හින්දා ඇහුවා.

“නැත්නම්? පොත නැතුව ඔයාට කොහෙවත් යන්න බෑ. ඊටත් මේක පිට පළාතක වාහනයක්. වෙන පළාතක ඉඳලා තව පළාතකට මේ බයිසිකලෙන් ඔයාට යන්න බෑ!”

ජුවල් නැඟලාද හාලරාමිනේට! මගේ ආතභූතය භූත බලවේගයක් වෙද්දි මං ළඟ තිබුණු කොස් මුලක් උඩ වාඩි වුණා. ඒ අතරේ මට පෙනුණා හාලරාමිනේ දඩ කොළයක් ලියනවා. හීන්දාඩිය දාපු මං රාලහාමිනේ ළඟට දිව ගියා. මං කිව්වා “රාලහාමිනේ එහෙම කරන්න එපා. මං ප්‍රසිද්ධ මිනිහෙක්. කොච්චර ප්‍රසිද්ධද කියනවා නම් මගෙ නම නොදන්නා කෙනෙක් නෑ!” කියල. හාමිනේ සැරෙන් කිව්වා “ඔයාගේ ප්‍රසිද්ධිය අපට වැඩක් නෑ” කියල. දඩ කොළේ ලියලා මගේ අතට දෙද්දි මං ආයෙම ඇහුවා මෙහෙම:

“ඇත්තටම රාලහාමිනේ මං මෙතන කරපු වරද මොකක්ද?”

හාමිනේ පපුව හරහා රුහිතෙට ගිය පටිය අත ගාලා යක්ෂ මුහණක් දැම්මා:

“ඉස්සෙල්ලා කථා කරන්න ඉගෙනගන්නවා! මං රාලහාමිනේ කෙනෙක් නෙවෙයි. මං එස්අයි කෙනෙක්!”

එහෙම කියද්දි එතුමියගෙ පටියට උඩින් තිබුණු තරු තුනක් අහසට පොළා පැන්නා. තරු හත්දින්නත් තරු වෙන්න කලින් මං ආයෙම ඇහුවා “මොකක්ද දෙයියනේ මෙතන මං කරපු වැරැද්ද?” කියල. හාමිනේ මගේ බයිසිකල් සීට් එක වාඩි වෙලා හරිබරි ගැහුණා. පස්සෙ තොප්පිය දාගෙන කථා කළා:

“වැරැදි ගොඩක් තියෙනවා. එකක් බලපත්‍ර කීප දෙනකුගේ නම්වලට තිබීම. දෙවෙනි එක ඒ ඒ බලපත්‍ර එක එක පළාත්වලින් අරගෙන තිබීම. තුන්වෙනි වරද පිට පළාතක ඉඳන් මේ පළාතේ වාහනය ධාවනය කිරීම. හතරවෙනි එක වාහනේ පොත තමන් ළඟ නොතිබීම!”

රාලහාමිනේ, නෑ, එස්අයි හාමිනේ එහෙම කියල විගවිගහට තව බයිසිකලයක් පැත්තට දුවගෙන ගියා. අන්දෝසංසාරයක් සොයාගන්න බැරි මං හාමිනේ දුන්නු දඩ කොළේ සාක්කුවේ දාගෙන බයිසිකලේට නැග්ගා.

මං ගෙදර ඇවිත් නිදාගන්න බැලුවා. නින්ද ගියේ නෑ මට. මං සාලෙට ගිහින් ටීවී එක දැම්මා. ටීවී එකේ තවමත් විශේෂ ප්‍රවෘත්ති. ස්ටාලින්ගෙන් පස්සෙ මහින්දත් මහින්දගෙන් පස්සෙ රංගේ බණ්ඩාරත් කථා කළා. රංගේ බණ්ඩාර කිව්වා තව අවුරුදු පහකට ජනාධිපතිතුමාටත් පාර්ලිමේන්තුවටත් බලයේ ඉන්න ලැබෙන්න යෝජනාවක් ගේනවා කියල පාර්ලිමේන්තුවට. පහක් බැරි නම් දෙකකට හරි ගේනවාලු. රංගේ ඉවර කරපු ගමන් ටීවී එකට ආවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූවතුමා. තල්දූවතුමා කිව්ව දෙයින් මාව ආතභූත වුණා. එතුමා කිව්වෙ කවුරු ගැනද? මං ගැනද?

“මෙතන එස්අයි හාමිනේ කිසිම වරදක් කරලා නැහැ. මේ කියන මනුස්සයා බයිසිකලේ ගිහින් තියෙන්නෙ පොත තමන්ගෙ නමට හරවගෙන නැතුව. අනුන්ගේ පොතකින් තමන්ගෙ බයිසිකලයක් පදින්න කාටවත් අයිතියක් නෑ. එහෙම කරලා නම් කෙළින්ම පුද්ගලයෙක්ව ලකප් කරන්න පුළුවන්. එහෙම පුළුවන්කම තියෙද්දි එස්අයි හාමිනේ මේ මනුස්සයාව නිදහස් කරලා තියෙන්නෙ එස්අයි හාමිනේගේ උතුරා යන මනුස්සකමට. මතක තියාගන්න, මේ එස්අයි හාමිනේ ඊළඟට අයිපී වෙනවා. අයිපී පොලිස් අධිකාරී වෙනවා. පොලිස් අධිකාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වෙනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩීඅයිජී වෙනවා. ඩීඅයිජී සීනියර් ඩීඅයිජී වෙනවා. ඊට පස්සෙ එස්අයි හාමිනේ පොලිස්පති වෙන්නත් පුළුවන්. ඒ හින්දා තමුන්නාන්සේලා මේ අපහාස කරන්නෙ පොලිස්පතිතුමාට, නෑ, තුමියට කියල අමතක කරන්න එපා!”

තල්දූව මහත්තයා කතාව ඉවර කරන්න කලින් මාධ්‍යවේදියෙක් මෙහෙම ප්‍රශ්න කළා:

“එතකොට වාහනේකට එක පළාතකින් තව පළාතකට ධාවනය කරන්න බැරිද?”

ඒ ප්‍රශ්නෙ ඇහෙනකොටම තල්දූවතුමා ආසනයෙන් නැඟිටිනවා පෙනුණෙ. නැඟිටලා ගියාට පස්සෙ එතුමා හිස් ආසනේ පෙන්නුවා සෑහෙන වෙලාවක් ටීවී එකේ. ඉන් පස්සෙ එක පාරටම තල්දූවතුමා ආයෙත් ආවා රූප රාමුවට. ඒ ඇවිත් මේසෙ උඩ අමතක වෙලා ගිය දෙයක් කඩිමුඩියේ අතට අරන් ඔළුවේ දාගන්නවා පෙනුණා. ඔව්, එතුමා තොප්පිය දාගෙන යන්න ගියා.

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment